
- තලවකැලේ හේමචන්ද්‍ර සමාගමේ වෙළෙඳ සේවකයකු ලෙස 1959 දී මුල්ම රැකියාවට ගියේ මසකට රුපියල් 18.50කට
- සිද්ධාලේප බෙහෙත් වට්ටෝරුව පෙට්ටගමක තැන්පත් කර එළවළු වගාවෙන් දිවි රැකගත් හැටි
- ‘Asia week’ සඟරාව වරක් ඔහු හැඳින්වූයේ ‘සෙරෙප්පු නොදාන වෙද මහත්තයා’ ලෙසටයි
- සිරිපාදේ යන බැතිමතුන්ට සිද්ධාලේප බාම් සහ ලක් පේයාව නොමිලේ
ශ්‍රී ලංකික දේශීය ආයුර්වේදයට ඉතාම සුවිශේෂී නැවුම් මුහුණුවරක් ලබා දුන් ප්‍රකට දේශීය ව්‍යාපාරිකයකු ලෙස වික්ටර් හෙට්ටිගොඩ හඳුන්වා දිය හැකිය."සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා" යන තේමාවෙන් ව්‍යාපාරික ලොව ජයගත් සිද්ධාලේප නිෂ්පාදන හඳුන්වා දීමට පුරෝගාමී වූ, ‘සිද්ධාලේප වෙද මහත්තයා’ ලෙස ජනාදරයට පත්ව සිටි හෙතෙම ඉකුත් අප්‍රේල් 2 වැනිදා දිවි සැරිය නිමා කළේ 84 වැනි වියේදීය. කාර්යශූර, දේශීය ව්‍යාපාරිකයකු ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ ද ජයගත් ඒ අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකික ව්‍යවසායකයා පිළිබඳ ලියැවෙන සටහනකි මේ.
"සෑම ගෙදරක ම සිටිය යුතු වෙද මහත්තයා" යන වදන් පෙළ සවන් වැකෙද්දීම, ඇස ගැටෙද්දීම සිද්ධාලේප නිෂ්පාදන පමණක් නොව එහි නිර්මාතෘ දේශබන්දු වික්ටර් හෙට්ටිගොඩ නාමය ද අපට සිහිවේ. සැබැවින්ම 'සිද්ධාලේප’ නාමය ලොව පුරා පතුරවමින් සිංහල වෙදකමට ඉතාම සුවිශේෂී වෙනස්, නැවුම් මුහුණුවරක් ලබා දීමට පුරෝගාමී වූ අද්විතීය ව්‍යාපාරික චරිතයක් ලෙස ඔහු හඳුන්වා දිය හැකිය. අසීමිත කැපවීම හා උත්සාහය නිසාම මේ වන විටත් සිද්ධාලේප වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය වන ඖෂධ වර්ග 90 ක් පමණ ලොව පුරා රටවල් 20කට අධික සංඛ්‍යාවකට අලෙවි කිරීමට හැකි වී තිබීම ව්‍යවසායකයකු ලෙස ඔහු පමණක් ලබාගත් ජයග්‍රහණයක් නොව රටක් ලෙස අප ලැබූ තවත් දැවැන්ත වූ ජයග්‍රහණයකි. ලොව ජය ගත් එම සිද්ධාලේප නිෂ්පාදනවලට අමතරව තවත් ඖෂධ හා නිෂ්පාදන වර්ග රැසක් මේ වන විටත් දේශීය වෙළෙඳපොළ වෙත බෙදා හැරීමට සිද්ධාලේප ආයතනයට හැකි වී තිබේ.
