
බෙලරුසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවකයන්ගේ රාජ්‍ය නොවන සංගමයක් ලෙස ස්ථාපිත කරනු ලැබුවේ 1995 වර්ෂයේදී ය. බෙලරුස්හි ප්‍රකාශනයේ නිදහස සහ ස්වාධීන පුවත්පත් කලාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙය පිහිටුවනු ලැබී ය. බෙලරුසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය (BAJ) ආශ්‍රිතව මාධ්‍යවේදීහු 1300 කට වැඩි පිරිසක් එක් වී සිටිති. ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සහ යුරෝපීය මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සාමාජිකත්වය දරන බෙලරුසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගෙන ඇත.
2021 අගෝස්තු මාසයේදී බෙලරුස්හි කාර්යාලය පොලිසිය විසින් වැටලූ අතර රටේ අධිකරණ අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙම සංවිධානය විසුරුවා හැරීමට නියෝග නිකුත් කෙරිණි. ඊට බලපානු ලැබුවේ 2020 අගෝස්තු මාසයේදී එරට විරෝධතා ව්‍යාපාර ආරම්භ වීමයි. එරට ඒකාධිපතියකු ලෙස ක්‍රියා කරන ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ජනාධිපතිවරණයේ වංචාකාරී ලෙස 6 වැනි වරටත් බලය ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමත් සමඟ විරෝධතා දහස් ගණනින් ඇති විය.
මෙම විරෝධතාකරුවන් රඳවා ගැනීම්, මානව හිමිකම් කණ්ඩායම් සහ ස්වාධීන මාධ්‍යවලට දැඩි ලෙස සීමා පැනවීම්, මාධ්‍ය ආයතන වසා දමමින්, මාධ්‍යවේදීන් සිරගත කිරීම් වැනි සිදුවීම් එරට බලධාරීන් විසින් සිදු කරන විට බෙලරුසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය ඒ වෙනුවෙන් කටයුතු කළහ. පුවත්පත් කාර්යාල වැටලීම්, ප්‍රධාන ස්වාධීන මාධ්‍යවල වෙබ් අඩවි අවහිර කිරීම් සහ නොබෙල් ත්‍යාග සම්මානලාභී Svetlana alexieveich මෙහෙයවූ ‘පෙන්සෙන්ටර්‘ ලේඛකයන්ගේ සංවිධානය වසා දැමීම සිදුවන විට බොහෝ මාධ්‍යවේදීහු එරට අත්හැර ගියහ. පසුගිය අගෝස්තුවේ බෙලරුසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය ඈවර කිරීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කරන විට මාධ්‍යවේදීහු 30 දෙනෙක් සිරගත වී සිටියහ.
2022 ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් ගුලිලර්මො කානො සම්මානය බෙලරුසියානු මාධ්‍යවේදීන්ගේ සංගමයට හිමිවන්නේ මෙවැනි පසුබිමකදී ය.
“මෙම සම්මානය මුළු යුරෝපයේ ම නරකම භාෂණයේ නිදහස පවතින බෙලරුස් හී ස්වාධීන පුවත්පත් කලාවේ මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම සඳහා දැවැන්ත වටිනාකමක් ගෙවන සියලු දෙනාටම කැපවේ.“ යනුවෙන් බෙලරුසියානු මාධ්‍යවේදීන්ගේ සංගමයේ නායකයා ඇසෝසියේටඩ් පුවත්පතට පවසා තිබුණේ එරට මාධ්‍යවේදීන් මුහුණපෑ අනුපමේය දුෂ්කරතා හා අභියෝග නිසා ය.“80 - 90 දශකවලදී අප්‍රිකානු රටවල් අධිරාජ්‍යවාදීන්ගෙන් සහ දේශීය ඒකාධිපතිවාදීන්ගෙන් නිදහස් වීම ආරම්භ වුණා. ඒ සමඟ අප්‍රිකානු මාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් ඔවුන් ඒකරාශිවීමට පටන් ගත්තා. නිදහස් මාධ්‍යයක් සහතික කිරීම උදෙසා ඔවුන් ප්‍රකාශනයක් සකස් කළා. එය ‘වින්ඩ්හොක්‘ (Windhoek) ප්‍රකාශනය ලෙස හැඳින්වෙනවා. මෙම වින්ඩ්හොක් ප්‍රකාශනය ඉදිරිපත් කළේ 1991 මැයි 03 වැනිදා. යුනෙස්කෝ මහ සම්මේලනයේ නිර්දේශය අනුව 1993 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් ලෝක මාධ්‍ය නිදහස් දිනය ප්‍රකාශයට පත් කළා. එම දිනය වශයෙන් තෝරා ගත්තේ වින්ඩ්හොක් ප්‍රකාශනය ඉදිරිපත් කළ මැයි 03 වැනිදා. එතැන් සිට වසරක් පාසා ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය පැවැත්වෙනවා. මෙය වාර්ෂිකව පැවැත්වීමේ අරමුණ වෙන්නේ මාධ්‍ය නිදහස සඳහා සිදු කෙරෙන ඔවුන්ගේ කැපවීම, වගවීම රජයන්ට මතක් කිරීමයි. “ යනුවෙන් විස්තර කළේ යුනෙස්කෝ ආයතනයේ ජනසන්නිවේදන සංවර්ධන පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහන් අධ්‍යක්ෂ, විජයානන්ද ජයවීර ය.
