මධුර පෙරේරා
SAAF රට හරහා දිවිමේ තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු
පනස්හය වැනි ජාතික රට හරහා දිවීමේ ශූරතාවලිය හා දකුණු ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ සාෆ් රට හරහා දිවීමේ ශූරතාවලිය ඉන්දියාවේ නාගලන්තයේ කොහිමා නුවර ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේදී අවසන් විය. එහිදි රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වු අතර විවෘත සහ කනිෂ්ඨ අංශවලින් අනුශූරතා හතරම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගාවලියේ සමස්ත ශූරතාව ඉන්දියාව දිනාගනිද්දී ශ්‍රී ලංකාව අනුශූරයන් විය. මෙම ජයග්‍රහණය හා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ දිගු දුර ධාවනයේ හා මලල ක්‍රීඩාවේ දිශානතිය පිළිබඳ දැන ගැනීම වස් දකුණු ආසියානු අනුශූරයන් පෙළ ගැස්ස වු ප්‍රධාන පුහුණුකරු මධුර පෙරේරා සමඟ සිළුමිණ ක්‍රීඩා කතාබහකට මෙකී ඉඩකඩ වෙන් කෙළමු.
ඉන්දියාවේ පැවැති ජාතික රට හරහා දිවීමේ ශූරතාවලිය හා දකුණු ආසියානු තරගාවලිය හොඳින් නිමා කරන්න පුළුවන් වුණා කියලා සිතනවාද?
අපි ඉතාමත් කැපවීමෙන් පුහුණුවිම්වල නිරතව තමයි තරගාවලියට එක් වුණේ. මගේ කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12දෙනෙකු සහභාගී වුණා. ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ පිරිමි හය දෙනෙක්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ගැහැනු හය දෙනෙක් එකතු වුණා. පුහුණුකරුවන් කිහිප දෙනෙකුගේ ක්‍රීඩකයන් තරගාවලියට ඇතුළත් වුණත් ඔවුන් තරගාවලිය නියෝජනය කළේ නෑ ප්‍රධාන පුහුණු කරු ලෙස මමයි තරගාවලිය නියෝජනය කළේ.
තරමක් සෑහිමකට පත් වුණත් 100 % ක් සැහීමකට පත්වන්න බෑ. නමුත් අපේ කණ්ඩායම උපරිමයෙන් දක්ෂතා දැක්වීමට සමත් වුණා කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ ගැන තවම කිසිම ඇගැයීමක් නෑ. එහෙම වුණාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධෛර්යට පත්වෙනවා. මොකද ක්‍රීඩකයන් විශාල කැපවීමක් කරමින් තමයි පුහුණු වීම් වල නිරත වුණේ. 2019 වසරේ දකුණු ආසියානු තරගාවලියේ පදක්කම්ලාභීන්ට රන් පදක්කමට ලක්ෂ 5ක්, රිදී පදක්කමට ලක්ෂ 3ක් හා ලෝකඩ පදක්කමට ලක්ෂ 2ක් වශයෙන් මුදල් ත්‍යාග ලබාදෙමින් ඇගැයීමට ලක් කළා. අපේ පදක්කම්ලාභීන්ට මේ වන තෙක්ම කිසිම ඇගැයීමක් ලැබීලා නෑ. මලල ක්‍රීඩා සංගමයෙන් කෑම බීම නවාතැන් පහසුකම් හා විදෙස්ගත වීමේදී අනෙකුත් වියදම් ලබාදුන්නත් සැම ක්‍රීඩකයෙකුටම පුද්ගලිකවම වියදම් දරන්නටත් සිදුවුණා , ඒ පුහුණුවීම්වල දී. මේ තමයි වසර ගණනාවකට පසු පළමු අවස්ථාව රට හරහා තරගාවලියකින් අනුශූරතා හතරම දිනාගත්. ක්‍රීඩක ක්‍රීඩීකාවන් නිරතුරුව ම මගෙන් මේ ගැන අහනවා. අද මටත් උත්තර නෑ.
ඇයි ක්‍රීඩා තරගාවලියට එක් වන කොට කළමනාකාරවරයෙකු කණ්ඩායම නියෝජනය කළේ නැද්ද?
