රජරටෙන් මතු වී රට ම හෙල්ලූ ඥානා මෙන්න | Page 2 | සිළුමිණ

රජරටෙන් මතු වී රට ම හෙල්ලූ ඥානා මෙන්න

මෑණියො වෙනයි; මම වෙනයි

‘ඥානා මෑණියෝ‘ නැතිනම් ‘ඥානක්කා‘ පසුගිය කාලයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක් වූ කාන්තාවකි. ප්‍රභූ පෙළැන්තියේ අය ඇසුරු කරන සමාජයේ ඉහළ පෙළේ කාන්තාවක් ලෙස සිටි ඇය ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ මෑත කාලයේය. එහෙත් ඇය අද දැඩි කනස්සල්ලෙන් පසුවන්නීය. අනුරාධපුරයේ ජනතාව හඳුන්වා දෙන ආකාරයට රජ කාලයෙන් පසුව රාජරාජ මහාමන්ත්‍රීන් ඇතුළු ප්‍රභු පිරිස් අනුරාධපුරයේ යම් අයකුට ප්‍රභූ සැලකිල්ලක් දැක්වූවා නම් ඒ ‘ඥානක්කා‘ට බවයි. එහෙත් කවුද මේ ‘ඥානා අක්කා‘ ඇය එක් වරම සමාජයේ කතාබහට ලක් වූයේ කෙසේද? මේ ගැන නොදන්නා බොහෝ පිරිස්ද අද සමාජයේ වෙසෙති. අපි දන්නා තරමින් ඇය හඳුන්වා දෙමු.

ඇයගේ නම ඥානවතී ජයසූරියයි. වයස අවුරුදු 66කි. 

ඇය යන්ත්‍ර මන්ත්‍ර ජ්‍යෝතිෂ්‍යය කටයුතු කරන සමාජයේ ප්‍රභූවරුන් නිතර යන එන නූතන පහසුකම් සහිත දේවාලයක්ද සහිතව කල් ගෙවන තැනැත්තියකි. ඇයගේ ස්වාමි පුරුෂයා 1996 වසරේ ඝාතනයට ලක් විය. එමෙන්ම ඇය අනුරාධපුරයේ රෝහලේ දුරකථන හුවමාරුවේ සේවිකාවක ලෙස රාජකාරි කළ බවද අපි දනිමු. සැමියා මිය යාමෙන් පසුව ඇය දුම්රියෙන් කොළඹ මහරගම පමුණුවට පැමිණ රෙදි කැබලි ගෙන ගොස් අලෙවි කර ජීවත් වූ බවද දනිමු.

පසුව ඇයගේ ජීවන කතාවේ දෙවන පරිච්ඡේදය දිග හැරෙන්නේ මීට වසර කිහිපයකට පෙර සිටය. ඒ අපි පෙර සඳහන් කළ මහරගමට දුම්රියෙන් පැමිණ රෙදි කැබලි අලෙවි කළ ඥානක්කා ලෙසින් නොව සුපරි රථවලින් ගමන් ගන්නා සුපිරි පෙළැන්තියේ අයකු ලෙසයි. අපි නොදන්නා ඒ කතාව ගැන සොයා බලමු.

කරුණු කෙසේ වෙතත් ඥානක්කාගේ පවුලේ වගතුගවලින්ම මේ කතාවට මුල පිරිය යුතුය.

ඥානක්කා නමින් හැඳින්වෙන ඇයගේ උපන් ගම වූයේ අනුරාධපුරයේ ඉසුරුපුරයි. පියා ගොවියකු වූ අතර ඇය අකුරු කළේ වත්මන් ජනාධිපති විද්‍යාලය ලෙස හැඳින්වෙන එකල දීපානි විද්‍යාලයේය.

