ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන විශ්මි ගුණරත්න, ශ්‍රී ලංකා පාසල් බාලිකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ලබා ගත් පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වූවා ය.
ඇය කැකිරාව ජයසිරිපුර මහා විද්‍යාලයට එරෙහිව පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 49ක් සහ හයේ පහර 29ක් සමඟින් නොදැවී ලකුණු 417ක් ලබා ගත්තා ය. මේ වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ, නුගේගොඩ අනුලා විද්‍යාලයේ කෞෂිනී නුත්‍යංගා ය. ඇය නොදැවී ලකුණු 374ක් ලබා සිටියා ය.
“මේ තරම් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබුණ එක ගැන ගොඩාක් සතුටු වෙනවා. මේක මම විතරක් ලැබූ ජයග්‍රහණයක් නොවේ, මගේ පාසල ම ලැබූ ජයග්‍රහණයක්. විශේෂයෙන් ම මගේ විදුහල්පතිනි හේමා ජයවර්ධන මැතිතුමිය මේ පිටුපස සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යන්න ඇයට තිබෙන උනන්දුව සමහර වෙලාවට අපිටත් නැහැ. එතුමියත් මේ ජයග්‍රහණයේ කොටස්කාරිනියක්.”
විශ්මි ගුණරත්න ක්‍රීඩා සමඟ එකතු වෙමින් පැවැසුවා ය.
මේ වන විට ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ තරග 5කට සහභාගි වී සිටින විශ්මි ලකුණු 688ක් ලබා සිටින්නීය. ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 02ක් ඇතුළත් ය. විශ්මිගේ ඉහත වාර්තාවට අමතර ව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ List A ලැයිස්තුවේ ළාබාලතම ශතකලාභිනිය ලෙසත් අභිෂේක ලැබීමට ඇය සමත් වූවා ය. ඒ සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 112 හේතුවෙනි. ඒ වෙද්දී විශ්මිට වයස අවුරුදු 15ක්. එදා විශ්මිගේ ඉනිම පන්දු 117කට සීමා වෙන අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුළත් ව තිබුණි.
පාසල් බාලිකා මලල ක්‍රීඩා ඉසව්වන් හී ද වාර්තාගත වර්ණලාභී ක්‍රීඩිකාවක් වන විශ්මි, පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ කාන්තා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දක්ෂ ම පිතිකාරිනිය ලෙසින් ද අභිෂේක ලැබිමට සමත් වූවා ය.
එහි දී ඇය හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තරග 6ක ඉනිම් 6කට ක්‍රීඩා කරමින් ලකුණු 213ක් වාර්තා කිරීමට සමත් වෙන අතර ඇයගේ මෙවර හොඳම ඉනිම ලෙසින් වාර්තා වන්නේ යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 138යි.
විශ්මි මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි20 ජාත්‍යන්තර තරග 4කට ක්‍රීඩා කරමින් ලකුණු 50ක් වාර්තා කරගෙන සිටීයි. ඇයගේ හොඳම ඉනිම ලෙසින් සටහන් වෙන්නේ කෙන්යා කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 26යි. විශ්මිගේ පවුල ක්‍රීඩාවට ළැදී ක්‍රීඩාශීලි අයගෙන් සමන්විත වූවකි.
පියා, අරුණ ශාන්ත ගුණරත්න තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ජාතික මට්ටමේ කෙටි දුර ඉසව්වන් හී දක්ෂතා දැක්වූවෙකි. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. මව, දම්මිකා ප්‍රියන්ති විජේරත්න ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිනියක ලෙසින් සේවය කරන්නී ය. පවුලේ බඩපිස්සිය වන විශ්මිට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටීයි. අයියා කවීෂ අනුපම, ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂතා සපිරි ක්‍රීඩකයෙක් වූ අතර අක්කා නෙත්මි නිම්සරා රත්නාවලී බාලිකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නීය.
“දුව පුංචි දවස්වල ඉඳලම ක්‍රිකට් ගහන්න දක්ෂයි. කොච්චරක් නම් කතාව ක්‍රිකට් ක්‍රීඩා කරන්න එක්ක යන්න කියලයි. අවුරුදු 2-3ක් වගේ පොඩි කාලේ සිටම අයියගෙ යාළුවොත් සමඟ ක්‍රිකට් ගහනවා. වේගයෙන් බැට් කරන්න තමයි කැමති. ලේසියෙන් අවුට් කරන්නත් බැහැ. සමහර දවස්වල දී ක්‍රිකට් ගහන්න මමත් අහුවෙනවා. එදා ඉඳල ම වේගයෙන් බැට් කරන්න තමයි කැමැති.”
විශ්මිගේ පියා අරුණ ශාන්ත ගුණරත්න ඇයගේ කුඩා අවදිය සිහිපත් කළේ ය.
ඒ වෙද්දී විශ්මිලා පදිංචිව සිටියේ වරකාපොළ ප්‍රදේශයේ අල්ගම නමැති ග්‍රාමයේ ය. පාසල් යන්නේ අල්ගම කනිෂ්ඨ විද්‍යාලයට ය. එහි ක්‍රීඩාවක් ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාව පැවැතියේ නැත.
