කවුද මේ කුමාර් | Page 2 | සිළුමිණ

කවුද මේ කුමාර්

කෑගල්ල අඟුරුවැල්ලේදී ප්‍රේමකුමාර් ගුණරත්නම් උපන්නේ 1965 නොවැම්බර් 18 වැනිදාය. පියා යාපනයේ උපන් ද්‍රවිඩ ජාතිකයකු වූ ආදිමුලම් පිල්ලෙයි ගුණරත්නම්ය. ඔහු නාරම්මල සිංගර් ප්‍රදර්ශනාගාරයේ හිටපු කළමනාකරුවෙකි. ඉන්දීය ද්‍රවිඩ සම්භවයකින් යුත් මව කෑගල්ල උඳුගොඩ උපන් වල්ලිඅම්මා රාජමනී පාඩියන් පිල්ලෙයිය. ඇය කෑගල්ලේම ඉපිද එහිම අධ්‍යාපනය ලබා කෑගල්ල ශාන්ත මරියා දෙමළ විදුහලේ ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරියකි. වසර 1958 විවාහ වූ ඒ දෙපළට දරුවන් 5කි. වැඩිමලා ඕස්ට්‍රේලියාවේ සිටින සරස්වතීය; දෙවැන්නා රංජිදන්ය; තෙවැන්නා වූ ජයන්ත කුමාර් ළමා වියේදී ළිඳට වැටී මිය ගියේය. සිව්වැන්නා ප්‍රේමකුමාර්ය. පස්වැන්නා වූ නිරංජනී, ශාන්ත මේරි විදුහලේ ඉංග‍්‍රීසි ගුරුවරියක් වන අතර ඇය සිය සැමියා වූ විදුහල්පති එස් තුරෙයිසිංහම්, දරුවන් සහ මව සමඟ කෑගල්ල මහගෙදර සිටින්නීය.

ප්‍රේමකුමාර් කෑගල්ල ශාන්ත මරියා විදුහලේ පළමු ශ්‍රේණියට 1971 ජනවාරි 02 ඇතුළු වූ අතර 1980 දෙසැම්බර් 03 දක්වා දක්වා අධ්‍යාපනය ලැබීය. පසුව පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් 1981 ජුනි 15 සිට 1985 මාර්තු 21 දක්වා උසස් අධ්‍යාපනය ලැබ ඉන් සමත්ව පේරාදෙණිය සරසවි ඉංජිනේරු පීඨයට 1985 දී ඊ/85/58 යටතේ ඇතුළත් විය. ප්‍රේමකුමාර් ජවිපෙට එක්වූයේ 1981 වසර අග භාගයේ දී පින්නවල විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදීය. ජවිපෙ පන්ති පැවැත්වූයේ හිරිවඩුන්න ප්‍රදේශයේ වන අතර එහි එක් දේශනයකට උපතිස්ස ගමනායකද පැමිණ තිබිණි.

ප්‍රේමකුමාර් ගේ වැඩිමහල් සොහොයුරා වූ රංජිදන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසුවකුව සිටිය දී ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට එක්විය. රංජිදන් අන්තරේ කැඳවුම්කරු ලෙස 1985 සිට 1986 දක්වාද, ජවිපෙ මධ්‍යම කාරක සභිකයකු සහ පසුව 1989 නොවැම්බර් 28 සිට දේශපාලන මණ්ඩල සභිකයකු ලෙසද කටයුතු කරමින් සිටිය දී 1989 දෙසැම්බර් 13 කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන වැහැර කඳවුරට ද පසුව කොළඹ අපරාධ විමර්ශන අංශයටද ගෙන යෑමෙන් පසු 1990 ජනවාරි මස දී ඝාතනයට පත්විය. 

සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා තුනම ප්‍රේමකුමාර් කතා කළද දෙමළ භාෂාවෙන් ඔහුට එකල ලිවීමට නොහැකිය. සරසවියේ දෙවන වසරේ දී ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට එක්වූ ප්‍රේමකුමාර් ජවිපෙ 2වැනි කැරැල්ල පැවැති 1986 සිට 1990 දක්වා සමයේ දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කලක් ජවිපෙ සන්නද්ධ ලේකම්වරයාය. එම වකවානුවේ දිස්ත්‍රික්ක 19 තුළ සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරුන් වශයෙන් වරින්වර කටයුතු කළ ජවිපෙ ක්‍රියාකාරිකයන් ගණන 93ක් වූ අතර ඉන් ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ ප්‍රේමකුමාර් ඇතුළු 8කට පමණි. ඔහු කුමාර්, ගුණ්ඩා, ගැමුණු, ආර්. එම්. ඩී. ඩබ්ලිව් දස්කොන් කුමාර කරුණාරත්න, දයාලාල් රත්නායක සහ නොයෙල් මුදලිගේ ලෙසද හැඳින්විණි.

පල්ලෙකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක් එල්ල කළ ජවිපෙ කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රේමකුමාර් 1987 මැයි 23 ගලගෙදර දී පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රේමකුමාර් ඒ සෙල් සහ ඒ වෝඩ් එකේ ජවිපෙ අධ්‍යාපන කටයුතු භාරව කටයුතු කළේය. මැගසින් බන්ධනාගාරයේ සිරකරගෙන සිටි ප්‍රේමකුමාර් ඇතුළු ජවිපෙ සාමාජිකයන් 221 ජවිපෙ මගින් 1988 දෙසැම්බර් 13 මැගසින් බන්ධනාගාරයට කඩා වැදී නිදහස්කර ගන්නා ලදී. අනතුරුව විජේවීර සහ ප්‍රේමකුමාර් අතර හමුවක්ද 1989 පෙබරවාරි උඩ පේරාදෙණියේ ජවිපෙ කුලියට ගත් නිවසක දී පැවැත්විණි. ප්‍රේමකුමාර් 1989 පෙබරවාරි සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජවිපෙ සන්නද්ධ ලේකම්වරයා විය. එහි දී විජේවීර විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉන්දීය හමුදාවට එරෙහිව කටයුතු කිරීම ප්‍රේමකුමාර්ට පවරන ලදී. ජවිපෙ ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක 19න් ඉන්දීය හමුදාව රැ දී සිටි එකම ක්‍රියාකාරි දිස්ත්‍රික්කය වූයේ ත්‍රිකුණාමලයයි.

