ප්ලාස්ටික් නිමැවුම් ප්‍රශස්ත භාවිතය හා ගංගා, සාගර පරිසර පද්ධති සුරැකීම | Page 2 | සිළුමිණ

ප්ලාස්ටික් නිමැවුම් ප්‍රශස්ත භාවිතය හා ගංගා, සාගර පරිසර පද්ධති සුරැකීම

නූතන ලෝකයේ ප්ලාස්ටික් හා ආශ්‍රිත නිෂ්පාදන සාමාන්‍ය ජන ජිවිතයට ඉතා සමීප මෙවලම් බවට පත්ව තිබේ. බර අඩුවීම, ශක්තිමත් වීම, ප්‍රවාහන පිරිවැය අඩුවීම, කැඩීම් බිඳීම් ඇති නොවීම, ජලයට ඔරොත්තු දීම, ආකර්ශනීය ලෙස ඕනෑම හැඩතලයකින් නිෂ්පාදිත කිරීමට ඇති හැකියාව, රළු භාවිතයට ඔරොත්තු දීම මෙන්ම ලොව පිළිගත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ගීකරණ  කේත ඇතුළත්ව නිමවන ලද ප්ලාස්ටික් බඳුන්, අසුරණ උපකරණ, ආහාර ද්‍රව්‍ය මෙන්ම වෙනත් අවශ්‍ය ද්‍රව්‍යයන්  බහාලීම සඳහා නිර්දේශ කර තිබීම යන සාධක හේතුකොටගෙන ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය ජනප්‍රිය වී තිබේ.
 
ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වූ HERMAN විසින් නව නිෂ්පාදනයක් ලෙස ප්ලාස්ටික් සොයාගැනීමත් විශේෂයෙන් අභ්‍යවකාශ ගවේෂණය සඳහා උඩුගුවනේදී පරිහරණයට පහසු සැහැල්ලු ද්‍රව්‍යයක් ලෙස භාවිත කළ හැකි ප්ලාස්ටික් අද වන විට ආහාර ඇසුරුම්, කර්මාන්ත, වෙළෙඳාම, කෘෂිකාර්මික, ඉදිකිරීම්, ඉලෙක්ට්‍රොනික ආදී වශයෙන් විවිධ අවශ්‍යතා සඳහා බහුල ලෙස භාවිතයට යොදා ගනු ලැබේ. සංකීර්ණ නූතනසමාජයේ මනුෂ්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමේ පහසුවක් ප්ලාස්ටික් හා ආශ්‍රිත නිෂ්පාදන ඔස්සේ සිදුවුව ද, භාවිතයෙන් පසු බැහැරලීම් විධිමත්ව, සෞඛ්‍යාරක්ෂිතව පරිසර හිතකාමී ලෙස සිදුනොවන නිසා ප්ලාස්ටික්  විසින් මිහිමත පරිසර පද්ධති වලට සිදුකර ඇති හානිය සුළු පටු නොවේ.
 
ප්ලාස්ටික් දිරායාමට දිගුකාලයක් ගතවීම.
 
ප්ලාස්ටික් පොලිතීන් නිෂ්පාදන දිරාපත්වීමට වසර 500 – 1000 අතර කාලයක් ගතවීම මිහිමත යහපැවැත්ම උදෙසා වූ මහත් ඛේදවාචකයක් වේ. ප්ලාස්ටික් නිමැවුම් ඇරඹි දවසේ සිට අද දක්වා නිෂ්පාදිත  ද්‍රව්‍යයන් භාවිතයෙන් පසුව සිදුකෙරෙන අක්‍රමවත් බැහැරලීම නිසා ඒවා  අදවන විටත්, මිහිමත තැන තැන විසිරව මෙන්ම ගොඩගැසී තිබේ. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ඇසුරුමක් දිරායාමට වසර 400ක් ද, ප්ලාස්ටික් බෝතලයක් දිරායෑමට වසර  450ක් ද, ප්ලාස්ටික් කෝපප්යක් දිරාපත්වීමට වසර 450ක් ද, ප්ලාස්ටික්  දත් බුරුසුවක් සිරායෑමට අවුරුදු 500ක් ද , ප්ලාස්ටික් බීම බටයක් දිරාපත්වීමට වසර 20ක් ද, ප්ලාස්ටික් ගන්මල්ලක් දිරාපත්වීමට වසර 20ක් ද, කෝපි කෝප්පයක් දිරා යෑමට වසර 30ක් ද, මාලුදැලක් දිරායාමට වසර 40ක් ද, නයිලෝන් රෙද්දක් දිරායාමට වසර 30-40ක් ද ආදී වශයෙන් කාලය ගත වේ. ඒ ප්ලාස්ටික් සංයුතියේ ස්වභාවයයි. මිහිමත පරිසර පද්ධති මත මෙතරම් කාලයක් දිරාපත් නොවී මේ ආකාරයේ, කෘතිම නිමැවුම් පැවතීම  පාරිසරික තර්ජනයක් බව අප සැම ඥානාන්විතව තේරුම් ගත යුතුවේ.
 
