ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ සත්කාරක බංග්ලාදේශයේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත බංග්ලාදේශ - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට නම් කළ මූලික සංචිතයට තෝරාගත් රොෂේන් සිල්වාගේ ස්ථානයට, කමිඳු මෙන්ඩිස් කැඳවා තිබේ.ඒ මූලික සංචිතයට තෝරා ගෙන සිටියේ දී,රොෂේන් එංගලන්ත ලැන්කර්ෂයර් ක්‍රිකට් ලීගය නියෝජනය කිරීමට විදේශගතවීම හේතුවෙන්ය. මේ නිසා රොෂේන් සිල්වාගේ ස්ථානය සඳහා කමිඳු මෙන්ඩිස් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවෙකු වන රොෂේන් සිල්වාට ඒ අනුව එළැඹෙන බංග්ලාදේශ තරග සංචාරය ද අහිමි වීමට බොහෝ දුරට ඉඩකඩ වැඩිය.
33 හැවිරිදි රොෂේන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු අවසන් වරට 2019 පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දී බ්‍රිස්බෙන්හිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය. එතැන් සිට මේ දක්වා වසර 3කට අධික කාලයක් ගෙවී තිබෙන නමුත් ඔහුට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩාගාරයේ අසුනක් හැරෙන්නට අවසන් ක්‍රීඩකයන් 11 අතර ක්‍රීඩා කිරීමට මෙතෙක් අවස්ථාවක් නොලැබුණි.
ඉනිම් 23ක දී ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟ මුළු ලකුණු 702ක් ලබා ගැනීමට රොෂේන් සමත්ව තිබෙන අතර වැඩිම ලකුණු සංඛ්‍යාව 109කී. රොෂේන් බංග්ලාදේශයට එරෙහිව සිය හොඳම ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම ක්‍රීඩා කර තිබේ. දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවලදි ලකුණු 9044ක් සහ දළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 49.69කී. ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන් බොහෝමයක් දෙනා දඟපන්දු යවන්නන් හමුවේ අසාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන විට එවැනි බොහෝමයක් අවස්ථාවල දී ශ්‍රී ලංකා මැදපෙළ ගොඩනැංවීමේ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කරන්නට රොෂේන් පෙරමුණ ගෙන තිබේ.
දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය තුළ හොඳින් ම දස්කම් අතර සිටින රොෂේන්ට ජාතික කොන්ත්‍රාත්තුවක් හිමි නොවීම, ජාතික ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි නොවීම ඔහුගේ මේ සුපිරි ක්‍රිකට් ගමන අකාලයේ අවසන් වීම කෙරෙහි බලපා තිබෙන ප්‍රබල සාධක බව රහසක් නොවේ. නිමා වුණු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම නියෝජනය කළ රොෂේන් ලකුණු 304ක් ලබා ගත්තේ සාමාන්‍ය 101.33ක් රඳවා ගනිමින් ය. රොෂේන්ගේ එකී දස්කම් නිසා ම බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේය.කෙසේ නමුත් ඔහුට අවසන් ක්‍රීඩකයින් 11 අතර ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබේ ද යන්න ගැටලුව මුල් කරගෙන රොෂේන් එංගලන්ත ලැන්කර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ලීගයේ කොන්ත්‍රාත්තුව සමඟ ගිවිසුම්ගත වී එකී තරගාවලියට එක් ව තිබේ.
එංගලන්ත ලැන්කර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ලීගයට එක්ව සිටින රොෂේන් වෙනුවට නිමා වුනු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සහ තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් කමිඳු මෙන්ඩිස් මේ සංචිතයට ආදේශ කිරීමට කටයුතු කර තිබේ. එළැඹෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. බංග්ලාදේශයේ දී 2ක්, සහ ශ්‍රී ලංකාවේ දී ඕස්ට්‍රේලියාව සමඟ තරග 2කී.