ජ්‍යෝතිෂය පිළිබද අනර්ඝ දැනුමක්
1937 වසරේදී ගාල්ල දිස්ත්‍රික්කයේ වල්පොළ නම් ගමේ උපන් වික්ටර් හෙට්ටිගොඩගේ පවුලේ ඔහු ඇතුළුව දූ දරුවන් නව දෙනකු විය. ඔවුන්ගේ පියා ආයුර්වේද වෛද්‍ය හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ ගාල්ලේ ඉමදූවේ, වල්පොළ ගමේ පැතිරුණු වෙද පරපුරක පස්වැනි පරම්පරාව නියෝජනය කළ අතර ඔහු වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දුන් වෙදදුරෙක් ලෙස ප්‍රකටව සිටියේය. හෙන්ද්‍රික් ද සිල්වා ව්‍යාපාර කටයුතු සඳහා නිතර නිතර ඉන්දියාවට ආ ගිය කෙනෙකු වූ අතර ජ්‍යෝතිෂය පිළිබඳ අනර්ඝ දැනුමක් ද ඔහු සතු විය. හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩට මදුරාසියේ කුඩා වෙළෙඳ සැලක් ද අයිතිව තිබුණු අතර එහිදී හඳුනා ගත් යෝගීවරුන් විසින් සිද්ධාලේප නිෂ්පාදනයන් සිදු කළ හැකි වට්ටෝරුවක් ඔහුට ලබා දී තිබුණි. මෙම වට්ටෝරුව යොදා ගනිමින් සිද්ධාලේප නිෂ්පාදනයන් හී ආරම්භය සිදු ව ඇති අතර “ආලේප කළොත් සුව වෙනවා”යන අර්ථයෙන් සිද්ධ යෝගීන්ගේ නම් ඇසුරින් මෙම සිද්ධාලේප යන නම යොදා ගෙන තිබුණේ හොඳින් ගණ බලා බව ද සඳහන්ය.
තම පියා විසින් මෙරටට හඳුන්වා දුන් සිද්ධාලේප නිෂ්පාදනයන් වික්ටර් හෙට්ටිගොඩ තරුණයාගේ අප්‍රතිහත කැපවීමත් ශූර ව්‍යාපාරික දැනුමත් නිසා ඉතා ඉක්මනින් රට පුරා ජනප්‍රියත්වය හිමි කර ගත්තේය. ව්‍යාපාර ලොව ජයගත් ආකාරය පිළිබඳ විග්‍රහ කරමින් සිදු කළ මතක ආවර්ජනයකදී ඔහු තම දුෂ්කර ගමන් මඟ පිළිබදව ඉතා හැඟුම්බර ලෙස සිය මතකය අවදි කර තිබුණු අතර එහිදී ඔහු පවසා තිබුණේ සිද්ධාලේප නිෂ්පාදන අලෙවි කරමින් ගමින් ගමට ගිය තමන් එම අවස්ථාවලදී රාත්‍රියට නිදා ගනු ලැබුවේ පාරේ පදික වේදිකාවේ බවයි. "එහෙම කැපවීම් කරලා, දුක් විඳලා තමයි මම ජීවිතය දිනුවේ..පේව්මන්ට් එකේ නිදිය ගත්තම මහන්සියට පාන්දර නින්ද යනවා. ඒයි නැගිටපං … කවුද යකෝ… උඹ…? කියල පොලිසියේ මහත්වරු ඇවිත් පයින් ගහනකොට මාව උඩ ගිහින් විසිවෙලා ඇහැරෙනවා” ඔහු ඒ දුක්ඛිත අතීතය වරක් වදන්වලට ගොනුකර තිබුණේ එලෙසිනි.
වික්ටර් හෙට්ටිගොඩගේ ළමා කාලය ද ඉතා දුෂ්කර එකක් විය. මාතර රාහුල විද්‍යාලයේ සිසුවකු වී එහි ඉගෙනුම ලබන්නට ඔහු වාසනාවන්ත වී තිබුණද මවගේ මරණයත් සමඟ නැවතත් ගමට පැමිණ ගමේ පාසලේ ඉගෙනුම ලබන්නට ඔහුට සිදු වී තිබුණි. ඉන්පසු සිය අධ්‍යාපන කටයුතු සඳහා ගාල්ල හා කොළඹ ප්‍රදේශයේ පාසල් කීපයකට ගොස් ඇති අතර පාසල් අධ්‍යාපනය ලබන අතරේම තම පියාගෙන් ආයුර්වේද වෙදකමත් ජ්‍යෝතිෂයත් ඉගෙන ගන්නට ඔහුට අවස්ථාව ලැබිණි.