අතීතයේ පුවත්පත් කලාව ලොව ප්‍රමුඛස්ථානයේ වැජඹුණ බැවින් ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කර තිබේ. එහෙත් පුවත්පත් කලාව පමණක් නොව සෙසු මාධ්‍ය නිදහස පිළිබඳව ද ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ සාකච්ඡාවට භාජනය කෙරේ.
“ජනතාවගේ තොරතුරු ලබාගැනීමේ අයිතිය තමයි ඕනෑම සමාජයක ප්‍රධාන වෙන්නේ. තොරතුරු දැනගැනීමේ අයිතිය නැතිව අනෙක් කිසිම අයිතියක් භුක්ති විඳින්න බැහැ. ඒ නිසා ජනමාධ්‍යයේ මූලික අරමුණ විය යුත්තේ මහජනතාවගේ යහපතයි. මහජන මතය ඉෂ්ට කිරීම සඳහා වේදිකාවක් සැපයීමයි ජනමාධ්‍යයෙන් සිද්ධ විය යුත්තේ.“ යනුවෙන් විජයානන්ද ජයවීර තවදුරටත් පැහැදිලි කළේ ය.
බොහෝ විට ජනතා වුවමනාව යටපත්වී පාලකයන්ගේ වුවමනාව ඉස්මතු වන ආකාරයට ජනමාධ්‍ය හැසිරීම සහ ඒ මඟින් ජනතාව තුළ මතයක් ගොඩ නැඟීමට ඇතැම් ජනමාධ්‍ය කටයුතු කිරීම අද සුලබව දැකිය හැකි සංසිද්ධියකි.
“වර්තමානයේ පුවත්පත් කලාව ප්‍රමුඛ ජනමාධ්‍ය ගත්තාම වැඩිපුරම දක්නට ලැබෙන්නේ පාලකයන්ගේ වුවමනාවට කටයුතු කරන මාධ්‍ය ආයතන. ඒ සෑම වුවමනාවකම යටි අරමුණු තිබෙනවා. සමහර විට පාලකයන්ගේ ලාබ ලැබීම්, දේශපාලන අරමුණු වගේ දේවල් වෙන්න පුළුවන්. අන්තිමට සිද්ධ වෙන්නේ මේ ජනමාධ්‍ය නිසා ජනතාව මුළාවේ වැටීම. එහි වරද ජනතාවගේ නෙමෙයි. වැරැද්ද තිබෙන්නේ ජනමාධ්‍යයේ. ඒ නිසා අපි හැම තිස්සේම හිට ගන්න ඕනෑ ජනතාවගේ පැත්තේ. අපි අදටත් ජනතා වුවමනාව වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ජනතාවගේ පැත්තේ ඉන්නවා. ඒත් ඒක ලෙහෙසි පහසු නැහැ. .“ යනුවෙන් සඳහන් කළේ ලංකා පුවත්පතේ කර්තෘ පද්ම මංජුල ය. ශ්‍රී ලංකාවේ පුවත්පත් සම්බන්ධයෙන් සලකා බලන විට ශ්‍රී ලංකා පුවත්පතේ මණ්ඩල පනතේ පරමාර්ථ දැක්වෙන වගන්ති 7 න් වගන්ති තුනකින් දක්වා තිබෙන්නේ මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳව ය. පුවත්පත් මණ්ඩල පනතේ සෙසු වගන්තිවලින් ජනමාධ්‍ය වේදීන්ගේ අධ්‍යාපනය, සුබසාධනය සම්බන්ධයෙන් අන්තර්ගත කර තිබේ.
