ලාංකේය දැල් පන්දුවේ සුක්කානම කාට ද? | Page 2 | සිළුමිණ

ලාංකේය දැල් පන්දුවේ සුක්කානම කාට ද?

 

දැල්පන්දු නිලවරණය මෙම 31 වැනි දා පැවැත්වීමට නියමිතය. මෙවර නිලවරණය ඉතිහාසයේ පළමු වරට ඉදිරිපත්ව ඇති කිසිඳු නිලධාරිනියකට විරෝධතාවන් ගොනු නොකරපු නිලවරණයක් ලෙස ද ඉතිහාසයට එක් විමට නියමිත ය.මෙවර දැල්පන්දු නිලවරණයේදී ආසියානු දැල්පන්දු සම්මේලනයේ උප සභාපතිනියක් වන වික්ටෝරියා ලක්ෂ්මි ඇතුළු පත්මා බැද්දවෙල, වජිරා පුෂ්පකුමාරි සහා කැරිල් ටෝස් මෙවර නිලවරණයේදී සභාපතිධුරයට තරග කරති. අභිනවයෙන් පත්වීමට නියමිතව ඇති සභාපතිනියගේ පළමු අභියෝගය වී ඇත්තේ සිංගප්පූරුවේ පැවත්විමට නියමිත ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායටම සුදානම් කිරිමයි. කෙටි කලක් තුළ නිම කිරීමට ඇති විශාල ම කාර්යය ද මෙය වෙයි.

 

 දැල් පන්දුව කිහිප දෙනෙක් අතරේ විනාශ වෙනවා

 

වජිරා පුෂ්ප කුමාරි- (ගම්පහ දිස්ත්‍රික්කය)

අපේ රටේ දැල්පන්දුව කීප දෙනෙක් අතරේ විනාශ වෙනවා. ඩිසිප්ලීන් නැහැ. මුලින්ම ඒවා හදන්න ඕන. ආරම්භයේ අපේ දැල්පන්දුව හොඳ තත්ත්වයේ තිබුණා. දැන් හොඳටම විනාශ වෙලා. මේක හැදීමේ අරමුණ ඇතිවමයි මා මෙවර සභාපතිත්වයට තරග කරන්න අදහස් කළේ. අද ඉහළ පුටුවල ඉන්නේ ක්‍රීඩා කළ අය නෙමෙයි. බාහිරව ආපු අයයි. වර්තමානයේ හා අනාගතයේ ක්‍රීඩිකාවන් ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා. දිස්ත්‍රික් මට්ටමේ දක්ෂ ක්‍රීඩිකාවන් තෝරාගෙන සංචිත හදන්න ඕන. ඒ වෙනුවෙන් දිස්ත්‍රික්ක තුළ තරගාවලී පවත්වා දක්ෂයන් තෝරාගත යුතුයි. එසේම ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම බලන්න ඕන. බොහෝ ක්‍රීඩිකාවන්ට පොඩි දරුවන් සිටිනවා. මේ වන විට ඔවුන් කායිකව මෙන්ම මානසිකව වැටිලා. ඒ නිසා ඔවුන්ගේ ගැටලු සාකච්ජාකර පුහුණුකරුවන් සමග සම්බන්ධව වහා විසඳුම් ලබා දිය යුතුයි. 2016 ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ කළමනාකාරිනී මෙන්ම 2019 කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ කළමනාකාරිනිය, 2016 හා 2017 ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ උප සභාපති ලෙසත් කටයුතු කරමින් මගේ රාජකාරිය මා උපරිමයෙන් ඉෂ්ඨ කළා.1990 හා 1997 මෙරටට ආසියානු ශුරතාව ගෙනාවේ අපියි. එවකට පුහුණුකාරිනිය ලෙස කටයුතු කළේ යසා රාමචන්ද්‍රයි.