ත්‍රිකුණාමලයේ දී ජවිපෙ කටයුතු භාරව සිටිය දී ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ වාහන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ලකිරීම ප්‍රේමකුමාර් ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විය. නුවර ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ 93වැනි සැතපුම් කණුව අසල මුල්ලිපතානයි දී ඉන්දීය හමුදා භටයන්ට බිම් බෝම්බයක් ඇටවීමට ඔවුහු සමත් වූහ. ඒ ඉන්දු ලංකා ගිවිසුමේ 2වැනි සැමරුම පැවැත්වෙන 1989 ජුලි 25ය. ත්‍රිමලේ ජැටියේද තවත් බෝම්බයක් සවි කරන ලදී. එහි දී ඉන්දීය සෙබළු 14ක් මරුමුවට පත්විය. ආයුධ රැසක් එහි දී පැහැර ගැනීමට කැරලිකරුවෝ සමත් විය. නැගෙනහිර ජවිපෙ දේශප්‍රේමී කැරලිකරුවන් විසින් ඉන්දීය හමුදාවේ සෙබලුන් 63ක් ඝාතනයට පත්කර ඇති බව ජවිපෙ නායක විජේවීර සහ ප්‍රධාන ලේකම් ගමනායක විසින් 1989 සැප්තැම්බර් 05 නිකුත් කළ නිවේදනයක සඳහන් විය. එහි සඳහන් වූයේ 1989 මැයි 12 සිට තෙමසක් ඇතුළත ඉන්දිය හමුදාවේ මේජර්වරයකු ඇතුළු නිලධාරින් 12ද සෙසු භටයන් 51ද වනසා දැමීමට ජවිපෙ විසින් පිහිටුවනු ලැබූ දේශප්‍රේමී විමුක්ති හමුදාවේ නැගෙනහිර පෙරමුණ සමත් වූ බවය.

ප්‍රේමකුමාර් 1989 සැප්තැම්බර් 24 හමුදා අත්අඩංගුවට පත්වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. අත්අඩංගුවට පත් ප්‍රේමකුමාර් කන්තලේ සීනි කම්හල ආශ්‍රිතව තිබූ හමුදා කඳවුරේ රඳවා තිබිණි. එවකට කන්තලේ අණදෙන නිලධාරියා වූයේ ලූතිනන් කර්නල් සරත් ෆොන්සේකාය. ප්‍රේම්කුමාර්ට පෝස්ටර් ඇඳීමට ඇති හැකියාව, කථිකත්වය, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය හේතුවෙන්ද ගීත ගායනා කිරීමේ ඇති හැකියාවෙන්ද ආරක්ෂක අංශ සමඟ කිට්ටු සබඳතාවයක් ගොඩනඟා ගැනීමට හෙතෙම සමත්විය. ඔහු අත්අඩංගුවේ පසුවන විට දී ලූතිනන් අතුල සහ පාලිතද බොහෝ හමුදා භටයන්ද ඔහු ගැයූ කපුගේ, ටී. එම් සහ ජෝතිපාල වැනි ගායකයන් ගේ ගීත අසන්නට හුරුවී සිටියේය. 

ජනාධිපති ප්‍රේමදාස විසින් සර්ව පාක්ෂික සමුළුවක් 1989 සැප්තැම්බර් 13 කැඳවූ අතර එයට ජවිපෙ සහභාගී නොවූවද උපක්‍රමික ක්‍රියාවක් වශයෙන් ආරිය බුලේගොඩ ගේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ සහභාගි කරවන ලදී. එහිම දෙවන සර්ව පාක්ෂික සමුළුව 1989 ඔක්තෝබර් 12 කැඳවූ අතර අත්අඩංගුවට ගෙන ඇති ප්‍රේමකුමාර් ගුණරත්නම් ඇතුළු ජවිපෙ කැරලිකරුවන් 61ක් නිදහස් කරන මෙන් ඉල්ලමින් එහි දී ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ විසින් සන්දේශයක් බාරදෙන ලදී. ඒ අතර ඉදිරිපෙළ කැරලිකරුවන් වූ සරසවි සිසුන් 27ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේමකුමාර් ඇතුළු කිහිපදෙනෙක් කොළඹ ආරක්ෂක මූලස්ථානයට 1990 පෙබරවාරි ගෙන එන ලදී.

පසුව ප්‍රේමකුමාර් කපිතාන් ජයන්ත කොතලාවල යටතේ අඹේපුස්ස කඳවුරේද රඳවා ගන්නා ලදී. අනතුරුව හමුදාව සමඟ කොළඹට පැමිණි අවස්ථාවක දී ප්‍රේමකුමාර් සැලසුම් සහගත ක්‍රියාවලියකින් පසු 1991 මාර්තු අස්ථාන ගතවිය. පසුව බද්දේගම මාවඩවිල, ගාල්ල, දඹුල්ල, මීගමුව, පිළියන්දල වැනි ස්ථාන කිහිපයක රහසිගතව සැඟව සිට ජවිපෙ යළි ප්‍රතිසංවිධානය කිරීමට 1991 අග භාගයේ සිට ක්‍රියාකාරීව දායක විය. ප්‍රේමකුමාර් ගේ පියා ආදිමුලම් 1994 නොවැම්බර් 17 මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු කෑගල්ල රංවල සුසාන භූමියේදි සිදුකළ අතර රහසිගතව ජවිපෙ දේශපාලනයේ නිරතව සිටිය ප්‍රේමකුමාර් ආරක්ෂාව තකා එයටද එක් නොවීය. දෙවැනි කැරැල්ල පරාජයෙන් පසු 1992 අවසාන වනවිට ජවිපෙ යළි යම් මට්ටමකින් පිහිටුවීමට සෝමවංශ සමත්වූ අතර එය ප්‍රසිද්ධ දේශපාලන ප්‍රවාහයට එක්වූයේ 1994 දී ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ හරහා ජාතිය ගලවාගැනීමේ පෙරමුණ නමිනි.

2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු ජවිපෙ යළි ගොඩනැගීමේ දී තීරණාත්මක කාර්යභාරයක් සිදුකළ ‘ගුලිය’ වූ සේනාධීර ගුණතිලක, ජී. කුලරත්න, කමල් දේශප්‍රිය, නන්දන ගුණතිලක, චන්ද්‍රසේන විජේසිංහ, විමල් වීරවංශ ඇතුළු පිරිස සමඟද 1992 දී සබඳතා ගොඩනගා ගැනීමට ප්‍රේමකුමාර් සමත් විය. හෙතෙම විදේශගතව සිටි පක්ෂ නායක සෝමවංශ අමරසිංහ සමඟ 1991 සිටම ‘ගනුදෙනු’ කළේය. සෝමවංශගේ උපදෙස් අනුව පක්ෂයේ පැරැන්නන් හමුවී සබඳතා අලූත් කරගත් අතර ජවිපෙ පක්ෂයක් ලෙස විධිමත්ව ගොඩනැඟුණේ ඉන් අනතුරුවය.

