ගාලු පුර­ව­රය කැලඹූ ජන අර­ග­ලය | Page 2 | සිළුමිණ

ගාලු පුර­ව­රය කැලඹූ ජන අර­ග­ලය

මොහාන් පී සිල්වා මන්ත්‍රීවරයාගේ නිවෙස
මොහාන් පී සිල්වා මන්ත්‍රීවරයාගේ නිවෙස

 

දිනය ඉකුත් 09 වැනිදාය. ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුදොරපිටියේ මාසයකට අධික කාලයක් තිස්සේ පැවැත්වෙන නිදහසේ අරගලය එදිනද ක්‍රියාත්මක වෙමින් තිබුණි. මෙකී අරගල භුමියේ සාමකාමී අරගලයක යෙදී සිටි නිර්පාක්ෂික අරගලකරුවන්ට පොහොට්ටුවේ මැරයන් විසින් එලවා එලවා පහර දෙනු ලැබීය.

 

එල්ලවූ මැර ප්‍රහාරයත් සමඟ රට ම ගිනි ගත්තේය. මෙකී සිද්ධියත් සමඟ කුපිත වූ ඇතැම් පිරිස් විසින් එදින රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරවලින් මැති ඇමතිවරුන්ගේ නිවාස රැසක් ගිනිබත් විය. ගාල්ල දිස්ත්‍රික්කයේ ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ සහ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවෙස්වලට එල්ල වූ ප්‍රහාරවලින් නිවාස රැසක් ගිනිබත් විය. ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී සරත්කුමාර මිය ගියේය. රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. නිමල්ගේ නිවස අසල වූ වෙඩි තැබීමකදී පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නිවෙස

නිදහසේ ඉතා සාමකාමීව පැවති අරගලයට එල්ලවූ මැර ප්‍රහාරයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ තැන් තැන්වල දැවැන්ත විරෝධතා පැවැත්විණි. ගාලු නගරය පොදු මහජනතාවගෙන් පිරී ගියහ. දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසල දහස් ගණනක් වූ ජනතාව රොඳ බැඳගෙන පොහොට්ටුවේ ආධාරකරුවන් එනතෙක් මඟ රැක සිටියහ. අරගලකරුවන්ට පහර දීම නිසා කුපිතවූ පිරිසක් ගාල්ල කිතුලම්පිටියේ පිහිටි හිටපු ඇමති දොස්තර රමේෂ් පතිරණගේ නිවසට පහරදි නිවස ගිනිබත් කරනු ලැබීය. නිවස සම්පුර­්ණයෙන්ම පාහේ ගිනිබත් විය. මෙකී නිවස ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් නොව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශාල වූ සේවාවක් කළ දිවංගත හිටපු අමාත්‍ය ආචාර්ය රිචඩ් පතිරණ විසු නිවසයි.

හිටපු ඇමති නිතිඥ මොහාන් පි. ද සිල්වා ගේ ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි නිවසද ගිනිබත් වීමට වැඩි වෙලාවක් ගත නොවීය. මොහාන් පි. ද සිල්වාගේ රත්ගම පිහිටි මහගෙදරද කුපිත වූ පිරිස් විසින් ගිනිතබා විනාශ කරනු ලැබිය. ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි සම්පත් අතුකෝරලගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල විය. හිටපු රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහගේ නිවස ද විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ගිනිබත් විය. මේ අතර ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගේ ගාල්ල මඩපාත පිහිටි නිවසටද දැඩි ප්‍රහාරයක් එල්ල විය. ඔහුගේ සහෝදරයාට අයත් වෙළඳසැලකට පහරදී එහි තිබූ භාණ්ඩ රැගෙන ගොස් තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩිගේ නිවසට ද කඩා වැදුණු පිරිසක් නිවසට ගිනි තබනු ලැබීය. මේ අතර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි හා සමගි ජනබලවේගයේ අක්මීමන ආසනයේ සංවිධායක විජේපාල හෙටිටිආරච්චිගේ නිවසට ප්‍රහාරයක් එල්ල කොට නිවස ඉදිරිපිට තිබු මන්ත්‍රීවරයාගේ වාහනයට පහරදී අලාභ හානි සිදුකරනු ලැබ තිබුණි. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන්, හබරාදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන්, රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති ටී නිමල්,අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ, ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වි සරත් කුමාර, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රි ප්‍රේමලාල් අබේසේකර අක්මිමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි මිලින්ද හපුතන්ත්‍රි යන මන්ත්‍රීවරුන්ගේ නිවෙස්ද කුපිතවු අරගලකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්විය. ඇතැම් නිවෙස් ගිණි තබනු ලැබීය.

මේ අතර විරෝධතාකරුවන් පිරිසක් විසින් නිවෙසට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව හදිසියේ රෝගිවී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගිය ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වි. සරත් කුමාර (69)ගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා යොමුකොට දේහය නිදහස් කිරීමට පියවර ගත් බැව් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර සඳහන් කළේය.

මියගිය සභාපතිවරයාගේ මොලයේ හෘදය වස්තුවේ සහ සිරුරේ කොටස් පටකවේද හා විද්‍යාවේද පරික්ෂණයක් සඳහා ලබාගෙන තිබුණි. මියගිය සභාපතිවරයාගේ හිසට පහරදීම නිසා හිසේ ඇතිවූ තුවාලයක්ද තිබෙන බව සඳහන් කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මොහුගේ අසනීප තත්ත්වයන් ද පිළිබඳ සලකා බලා පරීක්ෂණවලින් පසු මරණයට හේතුව සම්බන්ධ තීන්දුවක් ලබාදෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මියගිය සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි. සභාපතිවරයාගේ නිවෙසට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී තිබුණි. එහිදි ඇතිවූ ගැටුමෙන් පසු අසනීප තත්ත්වයක් හේතුවෙන් සභාපතිවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

මේ අතර කුපිතවූ අරගලකරුවන් විසින් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි සරත් පෙරේරා, බටපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඉන්ද්‍රජිත් සමන් කුමාර, පොදුජන පෙරමුණේ මන්ත්‍රි සමන් මාවනානහේවා, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි අමවරවංශ, කරන්දෙණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී සමිර චතුරංග යන ප්‍රාදේශීය දේශාපාලනඥයන්ගේ නිවාසද අරගලකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්විය.

මෙකී ගැටුම් හේතුවෙන් ඇල්පිටිය පොලිස් කොට්ඨාශය තුළ නිවාස 24කට සහ වාහන 26කට අලාභ හානි වී තිබුණි. එමෙන්ම ගාල්ල පොලිස් කොට්ඨාශය තුළ වාහන 24කට සහ නිවාස 19කට හානිවී තිබූ බව පොලිසිය පවසයි.

කරන්දෙණිය ප්‍රාෙද්ශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශගේ නිවෙස

 

Comments