ලාංකේය ක්‍රීඩා වංශකතාව බොහෝවිට ලියැවී ඇත්තේ හරි අපුර්ව චරිත වටා. ඒ අර්ථයෙන් ම මහේෂ් ප්‍රියමාල් ජයකොඩි යනු මෙරට ක්‍රීඩා වංශකතාවට එක් වූ අපූරු චරිතයක්. ක්‍රීඩාවක් ගැන හිනෙකින් පවා නොහිතපු මහේෂ් මෙරට පමණක් නොවේ, ආසියාව ම නියෝජනය කරමින් නිමා වූ ටෝකියෝ පැරාලිම්පික් උළෙල සඳහා ඔරු පැදීමේ ක්‍රීඩාව නියෝජනය කළේය.මෙම අවස්ථාව ශ්‍රී ලංකාව හිමි කර ගත් ප්‍රථම වතාව මෙය වන අතර ඒ වෙනුවෙන් ආසියානු කලාපයෙන් එක් වූ එක ම ක්‍රීඩකයා වූයේ ද මහේෂ්.
2020 මැයි මාසයේ ටෝකියෝවල පැරාලිම්පික් සුදුසුකම් ලැබීමේ ආසියානු – ශාන්තිකර කලාපීය තරගාවලිය තිබුණා. ඒකෙදි මම ප්‍රථම ස්ථානය දිනා ගනිමින් පැරාලිම්පික් සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගත්තා. මේ තරගාවලියේ දී ආසියාවේ ප්‍රබල රටවල් ලෙස සැලකෙන ජපානය හෝ චීනය වැනි රටවල්වල ක්‍රීඩකයන් ද සහභාගි වුනත්, ඔවුන් මේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ නැහැ. ආසියානු කලාපයෙන් මම විතරයි සුදුසුකම් ලැබුවේ. මේ සුදුසුකම් ලැබීම ම ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මේ මගින් ශ්‍රීි ලංකාවට කීර්තියක් ලබා දීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා.” මහේෂ් ජයකොඩි අප හා කතාබහට මුල පිරුවේ ඒ ආකාරයෙන්.
මහේෂ් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බලකායට අනුයුක්තව කටයුතු කරන ඉනෙන් පහළ ආබාධයට ලක් වූ වයස අවුරුදු 34ක ගැටවරයෙක්. පැරාලිම්පික් උළෙලකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වු අතර එහි දී ඔහු ඔරු පැදීමේ යුගල හබල ඒකල ඉසව්ව නියෝජනය කළා.
එම ඉසව්වේ දී මහේෂ් දෙවැනි වටයට තරග වැදීමට සුදුසුකම් ලබා ගත්ත ද එහි දී ඉහළ නිමාවක් සිදු කිරීමට ඔහුට හැකි වූයේ නැහැ.
ලොව පුරා පැවති කොවිඩ් වසංගත තත්ත්වය නිසා පුහුණුවීම් හරි හැටි කරගන්න බැරි වුණා. ඒත් මම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඉලක්ක කර ගෙන 2019 නොවැම්බර් මාසයේ සිට මට හැකි සෑම අවස්ථාවක ම පුහුණුවීම් කටයුතු කළා. ලොකු කැපවීමක්, මහන්සියක් දැරුවා. ඒ කැපවීම නිසයි මට මේ අවස්ථාව ලැබුණේ. තරගයේ දී හොඳ තරගයක් තිබුණා. මෙවර පැරාලිම්පික් වාර්තාවක් පවා වාර්තා වුණා. මම මගේ උපරිමයෙන් තරගයට දායකත්වය දැක්වූවා.
ඊට පසුව මහේෂ්ට තමන්ගේ දක්ෂතා දක්වන්නට ලැබෙන්නේ පසුගිය වසරේ පැවැති මීටර් 2000 ආසියානු ගෘහස්ථ (On line) ඔරු පැදීමේ තරගාවලියට. තායිලන්තයේ පැවැති මෙම තරගාවලියේ දී ඔහු රන් පදක්කමක් දිනා ගන්නවා.
