ශ්‍රී ලංකාවේ තරුණයෝ සහ දේශපාලනය | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ තරුණයෝ සහ දේශපාලනය

  • දිවංගත පිලිප් ගුණවර්ධනයන් කුඹුරු පනතට එරෙහි වූ සියලු විරෝධතා නොසලකා අඳ ගොවි ක්‍රමයෙහි පරිවර්තනීය වෙනසක් ඇති කළා
  • තරුණ ජනගහන ප්‍රතිශතයෙහි වර්ධනය රටකට ආශිර්වාදයක් වුවත් එම වාසිය ආර්ථික හා දේශපාලන වර්ධනයට අදාළව නිසි ලෙස කළමනාකරණය නොවීම ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයට බලපාන බව දේශපාලන විද්‍යාඥයන්ගේ අදහසයි
  • ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ හැසිරීමේ ස්වභාවය තීන්දුවීමට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල්වීම ද බලපා ඇත

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලින් පෙන්නුම් කරන අන්දමට තරුණයාට ආර්ථික හා දේශපාලන කටයුතු සම්බන්ධව වැදගත් කාර්යයක් හිමිව ඇත. එම තත්ත්වය තරුණයන් ජීවත්වන සමාජ ස්වභාවය අනුව තීරණය වේ. සම්ප්‍රදායික සමාජයක ආධිපත්‍ය වැඩිහිටියන්ට හිමිවීම නිසා තරුණයාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සෑහෙන ප්‍රමාණයකට අකර්මණ‍යව පවතී. සංවර්ධිත හා කාර්මික වශයෙන් දියුණු රටවල තරුණයාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය එතරම් වැදගත් සාධකයක් නොවේ. එම රාජ්‍යයන්ට වෙනස්ව සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණයාගේ දේශපාලන කාර්යයන්ගේ ස්වභාවය ගතික හා ක්‍රියාකාරීය. එසේ වුවද ශ්‍රී ලංකාවේ තරුණයන්ට සමාජය තුළ තම ආර්ථික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී හා සමාජ හා දේශපාලන කාර්යයන් ඉටුකර ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.

ශ්‍රී ලාංකික තරුණයා හා දේශපාලනය පිළිබඳ දේශනයෙහි ප්‍රධානතම පරමාර්ථය නම් ශ්‍රී ලාංකික තරුණයාගේ දේශපාලන ස්වභාවය පරීක්ෂා කිරීමය. මේ අනුව මෙම දේශනය ප්‍රධාන කොටස් හතරකට බෙදා තිබේ. මෙහිදී පළමුව, තරුණයා පිළිබඳ නිර්වචනය පරික්ෂා කළ යුතුය. දෙවැනුව, තරුණයාගේ දේශපාලන කාර්යවල ස්වභාවය පරීක්ෂා කළ යුතුය. එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන කටයුතු පදනම් කරගෙන සිදු කළ හැකිය. තෙවැනුව තරුණයාගේ වර්තමාන දේශපාලනයට බලපා ඇති සාධක විමසා බැලිය යුතුය. අවසන් කොටස මඟින් තරුණයා පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිචාර විමසා බැලිය හැකිය.

තරුණයා පිළිබඳ නිර්වචනය

තරුණයා හා දේශපාලනය පිළිබඳ කියවීමේ දී පළමුව, තරුණයා පිළිබඳ නිර්වචනය විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකාව තුළ තරුණයා පිළිබඳව වන නිර්වචනය තරමක් විවාද සම්පන්න වූවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වයස අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩය තරුණ ජනගහනය ලෙස සැලකේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්ද අවුරුදු 18ත් 24ත් අතර වයස් කාණ්ඩය තරුණ ජනගහනය ලෙස පිළිගනී. ශ්‍රී ලංකාවේ ජනගහන විද්‍යාඥයන්ට අනුව වයස අවුරුදු 15ත් 29ත් අතර වයස් කාණ්ඩය තරුණ ජනගහනය ලෙසට නිර්වචනය කරන අතර ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව ද තරුණයා පිළිබඳ එම නිර්වචනය පිළිගෙන ඇත.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක තරුණයා දේශපාලන ස්ථාවරත්වයට හා ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය වූ සාධකයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙහි වැඩි ප්‍රතිශතයක් තරුණයන්ගෙන් සමන්විතය. 1971 ජනගහන සංඛ්‍යා ලේඛනවලට අනුව අවුරුදු 15ත් 29ත් අතර කාණ්ඩයේ ප්‍රතිශතය සියයට 27.96 ක්වූ අතර 1981 වර්ෂයේදී එම ප්‍රතිශතය සියයට 29.6 දක්වා වර්ධනය විය. 2016 සංඛ්‍යා ලේඛනවලට අනුව එම වයස් කාණ්ඩය සියයට 23ක් වන අතර දළ වශයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් හතර දෙනකු අතුරෙන් එක් අයෙකු තරුණයකු ලෙසට පිළිගෙන ඇත.

