ජොෂ් බට්ලර් පෑනකට අරවින්දව උසාවි ගෙන යයි ද ? | Page 2 | සිළුමිණ

ජොෂ් බට්ලර් පෑනකට අරවින්දව උසාවි ගෙන යයි ද ?

 

එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ ටෝන්ටන් නුවරයි. දිනය 1999 වසරේ මැයි මස 26 වැනිදාය. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයකි. එය පැවැත්වූයේ ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ දීය. එහිදී තරග කළේ ලෝක ශූරයෝ දෙදෙනෙකි. එමෙන්ම ඔවුහු අසල්වැසියෝය.

ඉන්දියාව 1983 ලෝක ශූරයෝය. එමෙන්ම ආසියාවේ පළමු ක්‍රිකට් ලෝක ශූරයෝය. ශ්‍රී ලංකාව ගියවර හෙවත් 1996 ලෝක ශූරයෝය. මේ දෙරටේම ක්‍රිකට්ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාවට පුදුමාකාර ලෙස ආදරය කරති. එම නිසාම මෙම තරගය පැවැති ක්‍රීඩාංගණය ඔවුන්ගෙන් පිරී ඉතිරි තිබුණාහ.

එසේ වූවත් සත්කාරක රට වූ එංගලන්ත ක්‍රිකට් ලෝලීන් වැඩිහිටියන් බහුතරය අතර කුඩු දරු දැරියෝ පිරිසක් ද සිටියහ. ඔවුනට තරගයේ ප්‍රතිඵලය වැදගත් වූයේ නැත. ඔවුනට තිබුණේ එකම අරමුණකි. එනම් දෙරටට ක්‍රීඩා කළ සිය ප්‍රියතම ක්‍රීඩකයන්ගේ සමරු අත්සන් ලබා ගැනීමයි.

එහිදී ඔවුන් හතරේ සීමාව අසලට වී සිටියහ. මේ නිසා පන්දු රකින ක්‍රීඩකයන් හතරේ සීමාව අසලට පැමිණි විට ලැබෙන සුළු අවස්ථාවේ දීම එම සමරු අත්සන ලබාගත යුතුව තිබිණි. එදා මෙම දරුවන් අතර අට හැවිරිදි ඉංග්‍රීසි ජාතික පිරිමි දරුවෙකුත් සිටියේ ය. තරගය පැවැත්වූයේත් මේ දරුවාගේ උපන් නගරයේම ය.

ඔහුගේ අරමුණ වූයේ සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ අත්සන ලබා ගැනීමයි. එදින මුලින්ම පන්දුවට පහර දුන්නේ ඉන්දියාවයි. ඒ නිසාම ශ්‍රී ලංකාව පන්දු රකිමින් තිබුණි. අරවින්ද සිටියේ හතරේ සීමාව අසල ය.

එසේ වූවත් ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටියේ වමත් පිතිකරු සොරොව් ගංගුලි සහ දකුණත් පිතිකරු රාහුල් ඩ්‍රාවිඩ් ය. මෙවැනි වාතාවරණයක දී එය ක්‍රීඩාංගණයේ කෙළවර සිටින පන්දු රකින්නන්ට බාධාවක් මෙන්ම කරදරයකුත් වේ. ඒ වමත් සහ දකුණත් පිතිකරුවන් පන්දුවට පහර දීමට මාරු වන විට පිටියේ කෙළවර සිටින පන්දු රකින්නන්ට ද එසේ කළ යුතු වීමයි. එදින අරවින්දත් පන්දු රකිමින් සිටියේ පිටියේ කෙළවර ය.

තරගයේ එක් අවස්ථාවකදී අට හැවිරිදි ඉංග්‍රීසි දරුවා සිය පෑනත් සමරු අත්සන ලබා ගැනීමට තිබු කුඩා පොතත් රැගෙන හතරේ සීමාව අසලට වී සිටියේ ය. එහිදී ඔහුගේ අවස්ථාව උදා විය. අරවින්දත් වහාම සිය අත්සනින් සමරු පොත සැරසුවේ ය. එමෙන්ම සමරු පොතත් දරුවාට ලබා දුන්නේ ය. එසේ වූවත් පෑන ලබා දීමට නොහැකි විය. ඒ එම අවස්ථාවේදී පන්දුවට පහර දීමට පිතිකරුවන් මාරු වූ බැවිනි. අරවින්දටත් එයම කළ යුතු විය. හෙතෙම කුඩා දරුවාගේ පෑන සාක්කුවේ රඳවා ගත්තේ ය. දරුවා සිය පෑන ලැබෙන තුරු බලාගෙන සිටියේ ය. නමුත් යලිත් ඔහුට අරවින්ද හමු වූයේ නැත. එය අවබෝධ කරගත් දරුවා හඬමින් සිය මව වෙතට දුවගෙන ගියේය. එපමණක් ද නොව මෙසේ ද කීවේය. “අරවින්ද ද සිල්වා මගේ පෑන හොරකම් කළා” මව පුතුව සැනසුවා ය. එහෙත් ඵලක් වූයේ නැත.

දිනයේ ඉතිරි කාලයම ඔහු ගත කළේ හැඬූ කඳුළින් ය. එදින මෙම අපූරු අත්දැකීම ලැබූ ක්‍රීඩකයා මේ වන විට ක්‍රිකට් ලොව සිටින සුපිරිතම පිතිකරුවෙකි. එමෙන්ම දක්ෂ කඩුලු රකින්නෙකි. හෙතෙම එංගලන්තයේ ජොෂ් බට්ලර් ය.

