‘ද්‍රෝහියා’ට කියාපන් ආපහු මේ රටේ පස් පාගන්න එපා කියලා | Page 2 | සිළුමිණ

‘ද්‍රෝහියා’ට කියාපන් ආපහු මේ රටේ පස් පාගන්න එපා කියලා

ක්දින ලෝක කුසලාන ක්‍රිකට් 2003 තරගාවලිය පැවැත්වූයේ අප්‍රිකාවේදීය. එහිදී සත්කාරක රටවල් ලෙසට දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව ක්‍රියා කළේය. එම තරගාවලියේ මුල් වටයේ තරගයකදී තරග කළේ සිම්බාබ්වේ සහ නැමීබියාවයි. තරගය පැවැත්වූයේ හරාරේ නුවරදීය. මේ තරගයෙන් සිම්බාබ්වේ ජය ගත්තේය.

එහිදී ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ද එම තරගයට දැඩි ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. ඒ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසා නොවේ. සිම්බාබ්වේ ක්‍රීඩකයන් දෙපළක් විසින් කළ ක්‍රියාවක් නිසාවෙන් ය. මේ ක්‍රීඩකයෝ දෙදෙනා එවකට ජාතික කණ්ඩායමේ සුපිරිතම තරු යුගලයකුත් වූහ.

ඔවුහු ඇන්ඩි ෆ්ලවර් සහ හෙන්රි ඔලොන්ගා ය. ඇන්ඩි සුදු ජාතිකයෙකි. එරටේ ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවා ය. එමෙන්ම හිටපු නායකයෙකි. පසු කළෙක හෙතෙම එංගලන්ත ප්‍රධාන පුහුණුකරුවාත් වූයේ ය.

අනෙක් ක්‍රීඩකයා කළු ජාතික ඔලොන්ගා ය. එරටේ ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දු යවන්නා ය. එමෙන්ම එරට වෙනුවෙන් ජාත්‍යන්තරව ක්‍රීඩා කළ ප්‍රථම කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා ය. තව ද ජගත් තරග වරම් ලැබූ ළාබාලතම සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයාය. 

මෙසේ ජගත් අවධානය තමන් වෙතට යොමු කර ගැනීමට ඔවුන් කළේ එක් දෙයකි. එනම් කළු පටි පැළැදගෙන සිටීමයි.

එවකට සිම්බාබ්වේ ජනපති වූ රොබට් මුගාබේ විසින් ක්‍රියාත්මක කර ගෙන ගිය ඒකාධිපති පාලනය නිසා එරටේ ප්‍රජාත්‍රන්තවාදය මිය යමින් තිබෙන බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙමින් තිබුණි. මුගාබේගේ පාලනයට විරෝධය දැක්වීමට ෆ්ලවර් සහ ඔලොන්ගා ලෝක කුසලාන තරගයක් යොදා ගත්තේ ඒ ආකාරයටයි.

“එවැනි දෙයක් කිරීමේ දරුණු ප්‍රතිඵලය අපි හොඳින්ම දැනගෙන සිටියා. මරණ වරෙන්තු අතේ තබාගෙන මුගාබේ හිතවත් නිලධාරීන් මා පසුපස පැන්නුවා. මට ජීවිතය බේරා ගැනීමට තිබුණු එකම විසඳුම රටින් පිටවීම පමණයි” ඔලොන්ගා පසු කළෙක පැවසුවේ ය.

දිනක් රාත්‍රියක ඔලොන්ගාගේ නිවසේ දුරකථනය නාද විය. ඊට උත්තර දීමට ගියේ ඔලොන්ගාගේ පියා ය. “උඹේ පුතාට කියාපන් ආයේ මේ රටේ පස් පාගන්න එපා කියලා” පියාට අසන්නට ලැබුණේ එවැනි මරණීය පණිවිඩයකි. එය ලබා දී තිබුණේ සිම්බාබ්වේ මධ්‍යම රහස් ඔත්තු සේවය මඟින් ය.

“මුගාබේ විරුද්ධවාදීන්ට සළකන ආකාරය මම දැන සිටියා. එවකට අපේ රටේ ජනගහනයෙන් සතරෙන් එකකටම ඒඩ්ස් තිබුණා. එවැනි අයත් සමඟ සිර මැදිරියක ජීවත් වෙනවාට වඩා මරණය සැපක්. සිම්බාබ්වෙන් පිට වීමට මට තිබුණේ එක් මගක් විතරයි. ඒ සිම්බාබ්වේ ලෝක කුසලාන සුපර් සික්ස් වටයට තේරීමයි” ඔලොන්ගා පවසයි. එම තරග දකුණු අප්‍රිකාවේ දී පැවැත්විණි.

එහිදී තමන්ට වාසියක් තිබෙන බවත් ඔලොන්ගා හට අවබෝධ වූයේය. “හෙන්රි ඔලොන්ගා නොමැතිව සිම්බාබ්වේ සුපර් සික්ස් වටයට දකුණු අප්‍රිකාවට ගියොත් මුගාබේට ජාත්‍යන්තරව එල්ල විය හැකි පීඩනය මට තේරුණා”.

සිම්බාබ්වේ සුපර් සික්ස් වටයට තේරීමට නම් ප්‍රබල පාකිස්තානය හමුවේ තරගය පරාජය නොවිය යුතුව තිබිණි. එනම් තරගය ජය ගත යුතුය. නොඑසේ නම් ජය පරාජයක් නැති විය යුතුය. නමුත් එය පහසු දෙයක් නොවේ.

