බදු හොරු සීනි කෑ හැටි | Page 2 | සිළුමිණ

බදු හොරු සීනි කෑ හැටි

හ බැංකු වංචාවටත් වඩා වංචාවක් සීනි බදු වංචාවෙන් සිදු කර ඇතැයි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් පැවතුණි. එසේ ආන්දෝලනයකට තුඩු දුන් මේ මහා පරිමාණ වංචාව ගැන යළිත් අවධානය යොමු වන්නේ විගණකාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් තම මතය එළි දැක්වීමත් සමඟය.

මේ කතාවේ සුලමුල සොයා සිළුමිණ ගවේෂණයක යෙදිණි. වත්මන් රජය බලයට පත්වීමට පෙර සීනි සඳහා ආනයනික බද්ද රුපියල් 33 සිට රුපියල් 50ක් දක්වා වැඩි කරන ලදී. ඒ 2020 මැයි 23 වැනිදාය. ඊට ප්‍රධාන හේතු ලෙස කරුණු 3ක් දක්වා තිබුණි. 

සීනි විශාල වශයෙන් නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා භාවිත කිරීම නිසා එය වළක්වා ගැනීම, දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම හා එවකට රට මුහුණ දී තිබූ විදෙස් සංචිත අර්බුදය හේතුවෙන් ආනයන වියදම පාලනය කරගැනීම යන කරුණු එසේ පෙන්වා දී තිබුණි.

එසේ වුවත් පාරිභෝගිකයන්ට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර පැවැති සාකච්ඡාවකින් පසුව 2020 ඔක්තෝබර් 13 වනදා 2197/12 ගැසට් නිවේදනයක් මඟින් විශේෂ භාණ්ඩ සඳහා වූ බදු සංශෝධනය කෙරිණි. එම ගැසට් පත්‍රය නිකුත් කෙළේ අගමැතිවරයාගේ අත්සනින් යුක්තවය.

ඒ අනුව ආනයනික සීනි කිලෝවක් සඳහා වූ රුපියල් 50.00 බද්ද, ශත 25 ක් දක්වා අඩු කරන ලදී. ඒ සීනි කිලෝවක් මහජනතාවට රුපියල් 85.00 ක මිලකට ලබාදීම පිණිසය. රජයේ ඒ ක්‍රියාමාර්ගය පැසසිය යුත්තේ ඒ වන විට කොවිඩ් පළමු රැල්ලෙන් බැට කා සිටි ජනතාවට සහනයක් ලැබෙන හෙයිනි.

එසේ වුවත් එහිදී ප්‍රශ්නයක් මතු විය. සීනි කිලෝවක් සඳහා බදු ශත 25ක් ලෙස අඩු කරන විටත් රුපියල් 50.00 බද්දට සීනි ආනයනය කළ මෙට්‍රික් ටොන් 90,000කට ආසන්න ප්‍රමාණයක් තිබීම නිසා පාරිභෝගිකයන්ට රුපියල් 85කට සීනි ලබාදීම කළ නොහැකි බව ආනයනකරුවෝ පැවසූහ.

පසුව ඒ සම්බන්ධව සාකච්ඡාවක් 2020 ඔක්තෝබර් 27 වැනිදා පවත්වන ලදී. ජනාධිපතිවරයාගේ උපදෙස් පිට පවත්වන ලද එම සාකච්ඡාවට එවකට සතොස සභාපති නුෂාඩ් පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ සීනි ආනයනකරුවන් ද සහභාගී විය. රුපියල් 50 ක බද්දක් ගෙවා ඇති නිසා ආනයනය කර ඇති සීනි රුපියල් 85ට ලබා දිය නොහැකි බව ඔවුහු පෙන්වා දුන්හ සාකච්ඡාවලින් පසුව කෙටි කාලයක් සඳහා ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 40 ක බද්දක් පැනවීමට එකඟතාවයක් ඇති විය.

එහෙත් එහිදී ප්‍රායෝගිකව හා අමාත්‍යාංශ පනත නිසා ගැටලුවක් මතු විය. එනම් නව බද්දක් සංශෝධනය කිරීමෙන් පසුව මාසයක් යන තුරු එය නැවත සංශෝධනය කළ නොහැකි වීමය.

එම නිසා ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 40 ක බද්දක් පනවනවා නම් එය අනිවාර්යෙන්ම 2020 නොවැම්බර් 13 හෝ ඉන් පසුව පැනවිය යුතු විය. එයින් තාවකාලිකව විසඳුම් ලැබුණි. එහෙත් නොවැම්බර් 13 සිට ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 40.00 බද්ද ක්‍රියාත්මක වූයේ නැත.

එක් පසෙකින් සෙල්ලම ඇරඹෙන්නේ එතැන් සිටය. එමෙන්ම තවත් කතාන්දරයක් මෙහිදී දිග හැරිණි. ඒ අනුව 2020 ඔක්තෝබර් 13 ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් යොමුකර භාණ්ඩ 4ක දැනට තිබෙන බද්ද ශත 25ට අඩුකර එදින රාත්‍රියේ සිට ක්‍රියාවට නංවන ලෙසයි.

කෙසේ වුවත් එම ලිපිය එවක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට හෝ වෙ‍ෙළඳ අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන ට යොමු නොකිරීම ගැටලු සහගතය. ලියුම පිටපත් කර ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂයන්ට, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට හා සතොස සභාපති නුෂාඩ් පෙරේරාටත් ය. මේ ආකාරයට එක රැයෙන් බද්ද සංශෝධනය කරන විට මෙරට සීනි ආනයනකරුවන් ගෙවූ සීනි තොග මෙට්‍රික් ටොන් 88,000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත. 

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් විල්මාර් පිරමීඩ් සමාගම ඇතුළු සමාගම් රැසක් ශත 25 බද්දට සිය සීනි සංචිත නිදහස් කරගෙන ඇත.

එසේම සීනි තොග මෙරටට අතිවිශාල ලෙස සීනි ආනයනය කර තිබේ. මෙහිදී විල්මාර් පිරමීඩ් සමාගම ගැන විශේෂයෙන් යමක් සඳහන් කළ යුතුය. ඒ මෙරට ‘බන්දිත ගුදමක්‘ ඇති එකම සීනි ආනයන සමාගම විල්මාර් පිරමිඩ් සමාගම වීමය. සමාගමේ හිමිකරු සජාත් මවුසුන් ය. බන්දිත ගුදමක් යනු රේගු බදු නොගෙවා ගුදමක භාණ්ඩ තැන්පත් කර තබන ගබඩාවයි. ඒ සඳහා අවසර හිමි වන්නේ රජයෙන් ලබා දෙන භාණ්ඩ ප්‍රමාණයක් අනිවාර්යෙන්ම එහි තැන්පත් කර තිබීම හරහාය. ඒ භාණ්ඩ සඳහා බදු අය කරන්නේ භාණ්ඩ නිදහස් කර ගන්නා අවස්ථාවේ තිබෙන බදු ප්‍රතිශතය හෝ බද්ද අනුවය. ඒ අනුව අනෙක් සමාගම් ආනයනය කළ සියලු සීනි සඳහා රුපියල් 50ක් බැගින් බදු ගෙවද්දී බන්දිත ගුදමේ තිබූ සියලු සීනි තොග විල්මාර් සමාගම ශත 25 බැගින් බදු ගෙවා නිදහස් කර ගන්නා ලදී.එසේ ශත 25 බද්දට නිදහස් කර ගත්තද එහි වාසිය කිසිදු ලෙසකින් ජනතාවට ලැබුණේ නැත. ඒ සම්බන්ධයෙන් වරින් වර කතාබහට ලක් විය. පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා විසින් ඉදිරිපත් කරන ලදී. පසුව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වුණේ එම කාලසීමාවේදී සීනි ආනයනය කර තිබෙන සීනි වල සාමාන්‍ය මිල, ආනයන බද්ද සමඟ රුපියල් 84.50ක් බවයි. සමාගම් වෙ‍ෙළඳෙපොළේ සීනි අලෙවි කෙළේ රුපියල් 118ත් 120ත් අතර මිලකටය. ඒ අනුව තොග වෙ‍ෙළඳාම තුළම අධික ලාභයක් ලබාගන්නට මඟ පෑදී තිබුණි.

එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් විල්මාර් පිරමීඩ් සමාගම විසින් වෙනත් ඇණවුම් පිණිස ගිය නැව්වලින් පවා මෙරටට සීනි ගෙන්වා ඇත. ඒ අනුව 2020 වසරේ නොවැම්බර් 2දා මෙට්‍රික් ටොන් 26,000ක් ,නොවැම්බර් 25දා මෙට්‍රික් ටොන් 37,000ක් ආදී වශයෙන් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණයෙන් 39.2%ක් ම ආනයනය කර තිබෙන්නේ එම සමාගමයි. පෙබරවාරි 20 දිනෙන් පසුව රජය රුපියල් 40ක් දක්වා ආනයන බද්ද ඉහළ නංවන ලදී. සීනි බදු අඩුකර තිබූ මාස 4ක කාලය තුළ පිරිමිඩ් විල්මාර් සමාගම විසින් සීනි කිලෝග්‍රෑම් 125,727,950ක් ආනයනය කර තිබේ. දෙවනුව සිටින සමාගම වන්නේ අම්රෝ සුගර් සමාගම වන අතර ඔවුන් එම කාලයට ආනයනය කරන ලද ප්‍රමණය කිලෝ 36,592,700කි. තුන්වැනුව සිටින පල්ලිගොඩ ට්‍රෙඩින් කොම්පැණි කිලෝ 27,479,500ක් ආනයනය කර ඇති අතර සිවුවැනියට සිටින ග්ලෝබල් ට්‍රේඩින් කොම්පැණි ආනයනය කර ඇති ප්‍රමාණය කිලෝග්‍රෑම් 27,199,000කි. සීනි ආනයනික සමාගම් ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයේ සිටින සමාගම 7 කි. පිරමිඩ් විල්මාර් සමාගම 39.2%ක් ප්‍රතිශතයක් ආනයනය කර තිබෙන අවස්ථාවක සෙසු ප්‍රධාන සමාගම් 6ම ආනයනය කර ඇති ප්‍රතිශතය 45%ක් පමණි. කෙසේ වුවත් 2020 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා එනම් රුපියල් 50ක් බදු ලෙස ගෙවිය යුතු කාලයේ පිරමිඩ් විල්මාර් සමාගම සීනි තොග ආනයනය කර ඇත්තේ ඉතාමත්ම අඩු ප්‍රතිශතයකිනි.

ලංකාවේ සාමාන්‍ය මාසික සීනි අවශ්‍යතාව ටොන් 46.000ක් හෙවත් කිලෝ ග්‍රෑම් 46,000,000 ක් පමණ වනවිට බද්ද අඩුකළ මාසවලදී සාමාන්‍ය සීනි ආනයනය මෙට්රික් ටොන් 80,000ක් හෙවත් කිලෝ ග්‍රෑම් 80,000,000 දක්වා ඉහළ ගොස් තිබේ. එය අසීමිත වැඩිවීමකි. සීනි ආනයනය කරන ලැයිස්තුවේ ආයතන 67ක් තිබෙන අතර වැඩියෙන්ම සීනි ආනයනය කොට තිබෙන්නේ පිරමිඩ් විල්මා සමාගමයි.

එහෙත් මේ සමාගම් රැසක් සිදු කළේ ශත 25 බද්දට සීනි ලබා ගෙන සීනි අඩු මිලට ලබා නොදී සීනි තොග සඟවා තබා රුපියල් 40 බද්ද ක්‍රියාවට නැංවුණු පසුව ඉහළ මිලට ඒවා අලෙවි කිරීමට කටයුතු කිරීම ය. වෙ‍ෙළඳ පොළේ සීනි මිල ඉහළ ගියේ මේ සඟවා තැබීම නිසාය. මාධ්‍ය මඟින් ඒ කරුණු හෙළි කළ අතර අවසානයේ බඩුත් සමඟ හොරු අසු විය.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය ආරක්ෂක අංශ සමඟ මෙහෙයුම් ආරම්භ කරන ලදී. 2020 වසරේ අගෝස්තු මස 28 සහ 29 දෙදින වත්තල මාබෝලේ ගබඩාවක සහ සීදුව ප්‍රදේශයේ ගබඩා තුනක සඟවා තිබියදී සීනි මෙට්‍රික් ටොන් 5,455 සොයා ගැනෙන්නේ මේ බදු අඩු කිරීම යටතේය. එමෙන්ම අගෝස්තු 30 වැනිදා පාරිභෝගික අධිකාරිය කළ මෙහෙයුම් හේතුවෙන් තවත් විශාල සීනි තොගයක් සොයාගැනීමට හැකිවිය. ඒ අනුව දින තුනකදී සොයාගත් සීනි තොගය මෙට්‍රික් ටොන් 10,255 කි. අවසානයේ සීනි මෙට්‍රික් ටොන් 11,070 එලෙස සඟවා තිබියදී සොයා ගන්නා ලදී. එහි අරුමය වන්නේ රජයට අයත් ගබඩාවක ද සීනි ගොඩගසා තිබීමය. පසුව රජය විසින් කළ සොයා බැලීමකදී එම ආයතන හඳුනා ගන්නා ලදි. ඒ අනුව සමාගම් 4ක් එහි කැපී පෙනුණි. ඒ අතර පිරමිඩ් විල්මා (මෙට්‍රික් ටොන් 6,200), ග්ලෝබල් ට්‍රේඩින් (මෙට්‍රික් ටොන් 4,900), විල්සන් ට්‍රේඩින් (මෙට්‍රික් ටොන් 14,000) සහ ආර්. ජී. ස්ටෝර්ස් (මෙට්‍රික් ටොන් 800) වශයෙන් සීනි තොග සඟවා තිබුණි.

සීනි බදු රු. 50 සිට ශත 25 දක්වා අඩුකරන අවස්ථාවේදී විල්මාර් ආයතනය සතුව පමණක් සීනි මෙට්‍රික් ටොන් 8237ක් හෙවත් කිලෝ 8,237,000 තිබුණු බව වාර්තා වේ.

ඒ අතර සතොස හරහා ජනතාවට සහන ලබා දීමට කටයුතු කෙරුණ අතර සීනි කිලෝ එකක් රුපියල් 85කට ජනතාවට ලබා දීමේ කටයුතු ඇරැඹුණි. එහිදී සතොස සභාපති සීනි ලබා ගන්නේ ද පිරමිඩ් විල්මාර් සමාගමෙනි.

සමාගම සත 25ක ආනයන බද්දට ගෙන් වූ සීනි මෙට්‍රික් ටොන් දෙදහසකට අධික ප්‍රමාණයක් සතොසට දෙන්නේ කිලෝග්‍රෑම් එක රුපියල් 125 ත් 127 ත් අතර මිලකට ය. එසේ රුපියල් 125ටත් වැඩි මිලකට ලබා ගත් සීනි සතොස හරහා ජනතාවට දුන්නේ රුපියල් 85 කටය. එයින් ලංකා සතොස ආයතනයට රුපියල් 102,113,974ක පාඩුවක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. සිනි සඳහා බදු අඩුකළ අවස්ථාව වනවිට සතොස සතුව සිනි මෙට්‍රික්ටොන් 919.4ක තොගයක් තිබි ඇත. ඒ සිනි තොගය කිලෝග්‍රැම් 01ක් සඳහා රුපියල් 125.41 මිලක් ගෙවා මිලදී ගෙන තිබුණි. එම සිනි තොගය රුපියල් 85 බැගින් අලෙවි කිරීම නිසා සතොසට රුපියල්. 37,159,974ක අලාභයක් වී තිබුණි. එමෙන්ම සීනි සදහා පැවති බද්ධ ශත 25 දක්වා අඩුකිරිමෙන් පසුවද ලංකා සතොස ආයතනය විසින් සීනි මොට්‍රික්ටොන් 2050ක් රුපියල් 92,112, සහ 121.50 යන මිල ගණන් යටතේ මිලදී ගෙන තිබුණි. එසේ වැඩිමිලට මිලදී ගත් සීනි තොගය රුපියල් 85 බැගින් කිලෝවක් අලෙවි කිරීම තුළින් රුපියල් රුපියල් 47,000,000ක අලාභයක් සිදුවී තිබුණි. 

සිනි කිලෝග්‍රැම් 01ක් සඳහා රුපියල් 80ක උපරිම තොගමිල නියම කිරීමෙන් පසුවද සීනි කිලෝ ග්‍රෑම් 2,378,000ක් එම මිලට වඩා වැඩිමිලට මිලදී ගැනීම හේතුවෙන් රුපියල් 17,594,000 ක පාඩුවක් සතොස ආයතනයට සිදුවී තිබු බව විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ හරහා ආයතනයට දැඩි දෝෂාරෝපණ එල්ල වූ අතර පසුව සභාපති නුෂාඩ්ට සතොසට ආයුබොවන් කියන්නට සිදු විය. ඔහු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මුල් පුටුවට ගියේය.

මෙසේ ජනතා මුදල් අවභාවිත කිරීම පෞද්ගලික ආයතන හරහා සිදුවුණේ අපේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාවන් නිසාය. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මේ වංචාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ඒ අනුව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, පිරමිඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුළු පිරිස විත්තිකරුවන් ලෙස ඔහු පෙන්වා දී තිබේ.