“සමහරු පුවත්පත් මණ්ඩලය දිහෑ බලන්නේ වැරදි කෝනයෙන්. සමහරු හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයෙන් පුවත්පත් කලාවේදීන්ගේ නිදහස සීමා කරනවා කියලා. එය සම්පූර්ණයෙන් වැරදි අදහසක්. නියාමනය කිරීම සහ වාරණය කිරීම අතරේ ලොකු වෙනසක් තිබෙනවා. ඕනෑම දෙයක නියාමනය කිරීම හොඳ දෙයක්. පාරේ වාහන ගමන් කිරීම නියාමනය කිරීම හොඳ දෙයක්නේ. ඒ වගේ තමයි පුවත්පත් නියාමනය කිරීම. පුවත්පත් කලාවේදීන්ට මූලාශ්‍ර යේ සත්‍යතාව, යුක්ති ගරුක බව ආරක්ෂා කරගැනීමට නිදහස දී තිබෙනවා. ඒත් සමාජයේ ගෞරවය, සමාජ අවශ්‍යතාව ආරක්ෂා කරගැනීමටත් කටයුතු කළ යුතුයි. මානව අයිතිවාසිකම් කඩ නොකළ යුතුයි. හුදකලාව වෙන් වී සිටින කණ්ඩායම් පාර්ශ්ව අතර, ජනවර්ග අතර සබඳතා ගොඩනැඟීම සහ ප්‍රතිෂ්ටාපනය කිරීම සන්නිවේදනයේ පරමාර්ථයක්. එහෙම නැති වුණොත් ගැටුම්කාරී හා අසහනකාරී තත්ත්වයන් ඇති වෙනවා.“ යනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන් තඹවිට විස්තර කළේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිෙව්දන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ සඳහන් කළේ පුවත්පත් නිදහස කිසිවකු විසින් හෝ රජය විසින් හෝ අමුතුවෙන් ලබාදිය යුතු දෙයක් නොවන බව ය. පුවත්පත් නිදහස රටක තිබෙන දෙයක් බැවින් රටක සිදු විය හැකි වන්නේ එය පැහැර ගැනීම පමණක් බව ඔහුගේ අදහස විය. ලෝක පුවත්පත් නිදහස් දිනය සමරනු ලබන 2022 වර්ෂයේ තේමාව ලෙස සැලකෙන්නේ ‘ඩිජිටල් වැටලීම් යටතේ ජනමාධ්‍ය‘ (Journatism Under Surveilance) යන්නයි.
වර්තමානයේදී සමාජ මාධ්‍ය ජාලා, වෙබ් අඩවි පරිශීලනය වන ඩිජිටල් යුගයක යම් බලපෑමක් එල්ල විය හැකි බව ඇතැමුන්ගේ අදහස ය. තවත් සමහරුන් පවසන්නේ දශක කීපයකින් පුවත්පත් කලාව ලෝකයෙන් තුරන් වී යා හැකි බවයි. ‘ඩිජිටල් වැටලීම් යටතේ ජනමාධ්‍ය‘ යන තේමාව යටතේ කතිකාවක් සංවිධානය කර තිබෙන්නේ එබැවිනි.
“ලෝකයේ අකුරු බිහි වීමට පෙර ප්‍රකාශන මාධ්‍යයක් විදිහට භාවිත වුණේ චිත්‍ර. අකුරු ආවාට පස්සේ මිනිස්සු හිතුවා චිත්‍ර වැඩක් නැති වෙයි කියලා. ඊට පස්සේ නිශ්චල ඡායාරූප ශිල්පය බිහිවුණා. ඒත් චිත්‍ර තිබුණා. චලන චිත්‍ර බිහි වුණාම නිශ්චල ඡායාරූප නැති වෙයි කියලා හිතුවා. ඒත් අදටත් චිත්‍ර, නිශ්චල ඡායාරූප තිබෙනවා. ගුවන්විදුලිය ආවා කියලා පත්තර නැති වුණේ නැහැ. රූපවාහිනිය ආවාම සිනමාව ඉවරයි කියලා හිතුවා. ඒත් සිනමාව නැති වුණේ නැහැ. අද ඩිජිටල් යුගයක් ඇවිත් තිබෙනවා. ඒ නිසා ගොඩාක් දෙනා හිතනවා පුවත්පත් නැතිවෙලා යයි කියලා. ඒත් එක මාධ්‍යයකට තවත් මාධ්‍යයක් යට කරන්නවත් වට කරන්නවත් බැහැ. ලංකාවේ ගැසට් එක පළ වුණේ ලංකාලෝකය ලක්මිණි පහන පුවත්පත් පළ වුණේ ගුවන්විදුලිය පැමිණෙන්න කලින්. ගුවන්විදුලිය ආවා කියලා පුවත්පත් නැති වුණේ නැහැනේ. අදටත් පුවත්පත් තියෙනවා. හැබැයි ඒ ඒ මාධ්‍ය පවතින්න වුවමනා කරන දේවල් ඒ ඒ මාධ්‍ය තුළින් හදාගන්න ඕනෑ. පුවත්පත් අදටත් ලෝකයේ පවතිනවා. එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යයක් නැති කරන්න බැහැ. අතික්‍රමණය කරන්නත් බැහැ. හැබැයි පැවැත්මට වුවමනා කරන දේවල් ඒ මාධ්‍ය තුළ සකස් කර ගැනීම ඉතා වැදගත්.“ යනුවෙන් පැහැදිලි කළේ සති අග අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම ය.