මා මිනුවන්ගොඩ බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව වරාය අධිකාරියේ රාජකාරියට පිවිසියා. වරාය අධිකාරියේ දැල්පන්දු කණ්ඩායම් නායිකාව හා දැල්පන්දු ලේකම්ව හිටියා. අප රටේ කාන්තාවන් වෙනුවෙන් ඇති එකම ක්‍රීඩාව දැල්පන්දු පමණයි. නමුත් ඒකේ ජාතික පුහුණුකරුවන් ලෙස අද පිරිමි පාර්ශ්වය පත්වෙලා සිටිනවා. අපි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සිටින විට අපේ පුහුණුකරුවන් දැල්පන්දුව අල්ලලවත් නැති අය. ඒගොල්ලො විභාග පාස් වෙලා එතනට එනවා. අපි කාලයක් තිස්සේ ජාතික කණ්ඩායමෙත් ක්‍රීඩාකර හොඳ ටෙක්නික් තියාගෙන අපි එළියට යනවා.. නමුත් එහෙම දෙයක් නොදන්න පිරිසක් විභාග සමත්වී ජාතික පුහුණුකරුවන් ලෙස පත්වෙලාබැරි වුණොත් ලක්ෂ්මිට සහය දක්වනවා. ඇය ආසියාවේ දැල්පන්දු උප සභාපතිනියයි. ඇයත් දක්ෂ කෙනෙක්. සම්බන්ධතා තියෙන නිසා දැල්පන්දුවට උදව් ලබා ගැනීමේ හැකියාව ඇයට තියෙනවා. අපිට වැදගත් වන්නේ බලය නෙමෙයි වැඩ කරන එකයි.

පසුව පිළිතුරු දෙන්නම්

 

 

වික්ටෝරියා ලක්ෂ්මි

 

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක් වූ වික්ටෝරියා ලක්ෂ්මි ගෙන් ඇසූ ප්‍රශ්න වෙනුවෙන් ඇය පසුවට පිළිතුරු දෙන්නම් යැයි ද පැවසූ අතර ඉන් පසු කිහිප දිනක්ම දුරකතනයට සම්බන්ධ කිරීමට අප උත්සාහ කළ ද එයට අවකාශ ලබා නොදුන් බවද මෙහිදී වි‍ශේෂයෙන් සඳහන් කළ යුතුයි.

 

දැල් පන්දුව වැටීලා ඉහළට ඔස වනවා

කැරිල් ටෝස් - බස්නාහිර පළාත

මම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම කිහිප වතාවක්ම නියෝජනය කරලා තියෙනවා. මේ වන විට බස්නාහිර පළාතේ උප සභාපති. ප්‍රවීණයන්ගේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක්, පරිසරවේදියෙක්. සමාජ සේවිකාවක් වගේම විවිධ තනතුරු දරමින් කටයුතු කරනවා. මේ අවස්ථාවට මා තරග කරන්නේ වැටී ඇති දැල්පන්දුව ඉහළට ඔසවා තැබීමේ අභිලාශය අරමුණු කරගෙනයි. නැත්නම් තනතුරු දැරීමේ වුවමනාව මත නෙමෙයි.

මේ රටේ දැල්පන්දුව තමාරලගේ කාලේ හොඳ තත්ත්වයක තිබුණා . නමුත් අද පහතට ම වැටිලා. මේක විනාශ වෙනවා දකින්න අපිට බැහැ. මෙතෙක් පැවැත ගෙන එන චේන් එක කඩලා වෙනසක් ඇතිකළ යුතුයි. එම චේන් එක නොකැඩී පවතිනවානම් අපේ සහාය දෙන්න කොහෙත්ම අපි කැමැති නැහැ.

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, බංග්ලාදේශය වැනි රටවලට දැල්පන්දු ක්‍රීඩාව දියුණු කරන්න පුළුවන්නම් ඇයි අපේ රටට බැරි. ඒ අය ආහාරයට ගන්නේ අපි ගන්න ආහාරමයි. ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම් කරලත් අපි පසුබෑමකට පත්වෙලා.

මේ තත්වය මත දැල්පන්දුවේ වෙනසක් දකින්න ඕන අය අපට ජන්දය දෙයි. අනිත් අය අපට නොදී ඉදියි. මම කියන්නේ සැබැවින්ම දැන්වත් මේකේ වෙනසක් ඇති කළ යුතුයි. පිට ඉඳන් අපිට ඒක කරන්න බැහැ. ඒ වෙනුවෙන් ඇතුළට පැමිණිය යුතුයි.