ඒ හරහා සිදු වූ වංචාවට අදාළ පුද්ගලයන්ට අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසත් එයින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් එයින් පෙන්වා දී තිබුණි. එමෙන්ම අදාළ මුදල් යළිත් භාණ්ඩාගාරයට ලබා දිය යුතු බවද එයින් දක්වා තිබුණි. ඒ පසුගිය වසරේ මාර්තු 12 දිනය.

එමෙන්ම ජවිපෙ මධ්‍යමකාරක සභිකයන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහ නීතිඥ සුනිල් වටගල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධව පැමිණිල්ලක්ද කරන ලදී.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත යොමු වූ කරුණු සලකා බැලීමෙන් පසුව ඔහු සිය නිර්දේශය ලබා දී ඇත. ඒ අනුව රුපියල් කෝටි 16,763ක බදු මුදලක් රජයට අහිමි වී ඇති බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම ඔහු නිර්දේශ කර ඇත්තේ අදාළ අහිමි වූ බදු මුදල් එම වාසි ලබාගත් අයගෙන් අය කරගන්නා ලෙසයි. මේ නිර්දේශය ලබාදීමත් සමඟම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ විසින් ද නිර්දේශයක් කරන ලදී.

ඇය පෙන්වා දුන්නේ 1996 අංක 21 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතට අනුව අනුව රාජ්‍ය බලය අයුතු ලෙස සහ අත්තනෝමතික ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මානව හිමිකම් කොමිසමට බලය ඇති බවයි. ඒ හරහා ජනතාවට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් මානව හිමිකම් කඩවීමට ඉඩ ප්‍රස්ථාව තිබෙන හෙයින් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ඇය පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම සීනි බදු කිලෝ එකකට ශත 25ක් දක්වා අඩු කළ අවස්ථාවේ පිරිමිඩ් විල්මාර් සමාගම පමණක් ආනයනික ප්‍රමාණය 1222%කින් වැඩි කර තිබේ.

එහි හිමිකරු සජාඩ් මව්සූන් නමින් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ප්‍රකටයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සමාගම් 9කම පරිපාලනත්වය දරයි. එමෙන්ම තවත් සමාගම් කිහිපයක ඔහු ශ්‍රී ලංකාව තුළ පූර්ණ මෙහෙයුම් අධිකාරිත්වය දරයි. සිංගප්පූරුවේ පිරමිඩ් විල්මා සමාගමේ, පිරමිඩ් විල්මාර් (ලංකා) සමාගමේ හිමිකරු වන්නේ ඔහු ය. විල්මාර් සමාගම හරහා සජාඩ් සීනි ව්‍යාපාරය සිදු කරන්නේ 2012 වසරේදී ය.

එමෙන්ම ඔහු පොල්තෙල් ව්‍යාපාරයද සිදු කරන අතර පසුගිය කාලයේ කතාබහට ලක් වූ පිළිකා කාරක ඇෆලටොක්සීන් අඩංගු පොල්තෙල් ආනයනය සම්බන්දයෙන්ද මොහොමඩ් සජාඩ් මව්සූන්ගේ නම ඈදුණි. එසේම ශ්‍රී ලංකාවේ ‘ෂැන්ග්‍රිලා’ හෝටලයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වන්නේ සජාඩ් මව්සූන් වන අතර, ඔහු එහි ප්‍රධාන පරිපාලකවරයෙක්ද වේ.

මේ නිසා සජාඩ්ද අවශ්‍ය පරිදි රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රමවේද වෙනස් කරන්නට හැකිව තිබෙන බවක් පැහැදිලිය. නොඑසේ නම් එවකට මුදල් ඇමැතිවරයා වන අගමැතිවරයාට බදු අඩු කිරීමේ ලිපියේ පිටපත් නොයන්නට ඉඩක් නැත. එමෙන්ම මේ සා විශාල ලෙසින් සීනි ආනයනයේ මුල් තැනට එන්නට හැකියාවක් නැත. එසේම සතොස අලෙවියට සීනි අධික මිලකට ගන්නේද නැත.

දැන් අශ්වයා පැන ගොසිනි. දැන් කළ යුත්තේ මේ මහා වංචාවේ වගකිව යුත්තන්ගේ එතෙර මෙතෙර වත්කම් හරහා හෝ පාඩුව අය කර ගැනීමය.

 

Comments