පාසල් අධ්‍යාපනය නිමා කළ වික්ටර් හෙට්ටිගොඩ තරුණයා තලවකැලේ හේමචන්ද්‍ර සමාගමෙහි රැකියාවකට ගියේය. ඒ, 1959 වසරේදීයි. විශාල වෙළෙඳ සමාගමක් වූ එම වෙළෙඳසැලේ වෙළෙඳ සේවකයෙක් ලෙස ඔහු සේවය කළේය. ඒ සඳහා මාසික වැටුප ලෙස රු. 18.50ක් ලැබී තිබුණු අතර ‘වෙළෙඳාම’ කියන්නේ කුමක්දැයි තමන් ඉගෙන ගත්තේ හේමචන්ද්‍ර සමාගමෙහි එම රැකියාව නිසා බව හෙතෙම පසුකාලයකදී සඳහන් කර තිබුණි.
වසරක් පමණ මෙම වෙළෙඳසැලේ රැකියාව කළ හෙතෙම ඉන් අනතුරුව ගාල්ලේ ගිංතොට ලංකා ගමනාගමන මණ්ඩලේ ගිණුම් ලිපිකරුවෙකු ලෙස සේවයට බැදුණි. එහි ටික කලක් සේවය කර ඊළඟට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ගිණුම් ලිපිකරුවෙකු ලෙස සේවයට ගිය අතර, ඉන් අනතුරුව එම්. ඩී. ගුණසේන සමාගමේ පොත් අලෙවි කරන අලෙවිකරුවකු ලෙස ද කලක් ඔහු සේවය කර ඇත. මේ අතර කාලයේදී වික්ටර් හෙට්ටිගොඩ තරුණයා විවාහ ජීවිතයට එළැඹුණි. රූපසිරි වික්‍රමනායක ඔහුගේ සහකාරිය ගුරුවරියක වූ අතර ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් ද වූවාය.
විවාහයෙන් පසු හෙට්ටිගොඩ තරුණයා තම ජීවිකාව ලෙස වෙනස් මඟක් ගත් තවත් සුවිශේෂී ක්ෂේත්‍රයක් තෝරා ගෙන තිබුණි.ඒ අනුව හෙතෙම එදා අනුර බණ්ඩාරනායකයන් විසින් ප්‍රකාශයට පත් කළ ‘අද’ පුවත්පතේ සේවයට එක්වූ අතර එහිදී ලේඛන කලාවත් මුද්‍රණ ශිල්පයත් ඉගෙන ගත් අතර ටික කලකට පසු ඔහු එම රැකියාවට ද සමු දුන්නේය.
ඉන් පසු නැවත රැකියාවක් කිරීමේ අපේක්ෂාවක් ඔහු තුළ නොතිබුණු අතර හෙට්ටිගොඩ තරුණයා තම උපන් ගම වු වල්පොලට ගොස් සිය පියාව මුණ ගැසී ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ආශීර්වාද ලබා ගත්තේය.
"මං ළඟ සිද්ධාල්ප බෙහෙත් වට්ටෝරුව තියෙනවා. ඒක මගේ ප්‍රාණය වගේ දෙයක්. නමුත් උඹට මං ඒක දෙන්නම්." තම පුතාට ආශීර්වාද කරමින් පියා පවසා ඇති අතර, එම මාහැගි සිද්ධාලේප බෙහෙත් වට්ටෝරුව නීත්‍යනුකූල ඔප්පුවකින් පුතු වෙත පැවරීම ද සිදු කර තිබේ.