ඇතැම් අය මට කියනවා මේකට අත ගහන්න එපා කුණු ගොඩක් කියලා. නමුත් අපි මේ ක්‍රීඩාවට ආදරෙයි මේක ප්‍රපාතයට වැටෙන්න දෙන්න ඉඩ තියන්න බැහැ. 1987 වසරේදී කාන්තා පිහිට වැඩ සටහන ආරම්භ කළෙත් මමයි විදෙස් කාන්තාවකුයි එකතු වෙලා. දැල්පන්දුව දියුණු කරන්න තියන අවස්ථාව වෙනුවෙන් තරග කිරීමේ අවස්ථාවට පත්කළ යුත්තේ එක එක්කෙනාගේ පෞද්ගලික හිතවත්කම් නෑදෑකම් මත නොව කවුරු හෝ මෙය තව දුරටත් විනාශ නොවී ඉදිරියට ඔසවා තැබීමේ හැකියාව ඇති අයෙක් විය යුතුයි. නැතිනම් ඒකේ අවාසිය වෙන්නේ අපේ රටටමයි.

දැල්පන්දුව වෙනුවෙන් කනිෂ්ඨ සංචිතයක් ,ජ්‍යෙෂ්ඨ සංචිතයක් හා පසු පෙළක් හදන්න ඕන. දිස්ත්‍රික් 25 තුළම දැල්පන්දුව දියුණු කරන්න ඕන. ඒ වෙනුවෙන් සහයෝගය දෙන්න ඕන. ජාතික සංචිතය වෙනුවෙන් කොළඹ පුහුණුවීම් කරන්න ඉඩ ප්‍රස්තා සැලැස්විය යුතුයි. ඒ වෙනුවෙන් සම්පත් දායකයන් යොදවා ගත යුතුයි.

එසේම සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ ඉදුම් හිටුම් හා ගමනා ගමන පහසුකම් සැපයිය යුතුයි. මෙරට සංචිතයේ විවාහවී කුඩා දරුවන් සිටින දක්ෂ ක්‍රීඩිකාවන් සිටිනවා. ඒ අයට අපි පහසුකම් සපයා දිය යුතුයි. එසේම පිසෝ තෙරපි,විටමින් ඇතුළු පහසුකම් සපයා ක්‍රීඩිකාවන්ට මානසික සහනයක් ලබාදී ටීම් වර්ක් එකක් ඇති කළ යුතුයි.

තමාරලගේ කාලේ අප රටේ දැල්පන්දුව දියුණුයි. ඒ නිසා ඔවුන්ගේ උපදෙස් මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍යයි. සැප්තැම්බර් මාසයේ ආසියානු දැල්පන්දු තරගාවලිය පවත්වනවා. හරි නම් මේ වන විට ඒකට සූදානම්වී සිටිය යුතුයි. සම්පත්දායකයින් සොයා පුහුණුවීම් ලබා දිය යුතුයි. ක්‍රීඩිකාවන්ගේ ශාරීරික සුවතා ඇතුළු පහසුකම් ලබා දිය යුතුයි. එහෙම වුණොත් ආසියානු දැල්පන්දු ශුරතාව ලබා ගැනීමට අපට අපහසු නොවනු ඇතැයි මා විශ්වාස කරනවා.

 

දැල් පන්දුවේ දියුණුවක් දකින්න අපිත් කැමැතියි

පද්මා බැද්දෙවෙල - (කොළඹ දිස්ත්‍රික්කය)

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිත්වයට තරග වැදීම වෙනුවෙන් මම ද අයදුම්පත් යොමු කළා. නමුත් තවම මා එයට තරග කරනවාද නැද්ද කියලා ස්ථිර වශයෙන් කියන්න අපහසුයි.

වසර ගණනාවක් තිස්සේ සංචිතයේ සිටි ක්‍රීඩිකාවක් මෙන්ම සම්මේලනයේ විවිධ තනතුරු දරා ඇති නිසා දැල්පන්දු වේ දියුණුවක් දකින්න අපිත් කැමැත්තෙන් තමයි ඉන්නේ.

ඒ කොහොම හරි අතීතය අනාගතය හා වර්තමානය දිහා බලල අනාගතයේ අපි මේක දියුණු කරන්නේ කොහොමද කියලා මුලින්ම ක්‍රමවේදයක් සකසා ගත යුතු බවයි මගේ අදහස.

 

 

Comments