“එදා තරගය මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් නිසා තරගයට විශේෂත්වයක් ලැබුණා. ඒ වගේම ගංගුලි සහ ඩ්‍රාවිඩ්ගේ පිතිරඹය තරගය වර්ණවත් කළා. හැබැයි මේ මොන දේ වුනත් මගේ පෑන අහිමි වීම තමයි මට තිබුණු ලොකුම ගැටළුව වුනේ” බට්ලර් පසු කළෙක එසේ පැවැසුවේ සිනාසෙමින් ය.

එම තරගයේ දී ඉන්දියාවට ලකුණු 157 ක පහසු ජයක් අත්විය. ඉන්දියාව කඩුලු 06 ට ලකුණු 373 කි. තරගයේ වීරයා වූයේ ලකුණු 183 ක් රැස් කළ ගංගුලිය. ඩ්‍රාවිඩ්ට ලකුණු 145 කි. ඔවුන් අතර දෙවන කඩුල්ලට ලකුණු 318 ක සබඳතාවයකි. එය එවකට ලෝක වාර්තාවකි. ශ්‍රී ලංකාව රැස් කර ගත්තේ ලකුණු 216 කි. එහි දී අරවින්ද ද සිල්වාට ලකුණු 56 කි.

ජෝශප් චාල්ස් බට්ලර් 1990 වසරේ සැප්තැම්බර් 08 උපත ලැබීය. අඩි 6 ක් උසැතිය. ඔහු දකුණත් පිතිකරුවෙකි. 2011 වසරේ සිට හෙතෙම ජාත්‍යන්තරව ක්‍රීඩා කරයි. ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගවලදී එංගලන්තය නියෝජනය කර තිබේ. එමෙන්ම එක්දින සහ විස්සයි විස්ස නායකත්වයත් දරා ඇත.

එදා 1999 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් විවිධාකාරයේ ප්‍රවර්ධන පොත් පිංචවල් මුද්‍රණය කෙරිණි. එවැනි එක් පොත් පිංචක කවරයේ සේයාරුවේ සිටියේ බට්ලර් සහ තවත් ක්‍රීඩකයෙකි.

2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වූයේ ප්‍රධාන සත්කාරකත්වය එංගලන්තයට හිමිකර දෙමිනි. එය අමතක නොවන අත්දැකීමක් කර ගත් එංගලන්තය ඉතා තියුණු තරගයකින් පසුව නවසීලන්තය හමුවේ ලෝක ශූරයෝ වූහ. එහිදී බට්ලර් අර්ධ ශතකයක් රැස් කරමින් එංගලන්ත ජයට දායක වූයේය.

තරගාවලිය නිමා වීමෙන් අනතුරුව බී.බී.සී. ගුවන් විදුලි සේවය විසින් විශේෂ වැඩසටහනක් පැවැත්විය. ඊට විශේෂ ආරාධිතයකු වශයෙන් අරවින්ද ද සිල්වා සහභාගි වූයේය. එහිදී බට්ලර්ගේ පෑන සම්බන්ධයෙන් අරවින්දගෙන් විමසීය. “මම මුලින්ම ජොෂ්ගෙන් සමාව ඉල්ලන්න ඕනෑ. ඒ ඔහුගේ පෑන රැගෙන පැමිනි නිසා. ඒ වගේම මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට සුබ පතන්නත් ඕනෑ.” අරවින්ද එසේ පිළිතුරු දෙනු ලැබීය.

එහිදී ඔහු තවත් රහසක් හෙළි කළේය. “මමත් ඔහුගේ රසිකයෙක්. ඇත්තම කියනවානම් මගේ පුතුන් තිදෙනාම මටත් වඩා ජොෂ්ගේ රසිකයින්”.

එහිදී බට්ලර්ගේ පෑන ගැන අරවින්දගෙන් විමසීය. “මට ජොෂ්ගේ පෑන දෙන්න පුළුවන් කමක් තිබෙනවා. හැබැයි ඔහුත් මගේ ඉල්ලීමක් ඉටු කරන්න ඕනෑ. ඒ ඔහුගේ සමරු අත්සන මගේ පුතාලාට දෙන්න ඕනෑ.” අරවින්ද පැවැසුවේය.

මෙම වැඩසටහන ප්‍රචාරය වන අතරතුරදීම කෙටි පණිවුඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ මෙවැනි දෙයකි. “අරවින්දට කියන්න ඔහුගේ අත්සන මගේ ලෝක කුසලාන පදක්කමට එහා පැත්තෙන් සැමදාම තියේවි කියලා” එම පණිවුඩය ලැබුණේ බට්ලර්ගෙන්ය.

ජොෂ් බට්ලර් මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ දී නියෝජනය කළේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. එහි ක්‍රිකට් අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන පුහුණුකරු වූයේත් හිටපු ශ්‍රී ලංකා නායකයෙකු මෙන්ම සුපිරි ක්‍රීඩකයෙකුත් වන කුමාර සංගක්කාරය.

මෙවර තරගාවලියේ මුල් තරගවලදී ආරම්භක පිතිකරුවෙකු ලෙසින් බට්ලර් විශිෂ්ට දස්කම් දැක්වීය. ඒ ශතක 03 ක්ම රැස් කරමින්ය.

 

 

Comments