එන්න ක්‍රීඩාවේ අභිවෘද්ධියට මුලින්ම ජාතික ක්‍රීඩාව බලාත්මක කරමු | සිළුමිණ

එන්න ක්‍රීඩාවේ අභිවෘද්ධියට මුලින්ම ජාතික ක්‍රීඩාව බලාත්මක කරමු

 

අද වන විට මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වය හා අර්බූදය හමුවේ නව කැබිනට් මණ්ඩලයක් පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ දිව්රුම් දුන්නේ ය. අභිනව කැබිනට් මණ්ඩලයේ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා ලෙස තේනුක විදානගමගේ දිවුරුම් දුන්නේ ය. පසුව රීඩ් මාවතේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තේ ය. එහිදී නව ක්‍රීඩා ඇමැතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ දේශපාලන හා ආර්ථික අර්බූදය හමු‍වේ උද්ගතවූ වාතාවරණයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැරුම් වලින් ඉවත්ව ගිය නිලධාරීන්ගේ සේවය යළිත් ලබාගැනීමට කටයුතු කරන බවත් ජාතික ක්‍රීඩා සභාව නැවත බලගැන්වීමේ දී මහේල ජයවර්ධනට යළි සභාපති ධූරය පිරිනැමීමට තමා කැමැත්තෙන් පසුවන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු නව ඇමැතිවරයා පවසා සිටියේ ය.

ක්‍රීඩාවේ අභිවෘද්ධියට පළමුවෙන්ම කළ යුතු කාර්ය වන්නේ ජාතික ක්‍රීඩා සභාව නැවත බලාත්මක කිරිමයි.එහි සභාපතිත්වය දැරු මහේල ජයවර්ධන හා සෙසු සාමාජිකයන් දේශපාලන හා ආර්ථික අර්බූදයන් හමුවේ හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමග ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැරුම් වලින් ඉවත් වුණා. ඒ පිරිස නැවත ජාතික ක්‍රීඩා සභාව වෙත කැදැවීම මගේ මුල්ම රාජකාරිය වනවා. මහේල ජයවර්ධන මෙන්ම කුමාර සංගක්කාරට ද මම ආරාධනා කරනවා නැවත වැඩ බාර ගෙන වැඩ කටයුතු කරගෙන යන ලෙස,ඒ වගේ අද උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය රටක් ලෙස අපි බලාපොරොත්තු වූ දෙයක් නොවේ. නමුත් තරුණ තරුණීයන් විශාල ප්‍රමාණයක් අද එළියට බැහැලා විරෝධතා දක්වනවා. අද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඒ විරෝධතා දක්වන දරුවන් සියලු දෙනා රටට ආදරේ කරන පිරිසක් ලෙසයි. එම තරුණ පිරිසගේ අවශ්‍යතා සපුරන රටක් ගොඩනගන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

අද රට පත්ව ඇති අර්බූදකාරී තත්ත්වයෙන් මුදා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රීයාත්මක කරන්න සහයෝගය ලබා දෙන ලෙස සියලුම තරුණ තරුණියන්ට මම ආරාධනා කරනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය ආසනය නියෝජනය කරමින් 2010 වර්ෂයේ පාර්ලිමේන්තුවට පිවිසි තේනුක විදානගමගේ 2020 වසරේ සිට ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය හෙබවීය.

විදානගමගේ හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ අමාත්‍යංශ විෂය පථයට අදාළ නියෝජ්‍ය ඇමැති වරයා ලෙස ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස රාජකාරී කළේය.

1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය ස්ථාපිත කිරීමෙන් පසු ක්‍රීඩා ඇමැතිවරයා ලෙස වැඩ බාරගත් කේ.බී රත්නායකගෙන් පසු අභිනවයෙන් වැඩ බාර ගත් ක්‍රීඩා ඇමැතිවරයා වනුයේ තේනුක විදානගමගේයි.

 

Comments