ඇය ඉගෙන ගත්තේ ද උසස් පෙළ දක්වා පමණි. එයත් එතරම් සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් විභාගයක් නොවීය. පාසල් යන අවදියේ සිට ගොඩනඟාගත් පෙම් සබඳතාවක් ඇයට තිබුණි. ඒ අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යලයේ ඉගෙන ගත් කේ. ඒ. ජයසූරිය නම් තරුණයකු සමඟය. ඥානාගේ මවුපියන් අකමැති වුවද ඇය ජයසූරිය සමඟ විවාහ වූවාය.

ඇයගේ අධ්‍යාපන සුදුසුකම් මත උසස් රැකියාවක් නොලැබුණු අතර ඇය අනුරාධපුර රෝහල් සේවිකාවක් ලෙස සේවය කළ බව කියයි. ඉන් පසු අනුරාධපුර රෝහලේ දුරකථන ක්‍රියාකාරිනිය ලෙස ද සේවය කළාය.

සැමියා වූ ජයසූරිය විවිධ කොන්ත්‍රාත් වැඩ බාරගත් අතර පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුරකරු තනතුරක් ඔහුට හිමි විය.

ඒ ඥානක්කාගේ යුග දිවියේ ආරම්භක කාලයයි. දුරකථන ක්‍රියාකාරිනියක හා ආයතනයක මුරකරුවකු ලෙස සේවය කළ යුවළගේ සාමාන්‍ය දිවි පෙවෙත රජරට සෙසු පිරිස්වල ජීවන තත්ත්වයට වඩා වැඩි තත්ත්වයක් පෙනුණේ නැත.

ඔවුන්ට පුතකුගේ සහ දියණියකගේ වරම් හිමි විය. ඔවුහු අනුරුද්ධ නලින් කුමාර සහ නදීෂානි නම් වූහ.

එහෙත් විවාහ වී සිටි ඔවුන්ට වසර 25කට වඩා එකට සිටින්නට ලැබුණේ නැත. 1996 වසරේ අලුත් අවුරුදු දින එනම් අප්‍රේල් 14 වෙනිදා ඥානක්කාගේ ස්වාමිපුරුෂයා වන ජයසූරිය ඝාතනයට ලක් වන්නේය.

ඒ ගැන විවිධ කතාබහ ඇතත් අපට ඒ ගැන වැඩි කතා බහ ගෙන හැර දැක්විය නොහැකිය. එය දේශපාලන ඝාතනයක් බව පැවසීම ඉන් එක් කතාවකි. එමෙන්ම දිය නෑමට ගිය අවස්ථාවේ ඇති වූ ආරවුලකින් ඔහු ඝාතනයට ලක් වූ බව තවත් කතාවකි.

සැමියාගේ වියෝවෙන් පසුව පවුලේ බර තනිව කරට ගත් ඥානක්කා රෝහලේ දුරකථන ක්‍රියාකරුගේ රැකියාවට අමතරව, වැලි ගොඩදැමීමේ වැඩවලට උදව් කිරීම වැනි කාන්තාවක විසින් නොකළ යුතු පිරිමි පාර්ශ්වය විසින් කළ යුතු යැයි සමාජ සම්මත වූ රැකියාවන්හි පවා නිරත වූවාය.

එසේ වුවත් ඇය දරුවන්ට අකුරු කිරීම අත් හැරියේ නැත. පසුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආදායම තරකර ගනු පිණිස ඇය දුම්රියේ කොළඹ බලා පැමිණ පෙර කී ලෙසින් පමුණුවෙන් රෙදි පිළි ගෙන ගියාය. ඒ අතර ඉඩම් ගනුදෙනු ද සිදු කළාය.