ප්‍රේමකුමාර් 1992 ඇරඹූ ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ වූයේ ජවිපෙ 2වැනි කැරැල්ලේ ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරිනියක වූ පේරාදෙණිය සරසවි වෛද්‍ය සිසු චම්පා සෝමරත්න හෙවත් මයුරි සමඟය. චම්පාට දේශපාලන ජීවිතයේ ආරම්භක පන්ති 5 ඉගැන්වූයේ ප්‍රේමකුමාර් ගේ සොහොයුරා වූ රන්ජිදන්ය. චම්පාද රාගම පේරලන්ද නිවසක සිටිය දී 1990 අත්අඩංගුවට පත්ව පසුව නිදහස් විය. නාත්තණ්ඩිය බෝතලේගම හන්දියේ පදිංචි චම්පා‍ ගේ මව ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරියකි.

චම්පා 1994 මහ මැතිවරණයේ දී ජවිපෙ වෙනුවෙන් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනාද ලබා දුන්නාය. මෙම 1994 මහ මැතිවරණයේ දී ජවිපෙ බර කරට ගන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, නන්දන ගුණතිලක, සේනාධිර ගුණතිලක, විමල් වීරවංශ සහ දීපාල් ගුණසේකර ඇතුළු පිරිසකි. එම මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනාගැනිමට ජවිපෙ සමත් විය.

කොළඹ මහජන පුස්තකාලයේ 1994 දී ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ පක්ෂ නිලවරණයක් පවත්වා එහි ලේකම් තනතුරට මාරවිල උපන් පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය සිසු මැතිව් ප්‍රනාන්දු පත්කර ඔහු හරහා ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ නෛතික බලය ජවිපෙට ලබා ගැනීම, වසර 1994 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය, 1995 මැයි 15 තංගල්ලේ දී ජවිපෙ සමුළුවක් පවත්වා ජවිපෙ නෛතික අයිතිය තහවුරු කරගැනීම, 1997 පළාත් පාලන මැතිවරණය, 1999 සහ 2005 ජනාධිපතිවරණ, 2000, 2001, 2004 මහ මැතිවරණ යන ක්‍රියාවලි සඳහා නායකත්ව කාර්යභාරයක් ප්‍රේමකුමාර් විසින් ඉටු කරන ලදී. ජවිපෙ නායක සෝමවංශ ශ්‍රී ලංකාවට 2001 නොවැම්බර් 22 පැමිණි විට මාලඹේ නැවතී සිටි අතර ඔහුගේ ආරක්ෂාව බාර දුන්නේද ප්‍රේමකුමාර්ටය. 

ප්‍රේමකුමාර් 1994 සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වශයෙන් 2012 මාර්තු මස දක්වා ක්‍රියාකාරීව කටයුතු කළේය. අධ්‍යාපන සහ ශිෂ්‍ය අංශය කලක් භාරව සිටියේද ඔහුය. සුනාමි උවදුර ඇතිවූ 2004 දී ජවිපෙ රතු තරුව වැඩපිළිවෙල යටතේ ධීවර අමාත්‍යාංශයේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරමින් තිබූ සීමීත සම්පත් තුළ සහන සැලසීමේ වැඩසටහනේ නියමුවා වූයේද ප්‍රේමකුමාර්ය. පසුව 2005 ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂට ජනාධිපතිධූරය සඳහා සහාය ලබා දී උපක්‍රමිකව රජයට එක්වී කටයුතු කළයුතු බවට ජවිපෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවේ දී ඒ යෝජනාවට පක්ෂව ඡන්ද 6ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 5ක් ලැබිණි. විරුද්ධව ඡන්දය දුන් ප්‍රේමකුමාර් කියා සිටියේ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු වූවද රජයට එක් නොවිය යුතු බවය. පසුව ජවිපෙ අභ්‍යන්තර ප්‍රශ්නයක් මත ඔහුට 2006 දී ඕස්ට්‍රේලියාවට යෑමට සිදුවිය. කරාපිටිය, කෑගල්ල සහ වැලිසර රෝහල්වල වෛද්‍යවරියක් ලෙස සේවය කළ සිය බිරිය සහ දරුවන්ද ඒ සමඟ විය.

යළි ප්‍රේමකුමාර් ලංකාවට පැමිණියේ 2011 සැප්තැම්බර් 14ය. සිය දරුවන් සමඟ ලංකාවට යළි පැමිණි චම්පා සෝමරත්නද 2012 ජනවාරි 02 ආපසු යෑමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැය 10ක කාලයක් රඳවා ගන්නා ලදී. එහි දී ඇය ප්‍රකාශ කළේ කුමාර් ගුණරත්නම් නැමැත්තකු සමඟ තමා විවාහ වී නැති බවය. ඒ වනවිට ප්‍රේමකුමාර් ගේ ගුවන් බලපත්‍රයේ නම නොයෙල් මුදලිගේ විය.

ජවිපෙන් ඉවත්විමෙන් පසු ප්‍රේමකුමාර් ඇතුළු කණ්ඩායමක ගේ නායකත්ව‍යෙන් ගොඩනැඟූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව 2012 අප්‍රේල් පැවැත්වීමට තිබිය දී 2012 අප්‍රේල් 07 අලූයම කිරිබත්ගොඩ ගැමුණු මාවතේ දී කුමාර් අත්අඩංගුවට ගත් අතර ප්‍රේමකුමාර් හෙවත් නොයෙල් මුදලිගේ ඕස්ට්‍රේලිියානු පුරවැසියකු බැවින් ඕස්ට්‍රේලිියානු තානාපතිවරිය ගේද මැදිහත්වීමෙන් පසු 2012 අප්‍රේල් 09 රාත්‍රියේ මුදාහැරි අතර අප්‍රේල් 10 උදෑසන 7.40ට යළි කටුනායකින් ඕස්ට්‍රේලිියාව බලා යවන ලදී. ජවිපෙ ඉතිහාසය තුළ 1986 සිට 2012 දක්වා වසර 26ක් ප්‍රේමකුමාර් ගුණරත්නම් ජවිපෙ අරමුණ කෙරේ කැපවීම සඳහා බොහෝ පරිත්‍යාගයන් කළ බව නොරහසකි.

ප්‍රේමකුමාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ඕස්ට්‍රේලිියානු හැඳුනුම්පත් අංක 17557167එෆ් හිමි නොයෙල් මුදලිගේ නමින් එන් 1016123 දරන ගුවන් බලපත්‍රය භාවිත කරමිනි. ප්‍රථමයෙන් 1990 දෙසැම්බර් 21 ප්‍රේමකුමාර් ගුණරත්නම් නමින් ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් කේ 0257946 ලබාගෙන තිබූ ඔහු ජීවිතාරක්ෂාව සඳහා යැයි කියමින් පසුව එන්. 1938494 අංක දරන ගමන් බලපත්‍රයක් 2000 ඔක්තෝබර් 29 ලබාගෙන තිබුණේ දස්කොන් මුදියන්සේලාගේ දයාලාල් නමිනි. 

