ශ්‍රීයානි කුලවංශ රිදී පදක්කමක් සහ සුගත් තිලකරත්න ලෝකඩ පදක්කමක් 1998 මලයාසියාවේ ක්වාලාම්පූර්හි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ දි දිනා ගැනීමෙන් අනතුරුව වසර 24ක පදක්කමක් අහිමි ඉතිහාසයට තිත තැබීමේ අරමුණීන් මෙරට ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය කාල සීමාවේ දී , ජාතික තේරීම් තරග සහ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දැක්වූ දස්කම් සලකා 2022 පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළේ තරගාවලි වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සහ ආසියානු ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයක් නම් කර තිබේ.
කිසිඳු සහාය දිවීමේ කණ්ඩායමක් නම් නොකර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු ගෙන් යුත් සංචිතයක් ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබීම විශේෂත්වයකී.
එකී සංචිතය සඳහා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100, කාලිංග කුමාරගේ මීටර් 400, සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීම, උස පැනීමේ ශූර උෂාන් තිවංක පෙරේරා ,දුර පැනීමේ ශූරීය සාරංගි ද සිල්වා,මීටර් 800 සහ 1500 මැදි දුර ශූරීය ගයන්තිකා අබේරත්න, මීටර් 3000 බාධක දිවීමේ ශූරීය නිලානි රත්නායක සහ මැරතන් ශූරීය හිරුණි විජයරත්න ඇතුළත් ය.
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් හිමිකර ගෙන ඇති මුළු පදක්කම් ගණන තුනකි. පළමු පදක්කම 1950 නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පිරිමි යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් රන් පදක්කම දිනා ගෙන ඇති අතර ඊට අමතරව, ඉතිරි පදක්කම් දෙක ශ්‍රීයානි සහ සුගත් 1998දී දිනා ගෙන තිබේ.ලාංකේය මලල ක්‍රීඩා පිටියේ සුපිරි තරුවක් වන සුසන්තිකා ජයසිංහ 2002 එංගලන්තයේ මැන්චෙස්ටර්හීදී මීටර් 100 ඉසව්වෙන් සිවුවැනි ස්ථානය (තත්.11.08) දිනා ගෙන තිබෙන අතර ඉමහත් බලාපාරොත්තු තබා ගෙන පැමිණි මීටර් 200 ඉසව්වේ සිදු වු වරදක් නිසා නුසුදුසු ක්රීඩීකාවක ලෙස නම් කර මුලික වටයෙන් ම ඉවත්කර තිබේ.
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මෙරටට මලල ක්‍රීඩාවෙන් එකඳු පදක්කමත්වත් හිමි නොවීය. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පෙර ප්‍රකාශ කළ පරිදි ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ජාතික තේරීම් කමිටුව වෙත යොමු කර තිබේ. ආසියානු ක්‍රීඩා උලෙළ තරගාවලිය සඳහා ඉතිහාසයේ පළමු වරට මීටර් 4×400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමක් නම් කර ඇති අතර එම කණ්ඩායමට අමතරව පිරිමි මීටර් 4×400 කණ්ඩායමක් සහ වසර දහයකට පසු කාන්තා මීටර් 4×100 කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උලෙළක් සඳහා නම් කර තිබීම කැපී පෙනෙයි.
ආසියානු ක්‍රීඩා උලෙළට නම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දුර පැනීමේ ඉසව්වෙන් සාරංගි ද සිල්වා ප්‍රබල ම පදක්කම් බලාපොරොත්තුව ලෙස හැඳින්විය හැකිය. ඇයගේ හොඳම දස්කම වන මීටර් 6.65ක දක්ෂතාව 2018 ආසියානු ක්‍රීඩා උලෙළ සමඟ සැසඳීමේ දී රන් පදක්කමක මට්ටමේ තිබීම විශේෂත්වයකි.
එමෙන් ම උස පැනීමේ ශූර උෂාන් තිවංක පෙරේරා ඉහළ ම බලාපොරොත්තු රඳවා ගත හැකි ක්රීඩකයකි. මීටර් 800 සහ 1500 ඉසව්වන්හි ජාතික වාර්තා බිඳ හෙලූ ගයන්තිකා අබේරත්න පදක්කමක් දිනා ගත හැකි දස්කම් මට්ටමේ සිටින ක්රීඩීකාවකි.
