කාලය උදෑසනයයි. ස්ථානය මෝදර මුතුවැල්ලේ පිහිටි නිවසක් ය. එම නිවසේ සිටිය සුනඛ සුරතලුන් දෙදෙනා නොනවත්වාම බුරන්නට වූහ. නිවැසියන්ට එමඟින් එක් දෙයක් තහවුරු වූයේ ය. එනම් අවිනිශ්චිත දෙයක් සිදුවිය හැකි බවයි. එමෙන්ම ආගන්තුකයන් නිවස ඉදිරිපිට සිටින බවක් ය.
එය එසේම වූයේ ය. නිවසේ ගෘහමූලිකයා වූ මැක්ස්වෙල් ද සිල්වාගේ ප්‍රිය බිරිය ඉදිරි දොර විවෘත කළා ය. එවිට ඇය දුටුවේ නොහඳුන පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුහු ඇයව පසෙකට තල්ලු කළහ. ඒ සැනෙකින්ම නිවෙස තුළට කඩා වැදුණාහ.
මෙම පුද්ගලයින් මැක්ස්වෙල් ඉදිරියට ගියහ. අපි අයුක්තියේ ගොදුරු වූවන් එසේ කීහ. පසුව මැක්ස්වෙල් ගේ අතකට පිහි ප්‍රහාර කිහිපයක්ම එල්ල කළහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔහුගේ ඇඟිලි සතරක්ම තුවාල වීමයි.
පසුව මේ ප්‍රහාරකයන් දෙදෙනා නිවෙසින් පිටතට ගියහ. එහිදී ඔවුන්ගේ ඇස් ගැටුණේ මැක්ස්වෙල් සතුව තිබූ මෝටර් රථයක් වෙතටයි. අනතුරුව එම රථයට ගොඩවූ ඔවුන් පළා ගියහ. පොලීසිය විසින් පසුව කරන ලද පරීක්ෂණ තුළින් අනාවරණය වූයේ මේ ප්‍රහාරකයන් දෙදෙනා එම මෝටර් රථය වෙනත් ස්ථානයක දී අත්හැර දමා තිබූ බවයි.
එමෙන්ම සී.සී.ටී.වී. දර්ශණ පරීක්ෂා කරන විට දී හෙළි වී තිබුණේ ඔවුන් මෝටර් රථය අත හැර දැමීමෙන් පසුව ත්‍රී රෝද රථයක නැගී පළා යෑමයි.
මෙවැනි සිදුවීම් අද සමාජය තුළ ඕනෑ තරම් වාර්තා වේ.මෙයින් තවත් දෙයක් පැහැදිළි ය. එනම් මැක්ස්වෙල්ගේ නිවසට පැමිණි පුද්ගලයින් සොරුන් නොවන බවයි.
පැහැදිළිව ම ඔවුන් පැමිණ සිටියේ පිහි ප්‍රහාරයක් මඟින් මැක්ස්වෙල්ට කිසියම් වූ පණිවිඩයක් ලබා දීමටයි. ඔවුහු එම පණිවිඩය ඔහුට ලබා දෙනු ලැබූහ. මැක්ස්වෙල් ද සිල්වා යනු මෙරට තවත් සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ. හෙතෙම මෙරටේ ප්‍රධානතම ක්‍රීඩා තනතුරක් හිමි ක්‍රීඩා ලොවේ දැවැන්තයෙකි. ඔහු වත්මන ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා ය.
ඔහුට එල්ල වූ මෙම ප්‍රහාරය මඟින් තවත් දෙයක් පැහැදිලිය. එනම් මෙය හුදෙක් පුද්ගලික හේතුවකට වඩා ක්‍රීඩාවට අදාළව වූ සිදුවීමක ප්‍රතිඵලයකට සම්බන්ධ බවකි. එය ඉදිරියේ දී පොලිස් පරීක්ෂණ තුළින් තහවුරු කර ගැනීමට පුළුවනි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මැක්ස්වෙල් මෝදර පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. එහිදී ඔහු පවසා තිබෙන්නේ ඔලිම්පික් කමිටුවේ රාජකාරි කටයුතු කිරීමේ දී තමන් සමග උරණව සිටින ජාතික ක්‍රීඩා සංගම් කිහිපයක ප්‍රධානින් සිද්ධියට සැක කරන බවකි.තමන්ට පිහි ප්‍රහාර එල්ල කර පලා ගිය එක් සැකකරුවෙකු තමන් හඳුනාගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
අදාළ සිදුවීම වන විට නිවසේ සිටිය මැක්ස්වෙල්ගේ බිරිය සහ දියණියගෙන්ද කට උත්තර ලබා ගැනීමට පොලීසිය ක්‍රියා කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව පසුව ඔලිම්පික් ක්ෂේත්රයට නරක දවසක් මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
එමඟින් ප්‍රකාශ කර තිබුණේ සිය පෞද්ගලික නිවසට කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද පිහි පහරදීමකින් ඇඟිලි හතරක් තුවාල වූ සිය මහ ලේකම්වරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවය.
වත්මන් ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මාධ්‍යට මෙසේ අදහස් දැක්වීය. “මේ සිදුවීමෙන් මහ ලේකම්වරයා දැඩි කම්පනයට පත්ව තිබෙනවා. පහර දීමට පැමිණි එක් අයෙකු හඳුනාගත් බවට ඔහු පොලීසියට පවසා තිබුණා. ඔහු මේ ගැන සැක කරන්නේ ඔලිම්පික් කමිටුවේ රාජකාරී කටයුතු ඉටු කිරීමේදී ඔහු සමඟ උරණව සිටින ජාතික ක්‍රීඩා සංගම් කිහිපයක ප්‍රධානීන් මේ සිද්ධියට සම්බන්ධ බවයි“. මේ සිදුවීම තුළින් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දී ඇත. එමෙන්ම ආසියානු ඔලිම්පික් කමිටුවටද දැනුම් දීමට පියවර ගත්තේ ය. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එංගලන්තයේ බර්මින්හැම් නුවරදීය. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ඉකුත් දිනවල දී සිදුවිය.
එහිදී ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් සහ ජාතික ඔලිම්පික් කමිටුව සමඟ මත ගැටුම් ඇති කර ගෙන තිබේ. එමෙන්ම ඔලිම්පික් කමිටු නිලවරණයේ දීත් සෑම විටම විවිධාකාර ගැටළු පසුගිය කාලයේ දී ඇතිවිය.
මැක්ස්වෙල්ද සිල්වා මෙම ප්‍රහාරයෙන් පසුව කොළඹ මහ රෝහලේදී ප්‍රතිකාර ලබා ගෙන ඇත.
ප්‍රශාන්ත ඇල්පිටිය