ජනාධිපතිවරණය නිවේදනය කිරීමත් සමඟම 2015 ජනවාරි 01 ප්‍රේමකුමාර් යළි දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරණයේ පෙරටුගාමී පක්ෂයේ අපේක්ෂක දුමින්ද නාගමුවට සහාය දැක්වීය. ලංකාවට පැමිණි පසු පුරවැසිභාවය යළි අයදුම්කර එය ප්‍රමාද වීම නිසා වීසා කාලය දිගුකරන ලෙසද ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පසුව ඉල්ලා සිටියේය. ඉන්පසු ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට පරම්පරාගත ලංකා පුරවැසි තත්ත්වය පිළිබඳ සහතිකයක්ද පුරවා 2015 පෙබරවාරි 18 බාර දුන්නේය. තමන් පිටුවහල් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය. එහි දී ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආගමන විගමන පනතේ 8, 20 සහ 21 වගන්තිවලට අනුව එය විෂය භාර ඇමතිවරයාට අයත් බවය. එම ඉල්ලීම ප්‍රමාදවීමෙන් පසු විසා කාලය ඉක්ම ගිය වහාම ලංකාවෙන් ඉවත්වන ලෙසට ඔහුට නියෝග කර තිබිණි.

ශ්‍රී ලංකාවට පැමිණ 2015 ජනවාරි මස සිට නොවැම්බර් 4 දක්වා අත්අඩංගුවට ගන්නා තෙක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරකම් සඳහා කුමාර් සක්‍රියව දායක විය. වසර 2015 නොවැම්බර් 4 කොළඹ සිට කෑගල්ලේ නිවසට ඔහු අලූයම 3ට පැමිණියේ වෑන් රථයකින් රියදුරු සමඟය. එදින සවස නුවරට යෑමට තිබිණි. ඒ වනවිට ප්‍රේමකුමාර් නායකත්වය දරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සිසු සහ ජන අරගල ගණනාවකට දේශපාලන නායකත්වය ලබාදෙමින් සිටියේය.

ප්‍රේමකුමාර් ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන හෙයින් නීතිවිරෝධීව රැ දී සිටින බව පවසමින් ඔහු 2015 නොවැම්බර් 04 අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට තැත් කිරීම දෙස් විදෙස් මානව හිමිකම් ක්‍රියාකාරින් අතර ආන්දෝලනාත්මක සිද්ධියක් විය. අත්අඩංගුවට ගත් ප්‍රේමකුමාර් පසුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාර ගතකළ අතර යළිත් 2015 නොවැම්බර් 18 අධිකරණයට ඉදිරිපත් කළේය. පසුව කෑගල්ල අධිකරණය විසින් සංචාරක විසා පතකින් මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටීම පිළිබඳව ඔහුට වසරක සිරදඬුවමක් 2016 මාර්තු 31 නියම කළේය.

අනුරාධපුර බන්ධනාගාරයේ වසරක සිරදඬුවම් විඳිමින් සිටි ඔහුගේ වසරක සිරගත කාලය නිමාවීමට තිබුණේ 2016 දෙසැම්බර් 09 වැනිදාය. ඉන් සතියකට පෙර එනම් 2016 දෙසැම්බර් 02 ප්‍රේමකුමාර් ගුණරත්නම් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස ලැබීය.

ඕස්ට්‍රේලිියානු පුරවැසිභාවය අහෝසි වී ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසිභාවය රජය විසින් ප්‍රේමකුමාර්ට පිරිනමනු ලැබුවේ 2017 ජූනි 22දීය. එදින සිට ප්‍රේමකුමාර් පෙරටුගාමි සමාජවාදි පක්ෂය හරහා දේශපාලනයේ නිරතව සිටියි. ඔහුගේ බිරිය චම්පා සහ දරු දෙදෙනා 2022 වනවිටද ජීවත්වනුයේ ඕස්ට්‍රේලිියාවේය.





අරගල කොතැනද පෙරටුගාමීන් එතැන

- පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් කියයි

බ සහ ඔබගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇයි මේ රට ගිනි තියන්න හදන්නේ?

ඇත්තටම මං හිතනවා ඒ ප්‍රශ්නය නිවැරැදි නැහැ. නමුත් මේ ප්‍රශ්නය ඇතුළේ කරුණු කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න. පළමුවැනි කාරණය රට ගිනි තැබීම කෙසේ වෙතත් බරපතළ ආණ්ඩුව විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න, රාජපක්ෂවරුන් ගෙදර යන්න ආණ්ඩුව ඉවත් වෙන්න කියල 225 ම එපා කියන තැනට මේ රටේ මහජන විරෝධයක් තියෙනවා. ආණ්ඩුවට ඡන්දය දුන්නු ජනතාව තමයි මේ ක්‍රියාවලියෙ ඉන්නෙ. ඒක තමයි ඔබ අහන ප්‍රශ්නයේ එක තත්ත්වයක්. එවැනි තත්ත්වයක් ඇතුළේ ජනතාව ස්වාධීනව ස්වේච්ඡාවෙන් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සම්පූර්ණයෙන්ම අසාර්ථක ආණ්ඩුවක් එළවන්න මැදිහත්වෙලා තියෙන වෙලාවෙ අපි හිතනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වාමාංශික පක්ෂයක් හැටියට ඒ විරෝධය ඇතුළේ කටයුතු කරන්න ඕනෑ කියලා. එහිදී තමුන්ගේ කාර්ය භාරය කරන්න ඕනෑ; ජනතාවගේ සැබෑ ජයග්‍රහණයක් සඳහා මේ විරෝධය ඉස්සරහට ගෙනියන්න ඕනෑ කියලා. පහුගිය කාලෙ ජනතාව ඒ අරමුණෙන් එතෙන්ට සම්බන්ධ නූනත් ඇත්තටම මේ අවුරුදු 74 ක් තුළ මේ තිබුණු ක්‍රමයත් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇවිල්ල තියෙනවා. ධනේශ්වර ක්‍රමය ප්‍රශ්න කරන තත්ත්වයක්. මේ ධනේශ්වර ක්‍රමයේ හා නව ලිබරල් උපාය මාර්ගවල අසාර්ථකකම තමයි මේ තියෙන්නෙ. නමුත් ඒක ප්‍රශ්න කෙරෙන්නෙ ගෝඨාභය ගෙදර යන්න, මහින්ද රාජපක්ෂ ගෙදර යන්න, රාජපක්ෂ පවුල ගෙදර යන්න කියන තැනට ඇවිල්ලයි. නමුත් මේ ක්‍රමය ප්‍රශ්න කිරීමක්. ඒ නිසා අපි දිගින් දිගට කියන මේ ක්‍රමය අසාර්ථකයි, මේකෙ ඇතුළෙ තවදුරටත් ජනතාවගෙ මූලික ප්‍රශ්නවලටත් උත්තර දීගන්න බෑ කියන තැනට මේ ප්‍රශ්නය පත්වෙලා තියෙන්නෙ. මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා වෙච්ච අරගලයට; මේ නතුවෙලා තියෙන විරෝධය කොහොමද සංවිධානය කරගන්නෙ, ජනතාව එතෙන්ට දැනුවත් කිරීම තමයි මේ විරෝධය ඇතුළෙ අපේ කාර්ය භාරය වෙන්නෙ.