“තාත්ත, අයියාව ලෙදර් බෝල් ක්‍රිකට් ගහන්න නිට්ටඹුව ක්‍රිකට් ක්‍රීඩා සමාජයට එක්ක ගෙන ගියා. අයියත් සමඟ මමත් අක්කත් මේ ගමන ගියා. එතකොට මට අවුරුදු 3ක් විතර ඇති කියලයි තාත්තා කියන්නේ. කොහොම හරි අපේ මේ ක්‍රිකට් පිස්සුව නිසා තාත්තා අල්ගමෙන් ගම්පහට පදිංචිය මාරු කළා.”
පදිංචිය මාරු වීමත් සමඟ විශ්මිගේ පාසල ද ඉබේම මාරු වෙන්නේ ය. එතැන් සිට ඇයගේ පාසල වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයි. එහි දී ඇයගේ ක්‍රිකට් ජීවිතය ක්‍රමානුකූලව හැඩගස්වා ගැනීමට ද අවස්ථාවක් ලැබුණා ය.
“ගොඩාක් ආසාවෙන් ක්‍රිකට් පුහුණුවීම්වලට යනවා. මටත් වඩා අක්කා තමයි මුලින් ම දක්ෂතා දක්වන්නේ. ඔහොම යන අතරේ මම මුලින්ම 2017 වසරේ දී කුරුවිට විද්‍යාලයට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කරනවා. මතක තියෙන ඉනිම තමයි 2018 අවුරුද්දෙ දී ඔක්කම්පිටිය මහා විද්‍යාලයට ලකුණු 99ක් ගහන එක. එදා මට ලකුණු 100 ගහගන්න බැරි වීම ගැන ගොඩාක් දුක් වුණා. නමුත් ඊට පස්සේ පුහුණු තරග දෙකක දී ශතක දෙකක් ගහනවා. ඒත් තරගාවලියක ශතකයක් ගහන්න තියෙන ආසාව දිනෙන් දින ම වැඩි වුණා.” විශ්මි පවසන්නී ය.
විශ්මිගේ මේ ආසාව ඉෂ්ට වෙන්නේ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ වාර්තා ගත ශතකයයි. විෂ්මි, සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙන්නේ මීට අවුරුදු දෙකකට ඉහත දී ය. ඇය පාසල් ක්‍රීඩිකාවක් ලෙසින් රත්නාවලියේ දී පෑ දක්ෂතා ඊට හේතු වන්නට ඇත. ඇයත් සමඟ ඇයගේ සහෝදරිය ද සීනිගම කණ්ඩායමට හා එක් වන්නීය.
“පාසල් තරගාවලි දෙකක දී අනුශූරතා දිනා ගත්තා. එක් වරක් තෙවැනි ස්ථානය දිනා ගත්තා. පාසල් තරගත් ප්‍රිමියර් තරගත් වෙනස්. ප්‍රිමියර් ලෙවල් එක හරි අමාරුයි. අපි පාසල් තරගාවලිය ගහන්නේ රතු බෝලෙන් මැටින් එකේ. මම වාර්තා ගත ශතකය ලැබූ දවසට කලින් දවසේ මැච් එකක් ගැහුවෙ මැටින් මැච් එකක්. ප්‍රිමියර් එක ගහන්නේ සුදු බෝලෙන් ටර්ෆ් විකට්වල. සම්පූර්ණයෙන්ම වෙනස්.බැට් කරන්න ආවහම මුලින් බෝලෙට ඇහැ තියාගන්න හරි අමාරුයි. ක්‍රීඩා සමාජ තරගවල ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් ප්‍රතිවාදී කණ්ඩායම්වල ඉන්නවා. ඔවුන් දෙන පීඩනයත් පාසල් තරගයක් වගේ නෙමේ. මම බැට් කරන්න ගියහම බෝලෙ දිහා විතරයි බලන්නේ. පිටින් එන කිසිම දේකට අවධානය යොමු කරන්නේ නැහැ.”
විශ්මි තම පිතිකරණයේ රටාව පිළිබඳව පවසන්නේ එවැන්නකි.කෙටි කාලයක් තුළ විශ්මයෙන් පෙළ ගැසුන විශ්මිගේ විශ්මිත ක්‍රිකට් ගමන ඒ ලෙසින් ලියැවෙන්නට උදව් කළ බොහෝ දෙනෙක් ඇය පසුපසින් සිටිති. ඒ අතර අම්මාත් තාත්තත් විශේෂී බවයි ඇයගේ හැඳින්වීම.
“තාත්ත තමයි ළඟින් ම ඉන්නේ. ඒ වගේ ම තාත්තත් එක්ක තමයි බැරි. ක්‍රිකට් ප්‍රැක්ටිස් එක්කගෙන යනවා. ආපු හැටියෙ පාඩම් කරන්න කියනවා. මහන්සියි, කොහොම ද පාඩම් කරන්නේ? වෙලාවකට රංඩුත් වෙනවා. අම්ම තමයි බේර ගන්නේ.