පාරිසරික, සෞඛ්‍ය හා සමාජයීය ගැටලු
 
ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ගංගා ඇළ දොල තෙත්බිම් පරිසර පද්ධති මෙන්ම ජල පෝෂක ප්‍රදේශ පාරිසරික හායනයට පත්ව  ඇත. වෙරළ පරිසර පද්ධති දූෂ්‍ය වී ඇති අතර, අවසානයේ සියලු ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එකතුවීමෙන් මහා පරිමාණ ලෙස සාගර පරිසර පද්ධති දුෂණයට ලක්ව ඇත. පොළොව මත තැන්පත් වූ ප්ලාස්ටික් දිරායාමට කල්ගත වන බැවින් එය පසේ ගුණාත්මකභාවය අඩුවීමට හේතු වී ඇත. වෙරළ මෙන්ම සෙසු පරිසර පද්ධති වල සෞන්දර්යය විනාශ වී ඇත. කාණු හා නල මාර්ග වල ප්ලාස්ටික්, පොලිතීන් සිරවීමෙන් වැසි සමයේදී නාගරික ගංවතුර තත්ත්වයන්  උද්ගත වේ. පොලිතීන් පිළිස්සීමෙන්නිකුත් වන විෂ වායූ නිසා වායූ දුෂණය මෙන්ම පිළිකා හා ශ්වසන රෝග ඇති වේ. අක්‍රමවත්ව ඉවත දමන ප්ලාස්ටික් භාජන ආදී  උපකරණ වල ජලය පිරිමෙන් ඩෙංගු, බරවා වැනි රෝග ව්‍යාප්තියට හේතුවේ. අපද්‍රව්‍ය බැහැරලන එළිමහන් භූමී වල ආහාර අනුභවයට එක්වන වනසතුන් විශේෂ බොහෝමයක් ආහාර වල මිශ්‍රවූ පොලිතීන් ආහාරයට ගැනීමෙන් අනතුරට ලක්ව ඇති අතර,  අද වන විටත් ඔවුන්ගේ ජිවිත වලට තර්ජන එල්ලවී තිබේ. මුහුදු පක්ෂීන්, තල්මසුන්. කැස්බෑවුන් වෙනත් ක්ෂිරපායින් ඇතුළත්ව ලොව පුරා සත්ව විශේෂ 700ට ආසන්න සතුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා අවධානමට ලක්ව ඇත. විධිමත් කළමනාකරණයෙන් බැහැරව මේ යන ආකාරයට දිගින් දිගටම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලොව ස්වභාවික පරිසරයට මුදා හරින්නේ නම්, එම  අපද්‍රව්‍ය ප්‍රමාණය වසර 2050 වන විට මෙට්‍රික් ටොන් ට්‍රිලියන 12ක් දක්වා වර්ධනය වනු ඇති බවට, ඇමෙරිකානු  හා කැලිෆෝනියානූ විශව විද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් විසින් ඇස්තමේන්තු කර තිබේ. කෙසේ නමුත්, ලොව පුරා පර්යේෂකයින් සිය පර්යේෂණ ඔස්සේ විවිධ ආකාරයෙන් සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇතත්, එම සංඛ්‍යා දත්ත පිළිබඳ විවාදයකට වඩා ඉන් තහවුරුව ඇත්තේ, ප්ලාස්ටික් අවිධිමත්ව බැහැරලීම නිසා මිහිමත පරිසර පද්ධති බරපතල ලෙස පාරිසරික හානියකට ලක්ව ඇති බවයි.
 