දැන් ඔබ කිව්වට මේක ජනතාවගේ එකක් කියලා නමුත් ඇත්තටම දැන් මේ ගෝල්ෆේස් උද්ඝෝෂණයේ ඉන්නෙ අයි.යූ.එස්.එෆ්. එකේ ළමයි ටිකයි කැම්පස් ළමයි ටිකයිනෙ. ඔබ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙ. ඒ හින්ද ඔබ කොහොමද කියන්නෙ මේ රටේ සමස්ත ජනතාව ආණ්ඩුවට මෙහෙම යන්න කියනවා කියලා.

නෑ. අද වෙනකොට මේක සාමාන්‍ය සමාජ මාධ්‍ය පාවිච්චි කරන, මාධ්‍යවලට සමීප, තොරතුරු සන්නිවේදනයට සමීප කවුරුත් දැන් දන්නවා මේ අරගලය කොහොමද පැන නැඟුණේ කියල. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවල, යූ ටියුබ්, වට්ස්ඇප්, විවිධ ෆේස්බුක් කැම්පේන් හරහා සමාජ මාධ්‍ය ගෘෘප් කණ්ඩායම් හරහා තමයි මේ විරෝධය නිර්මාණය වුණේ. ඒ හරහා තමයි මේක අද වෙනකොට මේ ගෝල්ෆේස් එකේ අඛණ්ඩ අරගලයක් බවට පත්වෙලා තියෙන්නෙ. එතකොට මං ඒකයි කිව්වෙ මේකෙ එක පැත්තකින් විවිධ පාර්ශ්ව තම තමන්ගේ දේශපාලන කටයුතු දකින දැක්ම අනුව සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතා පැහැදිලිව වගකීමෙන් අපි මේ රජයට, රටේ ජනතාවට අපි පෙරටුගාමී පක්ෂය හැටියට මේ අරගලය ඉතාම සාමකාමී ලෙස රටේ ජනතාවට ඇත්ත ජයග්‍රහණ ගන්න පුළුවන් තැනකට මේක පෙරළා ගැනීම සඳහා අපි මේක ඇතුළේ ක්‍රියාකාරී වෙනවා. එතකොට විවිධ විශේෂ සංවිධාන වෙන්න පුළුවන්; විවිධ කම්කරු වෘත්තීය සමිති සංවිධාන වෙන්න පුළුවන්; ගොවි සංවිධාන වෙන්න පුළුවන්. මේක ඇවිල්ල තවදුරටත් මේ ව්‍යවස්ථාව නිසා ආව හදිසි ප්‍රශ්නයක් නෙවෙයි ජීවත් වීමේ නොහැකියාව නිසා සම්බන්ධ ප්‍රශ්නයක්. රටේ මතුවෙන ඕනෑම අන්තනෝමතික ක්‍රියාමාර්ගයන්ට ඒ වගේ ම මේ ක්‍රමය ප්‍රශ්න කෙරෙන අරගලයන් තුළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතාම නිවැරැදිව එම අරගලත් සමඟ සිටගන්නවා. ඒ වගේ ම ඒවායේ තියෙන සීමා මායිමුත් හඳුනා ගන්නවා; ඒවායේ දිග පළලත් හඳුනා ගන්නවා. ඒ වගේ ම ජනතාවගේ අවබෝධය මේක ඇතුළෙ වඩා ඉහළ තැනකට ගෙන යන්න අපි ඉතාම අවබෝධයෙන් මැදිහත් වෙනවා. ඒක අපි අපේ වගකීමක් හැටියට සලකන්නෙ. ඒ සම්බන්ධව අපේ දෙගිඩියාවක් නැහැ. මූලික අරමුණ අපේ සම්බන්ධ වෙන අරමුණේ අපට තියෙනව නිශ්චිත ඉලක්කයක්. මේ වෙලාවෙ අපිට බොහොම පැහැදිලි අදහසක් තියෙනවා. මේක ඉදිරියේදී මොන විදිහට මාරු වුණත්, බල මාරු වුණත්, අන්තර්වාර ආණ්ඩු මොනව ආවත් මේ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. කවුරු ආණ්ඩු කළත්, මොන පක්ෂය ආණ්ඩු කළත්, මොන විදිහට මේ පාලන ක්‍රමය මාරු වුණත් ජනතාව බල ගන්වන ජනතාව අඛණ්ඩව තමුන්ගෙ බලය පරිහරණය කරන ව්‍යුහයක් එළියෙ තියෙන්න ඕනෑ. එහෙම ක්‍රමවේදයකට මේක තල්ලු වෙන්න ඕනෑ. අද වෙනකොට මේ අරගලය ඇතුළෙ ඒ පණිවිඩය තියෙනවා. ජනතාව පාරට බැහැල තමුන්ගෙ බලය ප්‍රදර්ශනය කරල තියෙනවා. බලය නිසා ආණ්ඩුවලට යම් යම් අකුළා ගැනීම් කරන්න සිද්ධවෙලා තියෙනවා. මේක ව්‍යවස්ථාවේ නැති වුණාට මේක වැඩ කරන බව පේනවා අපිට. මෙන්න මේක ස්ථාවර ව්‍යුහාත්මක බලයක් බවට කොහොමද පත් කරගන්නෙ කියන එකේ ඒකට අදාළ අධ්‍යාපනය ජනතාවට දෙන්න අපි මැදිහත් වෙනවා.

ඔබ පිළිගන්නවද ගෝල්ෆේස් උද්ඝෝෂණයේ ඉන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙ අය කියල?

මෙහෙමයි. ඒක හරි නිශ්චිතයි. අද වෙනකොට මේ අරගලයට මම දන්න තරමින් නම් මගේ දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති අපේ දේශපාලනයට කොයි විදිහටවත් එකඟතාවක් නැති පිරිස් ගෙන් අහල බැලුවම මේක අද වෙනකොට සෑම දෙනාගේම පොදු අරගලයක් වෙලා තියෙනවා. මේකෙ විවිධාකාර වැඩ කරන අය ඉන්නවා. ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුළෙ ස්ථිරවම අපි සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිත්වයක ඉන්නවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට.

ඒ කියන්නෙ ඔබ පිළිගන්නව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයනුත් මේකෙ ඉන්නව කියල?

අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම ගෝල්ෆේස් එකේ ක්‍රියාකාරිත්වය ඇතුළෙත් අනිවාර්යෙන් සක්‍රීය දායකත්වයක් අපි දක්වනවා. හැබැයි අපි කියන්න ඕන ඒක මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ විසින් කැඳවපු අරගලයක් නෙවෙයි. අපිට අවශ්‍ය නැහැ ස්වාධීනව ගොඩනැගුණු අරගලයකට අපේ නාමකරණයක් දාගන්න. ඒ වගේ ම අපේ නාමකරණයක් මෙතෙන්ට දාල සාමාන්‍ය ජනතාව මේකට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්න විවිධ උත්සාහයනුත් අපි හෙළා දකිනවා. දැන් අපි දන්නව රඹුක්කන සිද්ධියක් වුණා; තෙල් මිල වැඩිවීමත් එක්ක. ආවේගයට පත්වෙච්ච ජනතාව තමුන්ගේ විරෝධය සාමකාමීව දැක්වුවා. එතකොට පොලිසිය ආවම එතනට; පොලිසිය කිව්වම පොලිස් දෙපාර්තමේන්තුවම මේකට අයත් වෙනව. නමුත් මම එහෙම කියන්නෙ නැහැ. එතන හිටපු යම්කිසි කණ්ඩායමක් ඉතා පැහැදිලිව සවිඥානිකව අවම බලය පාවිච්චි කරනව කියල කෙලින්ම ජීව උණ්ඩ පාවිච්චි කරල වෙඩි තිබ්බා. මම දන්නෑ උපරිම බලය කියන්නෙ ලොකු මිසයිල ප්‍රහාර එල්ල කරන එක ද කියලා. එතකොට මේ රබර් උණ්ඩ වගේ ක්‍රියාදාමයන් ගන්නෙ නැතුව එතකොට අපට පේනව ගිනි තැබීම් සිද්ධ වෙලා තියෙනවා. ඒවගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් තත්ත්වයට පත් කළාම ඒකෙ වාසිය ආණ්ඩුවට ගන්න පුළුවන්.

නෑ, ඇත්ත වශයෙන් ම එතන වුණේ දැන් සාමාන්‍ය ජනතාව, කොල්ලො කෙල්ලො ෆේස්බුක් හරහා සංවිධානය කරපු උද්ඝෝෂණය පෙරටුගාමීන් හයිජැක් කළා කියල තමයි සමහරු කියන්නෙ. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

පළවැනි කාරණය ඒ අරගලය එහෙම කාටවත් හයිජැක් කරන්න බෑ. මොකද මං ඉස්සෙල්ලා කිව්ව වගේ ඒකෙ ආර්ථික වශයෙන් විවිධ ස්ථර, ක්‍රියාකරන කම්කරු පන්තියේ ජනතාව, පෞද්ගලික අංශයේ රැකියා, ආර්ථික මට්ටම් විවිධ තලවල ඉන්න, ඉහළ මැද පන්තියට අයිති විවිධ සමාජ කණ්ඩායම් විවිධ සංස්කෘතික කණ්ඩායම් මේ සියලු දෙනාම මෙතනට සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි අපි ඉතා වගකීමෙන් ආරම්භයේදී කිව්ව කාරණය නැවතත් කියනවා. මේ රටේ ජනතාව දැන් මේකට නිකන් ආව නෙවෙයිනෙ. මේක නිකන් පැන නගින තත්ත්වයක් නෙවෙයි. මේක මේ රටේ රාජපක්ෂ ආණ්ඩුව, මෙතෙක් බලයේ හිටපු ආණ්ඩු මේ රටේ ජනතාව පත් කරල තියෙන තත්ත්වයක්. ඒ තත්ත්වයට දක්වන ප්‍රතික්‍රියාව මේ ඇවිල්ල තියෙන්නෙ. මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධයක්. රටේ ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් ආවා. රෑට ගෙදර ඉන්න ලයිට් නෑ; තෙල් නෑ; ගෑස් නෑ. එතකොට මේකත් එක්ක ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ආවා. මේකත් එක්ක ජනතාවගේ විරෝධය. ඒ විරෝධය සංවිධානය වුණ විදිය තමයි නූතන ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුවෙච්ච දේ. ඉතින් ඒක තමයි සිද්ධ වෙච්ච දේ. මං වමේ පක්ෂයක් හැටියට ඉතා වගකීමෙන් වසර ගණනාවක් තිස්සේ දැවැන්ත කැපකිරීම් කරමින් දේශපාලනය කරන්නෙ ජනතාවට ජයග්‍රහණ ගේන්න. ඒ නිසා ඒ ජයග්‍රහණ ගේන්න පුළුවන් එකම මාවත සමාජවාදී දේශපාලන ක්‍රමය කියලා විශ්වාස කරනවා. නමුත් ඒ සඳහා යන ගමනෙදි අපි අඩුම තරමින් මේ ජනතා බලය හසුරුවන මේ ක්‍රමවේදය වඩාත් සංවිධිත ක්‍රමයකට මේ කියන ජනතා කවුන්සිල හදල, මේ ජනතා සභා හදල ඒක ක්‍රමානුකූලව පහළ සිට ඉහළට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ශක්තිමත් කරල පාර්ලිමේන්තුවට පිටින් මෙවැනි බලයක් අභ්‍යාස කරන ක්‍රමවේදයක් අභ්‍යාස කරන තත්ත්වයකට යන්න ඕන. ඒකයි අපි කියන්නෙ. අපේ වැඩපිළිවෙළ එතන තියෙන්නෙ. ඒ නිසා ඉතාම සක්‍රීයව මේකට සම්බන්ධ වෙනව. අපිට හයිජැක් කරන්න බෑ කිසිම දෙයක්; හයිජැක් කරන්න අවශ්‍යත් නෑ. මොකද මේවයෙ තියෙන දිග පළල, මේවයෙ තිබෙන සීමාන්ත, යන්න පුළුවන් දුර හැම එකක් ගැනම අපට අවබෝධයක් තියෙනවා. 