එම ඔප්පුව ද රැගෙන සිය ආදරණීය බිරියත් සමඟ නැවතත් කොළඹ කුලී නිවෙසකට ආ වික්ටර් ඔප්පුව හා බෙහෙත් වට්ටෝරුව පෙට්ටගමක තැන්පත් කර එළවළු වගා කිරීමට පටන් ගත්තේය. එලෙස වගා කටයුතු සිදු කිරීම සඳහා ඔහු ඉඩම් බදු පදනම මත ලබා ගත් අතර එළවළු වර්ග 24 ක් ඉතා සාර්ථක ලෙස වගා කරන ලදී. එම වගාව නිසා එම අවදියේදී දවසකට රුපියල් 150 කට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණද ගෙවල් කුලී, දරුවන්ගේ පාසල් වියදම්, කෑම බීම සඳහා මුදල් වියදම් වූ පසු කිසිදු මුදලක් ඉතිරි කර ගැනීමට නම් අවස්ථාවක් හිමි නොවුණි. මේ අතර අනපේක්ෂිත ලෙස පදිංචිව සිටි කුලී නිවෙසින් ඉවත්ව යෑමට වික්ටර් හෙට්ටිගොඩ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිදු වුණු අතර හිතවත් මිතුරකු විසින් ඔහු පදිංචිව සිටි නිවෙස දෙකට බෙදා වික්ටර් හා එම පවුලේ අයට පදිංචිය සඳහා ආරාධනා කර තිබේ. මිතුරාගේ ඇරයුමෙන් එම නිවෙසේ පදිංචි වූ වික්ටර්ට පියා ලබා දුන් බෙහෙත් වට්ටෝරුව යොදා ගනිමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහස සිතේ පැළපදියම් විය. ඒ අනුව විදුහල්පතිවරියක වූ සිය නැන්දම්මාගෙන් ඉල්ලා ගත් රුපියල් දෙදාහක මුදලින් හෙතෙම සිද්ධාලේප වට්ටෝරුවේ වූ බෙහෙත් නිෂ්පාදනය ආරම්භ කළේය. ඒ මිතුරා තම පදිංචිය සඳහා ලබා දුන් නිවෙසේ අඩි 10 x 10 කාමර කෑල්ලක් තම ව්‍යාපාරය සඳහා යොදා ගනිමිනි.
මෙලෙස අපහසුතා රැසක් මැද සිද්ධාලේප බාම් නිෂ්පාදනය කිරීමට හැකි වුවද නිපදවූ දේ කඩවලට ගොස් දැමීමට අඩුම තරමින් ඔහුට බයිසිකලයක්වත් තිබුණේ නැත. එහෙත් තමාගේ අතින්ම ලේබල් අලවාගත් සිද්ධාලේප කුප්පි ටික පෙට්ටියක දමාගෙන කර ගහගෙන කඩෙන් කඩේට පා ගමනින් ගොස් අලෙවි කටයුතු සිදුකිරීමට ඔහු පසුබට නොවීය. තමන් දුක් විඳ ජීවිතය දිනූ හැටි ගැන කිවූ මතක ආවර්ජනයකදී වික්ටර් හෙට්ටිගොඩ ඒ අතීත මතකය මෙසේ සිහිපත් කර තිබුණි.
"එතකොට සිද්ධාලේප බාම් කුප්පියක මිල රුපියලයි. ඒ වුණත් කිසිම කඩේකින් මෙයින් කුප්පියක් ගත්තේ නෑ. මොකද ඒ වෙන විට පිටරටවලින් ගෙන්වපු බාම් වර්ග කඩවල්වල ඕන තරම් තිබුණා.
මේ නිසා අඩුම තරමින් එක දවසකට බාම් කුප්පි හතක් අටක් විකුණගන්නත් ලොකු වෙහෙසක් යොදන්න සිදු වුණා. කොයිතරම් හොඳ නිෂ්පාදනයක් වුණත් අපේ මේ අලුත් ඖෂධය තමන්ගේ කඩවලට විකුණන්න ගන්න වෙළෙන්දෝ කැමැති වුණේම නෑ. අන්තිමට මම වෙළෙන්දන්ට මෙහෙම කිව්වා. “මගේ බෙහෙත් කුප්පියක් ගන්න. තියාගෙන ගුණ හා අගුණ බලන්න”
ඒ පියවර සාර්ථක වුණා. සිද්ධාලේපවල තියෙන ඖෂධීය ගුණය වෙළෙන්දන් වටහා ගත්තා. දැන් දවසකට බෙහෙත් කුප්පි දහයක් දොළහක් විකිණෙන තරමයි. දියුණුව කියන්නේ මුතු මාලයක් නම් මම ඒ මාලයේ පළමු මුතු ඇටය අමුණා ගත්තේ එහෙමයි."
මෙලෙස ටිකෙන් ටික කාලය ගත වෙත්දී සිද්ධාලේප ජනතාව අතර ජනප්‍රිය වීමට පටන් ගත් අතර සේවකයින් එකා දෙන්නා මෙම ව්‍යාපාරයේ සේවයට එක්වීම ද අනතුරුව සිදු විය. වෙළෙඳ කටයුතු පුළුල් වීමත් සමඟ රුපියල් 5000ක් දී පරණ හිල්මන් කාර් එකක් ද ඔහු මිලදී ගත්තේය.
එහෙත් එම කාරය දිගින් දිගටම ලෙඩ දුන්නේය. මේ නිසා ඩෙලිකා වෑන් රථයක් මිලදී ගත් අතර එලෙස එම වෑන් රථය මිලදී ගත් දිනය අපේ කතානායකයාගේ ජීවිතයේ ඉතාම ප්‍රීතිමත් දින අතරින් එකක් වූ බව ද ඔහු වරෙක පවසා තිබිණ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එදා පරණ හිල්මන් කාර් එකෙන් ද අනතුරුව ඩෙලිකා වෑන් රථයෙන් ද සිද්ධාලේප නිෂ්පාදනයන් හී අලෙවි කටයුතු සිදු කළ වර්තමාන හෙට්ටිගොඩ ව්‍යාපාර සමූහය සතුව මේ වන විට විවිධ වර්ගයේ වාහන 200කට වැඩි සංඛ්‍යාවක් තිබීමයි.
පුංචි පැළයක් ලෙස රෝපණය වූ වික්ටර් හෙට්ටිගොඩගේ සිද්ධාලේප ව්‍යාපාරය අභියෝග අතරින් ලබා ඇති සාර්ථකත්වයට එයම හොඳ නිදසුනකි.
දේශබන්දු වික්ටර් හෙට්ටිගොඩ හෙවත් හෙට්ටිගොඩ සමුහ ව්‍යාපාරයේ අධිපති තම ව්‍යාපාර ජීවිතය පටන්ගත්තේ එලෙසිනි.
ලොව පතළ සිද්ධාලේප නිෂ්පාදන
ලෝක ප්‍රකට ‘Asia week’ සඟරාව එක්තරා අවස්ථාවක ‘සෙරෙප්පු නොදාන වෙද මහත්තයා’ යන නමින් ඔහුව හඳුන්වා දී තිබුණි."ඉස්සර වෙද මහත්තුරු සෙරෙප්පු පැලඳුවේ නැහැ. මගේ ජීවිතයෙන් වැඩි කාලයක් මං ගෙවලා තියෙන්නෙ සෙරෙප්පු නැතිව." ඒ හැඳින්වීම ගැන සිද්ධාලේප වෙද මහත්තයා සතුටු වී තිබුණේ එවැනි අව්‍යාජ අදහස් දැක්වීමකිනි.
“එක වෙසක් දවසක මං මගේ හිල්මන් කාර් එක උඩ වෙසක් කූඩුවක් වගේ සිද්ධාලේප බෝතලයක් හැදුවා. කාර් එක ගෝල් ෆේස් එකටම පදවාගෙන ගියා. සෙනඟ හැමෝම බලපු හැටි තවම මතකයි. ‘කැක්කුම් ඔක්කොම නස්නා ලේපේ දස්කම් දක්වන සිද්ධාලේපේ…’ ඔය පද ටික ලියා දුන්නේ මර්සලිනු ජයකොඩි පියතුමා… මේවා හදවතින් ආ දේවල්. Marketing කියන්නෙත් ඉතින් මේවටම තමයි.”