අක්‍රමවත්භාවිතය හා අපද්‍රව්‍ය ගැටලුව තිව්ර වීම.
 
දත්ත වාර්තා අනුව ලොව ඒක පුද්ගල ප්ලාස්ටික්- පොලිතීන් පරිභෝජනය වැඩිම රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එය කිලෝග්රෑම් 70ක් වේ. ජපානයේ එම අගය කිලෝග්රැම් 46ක් ද, චිනයේ කිලෝග්රෑම් 40ක් ද, ඉන්දියාවේ කිලෝග්රෑම් 10ක් ද ශ්‍රී ලංකාවේ කිලෝ ග්රෑම් 7ක් ද වේ. මෙම අගයන්හි වැඩිවීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබේ. ඒක පුද්ගල පොලිතීන්  භාවිතය වැඩි අගයක් ගන්නා රටවල විශේෂත්වය වන්නේ, ඒ රටවල ලන්ච්ෂීට්, සිලි සිලි බෑග්, සහ ග්‍රොසරි බෑග් ආදිය පරිහරණය අවම මට්ටමක පැවතීමයි. ලංකාවේ දෛනිකව ෂොපින් බෑග් (සිලි සිලි බෑග්) මිලියන 20ක් භාවිත වන බව අධ්‍යයන වාර්තා මඟින් අනාවරණය වී ඇත. එම ප්‍රමාණය අනුව, වර්ෂයකට බිලියන 5.5 කට ආසන්න සිලි සිලි බෑග් ප්‍රමාණයක් පරිසරයට එකතුවේ. මේ ආකාරයට වසර ගණනාවක් සිදුවුවහොත් ප්ලාස්ටික්, පොලිතීන් කඳු ඇති වීම නොවැළැක්විය හැකිය.
 
2016 වන විට වාර්ෂිකව ශ්‍රි ලංකාව ප්ලාස්ටික් හා පොලිතීන් මෙට්‍රිික් ටොන් ලක්ෂ 5ක් පමණ ආනයනය කරනු ලැබු අතර, මෙම ප්‍රමාණයෙන් 70%ක් දේශීය භාවිතයට ගෙන ඇති අතර, 30%ක් නැවතත් විවිධ ස්වරූපයෙන් අපනයනය කර ඇත. රටතුළ දේශීය භාවිතයෙන් අනතරුව 40%ක් පමණ ප්ලාස්ටික් පොලිතීන් ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමුව ඇති අතර, ඉතිරි 30%  සෘජුවම පරිසරයට එකතුව ඇත. දත්ත වාර්තා අනුව,  පොදුවේ ගත්විට ශ්‍රී ලංකාවේ දිනකට ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8500ක් පමණ වේ. එයින් දිනකට ජනනය වන ප්ලාස්ටික් / පොලිතීන් අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600 ක් පමණ වේ. නාගරික ඝන අපද්‍රව්‍ය වලින් 10%ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බව ද ගණනය කර ඇත.
 
වෙරළ පරිසරය ඇතුළත්ව පරිසර පද්ධති දුෂණය කරමින් අක්‍රමවත්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ලොව පස්වන ස්ථානයට ලංකාව පත්ව ඇති බවට ජගත් පරිසර අධ්‍යයන කණ්ඩායමක වාර්තාවක් මඟින් පසුගිය කාලයේ කළ හෙළිදරව්ව විෂය ක්ෂේත්‍රයට අදාළ මෙරට විද්වතුන්ගේ විවේචනයට ලක්වුව ද,මෙරට පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුවීම සාමාන්‍ය නිරීක්ෂණයට ද හසුවන දෙයක් වේ. ඉන්දීය සාගරයට ආසන්න රටවල් මඟින් මේ වන විට ඉන්දියන් සාගරයට එකතුකර ඇති ප්ලාස්ටික් කොටස් ප්‍රමාණය ට්‍රිිලියන 1.4ක් වන බව ද එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ  දත්ත වාර්තා හෙළිදරව් කරයි.
 