දැන් මේවගේ උද්ඝෝෂණය කරන්න කවුද ඔබලට ප්‍රතිපාදන දෙන්නෙ?

පෙරටුගාමී සමාජ පක්ෂය ගැන මං කතා කළොත් මූලිකව අපි ඉතාමත් දුෂ්කර කොන්දේසි ඇතුළෙ දේශපාලනය කරන්නෙ. විශේෂයෙන් ආර්ථික කරුණුවලට අනුව. ආර්ථික තත්ත්වයන්ට අනුව අපි ඉතාම දුෂ්කර අයවැයක් යටතේ තමයි අපේ කටයුතු කරගෙන යන්නෙ. අපේ පක්ෂය දුවන්නෙ කොහොමද? අපේ හිතවතුන්ගෙ ආධාරවලින්, සාමාජික මුදල්වලින් සහ විවිධ ශ්‍රම කටයුතු මගින් අපි අරමුදල් සොයන්න උත්සාහ කරනවා. රටේ සැම තැනකම පුංචි පුංචි ශ්‍රම කටයුතු කරල දුෂ්කර කොන්දේසි යටතේ කටයුතු කරනවා. මේ අරගලයේ තියෙන සුවිශේෂී තත්ත්වයන්. මේ වගේ අරගලවල විශේෂත්වය තමයි මේව ඇතුළෙ ජනතාව කොහොමද පොදු අරගලවලදි එකිනෙකා බලා කියාගෙන වැඩ කරන්නෙ කියන කාරණය. ඒක හදල තියෙන්නෙ මේ ධනේශ්වර ක්‍රමය විසින්.

ඔබ කිව්වට සල්ලි නැහැ කියල දැන් එතැන බැලුවොත් එතැන කෑම බීම ගෙනල්ල තියෙන්නෙ හොඳ හෝටල්වලින් කොළඹ තියෙන. කොහොමද එහෙම වෙන්නෙ? තුන්වේලටම කෑම හම්බ වෙනවා.

අරගලයක් එතැන නැවතිලා ඉදන් දිවා රෑ එක දිගට යද්දි මේ දේශපාලන පණිවිඩය ලංකාවට, ලෝකයට දැවැන්ත දේශපාලන පණිවිඩයක් දෙන තත්ත්වයකට ඒ අරගලය ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමකට යද්දි අනිවාර්යෙන් එතැන පැවැත්මක් හැදෙන්න ඕන. මං ඔබට ඒකයි කිව්වෙ ඒ පැවැත්මට අදාළ මැදිහත්වීම් විවිධාකාර මේ අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව අතරම ඉන්න විවිධ රැකියා කරන විවිධ ආර්ථික කටයුතුවල නියැළෙන ඉතා දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කරන අපි දන්න තරමින් ඒවට උදව් පදව් කරමින් ඉන්නවා අපට පේනව. ඉන්නෙ මහ දැවැන්ත මුදල් තියෙන අය නෙමෙයි. අපිට පේන්නෙ සාමාන්‍ය මිනිස්සු එකිනෙකාට උදව් කරගෙන යන තත්ත්වයක්. මේක මේ විවිධ ආයතනවලින් මුදල් ලබාගෙන කෙරෙන ක්‍රියාවලියක්ය කියල ඒක වෙන විදියකට දේශපාලනය විසින් මේක පින්තාරු කිරීමේ දේශපාලන වුවමනාව ආණ්ඩුවට තියෙනව. ඒක පැහැදිලියි.

ඔබ මේ වගේ පොටෙස්ට් කරන්නෙ රටක් අරාජික කරල බලය අල්ලන්න ද?

මෙහෙමයි. අවස්ථා දෙක තුනකදීම සඳහන් කරපු නිසා මම ඒක නිවැරැදි කරන්නම්. මං හිතනව ඒ කාරණය ප්‍රවිෂ්ට වෙයි කියලා. මේ සමස්ත ව්‍යාපාරය මේ පෙරටුගාමී පක්ෂයේ සංවිධායකත්වයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් සේ හුවා දැක්වෙනවා. මං ඒක ප්‍රතික්ෂේප කරනවා. නැවතත් කියන්නෙ මේක ස්වාධීනව ගොඩනැඟුණු අරගලයක්. මේ අරගලයේ දිග පළලවල් තියෙනවා. ඒවායේ සීමාකන් තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දිත් ඒ අරගලයේ තිබෙන දේශපාලන ගුණය ආරක්ෂා කිරීමටත් ඒක එල්ල කරල තියෙන අරගලයේ විශාල හරිය නිවැරැදිව සම්බන්ධ වෙමින් ඒකට සම්බන්ධ වෙලා වඩා දේශපාලනික තැනකට ගෙනයාම සඳහා මැදිහත් වෙනවා. ඒක තමයි අපේ කාර්ය භාරය. එතකොට අපි සාමාන්‍යයෙන් පෙරටුගාමී සමාජ පක්ෂය රට අරාජික කිරීම හෝ රටේ ජනතාව අපහසුතාවට පත්කිරීම හෝ අපි කියන්නෑ. ඒක අපි තරයේ ප්‍රතික්ෂේප කරන එකක්. අරගලය අරාජික කරපු, රට දුර්වල කරපු, රට බිඳ වට්ටපු රට යළි ගොඩනැගීමේ දේශපාලන ප්‍රවේශයක්.

එතකොට ඔබලා දැන් මේ වගේ දේවල් කරන්නෙ ඩිමොක්‍රසි යටතේ ඔබලට කවදාවත් නගර සභාවකටවත් කට්ටිය ඇතුළත් කරගන්න බැරි හින්දද? ඡන්ද ගන්න බැරි හින්දද?

පළවැනි කාරණය දැන් අපි ජනතාවගේ මහජන අරගලය එකින් එක විශ්වාස කරනවා. මොකද අපි එක පැත්තකින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපි සමාජවාදය විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. අපි විශ්වාස කරන්නෙ මේ රටේ ස්ථිර දේශපාලන විසඳුම් ලැබෙන්න නම්, රටේ ලෝකෙ ප්‍රශ්නවලට ස්ථාවර විසඳුම් ලැබෙන්න නම් මේ අපි ජීවත්වන සමාජ ක්‍රමයේ මූලික වෙනසක් සිද්ධ වෙන්න ඕන. අපිත් මැදිහත් වෙලා වෙනත් බහු ජන සංවිධාන කම්කරු සංවිධාන සම්බන්ධ වෙලා ගොඩනැගිල තියෙන මේ ජන අරගල ව්‍යාපාරය වගේ එකක් අපි පහුගිය 27 වැනිදා මැදිහත්වීමෙන් ඒක ගොඩනැගුවා. මේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමවේදය ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදයයි ගොඩනගන්න ඕන. ඒ ආර්ථික පීඩනය අවම කිරීමේ ක්‍රියාවලියකුත් නැහැ. එනිසා තමයි අපි කියන්නෙ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගෙන ව්‍යුහයක් අපි නිර්මාණය කරන්න ඕන කියලා. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ ජනතාව සැබෑ ලෙස සක්‍රීයව දේශපාලන ක්‍රියාකාරිත්වයේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදයේ. ඒ නිසා තමයි ජනතාව සහභාගි වන ජනතාව සක්‍රීය ලෙස 365 දවසේ සක්‍රීය ලෙස දේශපාලනයේ සම්බන්ධ වෙන ජන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි හිතන්නෙ ඒක තමයි පළල්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය.