තවමත් පවතින තත්ත්වයන් සමග නිසියාකාරව තරග පැවැත්වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ දි ආසියානු ඔරු පැදීමේ තරගාවලිය තියෙනවා. ඒ වගේ ම ඉදිරියේ දී යුද හමුදා ඔරු පැදීමේ තරගාවලිය තියෙනවා. මේ දවස්වල ඒ වෙනුවෙන් සූදානම් වෙනවා.
මහේෂ් අද ඔරු පැදීමේ ක්‍රීඩාව නිසා කාර්ය බහුල වෙමින් වැඩි කාලයක් කොළඹ යුද හමුදා නේවාසිකාගාරවල සිටියත්, ඔහුගේ ගම කුරුණෑගල - දොඩම්ගස්ලන්ද ප්‍රදේශය. ඔහු පාසල් යන්නේ දොඩම්ගස්ලන්ද මධ්‍ය මහා විද්‍යාලයට.
මහේෂ්ලගේ පවුලේ එක ම දරුවා ඔහු. ආදරණීය අම්මා, මාග්‍රට් විජේසූරිය. මහේෂ්ට යම්තම් වයස අවුරුදු 7ක් විතර වෙද්දී අම්මා අකාලයේ ජීවිතය හැර යනවා. එතැන් සිට මහේෂ්ට අම්මටත්- තාත්තටත් ඉන්නේ පියා, රංජන් ජයකොඩි. ඔහු දන්න කියන කාලේ සිට ම කළේ ගොවිතැන් වැඩ. කන්නෙන් කන්නෙට කුලියට කුඹුරු වැඩවලට එකතුවෙන එක තමයි කළේ. ඒකෙන් එහෙමට ම කියල මුදලක් අතට එන්නෙ නැහැ. ඒත් වෙන කරන්න කියල දෙයක් මහේෂ්ලගෙ තාත්තට තිබිල නැහැ. වත්කමකට තිබිල තියෙන්නේ වැටිල ඉන්න තිබුණ පොල් අතු හෙවිලි කළ කටු මැටි ගහපු අබලන් ගේ කෑල්ල විතරයි.
අම්මත් නැති දරුවා උස් මහත් කිරීම ද මහේෂ්ගේ පියාට පැවරෙද්දී, කුලියකට මලියකට යෑම ද හරි හමන් විදිහට සිදු වුණේ නැහැ. මේ නිසා ගෙදර අගහිඟකම් එන්න එන්න ම වැඩි වුනා. මහේෂ්ගේ පාසල් ගමනත් පියාගේ වැඩට යෑම වගේ ම සිදු වුණේ යලට මහට වගේ. මොන දේ නැතත්, මහේෂ්ලට අගහිඟකම් නම් දෝරෙ ගලන්න තිබුණා.
එක වැස්සකට අපේ ගේ කඩාගෙන වැටුණා. තාත්තටත් මටත් ඉන්න හිටින්න තිබුණ තැනත් නැති වුණා. අම්මගෙ මල්ලි මාව එයාලයි ගෙදරට එක්ක ගෙන ගියා. තාත්තාට ඉන්න තැනක් නැති නිසා කුලී වැඩට කොළඹ ගියා.
මහේෂ්ලයි කැඳැල්ල අම්මගෙ වියෝවෙන් පස්සේ නැවත විසිරි ගියේ ඒ විදිහට. ඊට පස්සේ මහේෂ් හැදී වැඩුණේ මාමා වූ සහන් විජේසූරිය මහතාගේ ගෙදර. දැන් මහේෂ් මාමගෙ ගෙදර ඉඳලා උදේට පාසල් යනවා. හවසට මාමගේ කඩේ වැඩවලට උදව් වෙනවා.
මහේෂ්ට වුවමනාව තිබුණෙ පාසල් යනවට වඩා, දෛනිකව සෙවණැල්ල වගේ පසුපසින් අගහිඟකම්වලින් අත් මිදීමේ මගක් සොයා ගන්න.