 
විවිධ රටවල ප්ලාස්ටික් නිෂ්පාදන පාලනය
 
පාරිසරික සෞඛ්‍ය හා සමාජයීය ගැටලු උත්පාදනයට හේතුවී ඇති ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන අතර, තනිභාවිත ප්ලාසිටික් නිෂ්පාදන පාලනය කිරීමට ලෝකයේ රටවල් 130ක් පමණ විවිධ උපායමාර්ග හා ක්‍රමවිධි භාවිතා කරයි. එංගලන්තය, ඕස්ට්‍රෙිලියාව, ජර්මනිය ඉතාලිය නෙදර්ලන්තය බෙල්ජියම වැනි රටවල් දැඩි බඳු ක්‍රම මඟින් ප්ලාස්ටික් භාවිතය  පාලනයට කටයුතු කර ඇති අතර, එම රටවල වෙළෙඳ සැල් මඟින් රිසිසේ පොලිතීන් වලින් නිෂ්පාදිත, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග්, ලබාදීම සිදුනොකරයි.  ඒවා අවශ්‍ය නම් මිළක් ගෙවිය යුතුය. දිරායන ද්‍රව්‍ය වලින් නිමවූ බෑග් වර්ග ප්‍රවර්ධනයට ඔවුන් කටයුතු කරයි. පොලිතන් බෑග් බහාලුම් භාවිත ලබාගෙන ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු කිරීමේ ක්‍රියාදාමයන් ද එම රටවල් සකස් කර ඇත. මෙම රටවල ජනතාව ස්වයං පාලනයක් මඟින් පොලිතීන් භාවිතය මැනවින් සිදුකරමින් විධිමත්ව නිසි බැහැරලීම් ක්‍රමවලට යොමු වේ. එසේම ප්‍රතිචක්‍රීය ක්‍රියාවලියට උපරීම සහාය දෙනු ලබයි. ඉතාලිය ජෛව හායනයට ලක්කල නොහැකි සියලුම පොලිතීන් බෑග් වර්ග තහනම් කර තිබේ. ප්‍රංශය මයික්‍රෝන 50 ඝනත්වයකින් යුත් පොලිතීන් තහනම් කිරීමට කටයුතු කර ඇත. චීනය උපාය මාර්ග ගණනාවක් මඟින් ප්ලාස්ටික් පාලනය කරන අතර, මියන්මාරය තදින් බඳු ක්‍රම ක්‍රියාත්මක කරයි. බංගලිදේශය ද පොලිතීන් තහනම් කර තිබේ. 
 
මෙරට ප්ලාස්ටික් පාලනක්‍රියාමාර්ග
 
2017 සැප්තැම්බර් 01 වනදා සිට බල පවත්වන පරිදි තනිභාවිත ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ආනයනය, නිෂ්පාදනය, අලෙවිය, හා භාවිතය මුළුමනින්ම තහනම් කරන ලදී.  ඒ අනුව, ප්‍රසාරිත පොලිස්ටයිරින් වලින්  ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප, හැඳි ආදිය නිෂ්පාදනය, වෙළෙඳාම හා භාවිතය තහනම් වේ. දේශීය භාවිතය සඳහා ඝනකමින් මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතීන්   මඟින් ෂොපින් බෑග් (සිලිසිලි බෑග්)නිෂ්පාදනය, අලෙවිය හා භාවිතය තහනම් කර ඇත. දේශීය භාවිතය සඳහා වැඩි ඝනත්වයකින් යුත් පොලිතීන් මඟින් කරන නිමැවුම් නිෂ්පාදනය, විකිණිම හෝ වෙළෙඳාම තහනම් කර ඇති බැවින් ග්‍රොසරි බෑග් දතහනම් වේ. දේශීය භාවිතය සඳහා පොලිතීන් අමුද්‍රව්‍යක් ලෙස යොදාගෙන ආහාර දවටන ( lunch sheet)නිෂ්පාදනය, වෙළෙඳාම හා භාවිතය තහනම් වේ. මෙහිදී හයිඩෙන්සිටි පොලිඑතිලින් (HDPE) යොදාගෙන නිමවන ලද නිෂ්පාදන වන ග්‍රොසරි බෑග්, ෂොපින් බෑග්, ලන්ච් ෂීට්  ද පොලිස්ටයිරින් ආහාර ඇසුරුම් පෙට්ටි ද තහනම් නිෂ්පාදන වන බැවින්, ඒවා භාවිතයෙන් වැලැකීමට පොදු ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුවේ. එම නීති විරෝධී නිෂ්පාදන වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය මඟින් නිෂ්පාදිත ගමන් මළු, බෑග් ආදිය භාවිතයට අප සැම හැඩ ගැසිය යුතු වේ. අද වන විට පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් එවැනි පරිසර හිතකාමී නිමැවුම් වෙළෙඳ පොලේ දැකිය හැකිය. පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිසර හිතකාමී පොලිතීන් නිමැවුම් නිෂ්පාදනය මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරයක් නොවේ.  මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය වන්නේ, නිතිය ක්‍රියාත්මක කරමින්  සිදුකරන පාරිසරික නියාමනයයි. කොහොම නමුත්, පෞද්ගලික අංශයේ අදාළ පාර්ශ්ව වලට පරිසර හිතකාමී නිමැවුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අනුබලදීම් හා මඟපෙන්වීම් මධ්‍යම පරිසර අධිකාරිය නිරන්තරයෙන් කරනු ලබයි.
 
