දසක තුනකට ආසන්න කාලයක් මෙරට යතුරුපැදි ක්‍රීඩාවට ආනන්දය ගෙන ආ ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ නම් මෙරට කීර්තිමත් යතුරුපැදි ධාවකයා යතුරු පැදි ධාවන පථයෙන් නික්ම ගොස් හරියට ම අදට පස් වසරක් සපිරේ. ෆොක්ස්හිල්, ගජබා, ගනර්ස්, විජයබා, කැවර්ලි, නුවරඑලිය, මාගස්තොට, පන්නල, කටුකුරුන්ද, එළිය කන්ද, කරඳුපොන, රැඳැල්ල, වලව, වැනි ධාවන පථයන්හි දසක තුනකට ආසන්න කාලයක් අංක 15 යටතේ දික් විජය කළ ආනන්ද තම ජීවිතයේ අවසන් මොහොත දක්වාම ප්‍රේක්ෂක මන දොල පුරවාලමින් ධාවන පථයට චමත්කාරය එක් කළ කඟවේනකු මෙන් වේගවත් මෙන් ම කීර්තිමත් ධාවකයෙකු ලෙස කැපී පෙනුණී.
1994 දෙවන වරට දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු පාසල විසින් සංවිධානය කරනලද ෆොක්ස්හිල් තරගාවලියේදී ශූරතා තරග ඉසව්ව වු එම්.එක්ස්. 175 – 250 සී.සී.(4ටී.) / 100 – 125 සී.සී. (2ටී) -250 තරග ඉසව්ව නියෝජනය කරමින් අති විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි ශූරතාව දිනාගත් ආනන්ද වෙඩිසිංහ එතැන් පටන් කාගේත් අවධානය තමන් වෙතම රඳවා ගනිමින් අඛන්ඩව වසර 6ක් ෆෝක්ස්හිල් යතුරුපැදි ශූරතාව තමන් සතුකර ගැනිමට සමත් විය. අඛන්ඩව 6 වතාවක් දිනාගත් ශූරතාවයේ වාර්තාව අද දක්වාම කිසිඳු ධාවකයෙකුට බිඳලිය නොහැකි විය. ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් ෆෝක්ස්හිල් ධාවන පථය සිසාරා වර්ණවත් ධාවනයක නිරත වු ආනන්ද දිගු පිමි උස පිමි පනිමින් තම යතුරු පැදිය මනා ලෙස හසුරුවමින් යතුරු පැදි ධාවන තරග රටාවට නව මානයක් එක් කරමින් බොරළු සහිත ධාවන පථයක් තම අණසකට නතුකර ගන්නේ කෙසේද කියා ආධුනිකයන්ට ගුරුවරයෙකු වෙමින් පෑ දක්ෂතාව ඉතාමත් අගනේ ය.
2000 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබා පාබල රෙජිමේන්තුව ප්‍රථම වරට යතුරුපැදි තරගාවලියක් බෝයගනේ විජයබා රෙජිමේන්තු මුලස්ථාන හමුදා කඳවුර භූමියේදී ආරම්භ කළේය. එම තරගාවලියේදී දිනයේ දක්ෂත ම ධාවකයා වෙමින් පළමු වරට පිරිනමන ලද විශාල ම ශූරතා කුසලානය දිනාගැනීමට සමත් වුයේද ආනන්ද වෙඩිසිංහයි. එමෙන්ම කටුකුරුන්ද මෝටර් රථ ධාවන පථයට හොන්ඩා 125 රේසිං ආර්.එස්. යතුරු පැදියක් රැගෙන ආ පළමු ක්‍රීඩකයාද වුයේ ආනන්ද වෙඩිසිංහයි.
