මෙම වර්ෂයේ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉකුත් මාර්තු මාසයේ දී පැවැත්විණි. ඒ සර්බියාවේ අගනුවර සහ විශාලතම නගරයත් වන බෙල්ග්‍රේඩ් නුවර දීය. ඊට ලොවපුරා රටවල් 128 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 611 ක් සහභාගි වූහ. එහෙත් රුසියාව සහ බෙලරුසියාව ඊට අයත් වූයේ නැත. ඒ යුක්රේන යුද්ධය නිසා එම රටවලට තහනමක් පනවා තිබුණු බැවිනි.
මෙවර මෙම ශූරතාවලිය පැවැත්වූයේ 18 වැනි වරටයි. ඉතියෝපියාවට මෙවර මුල් ස්ථානය හිමි වූයේය. ඒ රන් පදක්කම් 04 ක් හිමිකර ගෙනය. රන් 03 ක් සමඟින් ඇමෙරිකාවට දෙවන ස්ථානයයි. රන් 02 ක් හිමිකර ගත් බෙල්ජියමට තෙවැනි ස්ථානය හිමි විය. එහෙත් බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ යුක්රේනයටයි. ඒ ඔවුන් සම 06 වැනි ස්ථානය හිමිකරගත් නිසාවෙනි.
එහිදී යුක්රේනය රන් සහ රිදී පදක්කම් එක බැගින් හිමිකර ගැනීමට සමත් විය. ඊට දායක වූයේ ක්‍රීඩිකාවන්ම දෙදෙනෙක් වීමත් විශේෂත්වයකි. ඒ යාරොස්ලාවා මාහුචික් සහ මාරිනා බෙක් රොමන්චුක්ය. මින් රන් පදක්කම යාරොස්ලාවාටය. රිදී පදක්කම මාරිනාටය.
20 හැවිරිදි යාරොස්ලාවා මෙවර රන් ශූරිය වූයේ උස පැනීමටයි. එහිදී ඇයගේ දක්ෂතාව මීටර් 2.02 කි. එය මෙම වසරේ වාර්තා වූ හොඳම දක්ෂතාවයයි. මෙහිදී රිදී පදක්කම ඕස්ට්‍රේලියාවේ එලියානොර් පැටර්සන්ටය. ඇයගේ දක්ෂතාව මීටර් 2 කි. එය ඔෂේනියා වාර්තාවකි. කසක්ස්තානයේ නාඩෙෂ්ඩා ඩුබොවිට්ස්කායා තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූවාය. ඒ මීටර් 1.98 ක උසක් පනිමින්ය. එය ආසියානු වාර්තාවකි.
මාරිනා රිදී පදක්කම හිමිකර ගත්තේ තුන් පිම්ම තරග ඉසව්වටයි. ඇයගේ දක්ෂතාවය මීටර් 14.74 කි. එය ඇයගේ හොඳම පුද්ගලික දස්කමත් වේ. ඇය 26 හැවිරිදිය. මීට පෙර 2001 ලෝක සහ 2018 යුරෝපීය ශූරතාවලියන්හිදී ඇය රිදී පදක්කම් හිමිකර ගැනීමට සමත් වී සිටියාය. ඒ දුර පැනීමෙනි.
කෙසේ වෙතත් මෙවර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී වැඩිම අවධානය යොමු වූයේ යාරොස්ලාවා මාහුචික් හටය. ඒ වෙන කිසිවක් නිසා නොව ඇය මෙවර ශූරතාවලියට සහභාගි වූයේ තෙදිනක ජිවිතයත් මරණයත් අතර අති දුෂ්කර ගමනකින් අනතුරුව නිසාය.
එවැනි වාතාවරණයක් ඇති වූයේ රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමයි. “රුසියානු හමුදාව අපේ රට ආක්‍රමණය කරලා ප්‍රහාර එල්ල කරන විට තමයි මම පැනලා ආවේ. මගේ ගම තමයි ඩ්නිප්‍රො. එය පිහිටලා තිබුණේ අගනුවර වන කියැව් සිට සැතපුම් 300 ක් විතර දුරකයි. මම මගේ මෝටර් රථයෙන් දින 03 ක් ගමන් කරලයි සර්බියාවට ආවේ.” යාරොස්ලාවා ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය හමුවේ හැඟුම්බරව පැවසුවාය.
“මෙම ප්‍රහාර නිසා මුලින්ම මෙවර ශූරතාවලියට සහභාගි නොවෙන්න තීරණය කළා. ඒ වුනත් මගේ කණ්ඩායම මට බලකලා තරග කරන්න කියලා. පිටියට යෑමට පෙර මගේ හිතේ තිබුණේ එක් දෙයක් විතරයි. ඒ මගේ රට යුක්රේනය ගැනයි. ඒ ඉතාම නරක දේවල් එහි වෙනවා. මට පනින්න පුළුවන් වේද කියලත් සැකයක් ආවා. නමුත් මගේ පුහුණුකරු උපදෙස් දෙමින් පැවසුවේ උපරිම දක්ෂතාවය දක්වන්න කියලයි. රුසියානු ආක්‍රමණයට පෙර මම හොඳ ශරීර සුවතාවයකින් පුහුණුවීම්වල සාර්ථකව නිරත වූවා.” ජයග්‍රහණයෙන් අනතුරුව යාරොස්ලාවා සිය ජය සැමරුවේ යුක්රේන ජාතික ධජය අතැතිවය. එහිදී ක්‍රීඩාංගණයේ සිටි නරඹන්නෝ ඇය වෙනුවෙන් ප්‍රීතිඝෝෂා කළහ.
“මේ ජයග්‍රහණය මටත්, මගේ පවුලටත්, මගේ රටටත් ඉතා වැදගත් වෙනවා. දින තුනක් ඉතා දුෂ්කර ගමනක් ඇවිත් තරග කිරීම පහසු දෙයක් නොවේ. එය මානසිකවත් දැඩිව බලපානවා. මගේ හදවතේ සෑම වේලාවෙම තිබුණේ මගේ රටයි. එය හරිම අමාරුයි. ඒ වුනත් මගේ රට වෙනුවෙන් හොඳ දෙයක් කිරීමට මට හැකි වුනා. පිටිය තුළ දී මගේ රට ආරක්ෂා කිරීමට මට පුළුවන් වුනා. මට හිතෙන හැටියට අපි තරග කිරීම මගේ රටට වැදගත් වෙනවා.” යාරොස්ලාවා තවදුරටත් පැවසුවාය.
යාරොස්ලාවා ඔලෙක්සියිව්නා මාහුචික් 2001 වසරේ සැප්තැම්බර් මස 19 වැනි දා උපත ලැබුවාය. ඇගේ උස අඩි 5 අඟල් 11 කි. එය කාන්තා උස පැනීමේ ඉසව්වට ඉතාම උචිතය. එම නිසාම ඇය එම ඉසව්වම තෝරා ගත්තාය. අවුරුදු 13 දී ඇය උස පැනීම තෝරා ගත්තාය.
ජාත්‍යන්තරව ඇය වෙත දැඩි අවධානයක් යොමු වූයේ මෙවර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී බව සත්‍යයකි. ඊට ඉවහල් වූයේ රුසියානු - යුක්රේනියානු අර්බුදයයි.
එසේ වූවත් ඇය ඉකුත් කාලයේ දී ජගත් මට්ටමින් විශිෂ්ට දස්කම් දක්වා තිබෙන ක්‍රීඩිකාවකි. ඒ අතරින් 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළ ඉදිරියෙන්ම සිටියි.
2020 ඔලිම්පික් උළෙලේ දී යාරොස්ලාවා ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වූවාය. එහිදී ඇයගේ දක්ෂතාවය මීටර් 2 කි. එවර රන් පදක්කම රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් තරග කළ මරියා ලැසිට්ස්කෙනේ හිමිකර ගත්තාය. ඇයගේ දක්ෂතාවය වූයේ මීටර් 2.04 කි. ඕස්ට්‍රේලියාවේ නිකොලා මැක්ඩර්මොට් රිදී පදක්කම්ලාභිණියයි. ඇය මීටර් 2.02 දක්ෂතාවයක් දැක් වූවාය.
මීට අමතරව 2019 ලෝක ශූරතාවලියේ දී රිදී, 2021 යුරෝපීය ගෘහස්ථ ශූරතාවලියේ දී රන් සහ 2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් ඇය විසින් හිමි කර ගෙන සිටින්නීය. මේ සියලුම දස්කම් තුළින් පැහැදිලි වන එක් දෙයක් වේ. එනම් මේ වන විට කාන්තා උස පැනීමට ලොව සිටින විශිෂ්ටතම ක්‍රීඩිකාවන් අතරට මේ යොවුන් ශූරියත් අයත් බවයි.