පොලිතීන් තහනම ඉදිරියට යමින්, තවත් තනිභාවිත පොලිතීන් නිෂ්පාදන කිහිපයක් 2021 මාර්තු මස 31 වනදා සිට තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2021 ජනවාරි මස 21 වන දාතම අංක 2211/51 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව පියවර ගෙන ඇත. ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලින් ටෙරප්තලේට් (PET)  හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් ( PVC) ද්‍රව්‍ය භාවිතය තහනම් වේ. යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා ශුද්ධ පරිසර මිලිලිටර් 20 හෝ ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු  (SACHET) සැෂේ ඇසුරුම්තහනම් වේ. එසේනමුත් ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට තවදුරටත් හැකියාව පවතී. සුළං වලින් පිරවිය හැකි සෙල්ලම් බඩුතහනම් වේ. එසේ නමුත් බැලුන්, බෝල, දියමත පාවෙන/ පිහිනුම් තටාක වලදී භාවිත කරන සෙල්ලම් බඩු ජල ක්‍රිඩා උපකරණ නිෂ්පාදනයට තවදුරටත් හැකියාව පවතී. ප්ලාස්ටික් කූර සහිත (STEM) කොට්න් බඩ්ස් (COTTON BUDS)නිෂ්පාදනය ද තහනම් වේ. එසේ නමුත් වෛද්‍ය/ සායනික ප්‍රතිකාර නිෂ්පාදනයට සහ භාවිතයට තවදුරුටත් හැකියාව පවතී. පාරිසරික සුරක්ෂිතතාවය වෙනුවෙන්, ඉදිරියේදී ද තනිභාවිත ප්ලාස්ටික් නිෂ්පාදන ගණනාවක් තහනම් කිරීමට කටයුතු කෙරෙනු ඇත. 
 
අක්‍රමවත් බැහැරලීම් නිසා මෙවැනි  තනිභාවිත ප්ලාස්ටික් නිෂ්පාදන පරිසරයට එකතුවීම මඟින් සිදුවන පාරිසරික හානියේ පාලනයක් මෙම තහනමත් සමඟ සිදුවෙනු ඇත. මෙම තහනම් නිෂ්පාදන සඳහා විකල්ප නිෂ්පාදනයට ජාතික ශිල්ප සභාව මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් ඉදිරිපත්ව ඇත. භාවිතයෙන් පසු බැහැරලන සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් ප්‍රතිචක්‍රීයකරණය කිරිමේ පහසුව සඳහා මින් ඉදිරියට ඒ ඒ පොලිතීන් වර්ගවලින් නිෂ්පාදනය කෙරෙන පොලිතීන් නිෂ්පාදන හඳුනාගැනීමට පහසුවන පරිදි හඳුන්වා දී ඇති ජාත්‍යන්තර කේතකරණය සඳහන් කිරීම ද අනිවාර්ය කරන ලදී.
 
මහජනතාව දැනුවත් කිරීම් හා නිතිවිරෝධි වැටලීම්.
 