2002 දි ෆෝක්ස්හිල් ධාවන පථයේදීම යතුරු පැදි ක්‍රීඩාවෙන් සමුගත් ආනන්ද නැවතත් වසර කිහිපයකට පසු 450 සී.සී. සුපර් මෝටාඩි තරග ඉසව්ව නියෝජනය කරමින් ධාවන පථයට ප්‍රවිෂ්ට වුයේ ය. ඔහුගේ අවසන් මොහොත දක්වාම දසක තුනකට ආසන්න කාලයක් විවිධ යතුරුපැදි ඉසව් නියෝජනය කළ ආනන්ද කුරුණෑගල දිස්ත්‍රික්කය නිජබිම කරගෙන ජිවත් වු ධාවකයෙකි. ජපානයට ගොස් ජපන් මෝටර් රථ අමතර කොටස් එක් රැස් කිරිමේ ව්‍යාපාරයේ නිරතව සිටිමින් ජපානයේ පැවැති යතුරු පැදි තරගාවලි ගණනාවක් නියෝජනය කළේය. එම තරගවල නිරතව සිටිමින් විශේෂයෙන් අප්‍රේල් නිවාඩුවට ෆෝක්ස්හීල් තරගාවලියට එක් වීමට කිසිදා අමතක නොකළේය. ජපානයේ ව්‍යාපාර කටයුතු වල නිරතව සිටියදී තම මවු බිම තුළද ව්‍යාපාරිකයෙකු ලෙස තමන්ගේම ව්‍යාපාරයක් අරඹා සාර්ථක ව්‍යාපාරිකයෙකු දක්වා පැමිණීමට වාසනාව ලද ක්‍රීඩකයෙකි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිහිප විටකදීම යතුරුපැදි ධාවන තරග වලට විදෙස් ගතව ඇති ආනන්ද නිහතමානි චරිතයක් මෙන්ම අවංක චරිතයක් විය. රට දැය වෙනුවෙන් කැපව ක්‍රියා කල චරිතයකි. අනුන්ගේ දුකේදී මෙන්ම සැපේදීත් අවංකවම පෙනී සිටි ක්‍රීඩකයෙකි.
පුතුන් දෙදෙනෙකු හා දියණියන් දෙදෙනෙකු සිටි ආනන්ද තම ආදරණීය බිරිඳ ලෙස තෝරාගෙන තිබුණේ ජපන් ජාතික කාන්තාවකි. ඉතාමත් ආදරබර කදැල්ලක ගෘහ මුලිකයා වු ආනන්දගේ වැඩිමල් පුත් කෙන් වෙඩිසිංහ ද තාත්තා ජිවතුන් අතර සිටියදිම තාත්තාගේ අඩි පාරේ යමින් මෙරට ධාවන පථයට පිවිසියේය. තරගාවලි කිහිපයක් තරග කළ කෙන් පසුව ජපානයට ගොස් ජපානයේ සංවිධානය කරන යතුරුපැදි ධාවන තරග වලට එක් විය.
මෙරටේ පැවැති වර්ගවාදි බෙදුම්වාදි යුද්ධ කාල සිමාවේ රණ විරුවන්ගේ සුබ සාධනය උදෙසා ආරම්භ වු මෝටර් රථ ධාවන තරගාවලියන්ට නැතුවම බැරි වු චරිතයක් වු ආනන්ද වෙඩිසිංහ තමා මෝටර් රථ අමතර කොටස් එකලස් කිරිමේ ව්‍යාපාරයේ නිරතව සිටියදී ජපානයෙන් ලත් නොයෙකුත් ආධාර රණ විරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරිමට නොපමාව වෙහෙසුනි. ඒ ලබා දුන් ඉහළම උපකාර අතර ගිලන් රථ කිහිපයක්ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු කඳවුරට ලබාදුන් මගී ප්‍රවාහන බස් රථයක්ද වෙයි. එමෙන්ම රණ විරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජපානයේද එක් රැස් කරන ලද අධ්‍යාපනික උපකරන ඇඳුම් පැලැදුම් මෙන්ම ඖෂධ උපකරන බොහෝමයක් විවිධ අවස්ථාවලදි බෙදා දුන්නේය.
රණ විරු සුබ සාධනයට වසර ගණනක් කල මෙහෙය හා ගජබා ධාවන තරගාවලියට ලබා දුන් ඔපය හා සහාය අනුස්මරණය උදෙසා වත්මන් යුද්ධ හමුදාපති මාණ්ඩලීක ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ හා මෝටර් රථ ක්‍රීඩාවේ ප්රවිණයන්ගේ සුරතින් විශ්‍රාමික මේජර් ජේනරාල් චාගී ගාල්ලගේ ගේ මුලිකත්වයන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ නිර්මාණය කර ඇති ගජබා ධාවන පථයේ ප්‍රධාන ප්‍රේක්ෂක පිඨිකාව ආනන්ද වෙඩිසිංහ නම් ධාවන ශූරයා වෙනුවෙන් නම් කිරිම 2018 සිදුවිය.