දැන් ඔබ කියනව 225 ම ඕනැ නැහැ කියලා. ගෝල්ෆේස් එකේ එක සටන් පාඨයක්. එතකොට ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්ද? මොකද ඩිමොක්ක්‍රසි යටතේ රටකට නීති හදන්න පාර්ලිමේන්තුවක් ඕනෙ. ඒ ගැන ඔබ මොකද කියන්නෙ.

මම ඒක ඉතා නිශ්චිතව ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනෑ. ඒ කියන්නෙ 225 ම එපා කියන එක එකත් අපේ සටන් පාඨයක් නෙමේ. ඒක පෙරටුගාමී සමාජවාදී පක්ෂෙ සටන් පාඨයක් නෙමෙයි. දෙක, ඔබ කිව්වෙ ඇත්ත. ගෝල්ෆේස් එකේ අරගලය ඇතුළෙ මේ 225 ම එපා කියන සටන් පාඨය තියෙනවා. එතකොට 225 ම එපා කියන සටන් පාඨය ආපු හේතුව අපි බලන්න ඕනෙ. ඒකට හේතුව ඒ හේතුව ඇතුළෙ කෙනෙකුට බැලූ බැල්මට මේක තාර්කික නැහැ. මේක මේ දැන් තියෙන ක්‍රමවේදය පාවිච්චි කරන්නෙ නැතුව කොහොමද ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ? මේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමය නැතුව වෙන ක්‍රමයක් නෑ නේද? කියල හිතන කෙනෙකුට 225 ම එපා කියද්දි තාර්කික නැහැ වගේ පෙනුමක් එනවා. නමුත් මම කිව්වෙ ඒකයි 225 ම එපා කියන සටන් පාඨයට මෙතරම් වලංගු භාවයක් එන සමාජ මනෝභාවය මොකක්ද? ඒ කියන්නෙ මේ මෙතෙක් පත්වෙච්ච ආණ්ඩු, ජනාධිපතිවරුන්ගෙන් අත්වෙච්ච ප්‍රතිඵලය ගැන තියෙන විවේචනය. මෙතෙක් කාලයක් මේ 74 වසරක මේ පාලන තන්ත්‍රයන් මේ තියෙන ව්‍යවස්ථාදායකය, විධායකය මේ කියන ඔවුන් සඳහන් කරන මේ ත්‍රිමූර්තිය ගැන උද්ධෘත ඇතුළෙ මේක ගැන තියෙන විශ්වාසය කඩවීම මේ ගැන තියෙන බලාපොරොත්තු සුන්වීම තමයි ඒක ඇතුළෙ තියෙන්නෙ. ඒක හරි බොහොම පැහැදිලි යථාර්ථවාදී ප්‍රකාශනයක්. ජනතාවගේ සමාජ මනෝභාවය තුළ පැන නැඟුණු යථාර්ථවාදී ප්‍රකාශනයක්. අපි මේක ගන්න ඕන. ඒ නිසා තමයි කියන්නෙ 225 ම එපා කියන අපේ සටන් පාඨයක් නූනට ඒක ඇතුළෙ තියෙන හැඟුම් කාරකය තමයි මේ තියෙන ක්‍රමය අසාර්ථකයි; මේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමය අසාර්ථකයි කියන එක.

මේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාවගේ ප්‍රශ්නවලට පූර්ණ පිළිතුරු ලබාගැනීම කළ නොහැකියි කියන එක. ඉතින් ඒකයි අපි කියන්නෙ මේකට සමාජවාදී වැඩපිළිවෙළක් ජන සහභාගී ආර්ථිකයක්, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක්, ජන සහභාගී සියලුම කටයුතුවලට ජනතාව සහභාගි වන ව්‍යුහයන් ගෙන් සමන්විත ක්‍රියාවලියක් කියන එක ඒක පළල් කතාවක් ඇත්ත. ඒකෙන් මේ තියන ප්‍රශ්නවලට තිරසාර විසඳුම් සොයන්න පුළුවන් කියන එක. නමුත් ඒකයි අපි කියන්නෙ දැනට ආණ්ඩු හැදෙයි ද දන්නෙ නැහැ. අන්තර්වාර ආණ්ඩු එයිද දන්නෙ නැහැ. භාරකාර ආණ්ඩු යටතේ මැතිවරණ තියයි ද දන්නෙ නැහැ.

නැවතත් මං කියන්නෙ එළියෙ හැදෙන ජනතා ව්‍යුහ, ජනබල ව්‍යුහයන් ඒ ජනතාව ජීවත්වන සමාජීය රටාවන් පදනම් කරගෙන ජනතාවගේ ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගෙන සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ ක්ෂේත්‍ර පදනම් කරගත්ත මේ ජන බල ව්‍යුහයන් ගෙන් සමන්විත ජාතික කවුන්සිලයක් සක්‍රීය භාවයට ගෙන ඒම ඇතුළෙ කවුරු ආණ්ඩු කළත් ජනතා විරෝධී ක්‍රියාමාර්ග ගනිද්දී ජනතාවට ඒවා ප්‍රශ්න කරන්න පුළුවන් ව්‍යුහයක් බල සහිත ව්‍යුහයක් තියෙනවා. අපි යෝජනා කරන්නෙ අඩු ම තරමින් පළවෙනි පියවර යන්න ඕනෙ එතෙන්ට. ජනතා කවුන්සිල ක්‍රියාවලිය හරහා ඒ ක්‍රියාමාර්ග ජනතාවාදී කර නොගෙන යන්න බැරි, මේ කවුන්සිල මඟ හැරල යන්න බැරි කරන විදිහෙ බලයක් ජනතාව ගොඩනඟන්න ඕනෙ. මං කියන්නෙ මේක තමයි මෙතනදි යන්න පුළුවන් ඉහළම ඉලක්කය කියල මම හිතන්නෙ.

විශේෂ වාර්තාකරුවකු විසිනි

Comments