“වසිම් අක්රම්, වකාර් යුනිස්, සයිඩ් අන්වර්, ඉන්සමාම් උල් හක් සහ ෂොයිබ් අක්තාර් වැනි ක්‍රීඩකයෝ පාකිස්තානයට ක්‍රීඩා කළා” පාකිස්තාන් සුපිරි තරු ගැන ඔලොන්ගා හට හොඳ මතකයක් තිබුණි.

මේ අතර ඔලොන්ගාට එරෙහිව මුගාබේ පාලනයේ හිතවත් ප්‍රබල ඇමතිවරු සිය මතයන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටියහ.

“ඔය ඔලොන්ගා කියන හාදයා හිතනවා එයා හරි වැඩකාරයෙක් කියලා. ලෝක කුසලානේ ඉවර වුනාම වෙන දේ එයාවත් දන්නේ නැහැ”.

තවත් ප්‍රබල ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේ සිම්බාබ්වේ ගැන කතා කිරීමට විදෙස් රටවල උපන් ක්‍රීඩකයන්ට කිසිම අයිතියක් නැති බවයි. ඇන්ඩි ෆ්ලවර් උපත ලැබුවේ දකුණු අප්‍රිකාවේ දී ය. ඔලොන්ගාගේ උපන් රට සැම්බියාවයි.

පාකිස්තාන තරගයට පෙර දින රාත්‍රියේ සිම්බාබ්වේ කණ්ඩායම නවාතැන් ගෙන සිටියේ බුලවායේ හෝටලයකය. එහිදී සිය කාමරය තුළදී ඔලොන්ගා දෙවියන්ගේ පිහිට පැතුවේය. “දෙවියන් වහන්ස මට ඔබගේ උපකාරය දැඩිව ඕනෑ කරනවා. මට සිම්බාබ්වෙන් පිට වෙන්න ඕනෑ. මගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න. මට එක අවස්ථාවක් ලබා දෙන්න”.

පසුදින දෙවියන් ඔලොන්ගාට උපකාර කළේය. ඒ ස්වභාව ධර්මය ඔස්සේය. තරගය ඇරැඹී වැඩි කාලයක් ගත වූයේ නැත. දැඩි වර්ෂාවක් තරගය නැරැඹීමට පැමිණියේය. තරගය අතරමග නතර කරනු ලැබීය. සිම්බාබ්වේ සුපර් සික්ස් වටයට සුදුසුකම් ලැබීය. ඔලොන්ගා හට දිවිය රැක ගැනීමට අවස්ථාවක් උදා වූයේය.

සිම්බාබ්වේ කණ්ඩායම මීළඟ වටයේ තරග සඳහා ජොහැනස්බර්ග් නුවර බලා ගුවනින් ගමන් ගනිමින් සිටියේය. එහිදී ඔලොන්ගා සිය දිවිය දෙස නැවත බැලුවේය.

“මගේ අනාගතය පැහැදිලි නැහැ. ඒ වුනත් දෙවියන්ට මා වෙනුවෙන් වෙනම සැලසුමක් තිබුණා. මගේ දෙඅත් ඔසවා ජීවිතය වෙනුවෙන් දෙවියන් වහන්සේට භක්තිය සහ ස්තූතිය පුද කළා” ඔලොන්ගා තවදුරටත් පැවසුවේය.

ඔලොන්ගාව එවකට ක්‍රීඩා කරමින් සිටි ටකාෂින්ගා ක්‍රිකට් සමාජයෙන් නෙරපා හරිනු ලැබීය. එපමණක් ද නොව ඔහුගේ පෙම්වතියත් වෙන් වූවාය. “ද්‍රෝහියා” යන නමත් ඔහුට හංවඩු ගැසුවේය. තව ද ඔහුව අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද සිම්බාබ්වේ තුළ නිකුත් කළේය. එහිදී දේශද්‍රෝහිත්වය ගැන චෝදනා කර තිබුණි. මරණ තර්ජනත් අඩුවක් නැත.

මේ සියලුම හේතු නිසාම ඔලොන්ගා කලක් සැඟ වී සිටියේය. පසුව එංගලන්තයට ගියේය. එහි දශකයට වැඩි කාලයක් ජීවත් වූයේය. පසුව ශාරීරික අධ්‍යාපන ගුරුවරියක් වන ටාරා රීඩ් සමඟින් විවාහ වූහ. ඔවුන් හමු වී තිබුණේ ඇඩිලේඩ් නුවර දී පැවැති ක්‍රිකට් වැඩසටහනකදීය. මේ යුවළට දරුවන් දෙදෙනෙකු සිටිති.

ඔලොන්ගා ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව තවත් දෙයකට දස්කම් දැක්වූයේය. ඒ ගායනයටයි. පසුකළෙක සිය ගීත ඇතුළත් සීඩි ඇල්බමයකුත් නිකුත් කළේය. වත්මන දී 45 හැවිරිදි හෙතෙම ක්‍රිකට් විචාරකයෙක් ලෙසට කටයුතු කරයි. මේ අතර ඔලොන්ගා පවුල දැන් ජීවත් වන්නේ කැන්ගරු දේශයේය. එහි පුදුම වීමට දෙයකුත් නැත. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අවසන් තේරීම බවට පත්වන රට වන්නේ ඔස්ට්‍රේලියාවයි.

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments