ප්‍රචණ්ඩත්වය වෙනුවට රිද්මය එක් කළ උද්ඝෝෂණයේ දින 14 ක් | Page 3 | සිළුමිණ

ප්‍රචණ්ඩත්වය වෙනුවට රිද්මය එක් කළ උද්ඝෝෂණයේ දින 14 ක්

ප්‍රේල් නවවැනිදා ජනාධිපති ලේකම් කාර්යාල භූමිය පරිශ්‍රයට පැමිණි දහස් සංඛ්‍යාත තරුණ උද්ඝෝෂණකරුවන් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේ වසර 74ක කාලයක සිට තමන්ට උරුමකරදී තිබෙන පීඩනයෙන් ඉසඹුලන්නට අවැසි මඟක් නිර්මාණය කර ගැනීමේ අදහසින් බව කියති. අප්‍රේල් 22 සිකුරාදා එම උද්ඝෝෂණයට දින 14කි.

මෙම උද්ඝෝෂණය ආරම්භයේ පටන් කිසියම් විචිත්‍රවත් ප්‍රාසාංගික ස්වරූපයක් ගත්තේය. මෙහි ජීව ගුණය රැකගැනීම සඳහා ආවේගශීලි සටන් පාඨ නැඟුවද බොහෝම වේගයෙන් ජනතාව අතරට පත් වූයේ ආවේගශීලි සටන් පාඨ නොව නිර්මාණශීලීව කිසියම් රිද්මයකට ඉදිරිපත් කළ සටන්පාඨ ය. පාරක් තොටක් පුරා නලා පවා හැඬ වෙන්නේ එකී රිද්මයට ය. රට පුරා නන්දෙසින් ජනීජනයා මෙම අරගල භූමියට ආසක්ත කළ කාරණය වූයේ මෙතෙක් අප අත් නොවිඳි ජන අරගලයක ස්වරූපය ගත්මේ ප්‍රාසාංගික බව යන්න මෙහි ගිය අපගේ අවබෝධයයි. මෙය නවමු අත්දැකීමක් මෙන්ම අරගල කිරීමට නවමු විලාසිතාවක් යෝජනා කරයි.

මීට ප්‍රථම අප අත්දැක ඇත්තේ ප්‍රකෝපකාරී ප්‍රචණ්ඩත්වය මූලික කරගත් විරොධතා ව්‍යාපාරයන්ය. ඒවාට මුලිකත්වය දී තිබුණේ දේශපාලන ව්‍යාපාරය වීම ඊට හේතුවන්නට ඇත. ඒ මඟින් බොහෝවිට රජය ත්‍රස්ත කර සිය අරමුණු ඉටු කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණද තම දෛනික ජීවිතයට එල්ල වූ පීඩාව විඳ දරා ගැනීමට නොහැකිව මඟට බට මේ තරුණයන් ගේ ප්‍රකාශන මාදිලිය වෙනස්ම ස්වරූපයක් ගනිමින් තිබේ.

ආවේගශීලි සටන්පාඨ කියමින් තම පීඩනය මුදා හැරියද ඊට එහා ප්‍රචණ්ඩත්වය වෙත ගමන්කිරීමේ අරමුණක් ඔවුන්ට නැත. මේ ආවේගශීලි සටන් පාඨ පවා අරගලයේ ජීව ගුණය පවත්වා ගැනීමේ අරමුණැතිව සිදු කරන්නක් බව පෙනී යයි. අරගලයේ දෙවැනි තුන්වැනිදා වන විට ඔවුන් මෙම ස්ථානය දේශපාලනික අර්ථයකින් නාමකරණය කිරීමට කටයුතු කළේය. එම නමින් මෙම ස්ථානය ගූගල් මාර්ග සිතියමටද එක්කළේය. ගිටාරයක් අතින් ගත් වෘත්තීය සංගීතඥයන් සිංහල රොක් ගායන ඉදිරිපත් කරමින් අරගල භූමිය වර්ණවත් කරනු පෙනෙන්නට විය. ඒ අනුව යමින් රටේ නන්දෙසින් ගිටාරයක් බෙරයක් වයිලීනයක් බැලලයිකාවක්, මැන්ඩලීනයන්, විදුලි ඕගනයක් අතැතිව තරුණ තරුණියන් අරගල භූමියට සේන්දු වන්නට එතරම් කාලයක් ගත නොවීය. මේ සඳහා මුහුණු පොතේ සටහනක් ඡායාරූපයක් ඔවුන්ට ඇරැයුම් පතක් වී තිබුණි. නන්දා මාලනියගේ ‘පවන කැසට් පටයේ ගීත මෙන්ම අරගලය වෙනුවෙන්ම ලියැවුණු ඔවුන්ගේම නිර්මාණ වයමින් ගයමින් සිය හැඟීම් මුදාහරිමින් රැය පහන් කිරීමට ඔවුන් කටයුතු කළ අතර, ඔවුන්ට අවශ්‍ය කූඩාරම්ද ජංගම මළාපවාහන පද්ධතියක් ද යම් යම් උදවියගේ ආධාර උපකාර ඇතිව ඒ තුළ කඩිනමින් ස්ථාපිත විය.

ඇත්තෙන්ම මෙම අරගල භූමිය උපසංස්කෘතික වියමනකි. ආගම් ජාති උස් පහත් භේදයකින් තොරව එකාවන්ව මෙම උප සංස්කෘතික අවකාශය තුළ කටයුතු කරන ආකාරය උද්ඝෝෂණවලට පූර්වාආදර්ශයකි. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ගිනිගත් රටක ජීවත් වීමේ අභාග්‍ය සම්පන්න ඉරණම මින් පසු වෙනස් වනු ඇති බව සංඥා කරමින් අරගල භූමියේ රැඳී සිටි ඉස්ලාම් භක්තිකයන්ට නොම්බි ඇරීම සඳහා මේ ගමෙහි වැසි සියලු දෙනා සහයෝගය ලබා දෙනු පෙණින.

මේ උප සංස්කෘතික අවකාශය තුළ වර්ණ සමඟ අරගල කරන සිත්තරුන් ය. ඔවුන් තම ආත්ම ප්‍රකාශනයන් වර්ණ රේඛා ඔස්සේ සිතුවමට නඟා ප්‍රදර්ශනයට තබා තිබෙනවා පමණක් නොව, එහි එන ඕනෑම අයකුට ඊට තම ප්‍රකාශනය එක්කිරීමට ද අවස්ථාව සලසා දී තිබේ. පසුගිය දවසක පරිසර නීතීඥ ජගත් ගුණවර්ධනයන්ගේ මූලිකත්වයෙන් සිතුවමක් නිර්මාණය කළ අතර එය මුළුමනින්ම නිම කළේ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ තරුණ සාමාජික සාමාජිකාවෝ ය.

මෙහි තැනෙක එළිමහන් වේදිකාවකි. එහි විවිධාකාරයේ ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමට උද්ඝෝෂණකරුවන්ට අවස්ථාව සලසා දී තිබේ. කෙටි නාට්‍ය, නාට්‍ය හා ප්‍රහසන නාට්‍ය විටින්විට මෙහි වේදිකාගත වේ. මෙහි අනෙක් විශේෂිතම ස්ථානය වන්නේ පුස්තකාලයයි. එහි කුඩා දරුවන්ගේ සිට සියලු දෙනාට කියවා රසවිඳිය හැකි නවකතා, කෙටිකතා, කවි, පරිවර්තන සහ නොයෙකුත් විෂයන්ට අදාළ පතපොතෙ එක් රැස්ව තිබේ. මේ මෙම ස්ථානයට පැමිණෙන අය විසින්ම ප්‍රධානය කළ පොත්පත්ය. අප එහි යනවිටත් කුඩා දරුවන්, තරුණ තරුණියන්, මාපියන් පොත් රැගෙන කියවනු පෙණින. සවස් භාගය වන විට ඉටිපන්දම්, පහන්සිළු සහ විදුලි බුබුළු ආධාරයෙන් විවිධ ප්‍රකාශනයන් ඉදිරිපත් කරන අයුරු මෙම අරගල භූමිය තුළ නිතර දක්නට හැකි දසුනකි.