මම ඒ දවස්වල පාසල් යනවට වඩා ආසාවෙන් කළේ, කඩේ වැඩ කරන එක.මේ වෙද්දී මම සාමාන්‍ය පෙළ පංතිවල හිටියේ. ඉක්මනට රස්සාවක් කරන එක තමයි හීනය වෙලා තිබුණේ. ඒකෙ මුල් ම තැන යුද හමුදා සේවයට එක් වීම.
එහෙම සිතුවිල්ලෙන් සිටි මහේෂ්ට තමන්ගේ ම ගමේ වැඩිමල් සහෝදරයෙක් උදව් කරනවා. ඒ වෙද්දී ඔහු සේවය කරල තියෙන්නේ යුද හමුදා විශේෂ කාර්ය බලකායේ.
ඒ අයියා, තමයි කිව්වේ සාමාන්‍ය පෙළ ලියල ඉන්න. ඊට පස්සේ යුද හමුදාවට බැඳෙන්න පුළුවන් කියලා.
ඒ කටයුතු කළ මහේෂ් 2007 අවුරුද්දේ යුද හමුදාවට එක්වෙමින් මාදුරුඔය විශේෂ කාර්ය බලකා පුහුණුවට එක්වෙනවා.
අපිට හරියට ඉන්න හිටින්න තැනක් තිබුණෙ නැහැ. මමත් තාත්තත් හිටියේ තැන් තැන්වල නැදෑ සහ යාළුවන්ගේ ගෙවල්වල. මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව වෙලා තිබුණේ තාත්තටත් මටත් එකට ඉන්න තැනක් හදාගන්න. ජීවිතේ සාර්ථක කර ගන්න. දුප්පත්කම නිසා ඒ දේවල් සිහිනයක් වෙලා තිබුණේ. ඒකයි හමුදාවට බැදුණේ. තාත්තගෙ වුනත් ඒකට අකමැත්තක් තිබුණෙ නැහැ.
අවුරුද්දක් පුරා ලැබූ පුහුණුවෙන් පසු මහේෂ් ක්‍රියාන්විත රාජකාරියට එක් වෙනවා. එකල දැඩි සටන් පැවැති වවුනියාවේ සිට පුදුකුඩුඉරිප්පු දක්වා වූ සියලුම මානුෂික මෙහෙයුම්වලට මහේෂ්ගේ දායකත්වය ලැබෙනවා.
යම්තම් හිස ඔසවමින් සිටි මහේෂ්ගේ හිස මත කරදර ගොන්නක් කඩා වැටෙන්නේ ඒ සමගමයි. ඒ 2009 අප්‍රේල් 07 වැනිදා. මහේෂ් තම ජීවිතයේ මුහුණ දුන් අවාසනාවන්ත ම සිදුවීම විස්තර කළේ මෙලෙස.
එදා අපි 8 දෙනෙක්ගේ කණ්ඩායමක් පුදුකුඩුඉරිප්පුවල ඉදිරි පෙළ රතු භූමිය පරික්ෂා කරමින් සිටියේ. හිටි හැටියේ මතු වූ ත්‍රස්ත කල්ලිය සමග අපි මුහුණට මුහුණ සටන් කළා. අපි හතර දෙනෙක්ට තුවාල වුණා. පස්සේ ප්‍රතිකාර ලබද්දී දෙන්නෙක් මැරුණා. මටත් තව කෙනෙකුටත් ජීවත් වෙන්න වාසනාව ලැබුණා. මම කොළඹ යුද හමුදා රෝහලේ විශේෂ ප්‍රතිකාර අංශයේ මාස 6කට අධික කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
කාලයක් යන තුරු මහේෂ්ට ඇඳෙන් බහින්න ලැබෙන්නේ නැහැ. ඔහුගේ ඉනෙන් පහළ අක්‍රීය වෙලා. කකුල උස්සන්න හැදුවත් උස්සගන්න බැහැ. තම හිතුමනාපයට කිසිවක් ම කර ගන්න බැරි තැන මහේෂ් කෑ ගහල ඇඬු වාර අපමණයි කියලයි කියන්නේ. නමුත් සිදු වූ වෙනසක් නැහැ. ගෙයක් දොරක් හදාගන්න හමුදාවට බැදුණ මහේෂ්ට නිවාඩුවට යන්න ගෙයක් තිබුණෙ නැහැ.