1986 දෙසැම්බර් 17 වැනිදා කොළොම්බියාවේ බොගෝටා හී පිහිටි පුවත්පත් කාර්යාලය ඉදිරිපිට කොළොම්බියානු මාධ්‍යවේදියකු වන ගුලිලර්මො කානො ඝාතනය කරනු ලැබුවේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව පුවත්පත මඟින් අනාවරණය කළ නිසා ය.
මැයි 03 වැනිදාට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් 1997 වර්ෂයේ සිට ප්‍රදානය කෙරෙන සම්මානය ‘ගුලිලර්මො කානො‘ ලෙස නම් කරනු ලැබුවේ ඔහුට පිදෙන ගෞරව ප්‍රණාමයක් වශයෙනි. මෙවර පැවැත්වෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදී ප්‍රකාශනයේ නිදහසට ඩිජිටල් යුගයක සිදුවන බලපෑමට අමතරව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, තොරතුරුවලට ප්‍රවේශවීම, පුද්ගලිකත්වයට ඇති අයිතිය වැනි සාධක සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත ය.
“ලෝකයේ මොන රටකවත් ආණ්ඩුවකට බැහැ තනිවම මෙන්න මේකයි මාධ්‍ය නිදහස කියලා අර්ථ ගන්වන්න. ඒක තේරුමක් නැති වැඩක්. ඒ වගේ ම මාධ්‍ය පාර්ශ්වයෙනුත් ඒක එහෙමයි. ඔවුන්ට බැහැ වගකීමෙන් විනිර්මුක්ත නිදහසක් ගැන හිතන්න. මේ ද්වීධ්‍රැව ගැටුම අතරේ තමයි මාධ්‍ය නිදහස කියන භාවිතය හදාගන්න වෙන්නේ. එතැනදි මූලිකව හිතන්න වෙන්නේ පරිශීලනය ගැන. ඇත්තටම නම් මේ නිදහස පරිශීලකයාගේ යහපත වෙනුවෙන් ම පවතින්නක් වෙන්න ඕනෑ. මම මෙතැනදි පරිශීලකයා කියන වචනය යොදා ගන්නේ ඩිජිටල් මාධ්‍ය ආවාට පස්සේ ග්‍රාහකයා අහෝසි වෙලා පරිශීලකයෙක් බිහිවෙලා ඉන්න නිසා. ඒකෙන් සන්දර්භය තවදුරටත් සංකීර්ණ වෙලා තියෙනවා. දැන් මාධ්‍ය නිදහසට ඩිජිටල් අවකාශවලට පවතින්න තියෙන නිදහසත් අනිවාර්යයෙන් ම ඇතුළත්. යුනෙස්කෝව මෙවර වැඩසටහනේ දී අවධාරණය කරන්නෙත් ඔය කරුණමයි.“ යනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද මැල් විස්තර කළේ ය.
2022 ලෝක මාධ්‍ය නිදහස් දිනයේ ගෝලීය සමුළුව මැයි 02 - මැයි 05 දක්වා උරුගුවේ පුන්ටාඩෙල් හී පැවැත්වේ. ඩිජිටල් වැටලීම් යටතේ මාධ්‍ය යන තේමාව යටතේ ප්‍රකාශනයේ නිදහස, මාධ්‍ය වේදීන්ගේ ආරක්ෂාව, තොරතුරු වෙත ප්‍රවේශය සහ පෞද්ගලිකත්වය කෙරෙහි ඩිජිටල් යුගයේ බලපෑම පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරේ.
කථිකයන් රැසක් සහභාගි වන මෙම සමුළුවේ සැසි වාර 50 කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.