
ඖෂධ මිල ඉහළ ගියාට රැස්කර තබා ගැනීම නිරර්ථක ක්‍රියාවක්
දුල්ශාන්ත පෙරේරා (56) - කරන්තිප්පල
ව්‍යාපාරික
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හැටක මිල සීයට හතළිහකින් ඉහළයාම බොහෝ පිරිසකට විශාල ගැටලුවක්. ළඟ ළඟම දෙපාරක් මිල වැඩි වුණා. ඩොලරයේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම තමයි හේතුව. ඒ වගේ ම රෝහල්වල සමහර බෙහෙත් හිඟයි. පිටින් ගේන්නත් සමහර ෆාමසිවල බෙහෙතුත් නෑ. දීර්ඝකාලීන රෝගවලට නොකඩවා ඖෂධ ලබාගන්නා අය මේ නිසා පුදුම තරම් අපහසුතාවට ලක්වෙලා. සමහරු බේත් වැඩිපුර මිලට අරන් රැස්කර ගන්නවා. අනිත් දේවල් වගේ නෙමේ බෙහෙත් එහෙම අරන් තියාගෙන පාවිච්චි කිරීම අහිතකර බව නොදන්නවා ඇති. හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ඖෂධ බෙදා හැරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.
රජයේ රෝහල්වලිනුත් සමහර බෙහෙත් හා උපකරණ ගේන්න කියනවා
දීපානි පෙරේරා (56) - මාලිගාවත්ත
ගෘහණිය
පහුගිය මාසවල බෙහෙත් මිල ඉතා විශාල ලෙස ඉහළ ගියා පමණක් නොවෙයි සමහර බෙහෙත් මිලට ගන්නත් නැතුව ගියා. රජයේ රෝහලකට ඇතුළත් වන රෝගීන්ට සමහර බෙහෙත් හා වෛද්‍ය උපකරණ පිටින් මිලදීගෙන රෝහලට ලබා දෙන්න සිදුවෙලා තිබීම හරිම දුක්ඛිත තත්ත්වයක්. මේක තදින්ම බලපාන්නේ, දිළිඳු ජනතාවටයි. මේ ඖෂධ හිඟය බටහිර ඖෂධවලට විතරක් නෙමෙයි දේශීය ඖෂධවලටත් බලපාලා. අරලු, බුළු, නෙල්ලි ඇතුළු ඉන්දියාවෙන් ආනයනය කරන ආයුර්වේද ඖෂධ 180 පමණ ගෙන්වීමට නොහැකිව නතර කරලා. එවිට මෙහේ තියන ඖෂධවල මිල ඉහළ යනවා. තියෙන බේත් සඟවනවා. නැත්නම් වැඩි මිලට විකුණනවා.
රජයේ ඔසුසල්වලින් සහන මිලට බෙහෙත් ලබා දෙනවා
නිලංක මධුෂාන් (34) අරණායක
සෞඛ්‍ය කාර්ය සහායක
බෙහෙත් මිල ඉහළ යාම හා බෙහෙත් හිඟය රෝගීන් බහුතරයකට ගැටලුවක්. ඒත් පසුගිය දිනවල ඉන්දියාව ඇතුළු වෙනත් රටවලින් ඖෂධ හා වෛද්‍ය සැපයුම් තොග ලංකාවට ලැබුණා. නවසීලන්තෙනුත් මේ සඳහා සහාය ලබාදෙනවා. ඒ වගේ ම ඖෂධ හිඟයක් ඇති කිරීමට ඇතැම් පෞද්ගලික ඔසුසල් හිමියන් ඖෂධ සඟවාගෙන සිටීම ගැන රජයෙන් සොයා බලනවා. ජනතාවට අත්‍යවශ්‍ය සියලු ඖෂධ හිඟයකින් තොරව සහන මිලට ජනතාවට බෙදාහැරීමට රජයේ ඔසුසල මඟින් පියවර ගෙන තියෙනවා.