සැමියාගේ වියෝවෙන් ඇය සිත් තැවුලට පත්ව සිටින අතර ඇය නිතර ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසට ගොස් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඉදිරියේ බොහෝ දේ මෙනෙහි කළ බව ඇය පවසයි. ඇයත් නොදැනුවත්වම යම් අධි චිත්ත බලයක් ලැබුණු බව ඇයගේ විශ්වාසයයි. ඒ අධි මානසික බලය නිසා ඇයට ඉදිරිය ගැන මෙන්ම යම් අයකුගේ සාර්ථක භාවය රඳා පවත්වා ගැනීමට බොහෝ දේ කළ හැකි තත්ත්වයක් උරුම වූ බවද ඇය පවසන්නීය. ඇය පළමුවෙන්ම පිහිට වූයේ මුස්ලිම් ජාතිකයකුට බවද ඇය පවසයි. එතැන් සිට අනුරාධපුරයේ විවිධ අපහසුතා ඇති අය විවිධ අපල උපද්‍රව ඇතැයි කියනා උදවිය ඇය සොයා එන්නට විය. ඒ උදෙසා කරන ලද පිළියම් සාර්ථක වූ නිසාදෝ අනුරාධපුරයේ ඥානක්කා යන නම ඈත හොරොව්පොතාන, ශ්‍රී පුර, කැකිරාව වැනි පෙදෙස් කරා ප්‍රචලිත විය. ක්‍රමයෙන් ඇය සොයා එන පිරිස් වැඩි විය. යුද්ධය පැවති සමයේදී යුද පෙරමුණට යන දරුවන්ට සෙත් ශාන්ති කරන්නටද ඇතැම් මවුපියෝ ඇය සොයා ආහ.

ඥානක්කා පවසන පරිදි ඇයගේ ප්‍රසිද්ධිය එතැන් සිට පැතිරෙන්නට විය.

ඇය පවසන්නේ මෝහනය හෝ අධි චිත්ත පහළ වීමක් තමන්ට වනවාදැයි තමන් නොදන්නා බවයි. එහෙත් මේ අධි මානසික තත්ත්වය යම් ආකාරයක අනන්‍යන්ට පිහිට විය හැකි බව ඇය පවසයි.

විවිධ දේශපාලකයන් මෙන්ම සමාජයේ බොහෝ දෙනා ඇය වෙත එන්නට වූයේ එම නිසාය. කුඩා නිවාස විශාල වන්නට විය. යතුරු පැදිය වෙනුවට මෝටර් රථ එයින් පසුව මැදුරු හා අධි සුපිරි වාහන දක්වා ඇයගේ ගමන් මඟ අතිවිශාල ලෙස වර්ධනයක් දක්නට ලැබුණි. ඇය දෙසට සමාජයේ අවධානය වැඩි වශයෙන්ම යොමු වන්නට වූයේ ප්‍රභූ පෙළැන්තියේ අය ඇය හමුවට ගොස් ආශිර්වාද ලබා ගන්නා බවට පැතිර ගිය කතාවන් නිසාය. ප්‍රභූ පෙළැන්තියේ අය ඇය අතින් නාවගන්නා බවත් එයින් සුරක්ෂිතතාවක් සලසා ගන්නා බවත් එසේ විවිධ දේශපාලකයන් මෙන්ම සුපිරි පෙළැන්තියේ අයගෙන් ඇයට විවිධ වරදාන ලැබෙන බවත් සමාජයේ පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි.

ඥානක්කාගේ නි‍ෙවස අයත් භුමියේ පන්සලක මෙන් බෝධි ප්‍රාකාරය සහිත බෝධියක් දක්නට තිබේ. සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සුදු ඇඳුමින් සැරසුණු බොහෝ දෙනා මේ ස්ථානයට රොක්වන්නේ තම තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට හෝ අපල උපද්‍රව දුරු කර ගැනීමටය. ඔවුන් එහි පැමිණ එම භූමිය සුද්ධ පවිත්‍ර කර පන්සලක මෙන් පහන් දල්වා මල් පූජා කර පළමුව බුදුන් සරණ ගොස් පසුව දේවතා වන්දනාවට පැමිණේ. කුටි කිහිපයකින් යුක්ත ඥානක්කාගේ දේවාලයේ පත්තිනි දෙවියන්ට විශේෂ තැනක් හිමිව තිබේ. එමෙන්ම මසකට වරක් කාලි මෑණියන්ගේ බැල්මක් අනුව තමන් කටයුතු කරන බවද ඇය පවසන්නීය.