තුවාල සනීප වුණහම මම ගියේ මගේ ලොකු අම්මගෙ ගෙදරට. ආබාධිත බව නිසා මට අවශ්‍ය සනීපාරක්ෂ කටයුතු කර ගන්න පුළුවන් තත්ත්වයේ තැනක් තිබුණේ ලොකු අම්මලයි ගෙදර විතරයි.
ලොකු අම්මා, සුජිතා විජේසූරිය මහේෂ්ට දෙවැනි මවක් වුණා. ටික කාලයක් ගත වන විට මහේෂ්ට රෝද පුටුවේ සිට තනිව යමක් අල්ලාගත හැකි කාලයේ දී පියාත් සමඟ එකතු වී නිවසක් සැදීමේ තම ලොකුම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට වෙහෙසුනා.
පුළුවන් විදිහට කාමරයක්, කුස්සියක් සහ බාත් රූම් එකක් හදා ගත්තා. දැන් තාත්තා ඉන්නේ ඒ ගෙදර. මට ගොඩක් දේවල් නැති වුණත් ඒ බලාපොරොත්තුව ඉටු වීම ගැන හරි සතුටුයි. ඒත් ඉතිං ගෙදර තවත් ගොඩාක් වැඩ කටයුතු ඉවර කර ගන්න තියෙනවා. ලැබෙන විදිහට හෙමිහිට ඒ දේවලුත් කරගෙන යනවා.
මහේෂ් ක්‍රීඩාවට යොමු වෙන්න කරුණු කාරණා ඉටු වෙන්නේ රණවිරු සෙවනේ වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු වුනාට පස්සේ.
ඉස්කෝලෙ යන කාලේ එල්ලේවත් නොගහපු මම රණවිරු සෙවනෙදි තමයි ක්‍රීඩාවට යොමු වෙන්නෙ. මගේ මුල් ම ක්‍රීඩාව වුණේ යුද හමුදා පැරා තරගවල රෝද පුටු මීටර් 100 සහ 200 ඉසව්. 2012 මුල් ම තරගයට සහභාගී වුණත් ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුණා. ඊට පසු හොඳට පුහුණුවීම් කරලා 2013 ඉඳලා අඛණ්ඩව අවුරුදු 5ක් මීටර් 100 සහ 200 රන් පදක්කම් දිනා ගන්න මට හැකි වුණා.
එකී ඉසව්වල කප් ගැසූව ද මහේෂ්ට තම ක්‍රීඩා දිවියේ නිවැරදි ඉසව්ව හමු වෙන්නේ 2015 වසරේදී. ඒ වෙද්දී මහේෂ් සේවය කළේ අනුරාධපුර අභිමංසල ආබාධිතවුවන්ගේ පුනරුත්ථාපන කඳවුරේ.
ඒක බාරව හිටියේ කර්නල් බන්දුල බණ්ඩාර සර්. එතුමා පැරා කමිටුවේ සභාපති ජෙනරල් අම්බමොහොට්ටි සර් හමුවට මාව යොමු කළා. ආබාධිතවුවන්ගේ ඔරු පැදීමේ ඉසව්ව ආරම්භ වෙන්නෙ ඒ කාලේ. ඒකට තෝරාගත් පළමුවැන්නා මම. මගේ පුහුණුකරු වෙන්නේ ලංකාවේ අංක එකේ ඔරු පැදීමේ පුහුණුකරු ලසන්ත වැලිතර සර්.
