එල්. වී. ජයවීර අනුස්මරණ බාලිකා බොක්සිං තරගාවලිය රත්නපුර, නිවිතිගල දෑල රාජකීය විද්‍යාලයේ දී අවසන් වූයේ එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් හඟුරන්කෙත, පොරමඬුල්ල ජාතික පාසලේ ඉමාෂා ගිම්හානි රත්නායක නම් කෙරෙමිනි.
14 වැනි වියේ පසුවෙන ඉමාෂා තමන් සහභාගී වූ පළමු තරගාවලියේ දී ම මෙවන් දක්ෂතාවක් දිනා ගැනීම පැසසුම් කළ යුතුය. මේ ඒ වෙනුවෙන් ‘ක්‍රීඩා’ ඇය සමඟ කළ කෙටි පිළිසඳරකි.
“ලැබුණ ජයග්‍රහණය ගැන ගොඩාක් සතුටුයි. මීට කලින් බොක්සිං තරගාවලියකට සහභාගී වී නොතිබුණ නිසා ගොඩාක් ආසාවෙන් සහභාගී වුණේ. ජයග්‍රහණය කරයි කියන බලාපොරොත්තුවට වඩා, ආසාවක් තමයි තිබුණෙ. ඒත් තරගයකට දෙකකට සහභාගී වෙද්දී පදක්කමකට යන්න පුළුවන් වෙයි කියන හැඟීම ආවා.” ඉමාෂා රත්නායක තම ජයග්‍රහණය සම්බන්ධයෙන් පැවැසුවා ය.
ඉමාෂා බොක්සිං පිටියට පිවිස මේ ගෙවි යන්නේ යන්තම් වසරකුත් අඩ කාලයකි.
“ඉමාෂා තමයි තරගාවලියේ බොක්සිං තාක්ෂණ න්‍යායන් නියමාකාරයෙන් ම පිළිපැඳපු කෙනා සහ ක්‍රීඩාවේ තාක්ෂණය මත සිටිමින් ක්‍රීඩාවේ සිටිය කෙනා. මාස කිහිපයකින් බොක්සිං ක්‍රීඩාවේ හැම ටෙක්නික් එකක් ම අල්ල ගන්න බැහැ. නමුත් ඇය මේ ක්‍රීඩාවේ ගොඩාක් ඉදිරියෙන් ම සිටියා. පුහුණුවීම්වල දී පවා හොඳ ශරීර ශක්තියකින් සහ උනන්දුවකින් යුතුව ක්‍රීඩාවේ නිරත වුණා. ඇය තවමත් කුඩා අවදියේ සිටින ක්‍රීඩිකාවක්. රටට හොඳ සම්පතක්.” ඉමාෂාගේ බොක්සිං පුහුණුකරු ජමිත ගයාන් බණ්ඩාර ‘ක්‍රීඩා’ සමග එකතු වෙමින් පැවැසුවේ ය.
දශක දෙකකට අධික කාලයක් බොක්සිං ක්‍රීඩාවේ පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරන ජමිත බණ්ඩාර, මේ වන විට ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ ලේකම්වරයා ලෙසින් ද කටයුතු කරන්නේ ය.
සංවිධානය වූ ආසන්නත ම එල්. වී. ජයවීර අනුස්මරණ බාලිකා බොක්සිං තරගාවලි ත්‍රිත්වයේ ම ශූරතාව දිනා ගන්නේ ජමිත බණ්ඩාරගේ පුහුණුකාරීත්වයෙන් යුත් කණ්ඩායම් වීම විශේෂ වේ.
2014 සහ 2015 වසර ද්විත්වයේ දී හඟුරන්කෙත, පල්ලෙබෝවල ජාතික පාසල එහි ශූරතාවන් දිනා ගන්නා ලද අතර ඊට පසුව වසර කිහිපයක ඇවෑමෙන් පැවැති මෙම තරගාවලියේ ශූරතාව පොරමඬුල්ල ජතික පාසල දිනා ගැනීමට සමත් වන්නේ ය. මේ පාසල් ද්විත්වයේ ම පුහුණුකරු වූයේ ජමිත බණ්ඩාර ය.
“කාලෙකට පසු බොක්සිං පිටියට එක් වූ හොඳ අනාගතයක් තියෙන කෙනෙක් ලෙස ඉමාෂා හඳුන්වන්න පුළුවන්. ඇයට තවත් අවුරුදු 4-5ක් පාසල් ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන්.
එවැනි පාසල් ක්‍රීඩිකාවන් අද අඩුයි. පුහුණුකරු ලෙසත් සහ පාසල් සංගමයේ ලේකම් ලෙසිනුත් මම බලාපොරොත්තු වෙනවා ඉමාෂා දිගින් දිගට ම බොක්සිං පිටියේ රැදී සිටියි කියලා. එහෙම පවසන්නේ බොහෝ දෙනෙක් මෙවන් සම්මානයක් ලබා ගත් පසු ක්‍රීඩාවෙන් ඉබේ ම ලිස්සල යනවා. ඒ වගේ මෙයත් පදක්කම අරගෙන ගෙදර හිටියොත් ඒක ශ්‍රී ලංකා බොක්සිං ක්ෂේත්රයට වන බලවත් පාඩුවක්.