සමාජයේ ඇති කාලි මෑණියන්ගේ මතයට වඩා වෙනස් මතයක් ඇය දරන්නීය. ඇය පවසන්නේ කාලි මෑණියන් කිසිවිටෙක අනුන්ට අයහපත් හෝ අයහපතක් කරන්නැයි නොකියන බවයි. ඥානක්කා කිසිදු ශාන්ති කර්මයකට මිලක් නියම කරන්නේ නැත. එහෙත් පඬුරු බොහෝ ප්‍රමාණයක් ඇයට හිමිවන බව නම් සැබෑ ය.

ඒ ඇයගේ දිවි පෙවෙතයි. ඒ අතරේ ඇය හමුවීමට ප්‍රභූ පෙළැන්තියේ අය යෑම හා ඇයගේ උපදෙස් අනුව රටේ ගමන් මඟ වෙනස් වන බවට සමාජයේ කතාබහක් ඇති විය. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඇතිවන කඩා වැටීමේ හේතුවක් ලෙස සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් සමාජ විචාරකයන් දක්වා තිබුණේද ඥානක්කාගේ ක්‍රියාකාරකම් මෙන්ම ඇයගේ උපදෙස් අනුව මේ තත්ත්වය උදා වී ඇති බවයි. මේ නිසා ඇතැම් දේශපාලකයන් විසින් ඇය කෙරෙහි ඇති කළ සමාජ පෙළ ගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය අප්‍රේල් මස 4 වෙනිදා ඇයගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල විය. ඒ ප්‍රහාරයෙන් ඥානක්කාගේ නිවසට අලාභ හානි වූ අතර ඇයගේ දේවාලයටද අලාභ හානි සිදු විය.

එයින් පසුව කෙටි කලක් කිසිදු කලබැගෑනියක් නොතිබුණද ජනතාවගේ ආකල්පය නම් වෙනස් වූයේ නැත. එහෙත් ඇයගේ පිහිට පතා පැමිණි පිරිස නම් සැලකිය යුතු ලෙසින් අඩු විය.

කෙසේ වෙතත් පසුගිය මැයි 9 වෙනිදා ගාලු මුවදොර පිටියට පහර දීමෙන් ඇති වූ ජන අරගලයේ උණුසුම දිවයින් පුරා පැතිර යන්නට ගත වූයේ පැය කිහිපයකි. එහි ප්‍රතිඵලයක් ගෙසින් ඥානක්කාගේ නි‍ෙවසටද එදින රාත්‍රියේ දැඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ වන විට ඥානක්කා නි‍ෙවසේ සිටියේ නැත. ඇගේ බෑනා වන පන්ථක සහ ඔවුගේ මිතුරන් රැසක් නි‍ෙවසේ සිටියහ. සිද්ධිය වාර්තා වීමත් සමඟම ඥානක්කා තමන්ට ආරක්ෂාව සපයන්නැයි යුද හමුදාවේ උසස් නිලධාරියකුට දැනුම් දී ඇත. පසුව පළමුව පොලිස් නිලධාරීන්ද පසුව යුද හමුදා නිලධාරීන්ද නි‍ෙවස අසලට පැමිණ තිබේ.