එසේ පුහුණුවීම් ආරම්භ කළ මහේෂ් එම අවුරුද්දේ ම චීනයේ පැවැති ඔරු පැදීමේ පුහුණු කඳවුරකට සහභාගි වුණා. පුහුණුවෙන් පසු පැවැති තරගයක දී මහේෂ්ට සිවු වැනි තැන දිනා ගැනීමට හැකි වෙනවා.
රෝද පුටු තරගවලට සහභාගි වෙනවට වඩා මට මේක ටිකක් අල්ලලා ගියා. ලංකාවට ඇවිත් ලසන්ත සර් එක්ක පුහුණුවීම් කටයුතු සාර්ථකව කරගෙන ගියා. රෝද පුටු ඉසව්ව ඉබේම මඟ හැරුණා. මහේෂ් ඔරු පැදීමේ ක්‍රීඩාව මෙරට දී ආරම්භ කරමින් සහභාගි වුව ද ඔහුට අවශ්‍ය තරම් පහසුකම් මුල් කාලයේ පැවැතියේ නැහැ. 2017 වසර දක්වා ම ඔහු පුහුණුවීම් කළේ ගෘහස්ථ ක්‍රීඩාගාරවල මැෂින් මගින්. එම තත්ත්වයට විසඳුම් ලැබෙන්නේ එවකට සිටි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් මහේෂ් විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත ලැබෙන ඉතා උසස් තත්ත්වයේ බෝට්ටුව මඟින්.
එතැන් සිට මහේෂ් තම පුහුණුවීම් කටයුතු යුද හමුදා ඔරු පැදීමේ සංචිතයත් සමඟ එකතු වෙමින් දියවන්නා වැවේ සිදු කළා. එම කාලයේ ම ඉතාලියේ පැවැති ලෝක ආබාධිතවූවන්ගේ ඔරු පැදීමේ තරගාවලියට සහභාගි වෙන්නට මහේෂ්ට අවස්ථාව ලැබෙනවා. නමුත් එහි දී සතුටු විය හැකි අවසානයක් ලබා ගැනීමට මහේෂ්ට හැකි වෙන්නේ නැහැ.
ඊට පසුව මහේෂ් 2018 වසරේ දී බල්ගේරියාවේ පැවැති ලෝක ආබාධිතවූවන්ගේ ඔරු පැදීමේ තරගාවලියට සහභාගි වෙනවා. එහි දී ඔහු අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වෙනවා. අනතුරුව ඔහු 2019 කොරියාවේ පැවැති ආසියානු ආබාධිතවූවන්ගේ ඔරු පැදීමේ ශූරතාවලියේ රිදි පදක්කම දිනා ගත්තා. ලැබූ හැම ජයග්‍රහණයක ම පිටුපස ඉන්නේ යුද හමුදාව. ඔවුන් අවශ්‍ය සෑම පහසුකමක්ම සලසනවා. යුද හමුදාපතිතුමා ගොඩක් උදව් කරනවා. යුද හමුදා පැරා කමිටුවත්, යුද හමුදා විශේෂ බලකායේ සේනා විධායක තුමා ඇතුළු සියලුම නිලධාරීන් ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම පුහුණුකරු ලසන්ත වැලිකල මහතා මාව මේ තත්ත්වට ගේන්න විශාල වෙහෙසක් දරනවා. මගේ ජයග්‍රහණ පිටුපස ඔවුන් සියලු ම දෙනා සිටිනවා. මහේෂ් කෘතඥතා පූර්වකව සිහිපත් කරනවා.
මහේෂ්, ක්‍රීඩාව සහ ආබාධිත බව හරි අපූරුවට ගෙත්තම් කරනවා. දෙපයින් නැගී සිටින අයට වඩා මහේෂ්ගේ හිත හයියයි. නැති වූ දේ ට වඩා තිබෙන දේ මඟින් ලෝකය ජය ගන්න එකයි මහේෂ්ගේ අභිප්‍රාය.
‘ක්‍රීඩා’ අපි මහේෂ්ගේ ඒ ගමනට උණුසුම් සුබ පැතුම් එක් කරනවා.