ඇය ව මේ සම්මානයට සුදුසුයි කියල තෝරා ගත් අයගෙත් බලාපොරොත්තුව වෙන්නට ඇත්තේ ඇය තව දුරටත් මේ ක්‍රීඩාවේ යෙදී සිටිනු ඇත කියන එකයි. දෙමාපියන් සේ ම පාසල් ප්‍රජාව ද ඇයට උදව් කරමින් රටට හොඳ බොක්සිං ක්‍රීඩිකාවක් බිහි කිරීමට උදව් කළ යුතුයි. පුහුණුකරු ලෙසින් මම ඒ වෙනුවෙන් කැප වී සිටිනවා.” ජමිත බණ්ඩාර වැඩි දුරටත් පැවැසුවේ ය.
ඉමාෂාගේ ඇඟේ බොක්සිං ලේ දුවන්නේ මව් කුසේ දී ඇය කළලයක් ව වැඩෙද්දීම ය. ඇයගේ පියා ශ්‍රී ලංකා පොලිස් බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකි. නමින් මහින්ද රත්නායක වන ඔහු මේ වෙද්දී කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ සේවයේ නිරත වෙන අතර බොක්සිං ක්‍රීඩාවෙන් නම් මේ වෙද්දී ඉවත් ව සිටීයි.
“මම අප්පච්චි බොක්සිං ක්‍රීඩා කරනවා දැකල නැහැ. නමුත් යාළුවොත් එක්ක ඒ ගැන කතා කරනවා අහල තියෙනවා. අප්පච්චිගෙ බොක්සිං ග්ලවුස් දැකල තියෙනවා. ඒවා කුඩා කාලෙ සෙල්ලම් කරන්න අරගෙන තියෙනවා. ඒ දේවල්වලට වඩා අප්පච්චි දිනූ පදක්කම් සහ ජයග්‍රහණ ගැන පළවූ පත්තර පිටු දකිද්දී, බොක්සිං ගහන අප්පච්චිගේ ෆොටෝ දකිද්දී, අප්පච්චි වගේ වෙන්න ඕන කියන ආසාවක් ඇති වුණා.” ඉමාෂා පැවැසුවා ය.
ඒ ආසාවට තටු එන්නේ කාලයක් තිස්සේ අතහැර දා තිබූ පොරමඬුල්ල විද්‍යාලයේ බොක්සිං ක්‍රීඩාව නැවත ආරම්භ කළ පසුව ය. කිසි කෙනෙක්ගේ අවසරයක් නොමැතිව ඉමාෂා තමන් බොක්සිං ක්‍රීඩාවේ නිරත වෙන බවට පාසලට නම දුන්නා ය. නමුත් ආරම්භයේ දී ඒ වෙනුවෙන් ඇයට ඉඩක් ලැබෙන්නේ නැත.
“අම්මත් අප්පච්චිත් කැමැති වුණේ නැහැ මම බොක්සිං ගහන්න යනවට. ඒත් මගේ ආසාව තිබුණෙ ම ඒකට. ඒත් දවසක් දෙකක් විතර මගේ බල කිරීමට පුහුණුවීම්වලට යැවුවා. ඊට පස්සේ ඉබේ ම ගෙදරින් තිබුණ අකමැත්තත් නැති වුණා. අප්පච්චි ගොඩාක් උදව් කළා. අම්ම තමයි පිටු පස්සෙන් සිටියේ.”
පොලීසියේ බොක්සිං ගහපු මහින්ද රත්නායක ගේ ලොකු කෙල්ල රටක් වටින කෙනෙක් බවට පත් වෙන්නේ ඒ ආ ගමනේ දී ය.
රිකිල්ලගස්කඩ ගමේ සිටින සැමට වගේ ම පොරමඬුල්ල ජාතික පාසලේ 9 පංතියේ ඉගෙනුම ලබන ඉමාෂාට අප්පච්චිට වඩා වැඩි වටිනාකමක් බොක්සිං ක්‍රීඩාවෙන් ලැබෙන්නේ ය. අම්මා නිලන්ති රත්නායක සහ ඉමාෂාගේ බාල සහෝදරයන් දෙදෙනා ද මේ ලැබූ ජයග්‍රහණය පිටුපස සිටිමින් සතුටුවන්නන් අතර පෙරමුණෙන් ම පසු වෙති.
“අප්පච්චි තරුණ කාලෙදිමයි බොක්සිං නතර කරල තියෙන්නේ. මගේ නම් ආසාව පුළුවන් තරම් කාලයක් බොක්සිං ක්‍රීඩිකාවක් ලෙස රැදී ඉන්න. දැන් නම් ගෙදරින් බොක්සිං ක්‍රීඩාව කරනවට කවදාවත් මොනවත් ම කියන්නේ නැහැ.
ඒත් ඉතිං පාසල් වැඩ අතපසු වුණොත් තමයි බැනුම් අහන්නේ. ක්‍රීඩාව කරන ගමන් ම අනාගතේ දවසක පරිගණක ඉංජිනේරුවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මෙතෙක් ආ ගමනට මගේ ගෙදරින්, පුහුණුකරු ජමිත සර් සහ පාසලේ සියලුම දෙනාගෙන ලැබෙන සහයෝගයට ස්තූතිවන්ත වෙනවා.” ඉමාෂා පැවැසුවා ය.
බොක්සිං ලොවේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙන ඉමාෂා රත්නායකට ‘ක්‍රීඩා’ වෙතින් සුබ පැතුම් එක් කරමු.