2017 වසරේ පොලිතීන් තහනම බලගැන්වීමෙන් අනතුරුව, අද දක්වා එම තහනම් කරන ලද නිෂ්පාදනයන් නීතිවිරෝධීව නිෂ්පාදනය කරමින් වෙළෙඳපොළට යොමු කරන නිෂ්පාදනකරුවන් වටලා ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඉදිරියටත් මෙම වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පරිසර හිතකාමී ප්ලාස්ටික්  නිෂ්පාදන වෙළෙඳපොල තුළ තහවුරු කරගැනීමට  කටයුතු කරනු ඇත.  ප්ලාස්ටික් /පොලිතීන් නිෂ්පාදන පාලනය සඳහා නෛතික පසුබිමක් සකස් කළ ද එය අර්ථාන්විත  වන්නේ මහජන අවබෝධය පුළුල් කර ඊට ජනසහභාගීත්වය පුළුල්ව ලබාගැනීම ඔස්සේය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාසල් දරුවන් ඇතුළත්ව විවිධ ඉලක්ක කණ්ඩායම් සඳහා අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, එය ඵලදායි කර ගැනීම  සඳහා මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ද යොදාගනු ලබයි. මෙහිදී ප්ලාස්ටික් මඟින් ඇතිකර ඇති උවදුර පාලනය සඳහා මහජනතාව දැනුවත් කිරීම උදෙසා සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් පාරිසරික ධීවර හා ජලජීවී විද්‍යා මධ්‍යස්ථානය (Cefas) වෙත මධ්‍යම පරිසර අධිකාරියේ ස්තුතිය හිමිවේ. 
 
ප්ලාස්ටික්/ පොලිතීන් නිෂ්පාදනකරුවෙකුගේ  විස්තීර්ණ වගකීම වන්නේ, යම් කිසි භාණ්ඩයක් භාවිතයෙන් පසු නැවත ලබාගෙන ක්‍රමවත්ව බැහැර කිරීමට කටයුතු කිරීමයි. දියුණු රටවල මෙම ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වේ.  ඒ අනුව මෙම ක්‍රියාදාමය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත්, දඩමුදල් වැඩිකිරිම මෙන්ම නිතිය කඩකරන පිරිස අත්අඩංගුවට ගත හැකි වන පරිදි ජාතික පාරිසරික පනත සංශෝධනයටත් මේ වන විට කටයුතු කරමින් සිටි.ප්ලාස්ටික්/ පොලිතීන් නිෂ්පාදන භාවිතය අවම කිරීමසඳහා ජනතාවගේ අවබෝධය වැඩිකිරීමත්, ලබාගත් ප්ලාස්ටික්/ පොලිතීන් භාණ්ඩයක් නැවත නැවත භාවිතයටහුරුකිරීමෙන් අනතුරුව බැහැර කිරීමේදී ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය සඳහා නියමිත ආයතන වෙත බාරදීමත් සඳහා ජනතාව දැනට පවතින තත්තවයට වඩා  පුරුදු පුහුණු කිරීම කාලීන අවශ්‍යතාවක් වේ.එසේම පළාත් පාලන ආයතන මෙන්ම ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ඡාලය සුදුසු පරිදි ශක්තිමත් කිරීම ද වෙසෙසින්ම අවශ්‍ය වේ.  එය ප්ලාස්ටික් මඟින් වන පරිසර දුෂණය අවම කිරීම සඳහා වන ඥානාන්විත කළමනාකරණ ක්‍රමවේදයක් වේ.
 