කළමනාකාරවරයෙක් තරගාවලියට එක් වුණා. මලල සංගමය සාමාජිකයෙක් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් නමුත් අපිට ඔහුගෙන් අවශ්‍ය කරන දිරිගැන්වීම ලැබුණේ නෑ. මලල ක්‍රීඩා සංගමය දැනුවත් කර ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කර මේ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරන්න ඔහුටවත් වුවමනාවක් නෑ. අපේ ක්‍රීඩක ක්‍රීඩීකාවන් හුඟාක් කනගාටු වෙනවා. දිරිගැන්වීමක් නොකිරීම ගැන.
ඒ කියන්නේ කිසිම සහයෝගයක් නොලැබුණා කියන එකද?
නෑ, මම එහෙම කියන්නේ නෑ, මොකද අපිට විශාල වශයෙන් මලල ක්‍රීඩා සංගමය පුහුණුවීම් වලදී අපේ වුවමනා එපාකම් ගැන සොයලා බැලුවා. මුලික වියදම් දැරුවා. ඒ වගේම අපට අවශ්‍ය කරන පහසුකම් ලබාදීමටත් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු පිරිස නිරතුරුවම අප සමඟ සිටියා. ඒ වගේම අපේ අවශ්‍යතාවය අනුව නුවරඑළියේ පුහුණු විම් වල නිරතවන්නටද අවශ්‍ය කරන සැම කටයුත්තක්ම සලසා දුන්නේ මලල ක්‍රීඩා සංගමය. නුවරඑළියේ පුහුණුවිම් වල නිරත වුණේ නැත්නම් මීට වැඩිය අපට මෙම තරගාවලිය අමාරු වෙනවා.
තරගයට සහභාගි වුණ තරගකරුවන්ගේ ඒකමතික තීරණය වුණේ නුවරඑළියේ පුහුණුව ඉතාමත්ම වැඩදායි පුහුණුවක් ලෙසයි. කාලගුණ විපර්යාසයේදී ධාවනයේ යෙදෙන කොට හුස්ම ගැනීමේදී ඇතිවන අපහසුතා බොහොමයක් ඔවුනට ග්‍රහණය කරගන්න පුළුවන් වුණා නුවරඑළියේ පුහුණු විම්වලදී. සීත කාලගුණයේදී යෙදෙන ආශ්වාස ප්රශ්වාය නෙමෙයි ඝර්ම කලාපයේ පුහුණු විම් වලදී අපි පිටකරන ආශ්වාස ප්‍රශ්වාසය ඒ දෙක අතර සාමානුපාතික වෙනසක් තිබෙනවා. ඒ නිසා නුවරඑළියේ පුහුණුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතාමත් වැදගත් වුණා, මෙම තරගාවලියේ අනුශූරයන් වෙන්න.
අපි අභියෝගයක් කරගත්තේ ඉන්දියාව, අනෙකුත් රටවල් අපට අභියෝග කළත් අපි අභියෝග කළේ ඉන්දියාවට. ඉන්දියාව මෙම තරගාවලියට සත්කාරකත්වය දැක්වු නිසා ඔවුන්ට හැකියාව තිබුණා විශාල පිරිසක් තරගාවලිය එක් කරන්න. එවගේ ම ඔවුන් ප්‍රබල කණ්ඩායමක් තරගාවලියට එක්කර තිබුණා. අපි ඉන්දියාවට අභියෝගයක් එල්ල කල නිසා අපිට හැකිවුණා. අනුශූරයන් වන්න. ඉන්දියාව තමයි තරගාවලියේ ශූරතා හතරම දිනා ගත්තේ.
මෙම ක්‍රීඩක ක්රීඩීකාවන්ගේ ඉදිරි අනාගත සැලැසුම් කොහොමද?
කනිෂ්ඨ ක්‍රීඩකයන් ගැන අපි අවධානය යොමු කළොත් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් අපට සිටිනවා. ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දෙනවා නම් ආසියානු මට්ටමේ ශුරතා ජයග්‍රහණය කරන්න පදක්කම් දිනන්න හැකියාව තියෙනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අතර හේරත් හා නිමේෂා දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඔවුන් කැපවීම් තුළින් ඉදිරියට යා හැකි ක්‍රීඩිකාවන් දෙදෙනෙක්. අත්දැකිම් වැඩි ක්‍රීඩිකාව ලෙස තරගාවලිය නියෝජනය
කළේ මධූමාලි පෙරේරායි. ඇයත් දක්ෂ ක්‍රීඩිකාවක්. ජ්‍යෙෂ්ඨ පිරිමි කණ්ඩායම නියෝජනය කළේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් ඔවුන් ඉතාමත් දක්ෂයි. රීදී පදක්කම දිනාගත් පුෂ්පකුමාර මේ වන විට වයස අවුරුදු 39 ඉක්ම වු ක්‍රීඩකයෙක් ඔහු ඇත්තටම දක්ෂයෙක් මෙවැනි දක්ෂතාවයක් මෙම වයසේදීත් පෙන්නනවා කියන්නේම දක්ෂතාවක්.