කොහොම වුනත් තාත්තා නිතරම කියන දෙයක් තමයි ක්‍රීඩාව කරල විතරක් මදියි, හොඳින් ඉගෙන ගන්නත් ඕන කියලා. ඒ දෙකේ දී ම අම්මත් තාත්තත් දක්වන සහයෝගය කියල නිම කරන්න බැහැ.” විශ්මි පවසන්නී ය.
ඊට අමතරව විද්‍යාලයීය විදුහල්පතිනි හේමා ජයවර්ධන, ක්‍රිකට් බාර ආචාරිනී අනුෂා ගුණසේකරත් ඉතා ගෞරවයෙන් ඇය සිහිපත් කරන්නීය. පුහුණුකරු අසේල සේනාරත්න,ඉෂාන් රංගන, ගයාන් මුණසිංහ යන පෞද්ගලික පුහුණුකරු ලෙසින් කටයුතු කරන අනූෂ සමරනායකවත් ඇයගේ ජයග්‍රහණයේ කොටස්කරුවන් ලෙසින් ද විශ්මි ගෞරවයෙන් යුතුව සිහිපත් කළා ය.
“අධ්‍යාපනයත් ක්‍රීඩාවත් එක සේ වටිනවා. අපි සමාජයේ අද මේ තත්ත්වයෙන් ඉන්නේ ඒ දෙකම සමබරව ගෙන ගිය නිසා. අනිත් එක ක්‍රීඩාව මඟින් යහපත් පුරවැසියෙක් සමාජයට බිහි වීමේ ප්‍රවණතාව වැඩියි. එදා ක්‍රීඩාවත් අද ක්‍රීඩාවත් වෙනස්. ඒ වුනත් ඉන් බිහිවෙන කෙනාගෙ වෙනසක් නැහැ.
ඒ නිසා මම මගේ දරුවන් තුන් දෙනාට ක්‍රීඩාවට පිවිසීමේ දී කිසිම තහංචියක් දැම්මේ නැහැ. ඔවුන්ගේ ක්‍රීඩාව නිසා ම මම තමයි අපි ගමේ ඉඳල නගරෙටත් එන්නේ. ඉතිං එවැනි කැපවීමක් කරද්දී මේ අය නිවැරදි මාවතකට ගෙන යෑම අපේ වගකීමක්. ඒ වගකීමේ දී යම් යම් දේවලට තහංචි පනවන්නත්, යම් යම් දේවලට බල කරන්නත් අපිට සිදු වෙනවා. ඒ ඒ අයගේ ම හොඳට.”
විශ්මිගේ පියා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන අකාරය ගැන පැවැසුවේ ය.ක්‍රීඩිකාවක් ලෙසින් විශ්මි ගේ නම ක්‍රිකට් ක්‍රීඩාව හා ජනප්‍රිය වූව ද ඇය පළමුවෙන් ම දක්ෂතා සපිරි ක්‍රීඩිකාවක් ලෙසින් ජාතික මට්ටමේ දී පිළිගැනීමට ලක් වෙන්නේ මලල ක්රීඩාවෙනි.
මම ක්‍රිකට් ක්‍රීඩාවට වගේම මලල ක්‍රීඩාවටත් දන්න කියන කාලෙ ඉඳලම සහභාගී වෙනවා. මීටර් 100, 200 කෙටි දුර ඉසව් තමයි කරන්නේ. 2019 අවුරුද්දේ පැවති ජෝන් ටාබට් මලල ක්‍රීඩා උලෙළේ දී අවුරුදු 15න් පහළ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ අවුරුදු 20ක් පැරණි වාර්තාව පිහිටුවන්න අපිට, රත්නාවලී කණ්ඩායමට හැකි වුණා.මීටර් 100 සහ 200 ශ්‍රී ලංකා වර්ණ ලබා ගත්තා.” ඇය ආඩම්බරයෙන් පවසන්නී ය.
මලල ක්‍රීඩාවේ දී කෙතරම් දක්ෂතා දැක් වූව ද ඇයගේ වැඩි කැමැත්ත රැදී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ය. එමෙන් ම අධ්‍යාපනයෙන් ද ඉහළට යෑමට ඇය දක්වන්නේ දැඩි කැමැත්තකි.
“ක්‍රීඩාවත් අධ්‍යාපනයත් දෙකම එක හා සමානව කරගෙන යන්න උත්සාහ කරනවා. අනාගතේ දවසක දක්ෂ පිතිකාරිනියක් ලෙසින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අදහසක් තිබෙනවා. ඒ වගේ ම මලල ක්‍රීඩා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටත් පුංචි ආසාවක් තියෙනවා. ලැබෙන විදිහට ඒ ක්‍රීඩා දෙකේ ම නිතර වෙනවා” විශ්මි තම අනාගතය සැලසුම් කරන්නේ ඒ ආකාරයට ය. ඇයගේ එම බලාපොරොත්තු සඵල වේවායි ක්‍රීඩා අපගේ ද පැතුමයි!
ජගත් ප්‍රේමචන්ද්‍ර
ඡායාරුප - රංජිත් අසංක
සමන්ත වීරසිරි