 
“සුරකිමු ගංගා” පරිසර පද්ධති සංරක්ෂණය
 
“සෞභාග්‍යයේ දැක්ම” වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියේ, තිරසර පරිසර කළමනාකරණ ප්‍රතිපදාව යටතේ, සුරකිමු ගංගා පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ගංගා සංරක්ෂණය තුළින්  පොදු ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් ඇති කිරීමත්, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරිමත්, තිරසර ලෙස ආර්ථික හා සමාජ ප්‍රතිලාභ අත්කරගැනිමත්, අපේක්ෂිතය. ගංගා සංරක්ෂණ ක්‍රියාවලියේ දී කාලයක සිට විවිධ මානව ක්‍රියාවන් හේතුවෙන් හායනයට ලක්වූ ගංගා නැවත පුනරුත්ථාපනය කෙරෙන අතර, ගංගා වලට විවිධ රසායනික හා ඝන අපද්‍රව්‍ය බැහැරලීම වැළැක්වීම හා පාලනයත්, වැලි ඇතුළු ඛනිජ සම්පත් කැණීම් දැඩි ලෙස නියාමනයත්, සිදුකෙරෙනු ඇත. ඒ සමඟම ගං ඉවුරු ඛාදනය මෙන්ම ගං ඉවුරු ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වැළැක්වීමත්, මුහුදු ජලය ගංගා වලට එක්වීම වැළැක්වීමත්, ආක්‍රමණශීලි ශාක වර්ධනය පාලනයත් සිදුකෙරේ. මේ වන විට, ගංගා සංරක්ෂණයට අදාළව ව්‍යාපෘති 50 ක් පමණ ක්‍රියාත්මක තලයට පමුණුවා ඇති අතර, ගැටලු වලට විසඳුම් සැපයෙන ව්‍යාපෘති ක්‍රියාකාරකම් ඔස්සේ ගංගා සංරක්ෂණ ක්‍රියාදාමය සිදුකෙරෙනු ඇත. 
 
ගංගා පද්ධතිය ඔස්සේ ගසාගෙන යන අක්‍රමවත්ව බැහැරලන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය වල අවසාන ගමනාන්තය වන්නේ, මෝය, වෙරළ හා සාගර පද්ධතියයි. ටොන් ගණනක් එකතුවන මේ ආකාර ප්ලාස්ටික් ස්කන්ධයන් වෙරළ හා සාගර පරිසර පද්ධති දුෂණයට විශාල වශයෙන් බලපා ඇත. සුරකිමු ගංගා ජාතික වැඩසටහන මඟින් පොලිතීන්/ ප්ලාස්ටික් ඇතුළුව ඝන අපද්‍රව්‍ය බැහැරලීම් වැලැක්වෙන බැවින්, ගංමෝය වෙරළ හා සාගර පරිසර පද්ධති දුෂණය ඉන් වැළකේ. ශ්‍රී ලංකාවේ ගංගා, ඇළදොළ පරිසර පද්ධති සුරක්ෂිත කිරීම සඳහා ප්ලාස්ටික්/ පොලිතීන් වලින් සිදුවන දුෂණය පාලනය හා වැළැක්වීම යනු ප්ලාස්ටික් මඟින් සිදුවන සාගර දුෂණය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබාදීමක් ද වේ. මෙකී පරිසර පද්ධති සංරක්ෂණ ක්‍රියාදාමයන් සාර්ථක කරගැනීම සඳහා පොදු ජනතාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය අත්‍යවශ්‍ය වන බව ද මෙහිදී සඳහන් කළ යුතු වේ.
 
ප්ලාස්ටික් වලින් පරිසරය ආරක්ෂා කිරීමේ කාර්ය සඳහා පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ සහයෝගයෙන් වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියේ, පරිසර ප්‍රතිපත්තියට අනුව“ 2021-2030 ඉදිරි දශකය සඳහා ප්ලාස්ටික් /පොලිතීන් කළමනාකරණ සැලැස්මක්” සම්පාදනය කර ක්‍රියාත්මක තලයට පමුණුවා ඇති අතර, ඒ ඔස්සේ මහජනතාව බලගන්වමින්, අවිධිමත් ලෙස ප්ලාස්ටික්/ පොලිතීන් බැහැරලීම වළක්වා ප්‍රශස්ත භාවිතයට සමාජය හැඩගස්වමින්, අපේ පරිසර පද්ධති රැකගැනීමටත්, සාගර පරිසර පද්ධති දුෂණය වීම සඳහා වන ශ්‍රී ලංකාවේ දායකත්වය අවම කර ගැනීමට හා පාලනය කර ගැනීමටත් කටයුතු කෙරෙනු ඇත.
 
පී. බී. හේමන්ත ජයසිංහ
අධ්‍යක්ෂ ජනරාල්
මධ්‍යම පරිසර අධිකාරිය
 
 

Comments