ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 | Page 2 | සිළුමිණ

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

 

බානුක සමඟ දුනිත් සහ මතීෂත් මූලික සංචිතයකට

 

අන්තර්ජාතික ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක්, විස්සයි20 තරග 3ක්, එක්දින තරග 5කින් වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 10කින් සමන්විත ලබන ජූනි මස 7 දින සිට ජූලි මස 12 දක්වා දින 35ක් පුරා මෙරට පැවැත්වෙන විමට නියමිත සිංහ කැන්ගරු ක්‍රිකට් තරගාවලියට මෙරට උද්ගත වී ඇති තෙල් ප්‍රශ්නය ද දැඩිව බලපා තිබේ.මෙකී තරගාවලියේ පළමුව විස්සයි20 තරගත් ඉන් අනතුරුව එක්දින තරග සහ අවසානයේ ටෙස්ට් තරගත් පැවත්වීමට නියමිතයි.

පසුගියදා මෙරට රාජ්‍ය නායකයන් ප්‍රකාශ කළ අන්දමට දිවයිනේ තෙල් හිඟයක් ඇති නිසාවෙන් මෙවන් අවස්ථාවක දිවා රාත්‍රී තරග පැවැත්වීම අපහසු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරන අන්දමින් "නුසුදුසු බැවින්" පලමුව ටෙස්ට් තරග පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඉදිරි දින කිහිපයේදී රටෙහි තෙල් අර්බුදය යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කරමින් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට කල් ගැනීම පිණිස මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම යෝජනාවට විරුද්ධ වී ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල්ලකට කොටු වී ඇති බවට cricbuzz පවසයි. මේ පිළිබඳ නැවත වතාවක් ඕස්ට්‍රේලියාව සමඟින් සාකච්ඡා කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

යම් හෙයකින් ටෙස්ට් තරග මුලින් පැවැත්වීම සඳහා කණ්ඩායම් ද්විත්වයේම කැමැත්ත නොලැබුණහොත් සීමිත පන්දුවාර තරගාවලිය දිවා තරග ලෙස පැවත්වීමට වැඩි ඉඩක් ඇති බවටද මේ අතර වාර්තා වේ.

2016 ට පසු දෙරට අතර මෙරට දී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා නිමා වු යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ශ්‍රී ලංකා මූලික සංචිත සඳහා ඇතුළත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු ඇතුළත් ය.

දසුන් ශානක නායකත්වය දරන එක්දින හා විස්සයි 20 සංචිත සදහා ක්‍රීඩකයන් 26 දෙනෙකු බැගින් නම් කර තිබේ.

ආබාධයක් හේතුවෙන් පසුගිය කාලයේ පැවැති ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මෙම සංචිත සදහා ද ඇතුළත් කර නොමැති අතර, ශාරීරික යෝග්‍යතාව නිසි පරිදි නොමැති වීම නිසා ජාතික කණ්ඩායමේ ස්ථානය අවස්ථා කිහිපයක දී ම අහිමි වූ ප්‍රහාරාත්මක වමත් පිතිකරු බානුක රාජපක්ෂ එක්දින හා විස්සයි20 මූලික සංචිත සදහා නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බානුක රාජපක්ෂ නිමා වු විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති නමුත්, ඔහු මෙවර IPL තරගාවලියේ තරග වදිනු ලබන පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත්විය.

කොන්දේ ආබාධයක් නිසා මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ තරග සංචාරය මඟ හැරී ගිය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද නැවතත් ශ්‍රී ලංකා සංචිතයන් සඳහා කැඳවා තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව ඉතාමත් දුෂ්කර ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන නමුත්, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත මේ දීර්ඝ ක්‍රිකට් තරගාවලිය සැලසුම් කර තිබෙන පරිදිම ක්‍රියාත්මක කිරීමට දෙරටේ ක්‍රිකට් ආයතනයන් බලධාරීන් සියළු උත්සාහයන් දරමින් සිටිති.

වයස අවුරුදු 19ක් වන ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ආකාරයකින් පන්දු යවන මතීෂ පතිරණ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමටත් පෙර මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කිරීමට වරම් දිනා ගැනීමට සමත් වු අතර ඔහු සිය මංගල තරගයේ දී මංගල පන්දුවෙන්ම (පැයට කිලෝමීටර 141) කඩුල්ලක් දවා ගනිමින් සුපිරි ආරම්භයක් ලබා ගත්තේ, මුළු ලෝකයේ ම අවධානය තමන් වෙත නතු කරගනිමින් ය .

ඔස්ට්‍රේලියාවට එරෙහිව නම් කර ඇති සංචිතවල එක්දින සහ විස්සයි20 නායකත්වය දසුන් ශානක දරන අතර ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත පවරා තිබේ. IPL තරගාවලියේ දී සුපිරි දස්කම් දක්වන වනිඳු හසරංග මෙන් ම දුෂ්මන්ත චමීර ද මේ තරගාවලියේ දී එක්දින සහ විස්සයි20 සංචිතයන් සඳහා පමණක් කැඳවා තිබේ.

ධනංජය ද සිල්වා , කුසල් මෙන්ඩිස් මෙන් ම කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල, ටෙස්ට් , එක්දින සහ විස්සයි20 මූලික සංචිත සඳහා කැඳවා තිබෙන අතර, අත්දැකීම් බහුල පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙහි එක්දින සහ ටෙස්ට් සංචිතයට පමණක් ඇතුලත් කර අැත.

සිංහ - කැන්ගරු තරගාවලියට සහභාගී වන අවසන් ශ්‍රී ලංකා සංචිත ඉදිරි දෙසතිය තුල නම් කරනු ඇත.

ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ළහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත මුණසිංහ, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.

 

එක්දින සංචිතය – දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, බානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, ළහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ළහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.

 

විස්සයි20 සංචිතය – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ළහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, නුවන් තුෂාර, කසුන් රාජිත, නිපුන් මාලිංග, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.

 

 

Comments