බෙහෙත් නැතිව අකාලේ මැරෙන්න තමයි වෙන්නේ
ශානිකා නිශාන්ති පෙරේරා (52) - බොරැල්ල
ගෘහණියක්
බෙහෙත් වර්ගවල මිල වැඩිවීම අපි කාටත් ලොකු ගැටලුවක් තමයි. සමහර බේත් වර්ග රෝහල්වලත් නෑ. ඔසුසලෙත් නෑ. එදිනෙදා ජීවන වියදම බඩු මිල අහස උසට ගිහින්. ඒ මදිවට හුඟාක් දේවල්වල හිඟයකුත් තියනවා. පසුගිය දවස්වල දෙපාරක්ම බේත් මිල ඉහළ දැම්මා. හුඟාක් ගෙවල්වල වයසක අය ඉන්නවා. එයාලා ජීවත්වෙන්නේ බෙහෙත් බලයෙන්. මෙහෙම බේත් මිල වැඩි වුණාම කොහොමද ගන්නේ. වැඩි මිලට ගන්නවත් සමහර බේත් නැහැ. අකාලේ මැරෙන්න තමයි වෙන්නේ. සල්ලි තියන අය බේත් වැඩිපුර ගොඩගහගෙන. ඒ අයට වැඩකුත් නෑ. අනිත් අයට වැඩකුත් නෑ.
බෙහෙත් වර්ග මිල වැඩිවීම හැමදේටම වඩා තදින් දැනෙන දෙයක්
පුංචි මැණිකේ දිසානායක (56) - දණ්ඩගමුව
ගුරු වෘත්තිය
වෙන දේවලට විකල්ප තිබුණට බෙහෙත්වලට විකල්ප නැහැනේ. එහෙම නම් ආයුර්වේදය දියුණු කළ යුතුයි. ඒත් පෞද්ගලිකව ආයුර්වේද ප්‍රතිකාරවලට බටහිර ප්‍රතිකාරවලටත් වඩා මිලක් වැය වෙනවා. ආහාරපාන හා අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගියාටත් වඩා ඖෂධ මිල ඉහළ යාම කාටත් තදින් දැනෙන දෙයක්. බේත් නැතුව ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා අනිත් දේවල් කැප කරලා හරි බේත් මිලදී ගන්න සිදු වෙනවා. ඒ නිසා කොයි කවුරුත් මොන තරම් අමාරුවෙන් හරි වැඩි ගානට බේත් මිලදී ගන්න හුඟක් අය පෙලඹෙනවා.
හිඟයකින් තොරව ඖෂධ සහන මිලට ලබාදීම, රජයේ වගකීමක්
ශාන්ත පෙරේරා (61) - කොබෙයිගනේ
ව්‍යාපාරික
කෙටි කලක් තුළ බෙහෙත් වර්ග 500 මිල 69% න් ඉහළ ගිහින්. මිල පාලනයට යටත් නොවන බෙහෙත්වල මිල තමයි මෙසේ වැඩි වුණේ. ඩොලරයට සාපේක්ෂව රෝගී ජනතාවගේ ආදායම ඉහළ නොයන නිසා සාමාන්‍ය ජනතාව හරිම අපහසුවකට පත්වෙනවා. සහන මිලට ගන්න තිබුණු පැරසිටමෝල්, ඇස්ප්‍රින් පෙත්ත පවා ගණන් ගියානේ. රෝහල්වල පවා අත්‍යවශ්‍ය බෙහෙත් හිඟය හා මිල ඉහළ යාම නිසා රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න වීම හා මිය යාම වැඩිවෙන්න පුළුවන්. වෙන මොන දේ මිල වැඩි වුණත් බෙහෙත් ඖෂධ මිල ඉහළ යාම නම් අවාසනාවන්ත තත්ත්වයක්. රජයෙන් සහනයක් ලබාදිය යුතුයි.