‘ඇම්ම’ ගැම්මක් කරගෙන අරවින්ද අබිබවා ගිය මොරටු පුත්‍රයා නිශාන් මධුෂ්ක | Page 2 | සිළුමිණ

‘ඇම්ම’ ගැම්මක් කරගෙන අරවින්ද අබිබවා ගිය මොරටු පුත්‍රයා නිශාන් මධුෂ්ක

එංගලන්තයේ දී පළමු පෙළ තරගයක ඉනිමක දී ලාංකේය පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීමට 22 හැවිරිදි නිශාන් මධුශ්ක සමත් වූයේ ය. ඒ මේ දිනවල එංගලන්ත සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැති පළමු තරගයේ දී නිශාන් පන්දු 496කට මුහුණ දෙමින් හතරේ පහර 37ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 269ක් ලබා ගැනීමත් සමඟිනි. 

එතෙක් මේ වාර්තාවේ හිමිකාරීත්වය රැදී තිබුණේ ශ්‍රී ලාංකීය සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා සතුව ය. 1995 වසරේ දී කෙන්ට් කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක් වූ අරවින්ද නොටිංහැම්ෂයර් කණ්ඩායමට එරෙහිව ලකුණු 255ක් රැස් කරමින් එකී වාර්තාවට හිමිකම් කීවේ ය.

මෙම වාර්තාවට අමතර ව නිශාන් මධුශ්ක සහ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 294ක සබඳතාව එංගලන්තයට එරෙහිව ඕනෑම කඩුල්ලක් සඳහා හොඳම සබඳතාව බවට ද පත් වූයේ ය. ඊට පෙර එම වාර්තාවට හිමි කම් කීවේ අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය එක්ව ලබා තිබු ලකුණු 243 යි.

“මේ ඉනිම අපි හැමෝම බලාපොරොත්තු වූ ඉනිමක්. නිශාන්ටත් ලොකු අවශ්‍යතාවක් තිබුණා දීර්ඝ ඉනිමකට යන්න. ඒ අවශ්‍යතාවේ ගමන තමයි මේ. පිතිකරුවෙක් සතු විය යුතු ඉවසීම සහ පන්දු තෝරා බේරාගෙන මුහුණ දීම ගැන හොඳ අවබෝධයක් නිශාන්ට තිබෙනවා. අනිත් එක කඩුලු රකින්නෙක් වීමත් නිශාන්ට දක්ෂ පිතිකරුවෙක් වීමට විශාල පිටිවහලක් වෙනවා. මේ සංචාරයට එක් වෙන්න කලින් අපේ ආදි ශිෂ්‍යයන් සහ නිශාන් අතර සාකච්ඡාවක් පැවැතියා. එහි දී මම කිව්වේ පිතිකරුවෙක් ලෙසින් පිටියට ආව ම පැයක් ඉවසන්න කියලා. මොකද මම දන්නවා ඒ පැය ඇතුළට ඔහුට ලකුණු 30ක වගේ සීමාවකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ලකුණු 50කට යෑම ඔහුගෙන් මඟ හැරෙන්නෙ නෑ. හැබැයි මම කිව්වේ මට 50 වැඩක් නැහැ, අවශ්‍ය වෙන්නේ කාටත් මතක හිටින දීර්ඝ ඉනිමකට යන එක කියලයි. නිශාන්ගේ මේ ඉනිම ගැන පුහුණුකරුවෙක් ලෙසින් මම ඉතා නිහතමානි සතුටක් විඳිනවා.” නිශාන්ගේ ක්‍රිකට් පුහුණුකරු, මොරටු විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ප්‍රසන්න දිසානායක ‘ක්‍රීඩා’ වෙනුවෙන් හඬ අවදි කළේ එසේ ය.

නිශාන් පළමු වරට පාසල් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරන්නේ 2012 වසරේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමට ය. ඊළඟ වසරේ දී ම එම වයස් කාණ්ඩයේ කණ්ඩායමේ නායකත්වය පත් වීමට තරම් නිශාන්ගේ දක්ෂතා ඉහළ තත්ත්වයේ වූයේ ය. එතැන් සිට නිශාන් පාසල් ක්‍රිකට් තරග සමය නිමා කරන්නේ සෑම වයස් කාණ්ඩයකම මොරටු විද්‍යාලයේ නායකත්වයේ වගකීම ඉටු කරමිනි.