කෙසේ වෙතත් විශාල ජනතාවක් පැමිණ ප්‍රහාර එල්ල කරන්නට විය. පැමිණි පිරිසෙන් කොටසක් යාබද ප්‍රජා ශාලාවකට සහ ඇඹරුම් මෝලකට ඇතුළු වී, මෝලේ වැසිකිළියේ සිට මීටර් එකහමාරක් පමණ දුරක් තිබූ ඇගේ නි‍ෙවසේ තාප්පය දක්වා ඉනිමඟක් තබා ඒ හරහා ඉබි යතුරු දමා තිබූ වත්තට පැන පසුව නි‍ෙවසට ඇතුළු වී කොල්ලකෑම් සිදු කර ඇති බව ඇය පවසයි. එමෙන්ම පසුව තාප්පයෙන් පැන ගත් පිරිසක්ද කොල්ල කෑම අරඹා ඇති අතර නි‍ෙවසේ මුළුතැන්ගෙයි තිබූ හාල්, කුළුබඩු, ගෑස් සිලින්ඩර් වැනි සියල්ල යතුරු පැදි හා ත්‍රිරෝද රථවලින් පවා රැගෙන ගොස් ඇති බව ඇය පවසයි.

පැමිණි පිරිස් ඥානක්කාගේ කාමරය සොයා පළමුව එය ගිනි තබා ඇති අතර සෙසු කාමර පසුව ගිනි තබා ඇත. එමෙන්ම ජල සැපයුමද පැමිණි පිරිස් විසින් විසන්ධි කර ඇත. එම නිසා කිසිදු ලෙසකින් ගින්න නිවා දැමීමට හැකියාවක් ලැබී නැත. මේ පිරිස් අලුයම තෙක් මේ කොල්ලකෑම් හා ගිනි තැබීමි සිදු කර තිබේ.

එමෙන්ම ඔවුන්ට අයත් අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ නෙළුම්කුලමේ පිහිටි කාමර හතකින් යුත් ලේක් මොනාක් හෝටලයටද ගිනි තබා ඇත. එය මෑතක දී කෝටි ගණනකට මිලදී ගෙන තිබේ. අක්කර භාගයකටත් වැඩි භුමියක් හිමි එයට පසුව ඊට යාබදව තවත් පර්චස් 40ක ඉඩමක් ඔවුන් මිලදී ගෙන ඇත.

සිදු වූ සිදුවීම් මාලාව හමුවේ ඥානක්කාගේ නිවෙස හෝටලය දේවාලය යන සියල්ල ගිනිබත් වී ඇත. මේ විනාශය දෙස බලා ඇය අනිත්‍ය පමණක් මෙනෙහි කළ බව පවසන්නේය.

සිළුමිණ කළ විමසීමකදී ඇය පැවසුවේ ඒ සියල්ල සිතින් විඳ දරා ගත් බවයි.‘‘මම කාටවත් කරදරයක් හිරිහැරයක් කළ අයෙක් නෙමෙයි. මේ විනාශය මම සිතින් දරා ගන්නවා. මම දුක් මහන්සියෙන් උපයා ගත් දෙයින් තමා මේ හැම දෙයක්ම ගොඩ නැංවූවේ. මට ලැබුණු යම් ශක්තියක් තිබුණා නම් මම ඒ සියල්ල ජනතාව වෙනුවෙන් කැප කළා පමණයි.

බුදු දහමට අනුවයි මම ජීවිතය ගෙන ගියේ. මේ විනාශය ගැන දැකලා මට දුකක් නොදැනුණා නෙමෙයි. ඒ ගැන කතා කරල වැඩක් නැහැ දැන්.

මට ගොඩක් දෙනෙක් කියනව සැලෙන්න එපා, අහිමි වෙච්ච හැම දෙයක්ම අපි ගොඩ නඟමු කියලා. ඒ මගෙන් යම් හෝ සේවාවක් සලසා ගත්ත අයයි. මම කිසිම දවසක කිසිම දේශපාලකයෙකුගෙක් ශත පහක මුදලක් ලබා ගෙන නැහැ. එහෙම කවුරු හරි චෝදනාවක් කරනවා නම් නීතියේ ඕනෑම තැනකට යන්න මම සූදානම්. මම ගොඩක් දුක් විඳපු කාන්තාවක් මේ සියල්ල මම විඳ දරා ගන්නවා.‘‘

ඇයගේ සමීපතමයා වන්නේ රියැදුරු ජානකයි. ඔහු පවසන්නේද කිසියම් කඩාකප්පල්කාරී හෝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පිරිසක් විසින් මේ ගිනි තැබීම් කළ බවයි.

