ජය සොයා දෙපිල ම වැඩ අල්ලති | සිළුමිණ

ජය සොයා දෙපිල ම වැඩ අල්ලති

දා ඇතැමුන් බංගලිදේශයට හෙවත් බංග්ලාදේශයට ගියේ බංගලි වළලු ගෙන ඒමටයි. මෙදා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම බංග්ලාදේශයට ගොස් සිටියි. එහෙත් ඒ බංගලි වළලු ගෙන ඒමට නම් නොවේ. ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවක් ජය ගැනීමටයි. එමඟින් ලෝක ටෙස්ට් ක්‍රිකට් කිරුළ අවැසි ලකුණු රැස්කර ගැනීමටත්ය.

මෙම ටෙස්ට් තරගමාලාවට තරග දෙකක් ඇතුළත්ය. මින් පළමු තරගය මැයි 15 සිට 19 දක්වා චැටොග්‍රාම් (චිතගොං)හි ෂාහූර් අහ්මඩ් චවුද්රි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. දෙවන තරගය මැයි 23 සිට 27 දක්වා මිර්පූර් (ඩකා) නුවර ශියර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් දෙවැනි වරට සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 2021-2023 වසර වලට අදාළවය. ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගමාලාවත් එයට අයත් ය.

මෙම ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව මේ වන විට හිමි කර ගෙන තිබෙන්නේ 05 වැනි ස්ථානයයි. බංග්ලාදේශයට 08 වැනි ස්ථානය හිමි ය. මෙම දෙරටම මෙවර තරගමාලාවට සහභාගි වන්නේ අවසන් වරට තරග කළ තරගමාලාවන්හි දි ලත් පරාජයේ අමිහිරි මතකයන් සමඟින් ය.

ශ්‍රී ලංකාව මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී සහභාගි වූ ප්‍රථම තරගමාලාව ජය ගත්තේ ය. ඒ තරග 2 - 0 ක් ලෙසිනි. ප්‍රතිවාදීන් වූයේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් ය. මෙම තරගමාලාව ඉකුත් වසරේ නොවැම්බර් මස දී පැවැත්විණි. ඊළඟ තරගමාලාව මේ වසරේ මාර්තු මසදී පැවැත්වූයේ ඉන්දියාවේදී ය. එය ඉන්දියාව 2 - 0 ක් වශයෙන් ජය ගත්තේ ය.

බංග්ලාදේශය මේ වසර මුලදී නවසීලන්ත සංචාරයක නිරත වූයේය. එහිදී ඔවුහු කිවියන් හමුවේ ඓතිහාසික ටෙස්ට් තරග ජයක් ලැබූහ. කෙසේ වෙතත් එම තරගමාලාව නිමාවට පත් වූයේ 1 - 1 ක් වශයෙනි. පසුව ඔවුන් දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත විය. එහිදී 2 - 0 ක් ලෙසින් පරාජයට පත් වූයේය.

එහි දී ඇති විශේෂත්වය වූයේ බංග්ලාදේශ පිතිකරුවන් දුර්වල වූයේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් ඉදිරියේ නොවීමයි. දඟ පන්දු යවන්නන් ඉදිරියේදී ඔවුන් අසාර්ථක වීමයි. “අපි දඟ පන්දු යවන්නන් ඉදිරියේ පුදුම විදිහට අසාර්ථක වුණා”. පරාජයෙන් පසුව නායක මොමිනුල් හක් පැවැසුවේ ය.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දී විශාල පරතරයක් තිබිණි. එය අහසට පොළොව මෙන් ය. එසේ වූවත් එක්දින සහ විස්සයි විස්ස තරගවලදී ඒ පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගත්තේ ය.

නමුත් ටෙස්ට් තරගවලදී නම් තවමත් එම පරතරය පවතියි. දෙරට ටෙස්ට් තරගවලදී හමුවන්නේ 2001-2002 වසරේ සිටයි. මෙවර තරඟාවලිය ඇරඹෙන විට පවත්වා තිබෙන මුළු තරග ගණන 22 කි. එහිදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 17 කි. පරාජයන් එකකි. ජය පැරදුමක් නැති තරග 04 කි. බංග්ලාදේශය ඔවුන්ගේ එකම ජය ලැබුවේ 2017 වසරේදී ය. ඒ ශ්‍රී ලංකාවේ දී ය.

දැන් මේ කණ්ඩායම් දෙකටම අභියෝගයක් පවතියි. එනම් බංග්ලාදේශයේ දී ශ්‍රී ලංකාව සතු අපරාජිත බව තවදුරටත් රැක ගැනීමයි. එමෙන්ම සත්කාරකයින් ලෙසට සංචාරකයින් හමුවේ ජයග්‍රහණ අත්කර ගැනීමයි.

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනාගත් තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එක් කර තිබේ.නම් කරන ලද මූලික සංචිතයට මැද පෙළ පිතිකරුවකු වන රොෂේන් සිල්වා ඇතුළත් කර තිබුණද මෙම තරග සංචාරය සඳහා සහභාගිවීමට අවස්ථාවක් තමාට නොමැති බව පෙන්වාදීමත් සමඟ, රොෂේන් වෙනුවට කමිඳුගේ නම ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ මහනුවර කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළ කමිඳු එකී තරගාවලියේ තරග 6 කදි ලකුණු 886 ක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය. ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් රැස් කළ කමිඳුගේ ඉනිමක ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය 80.54 ක් ලෙසින් සටහන් විය. මීට අමතරව එම තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනාගත් ඕෂද ප්‍රනාන්දු ද යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ. තරග 6 කදී ලකුණු 721 ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් ඕෂදගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 80.11 ක් ලෙසින් සටහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ඩිල්ෂාන් මධුෂංක, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, කමිල් මිෂාර, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්.

බංග්ලාදේශ කණ්ඩායම

මොමිනුල් හක් (නායක), කාලිඩ් අහ්මඩ්, යසිර් අලි, ලිටන් දාස්, මෙහිඩි හසන් මිරාජ්, නයීම් හසන්, නුරුල් හසන්, ෂකිබ් අල් හසන්, එබාඩොට් හොසෙයින්, මොසැඩෙක් හොසෙයින්, ටමිම් ඉක්බාල්, ෂොහිදුල් ඉස්ලාම්, සොරිෆුල් ඉස්ලාම්, ටයිජුල් ඉස්ලාම්, මහ්මුදුල් හසන් ජෝයි, මුෂ්ෆිකර් රහීම්, රෙජායුර් රහ්මන් රාජා, නජ්මුල් හොසෙයින් ෂැන්ටෝ.

Comments