“නිශාන් මට හමුවෙන්නෙ පාසලේ විවේක කාලයේ සෙල්ලම් කරමින් සිටිද්දී. දවස් දෙක තුනක් මම ඔහුව නිරීක්ෂණය කරමින් සිටියා. ඒ අතර දවසක් ඔහු ක්‍රිකට් පුහුණුවීමට ආවා. මේ පැමිණීම ඔහුට දිගු ගමනක් යන්නට හැකි ක්‍රීඩකයෙක් බවට මට ඉඟි පැවසුවා. මොකද ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු වීමට දැඩි වුවමනාවක් තිබුණා. ඒ වගේම ඔහු දැඩි කැපවීමකින් ක්‍රීඩාවේ නියුතු වුණා.” දිසානායක නිශාන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිහිපත් කළේ ය.

නිශාන් ගේ කුඩා කළ, ක්‍රිකට් ක්‍රීඩාව ගෙවී යන්නේ උනන්දුවත් වුවමනාවත් මත ය. තැනක දෙතැනක යම් යම් දක්ෂතා දැක්වූව ද එය කණ්ඩායමේ රැඳී සිටීමට පමණක් ප්‍රමාණවත් වූවක් පමණි.

එසේ වැඩි කතා බහට ලක් නොවූ නිශාන් අළු ගසා දමා නැගිටින්නේ වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ අවසන් වසරේ දී ය. ඒ 2017 වසරයි. එම වසරේ වයස අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරන නිශාන් එම තරග සමයේ දී ලකුණු දහසක් වාර්තා කිරීමට සමත් වන්නේ ය. එම වසරේ සන්ඩේ ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම පාසල් පිතිකරු ලෙසින් සම්මානය දිනා ගැනීමට ද නිශාන් සමත් වෙන්නේ ය.

ඉන් නොනැවතෙන නිශාන් ඊට පසු වසරේ මොරටු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය ද සමඟින් පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු දහසක් ලබා ගැනීමට සමත් වෙන්නේ ය. ඒ අනුව පිට පිට වසර දෙකක දී ලකුණු දහසක් ඉක්මවූ අතළොස්සක් වූ පාසල් පිතිකරුවන් අතරට පත් වීමට ද ඔහු සමත් වූයේ ය.

මේ දක්ෂතා හේතුවෙන් නිශාන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එකතු වීමට වරම් ලැබ ගන්නේ ය. ඒ අනුව බංග්ලාදේශ සංචාරය සහ ඉන්දීය සංචාරය ඇතුළු සංචාර කිහිපයකට ම ඔහු වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙන්නේ ය. 

2018 වසරේ නවසීලන්තයේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලිය නිශාන්ගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයි. එහි තරග 3කට ක්‍රීඩා කරන නිශාන් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 170ක් ලබා ගැනීමට සමත් වන්නේ ය. එම ඉනිම්වල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 85.00ක් ලෙසින් පවත්වාගෙන යෑමට සමත් වෙන ඔහු ඒ ආශ්‍රයෙන් සැදුම්ලත් පිතිකරු ලැයිස්තුවේ පළමු වැනියා වීමට ද සමත් වූයේ ය.

නිශාන්ගේ ඉනිම් අතර තමන්ට හිමි වූ පළමු තරගය වූ කෙන්යාවට එරෙහි තරගයේ දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබා ගැනීමටත් සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගැනීමත් දැක් විය හැකිය. එම ශතකයත් සමඟින් නිශාන්, යොවුන් ලෝක කුසලාන තරගවල ශතක වාර්තා කළ අතළොස්සක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරට පිවිසීමට ද සමත් වූයේ ය. එම ශතක ඉනිමේ තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ද නිශාන් ය.

අනතුරුව නිශාන් වයස අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායම මෙරට පැමිණි අවස්ථාවක සත්කාරක කණ්ඩායම නියෝජනය කිරීමට අමතරව පළමු වරට පැවති නැගී එන කණ්ඩායම් අතර පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගැනීමට ඔහු සමත් වන්නේ ය. එමෙන් ම ඊට අමතර ව 2019 වසරේ දී බංග්ලාදේශයේ දී පැවැති දකුණු ආසියානු තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරිමට ද නිශාන් සමත් වූ අතර එහි රිදී පදක්කමක් හිමි විය.

නිශාන් පාසල් පිටියේ සිටිද්දී ම පළමු පෙළ තරගවලට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ලබා ගන්නේ ය. ඒ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා එක් ව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට එක් වෙමිනි. තමන් සහභාගී වූ පළමු තරගාවලියේ දී ම ඉනිම 3කට ක්‍රීඩා කරන නිශාන් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 114ක් ලබා ගන්නේ ය.

 ජගත් ප්‍රේමචන්ද්‍ර

Comments