මෙම වසරේ ඉදිරි තරගාවලි සඳහා සැලැසුම් මොනවා ද?
ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සජිත් ජයලාල් මහතාගේ ක්‍රීඩකයන් තුන්දෙනෙක් මෙම තරගාවලියට එක් වුණා. පුහුණු කරුවන් වන ජෑන් දිසානායක මහතාගේ හා සුසන්ත ප්‍රනාන්දු මහතාගේ ද ක්‍රීඩකයන් තරගාවලිය නියෝජනය කළා. කනිෂ්ඨ මට්ටමේ පුහුණු කරුවන්ගේ ක්‍රීඩකයන් තමයි කනිෂ්ඨ අංශය නියෝජනය කළේ ඒ සැම ක්රීඩකයෙකුම තම තමන්ගේ පුහුණුකරුවන් සමඟ පුහුණු විම් වල නිරත වනවා. මේ වසරේ ඉදිරියට රට හරගා දිවිමේ තරග නෑ. නැවතත් තරග තියෙන්නේ 2023 වසරේ නමුත් මේ වසරේදී වෙනත් තරගාවලි පැවැත් වීමේ ඉඩකඩ තියෙනවා. ඒ වෙනුවෙන් හා ඉදිරි වසර වෙනුවෙන් ඔවුන් සිය පුහුණුකරුවන් සමඟ පුහුණු විම් වල නිරතව වෙනවා.
ඔබගේ ඉදිරි වැඩකටයුතු හා පුහුණුවීම් ගැන සඳහන් කළොත්?
මම මැදි දුර හා දිග දුර පුහුණුකරුවෙකු ලෙස තමයි කටයුතු කරන්නේ. මෙම තරගාවලිය නියෝජනය කළ කනිෂ්ඨ ක්‍රීඩක ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ජාලිය සංගීත් නිසා තමයි මම ප්‍රධාන පුහුණුකරු ලෙස තරගාවලිය නියෝජනය කළේ. ඇත්තෙන්ම සංගීත් දක්ෂ ක්‍රීඩකයෙක් මෙන්ම ආසියාව ජයගත හැකි ක්‍රීඩකයෙක්. මම ඔහුව නිසි කාල රාමුවක් තුළ ඉදිරියට රැගෙන යමින් සිටිනවා. ඒ වගේම මෙම තරගාවලියෙන්ද රීදී පදක්කමක් දිනා ගැනීමට සංගීත් සමත් වුණා.
ශ්‍රී ලංකාව තුළ මලල ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩකයන්ට අනාගතයක් තියෙනවාද ?
ඇත්තෙන්ම ඔව්. මොකද අද වන විට අනෙකුත් ක්‍රීඩා සමඟ සසඳන කොට මලල ක්‍රීඩාව ඉතමත් හොඳ තැනක තියෙනවා. පදක්කම් දිනුවා. නමුත් නිසි බලධරයන්ගේ අවධානය යොමු නොවන ගතියක් තියෙනවා. දැන් බලන්න කණ්ඩායම් ක්‍රීඩාවකින් පදක්කමක් දිනන්න ක්‍රීඩකයන් 20 - 22ක් සංචිතය තියාගෙන පුහුණුවිම් වල නිරත වෙන්න ඕනෑ. එත් යම් තරගාවලියකදී තරගයක් දින්නොත් ලැබෙන්නේ එක් පදක්කමක් පමණයි. නමුත් මලල ක්‍රීඩාවේ එහෙම නෑ එක් තරග ඉසව්වක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ එක් තරග කරුවෙක් පමණයි. තරගකරුවන් 20 දෙනෙක් තරගාවලියක් නියෝජනය කළොත් 20 දෙනාම පදක්කම් දින්නොත් පදක්කම් 22ක් රටට ලැබෙනවා. ඒ වගේම මගේ තව යෝජනාවක් තියෙනවා සැම මලල ක්‍රීඩා ඉසව්වකට සංචිත ගත කරන කොට තරග කරුවන් දෙදෙනෙකු බැගින් සංචිත ගත කරන්න ඕනෑ, එතකොට මීට වඩා වැඩි ප්‍රගතියක් මලල ක්‍රීඩාව තුළින් අපට ලබාගත හැකියි.