වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ටෙනිස් ශූරතාවලියන් සතරක් ඇත. ඒ ඕස්ට්‍රේලියානු විවෘත, ප්රංස විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘත ශූරතාවලියන් ය. මෙම ශූරතාවලි හැඳින්වෙන්නේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා නමින් ය. ටෙනිස් ක්‍රීඩාවේ නිරත ලොව ඕනෑම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකගේ එකම අරමුණ වන්නේ මෙහිදී ශූරතාව හිමිකර ගැනීමයි. එය කේවල හෙවත් තනි ශූරතාව නම් එහි අගය තවත් වැඩිය.
සුපුරුදු පරිදි වසරේ දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන්නේ ප්රංස විවෘත තරගාවලියයි. මේ වසරේ ශූරතාවලිය ගිය සති අන්තයේ එනම් මැයි මස 22 වැනි දා ඇරැඹිණි. එය නිමා වන්නේ ලබන ජූනි මස 05 වැනිදාය. මෙවර පැවැත්වෙන්නේ 126 වැනි ප්රංස ශූරතාවලියයි.
සාමාන්‍යයෙන් ප්‍රධාන ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලියක් ඇරඹෙන විට ශූරතාව හිමි කර ගනු ඇති බවට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු වෙති. ඒ අනුව ඉදිරියෙන්ම සිටියේ පෝලන්තයේ ඉගා ස්වියාටෙක්ය.
ඇය තවමත් 20 හැවිරිදි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකාවකි. එසේ නම මෙවර ප්රංස විවෘත ශූරිය වීම කෙරෙහි ඇය වෙතට අවධානය යොමු වීමට විශේෂත්වයක් තිබිය යුතුය. එය එසේමය.ඊට හේතු දෙකක් බලපා ඇත.
එනම් මේ වන විට ලොව අංක 01 ක්‍රීඩිකාව වන්නේ ඇයයි. එමෙන්ම 2020 වසරේ ප්රංස විවෘත කේවල ශූරිය වූයේත් ඇයමයි.වෘත්තීමය කාන්තා ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රධානතම සංගමයක් වේ. ඒ කාන්තා ටෙනිස් සංගමය හෙවත් ඩබ්.ටී.ඒ.වේ. එහි නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉගා ස්වියාටෙක් හට මුල් ස්ථානය හිමි ය. මෙහි තවත් විශේෂත්වයක් ඇත. එනම් ලොව හොඳම ටෙනිස් ක්‍රීඩිකාවන් 10 අතර සිටින ළාබාලතම ක්‍රීඩිකාවත් ඉගා වීමයි.
මෙම වසර ඇරැඹෙන විට ලොව අංක 01 ක්‍රීඩිකාව වූයේ ඔස්ට්‍රේලියාවේ ඈෂ් බාර්ටි ය. එසේ වූවත් අනපේක්ෂිත ලෙසට ඇය ක්‍රීඩාවෙන් සමු ගත්තා ය. ඒ නිසාම ඉගා හට අභියෝගයකින් තොරව වත්මන දී ලොව විශිෂ්ට ම ටෙනිස් ක්‍රීඩිකාව බවට පත් වුවාය.එසේ වීමට ඇය දැක්වූ දක්ෂතා ද බලපෑවේ ය.
ගත වූ මාස කිහිපය තුළදී ඉගා සහභාගී වූ තරගාවලි පහක්ම පිට පිට ජය ගැනීමටත් ඕ සමත් වූවා ය. එහිදී ඈ ජය ගත් තරග ගණන 28 කි.
ඇය අවසන් වරට සහභාගි වූයේ ඉතාලි විවෘත තරගාවලියටයි. එහිදීත් ශූරතාව හිමිකර ගැනීමට සමත් වූයේ ටියුනීසියාවේ ඕනස් යාබියුර් පරාජය කරමින් ය. ඕනස් මේ වන විට ලොව හොඳම ක්‍රීඩිකාවන් 10 අතර සිටින්නී ය. ගිය වසරේත් මෙහි ශූරතාව හිමි කර ගත්තේ ඉගා ය. “මට හරිම සතුටුයි. මෙවරත් ශූරතාව හිමි කර ගැනීමට හැකි වීම ගැන.
එයින් පැහැදිලි වන්නේ මම දස්කම් අතර සිටින බවයි” ඉගා පැවසුවා ය.
ඉගා නටාලියා ස්වියාටෙක් උපත ලැබුවේ 2001 වසරේ මැයි 31 වැනිදාය. ඒ පෝලන්තයේ අගනුවර මෙන්ම විශාලතම නගරය වන වෝර්සෝ නුවරදීය. දකුණතින් ඇය ක්‍රීඩා කරන්නීය. ඇයගේ උස අඩි 5 අඟල් 9 කි. වෘත්තීමය වශයෙන් ක්‍රීඩා කරන්නේ 2016 වසරේ සිටය. මේ වන විට කේවල ශූරතා 08ක් ඈ සතු ය.
ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ඉහළ ම දක්ෂතාව 2020 ප්රංස විවෘත ශූරතාවලියයි. කාන්තා යුගල තරගවල දී නම් 2021 ප්රංස විවෘත අනුශූරතාවයයි.
මීට අමතරව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී 2018 වසරේ රන් පදක්කම්ලාභිණියක් වේ. 2020 වසරේ දී ඇයට සුවිශේෂී සම්මාන ද්විත්වයක්ම හිමි කර ගත්තා ය. ඒ දක්ෂතාවයෙන් වඩාත් වර්ධිතම ක්‍රීඩිකාවයි. එමෙන්ම ඩබ්.ටී.ඒ.ක්‍රීඩා ලෝලීන්ගේ ජනප්‍රිය ම ක්‍රීඩිකාවට හිමි සම්මානයයි.