අවසන් වරට 2017 වසරේ නුවරඑළිය මාර්ග ධාවන පථයේදී පැවැති ධාවන තරගාවලියේදි 47 වැනි විය සපුරමින් සිටි ආනන්ද අපෙන් සමුගැනීමේ මොහොතට මුහුණ පෑවේය. 450 සී.සී. සුපර් මෝටාඩ් තරග ඉසව්ව නියෝජනය කරමින් වට 7කින් සමන්විත තරග ඉසව්ව නියෝජනය කරමින් ධාවනයේ යෙදුනු ආනන්ද හා සුරාජ් තරග ආරම්භයේ සිටම තියුණු තරඟයකට මුහුණ දුන්නේය. ආනන්දත් සමඟ කරට කර සිටි අනෙක් ප්‍රතිවාදියා වු සුරාජ් පෙරේරා විටෙක ආනන්ද අභිබවා පෙරමුණට ඒමට සමත් විය. නැවතත් තම යතුරු පැදියේ වේගය වැඩිකර ගත් ආනන්ද සුරාජ්ව පසුකර යෑමට සමත් විය. නැවතත් සුරාජ් ආනන්ද සමග කරට කර සටනක් දෙමින් ධාවනයේ යෙදිමින් සිටි මොහොතේ හයවන වටය අවසන හත්වන වටය ආරම්භයේදී සුරාජ්ගේ යතුරු පැදියේ හැඬලය සමග ගැටෙන ආනන්දගේ යතුරු පැදිය පාලනය කර ගැනීමට දෙදෙනාට ම නොහැකි විය. එසේ නොහැකි විම නිසා අනතුරට භාජනය වන ආනන්ද හා සුරාජ් ධාවන පථයෙන් ඉවතට විසිවී ගියහ. එසේ විසිවී යන ආනන්ද මර්ගය අසල ඇති යකඩ වැටෙහි ගැටී ඇද වැටීම නිසා සිදුවන මාරක තුවාල සහිතව නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමට සිදුවිය. ආනන්දගේ කකුලක් කැඩී බීඳි ගොස් තිබෙන බවට වෛද්‍යවරුන් නිගමනය කිරිම හේතුකොට ගෙන එම රෝහලෙන් මහනුවර මහ රෝහලට රැගෙන යන ආනන්ද වෙඩිසිංහ මහනුවර මහ රෝහලේ දින ගණනාවක්ම සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිට මොලොව හැර ගියේය. එම අනතුරේන් සුරාජ් පෙරේරාගේද දකුණු අතට බරපතල තුවාල සිදුවිය.
එසේ යතුරු පැදි ක්‍රීඩාවට අනූපමේය මෙහෙයක් කළ ආනන්ද ධාවන පථයෙන් 2017 අප්‍රේල් 23 වැනිදා නුවරඑළිය මාර්ග ධාවන තරගාවලිය අනතුරදි සිදු වු අනතුර හේතු කොට ගෙන දින කිහිපයක් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2017 මැයි 29 වැනි දා සදහට ම මතකය පමණක් ඉතිරිකර සමුගත්තේ ය.
ආනන්ද වෙඩිසිංහ යනු යතුරුපැදි ධාවන පථයේ සිටිය යුතුම තරගකරුවෙක්. ඒ වගේ ම ශූර ධාවකයෙක්. මම ආනන්ද සමඟ තරග වැදුණු අවධිය අදටත් මට සිහි වෙනවා. ආනන්ද මට පෙර සිටි ශූරයායි. මම ආනන්ද හය වතාවක් හිමිකරගත් ශූරතාව ආනන්දගෙන් පසු ලබා ගත් ක්‍රීඩකයායි. ඇත්තෙන්ම ආනන්ද ධාවන පථයේ ඉන්න කොට කිසිම පාළුවක් නෑ, විහිළු තහළු කරගන තමයි ඉන්නේ හැමෝම එක්ක එකමුතුයි. මට කලින් මෝටර් රථ ශූරයා ආනන්ද මම ඔහු දිහා බලලා ඔහු ක්‍රීඩා කරන රටාව දැකලා ගුරුහරුකම් අරගෙන තියෙනවා. මම අවුරුදු 4 – 5 කාලයේදී තාත්තාගේ අතේ එල්ලිලා ඔහු ක්‍රීඩා කරන ආකාරය නරඹලා තියෙනව. ඒ කාලේ ඉදන්ම මම ආනන්ද වෙඩිසිංහ කියන ධාවන ශූරයාව දන්නවා. ආනන්දගේ වියෝව අද ද අපේ රේසිං ප්‍රජාවටම වු ලොකු පාඩුවක්. මම රේස් ගොඩක් ආනන්ද සමග තරග කරලත් තියෙනවා යනුවෙන් ආනන්දගේ පස්වන ගුණානුස්මරණය ගැන සිහිකරන ආනන්දගෙන් පසු ෆෝක්ස්හිල් යතුරුපැදි ශූරතාව හය වතාවක් දිනා ගත් යතුරුපැදි ජාතික ශූර ගයාන් සඳරුවන් පවසයි.