මීට අමතරව කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙන් ම මැරතන් ධාවන ශූරී හිරුණි විජයරත්න ද ගෙවී ගිය කාලයේ දී දැක්වූ දස්කම් අනුව පදක්කම් බලාපොරොත්තු ලෙස හැඳින්විය හැකියි.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව තුන් පිම්ම ඉසව්වෙන් චමල් කුමාරසිරි, මීටර් 110 කඩුලු පැනීමේ ශූර රොෂාන් ධම්මික සහ ඇමරිකාවේ වාසය කරමින් දුර පැනීමේ ඉසව්වෙන් පසුගිය කාලසීමාවේ දස්කම් දැක්වූ ධනුෂ්ක සඳරුවන් ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා නම් කළ සංචිතයට ඇතුළත්ව සිටිති.
ආසියානු ක්‍රීඩා උලෙළේ තවත් ඉහළ බලාපොරොත්තු ලෙස සහාය දිවීමේ කණ්ඩායම් අතර කාන්තා මීටර් 100×4 සඳහා අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක, මේධානි ජයමාන්න, ෂෙලින්ඩා ජැන්සන්, සහ ලක්ෂිකා සුගන්ධි ඇතුළත් ය.
පළමු වරට නම් කළ මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ සංචිතය සඳහා කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක ඇතුළත් අතර ඔවුන්ගේ දස්කම් සලකා බැලීමේ දී මෙම කණ්ඩායම ද ඉහළ ම බලාපොරොත්තුවකි.
2018 ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 4×400 තරගය සිව්වැනි ස්ථානයෙන් අවසන් කිරීමෙන් පසුව මෙවර ක්‍රීඩා උලෙළ සඳහා ද හොඳ කණ්ඩායමක් නම් කර තිබේ. කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන හැරුනු කොට පබසර නිකූ, ඉසුරු ලක්ෂාන් සහ වී. දේශාන් ඇතුළත් ය. 2018 ආසියානු ක්‍රීඩා උලළේ මලල ක්‍රීඩාවෙන් එකඳු පදක්කමක්වත් මෙරටට හිමි නොවීය. මෙවර ආසියානු ක්‍රීඩා උෙලළ සැප්තැම්බර් 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වීමට නියමිත ය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා නම් කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය
පිරිමි: යුපුන් අබේකෝන් (මීටර් 100), කාලිංග කුමාරගේ (මීටර් 400), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), උෂාන් තිවංක (උස පැනීම)
කාන්තා: ගයන්තිකා අබේරත්න (මීටර් 800 සහ 1500), නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම), හිරුණි විජයරත්න (මැරතන්) සාරංගි ද සිල්වා (දුර පැනීම)
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ සංචිතය
පිරිමි: යුපුන් අබේකෝන් (මීටර් 100), කාලිංග කුමාරගේ (මීටර් 400, මීටර් 4×400, මීටර් 4×400 මිශ්‍ර), අරුණ දර්ශන (මීටර් 4×400, මීටර් 4×400 මිශ්‍ර), පබසර නිකූ (මීටර් 4×400), ඉසුරු ලක්ෂාන් (මීටර් 4×400), වී. දේශාන් (මීටර් 4×400), රොෂාන් ධම්මික (මීටර් 110 කඩුලු පැනීම), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), උෂාන් තිවංක (උස පැනීම), චමල් කුමාරසිරි (තුන් පිම්ම), ධනුෂ්ක සඳරුවන් (දුර පැනීම),
කාන්තා: ගයන්තිකා අබේරත්න(මීටර් 800 සහ 1500), නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම), තරුෂි කරුණාරත්න (මීටර් 4×400 මිශ්‍ර), නදීෂා රාමනායක (මීටර් 4×400 මිශ්‍ර), අමාෂා ද සිල්වා (මීටර් 4×100), රුමේෂිකා රත්නායක (මීටර් 4×100), ෂෙලින්ඩා ජැන්සන් (මීටර් 4×100), මේධානි ජයමාන්න (මීටර් 4×100), ලක්ෂිකා සුගන්ධි (මීටර් 4×100). සාරංගී ද සිල්වා (දුර පැනීම).