මේ බොහෝ දේවලට ඉවහල් වූයේ 2020 ප්රංස විවෘත කේවල ශූරතාවය ඉගා විසින් හිමිකර ගැනීමයි. එහිදී ඇය වෙතින් අවසන් තරගයේදී පරාජය වූයේ ඇමෙරිකාවේ සොෆියා කෙනින්ය. ඇය එම වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ශූරිය වූවා ය.
එම ප්රංස විවෘත ජයග්‍රහණයේ දී සිව්වන වටයේ දී ඉගා වෙතින් පරාජය වූයේ සුපිරිතම ක්‍රීඩිකාවක් වන රුමේනියාවේ සිමෝනා හාලෙප් ය. ඇය ලොව අංක 01 ක්‍රීඩිකාවකි. එමෙන්ම එවකට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ද්විත්ව ශූරියකුත් වූවාය.
එම ප්රංස විවෘත ශූරතාවලි ජය ඉගා හට වාර්තාගත වීමට ඉවහල් වූවාය. ඒ අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා ජයක් හිමිකරගත් ප්‍රථම පෝලන්ත ජාතිකයා වූයේත් ඉගාය.
මීට පෙර අනුශූරතා දෙකක් ඔවුනට හිමි වී තිබිණි. ඒ 1939 වසරේ දී යාඩ්විගා යෙඩ්ර්සෙයොව්ස්කා (ප්රංස විවෘත) සහ 2012 වසරේ දී ඇග්නියිස්කා රැඩ්වන්ස්කා(විම්බල්ඩන්)ලෙසිනි.
එමෙන්ම සිය ප්‍රථම ඩබ්. ටී. එන්. කේවල ශූරතාව ලෙසට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හිමිකරගත් දුලබ ශූරියන් අතරටත් ඉගා එක් වූවාය. ඇය එවර ශූරතාව හිමි කර ගත්තේ ශ්‍රේණිගත කිරීම්වලදී අංක 54 ක්‍රීඩිකාව වශයෙනි.එයත් වාර්තාවකි.
තවද වසර 18 කට පසුව ප්රංස විවෘත කේවල කාන්තා ශූරතාව හිමිකර ගත් ලාබාලතම ශූරිය වූයේත් ඉගාමයි. එවිට ඇයගේ වයස අවුරුදු 19 මාස 04 කි. එහි වාර්තාව 1992 ශූරිය වූ යුගොස්ලාවියාවේ මොනිකා සෙලස් සතුය.
මීට අමතරව වසර 16 කට පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් කාන්තා කේවල ශූරතාව හිමිකර ගත් ළාබාල ම ක්‍රීඩිකාව බවටත් ඉගා පත් වූවාය. එහි වාර්තාව රුසියාවේ මරියා ෂරාපෝවා සතුය. 2004 විම්බල්ඩන් ශූරිය වන විට මරියාගේ වයස අවුරුදු 17 ක් පමණි.
ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩාවේ දී ලොව අංක 1 වූ ප්‍රථම සහ එකම පෝලන්ත ජාතිකයාත් ඉගා වේ. මීට ක්‍රීඩක මෙන්ම ක්‍රීඩිකාවන් ද අයත් ය.
ඉගා ස්වියාටෙක් මේ වන විට ජාත්‍යන්තරව විශිෂ්ට ක්‍රීඩිකාවක් බවට පත් වීම ගැන පුදුමයට පත් විය යුතු නැත. ඒ ඇය ක්‍රීඩා පවුලක සාමාජිකාවක් වන බැවිනි. ඇගේ පියා තොමාස්ය. හෙතෙම 1988 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූයේ ඔරු පැදීමේ ක්රීඩාවෙනි. මව ඩොරොටා දන්ත වෛද්‍ය සේවයට සම්බන්ධ රැකියාවක් කරන්නී ය.
ඉගාගේ වැඩිමහල් සොහොයුරිය අගාටාය. ඇය කලක් ටෙනිස් ක්‍රීඩිකාවකි. වත්මන දී දන්ත වෛද්‍ය සිසුවියකි. ඉගා ටෙනිස් ක්‍රීඩාවට යොමු වූයේත් අගාටා නිසාවෙනි. කෙසේ හෝ ඔවුනගේ පියා නිතරම සිය දූවරුන්ව ක්‍රීඩාව වෙතටම යොමු කළේය.
ටෙනිස් ක්‍රීඩාවෙන් ඉගා හට ජාත්‍යන්තරය ජය ගත හැකි බවට මුලින්ම සනාථ වූයේ 2018 වසරේදීය. එහිදී ප්රංස විවෘත බාලිකා යුගල සහ විම්බල්ඩන් බාලිකා කේවල ශූරතා ඉගා හිමිකර ගැනීමට සමත් වුවා ය.
පසුව තවත් දෙවසරක් ගත වන විට ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරියක් බවට ඇය පත් වූවාය.
දැන් සෙසු ක්‍රීඩිකාවන් හට අභියෝගයක් තිබේ. එනම් ඉගා ඉදිරියේ තරග ජය ගැනීමයි. එමෙන්ම ඉගා හටත් එම අභියෝගයම තිබේ. එනම් තව තවත් ශූරතා හිමි කර ගනිමින් සිය ජයග්‍රාහී ගමන ඉදිරියට ම යෑමයි.