එලෙස ඔහුම පැවසූ පරිදි ඔහු වික්ටර් හෙට්ටිගොඩ වෙද මහතා යනු හදවතින්ම සිය වෙළෙඳාම සමඟ බැඳී සිටි අයෙකි. සිද්ධාලේප ආයතනය හා එහි නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩයන් සුවිශාල සමාජ සේවා සත්කාර රැසක් සිදු කර ඇති අතර , ඉන් ප්‍රධාන සමාජ සත්කාරයක් වනුයේ ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බැතිමතුන් වෙනුවෙන් ලක් පේයාව ලබා දීම හා එම බැතිමතුන් ගේ දෙපා හී ගැල්වීමට සිද්ධාලේප බාම් නොමිලේ ලබා දීමයි.
මේ සමාජ සත්කාරය පිළිබඳව වික්ටර් හෙට්ටිගොඩයන් නිරන්තරයෙන්ම මහත් වූ අභිමානයකින් යුතුව පසු වූ අතර ‘සිරිපාදේ ඔබට හමු වූ වෙද මහතා මතකද… දැන් එම නිෂ්පාදනය රටේ හැම තැනම…’ යනුවෙන් සඳහන් කර ගුවන් විදුලි දැන්වීම් පවා පළ කරන ලදී. රුපියල් 2.50 ක් පමණ වැය කර එම ගුවන් විදුලි දැන්වීම් පළ කරන ලද අතර එම දැන්වීම් පළ කිරීමත් සමඟම සිද්ධාලේප නිෂ්පාදන ජනතාව විසින් තව තවත් ආදරයෙන් යුතුව වැලඳ ගත්හ.
මේ වන විට වෙළෙඳපොළ තුළ ඉතාම ජනප්‍රිය ආයුර්වේද නිෂ්පාදන වන සිද්ධාලේප ලක් පේයාව ආයුර්වේද පස් පංගුව, සිද්ධාලේප ආලේපනය, සිද්ධාලේප දශමූලාරිෂ්ටය , සිද්ධාලේප කැස්ස සිරප්, සියලු විෂ නසන සිද්ධාලේප සර්ව විෂාදී තෛලය, සිද්ධාලේප අසමෝදගම්, සෙම් ගෙඩි ආසාදන සඳහා සිද්ධාලේප කෝලශ්ලෙෂ්මා තෛලය , සිරුරේ ශක්තිය වඩවන පිරිසිදු මී පැණි, විෂබීජ නාශක පබෝධා සබන්, ප්‍රතිශක්තිය වඩවන ත්‍රිපලා වැනි සුවිශේෂ ආයුර්වේද නිෂ්පාදන රැසක් සිද්ධාලේප නිෂ්පාදන ලෙස වෙළෙඳපොළ වෙත නිකුත් කෙරෙන අතර, එම සියලුම නිෂ්පාදන සඳහා පාරිභෝගික ජනතාවගේ ඉහළම ප්‍රතිචාර හිමි වී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.
දෙස්, විදෙස් සම්මාන ප්‍රදානෝත්සව රැසකදී එම නිෂ්පාදන පමණක් නොව හෙට්ටිගොඩ ආයතනය ද සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර එලෙස ලැබූ සියලු සම්මාන වල ගෞරවය නිසැක ලෙසටම එහි නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩයන් වෙත හිමි විය යුතුය.
වික්ටර් හෙට්ටිගොඩයන් 2005 වසරේ පැවති ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ අතර, මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු මෙන්ම ගම්උදාව ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස කටයුතු කළේය.
සිද්ධාලේප ආයතනයේ නිර්මාතෘ දේශබන්දු වික්ටර් හෙට්ටිගොඩයන් මීට වසර කීපයකට පෙරදී සිය ආදරණීය දරුවන් තිදෙනාට සහ දියණියන් දෙදෙනාට සිය ව්‍යාපාරය පවරා දුන් අතර, මේ වන විට ඔවුන් සහ සිද්ධාලේප ව්‍යාපාර ජාලයේ සෙසු කාර්ය මණ්ඩලය එක්ව ඉතා හොඳින් හා සාර්ථක ලෙස එම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ සිද්ධාලේප නාමය ලොව පතළ කරමිනි.