‘‘මෑණියන්ට ගොඩක් අය ආදරෙයි. කැමතියි. එයාලට පිහිටක් වෙන නිසානෙ එන්නෙ. එහෙම එකේ ඒ අය මේ වගේ පහත් වැඩ කරන්නේ නැහැ. මේ පිටිපස්සෙ ඉන්න අය හොයන එක නීතියට බාරයි. මෑණියන් කවදාවත් කාටවත් කරදරයක් වෙන දෙයක් කරලා නැහැ. යන එන හැම ගමනක්ම යන්නෙ මාත් එක්කනෙ. මම දන්නව ඒ ගැන හොඳින්ම‘‘

කරුණු කෙසේ වුවත් ඥානක්කාට එල්ල වූ චෝදනාද කිහිපයක් ඇත. ඒ අතර අනවසර හෝටලයක් වැව් රක්ෂිතයේ තැනීමය. එමෙන්ම ගාලුමුවදොර අරගලකරුවන්ට ගුවනින් ඉසීමට විදෙස් රටකින් ගෙන්වා ගත් මල් පෙති අරගලකරුවන්ට සාප වදින්නට ජීවම් කර ලබා දුන් බවටද චෝදනා නැඟේ.

එහෙත් ඇය පවසන්නේ තමන් කිසි දිනක ප්‍රභු පිරිස් නහවා නොමැති බවත් එවන් කාර්යයක් කිරීම සඳහා එම ස්ථානයේ පහසුකම් නොමැති බවයි. එමෙන්ම තමන් ප්‍රභු පිරිස් දන්නා බවත් යුද්ධය පැවති සමයේ පවා ප්‍රභු පිරිස් පැමිණ කතා බහ කර ආශිර්වාද ලබා ගත් බවත් ඇය පවසයි. ඒ හිතවත්කමට අනුව ඔවුන් පැමිණි විට ආශිර්වාද කිරීම් සිදු කරන බවද ඇය පවසයි. එමෙන්ම අරගලකරුවන්ට සාප වැදීමට කිසිදු ආකාරයක කටයුත්තක් නොකළ බවත් තමන් එවැනි කටයුතු සිදු නොකරන බව ඇය හමුවට පැමිණෙන සියලු දෙනා දන්නා බවත් ඇය පවසන්නීය.

කරුණු කෙසේ වුවත් වැව් රක්ෂිතයේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට පවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා ඇති බවට තොරතුරු ලැබී ඇත.

දැන් ඥානක්කාගේ නි‍ෙවස මෙන්ම බහුතර දේපළ අළු වී ඇත. ඇයගේ දේපළ බේරා දෙන්නට ඇයට ලැබුණා යැයි කියන අධි ශක්තියටවත් හැකි වූයේ නැත. එමෙන්ම යදින දෙවියන්ගේ දෙවොළ බේරා ගන්නටද දෙවියන්ටත් හැකි වූයේ නැත. ඥානක්කාගේ ආශිර්වාද සමාජයේ සෙසු මිථ්‍යා හා සමාන වන්නේද එසේත් නැත්නම් ඇය පවසන පරිදි ශ්‍රී මහා බෝධිය අසලදී ඇයට ලැබුණු විශේෂ අධි මානසික බලයක්ද යන්න ගැන විවේචනය කරන්නට හැකියාවක් අපට නැත. කෙසේ වුවත් රටක දේපළ ගිනි තැබීමෙන් වන්නේ ඒ රටේ ඇති ආර්ථිකයට තවත් මරු පහරක් වැදීම පමණකි. අප නොදන්නවා වූවාට ගිනි තැබීම්වලින් වූ අලාභයට වන්දි ගෙවීමට වන්නේද අපටමය.

Comments