ආහාර පාන විවිධ ආධාරකරුවන්ගෙන් ලැබුණද ඔවුන් එම ස්ථානයේම ඒ සඳහාම වෙන් කර ගත් ස්ථානයක ආහාර පාන සකස් කරගනී. මෙහි ප්‍රාසාංගික හා නිර්මාණශීලීත්වය විසින් මෙතෙක් කිසිදු දේශපාලන වේදිකාවකට ගොඩ නොවූ කලාකරුවන්, කලාකාරිනියන් මෙන්ම වෙනත් දේශපාලන වේදිකාවලට ගොඩ වූ අයද පැමිණ ප්‍රදර්ශන පුවරු රැගෙන සටන් පාඨ කියනු දක්නට ලැබිණ.

පසුගිය අප්‍රේල් 13 වැනිදා මෙහි වාසය කරන බොහෝ දෙනා සිය නිවෙස් ගම් රටවල් වෙත නොයා මෙහිම අවුරුදු සැමරීම සිත්ගන්නා දසුනක් විය. එහිදී නැකැත් චාරිත්‍ර ද කිසිදු අඩුවක් නොමැතිව සිදු කිරීමට ඔවුන් වගබලාගත් අතර ඒ සඳහා සියලු ජාතීන් එක්ව සිටියේය. අනේ‍යා්න්‍ය සංස්කෘතික අවබෝධය මෙන්ම එකම සංස්කෘතික ප්‍රවාහයක ඔවුනොවුන් ආදරයෙන් සමඟියෙන් කටයුතු කරනු දැකීමම උද්ඝෝෂණයේ නැවුම් බව පෙන්වන්නකි.

සියලු දිනයන් අවසානයේ අලුයම පිබිදෙන අරගලකරුවන් මෙම භූමියේ සියලු කැළිකසළ ඉවත් කිරීමට පියවර ගන්නා අතර, ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගනිමින් ප්‍රබල සංකේත ප්‍රකාශනය කරන නිර්මාණ ද මේ තුළ ස්ථාපිත කර තිබේ. අප්‍රේල් 16 වැනිදා අරගල භූමියට අලුත් අත්දැකීමක් එක්කරමින්, මෙරට සාම්ප්‍රදායික ප්‍රාසාංගික කලාවක් සේ සැලකෙන ශාන්තිකර්මයක් ඉදිරිපත් කෙරිණි.

ගාලුමුවදොර මඟ දෙපස පාස්කු ප්‍රහාරය සැමරීමට පැමිණි ජනයාගෙන් පිරීගොස් තිබුණ. ඒ වෙනුවෙන් විවිධ සටන් පාඨ හා ගීතිකා නදියේ නාදය යටපත් කරමින් නැඟිණි. වෙරළ ආසන්නයේ තරුණ කලාකරුවකු විසින් ඉතා සංවේදී කලා කෘතියක් නිර්මාණය කර තිබුණි. එහි යුක්තිය ප්‍රර්ථනා කරමින් ගැට ගැසූ පඬුරු හා ඉටිපන්දම් ද විය.

අනතරුව සියනමකගේ සහභාගීත්වයෙන් සංඝගත දක්ෂිණාවක් පවත්වා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට පාංශුකූලය දී පින්පෙත් ප්‍රාර්ථනා කළේය.

සති දෙකක් තිස්සේ අව්වැසි නොතකා මේ ජනී ජනයා ඉල්ලන්නේ දශක ගණනාවක් තිස්සේ විවිධ කණ්ඩායම් විසින් උදුරා ගත් තමන්ගේ අයිතියේ බරයි.

ඡායාරූප - රංජිත් අසංක

Comments