1991 හා 2017 අතර කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ත් 59ත් අතර ශ්‍රම බළකා ජනගහනය සියයට 65ක් පමණ වූ අතර, මෙහිදී ජනගහනය තුළ අවුරුදු 15 ට අඩු හා අවුරුදු 65 ට වැඩි යැපෙන්නන්ගේ සංඛ්‍යාව ශ්‍රම බළකායට සාපේක්ෂව අඩු වී තිබුණි. එය ජනගහනයෙහි පාරිතෝෂයක් ලෙසට හඳුන්වයි. මෙම පාරිතෝෂය 2017 දක්වා ශ්‍රී ලංකාවට භුක්ති විදීමට හැකියාව තිබිණ. එම තත්ත්වය ආර්ථික සංවර්ධනයට උපයෝගී කරගැනීමට දේශපාලන ස්ථාවරත්වයක් පැවතිය යුතුය. චීනය, ඉන්දියාව, වියට්නාමය හා සිංගප්පූරුව වැනි රටවල ජනගහනයෙහි පාරිතෝෂිතය තම ආර්ථික සංවර්ධනයට යොදා ගෙන ඇත. ඒ සම්බන්ධව තරුණයන්ගේ දේශපාලන හැසිරීම මහත්සේ බලපානු ලබයි.

වර්තමාන ශ්‍රී ලාංකික තරුණයන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වයෙහි සංධිස්ථානයක් වශයෙන් 1956දී මහජන එක්සත් පෙරමුණ බලයට පත්වීම සඳහන් කළ හැකිය. එහිදී ආණ්ඩුව මඟින් එතෙක් ඉංග්‍රීසි මාධ්‍යයට පමණක් සීමා වූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිංහල හා දෙමළ මාධ්‍යයටත් ලබාදීම, අභිනව විශ්වවිද්‍යාල දෙකක් ආරම්භ කිරීම හා සර්වජන ඡන්ද බලයේ වයස් සීමාව අවුරුදු 21 සිට 18 දක්වා අඩු කිරීම වැනි කරුණු තරුණ දේශපාලන සහභාගිත්වය පුළුල් වීමට බලපා තිබේ. ඒ සමඟම විශේෂයෙන් වාමාංශික දේශපාලන පක්ෂ විසින් විශ්වවිද්‍යාල තුළ තම දේශපාලන පක්ෂයට අනුබද්ධව ශිෂ්‍ය සංවිධාන බිහි කිරීම ආරම්භ විය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් ලංකා ජාතික ශිෂ්‍ය සංගමය පිහිටු වන ලද අතර එය පළමු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ලෙසට සැලකේ. මහජන එක්සත් පෙරමුණට අයත් ශිෂ්‍ය සංගමයට ද ශිෂ්‍ය සභාවේ බලය හිමි වී ඇත. මේ කාලයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් මාක්ස්වාදය, ස්ටාලින්වාදය, ට්‍රොට්ස්කිවාදය හා මාවෝවාදය අනුගමනය කළ අතර, තම දේශපාලන ක්‍රියාකාරීත්වය විශ්වවිද්‍යාල අභ්‍යන්තර පරිපාලන සම්බන්ධ ගැටලුවලට මැදිහත්වීම සම්බන්ධයෙන් පමණක් සීමා කර තිබුණි.

1965න් පසු තරුණ දේශපාලන කටයුතු මාක්ස්වාදී විවිධ න්‍යායන්ට වඩා ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ අතර වඩාත් පෙරළිකාර ස්වරූපයක් ගන්නා ලදී. 1960 දශකයෙහි මැදභාගය තෙක්ම තරුණ දේශපාලනය තුළ පැවති න්‍යයිකවාදී ස්වරූපය වඩාත් ක්‍රියාත්මක හා ආවෘත කටයුත්තක් බවට පත්විය.

තරුණ දේශපාලන ව්‍යාපාර හා ක්‍රියාකාරකම්

වර්මානයේදී මෙන්ම මෑත ඉතිහාසයේදී ද සිසුන් විශ්වවිද්‍යාල තුළ පෙරලිකාර දේශපාලනය කටයුතුවලට සම්බන්ධ වේ. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ අවසාන කාලය වන විටදී උසස් අධ්‍යාපනය සඳහා විදේශගතව සිට පෙරලා සිය රට පැමිණි උගත් ලාංකික තරුණයෝ එතෙක් මධ්‍යම පංතික නායකත්වය යටතේ පැවති ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට විකල්ප වශයෙන් ජාතික නිදහස හා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගත්හ.

එම ක්‍රියාදාමයට සම්බන්ධ වූ පුරෝගාමීන් වශයෙන් පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා හා දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ වැනි අය ගෞරව පූර්වකව සඳහන් කළ හැකිය. ඔවුහු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළදී පමණක් නොව ඉන් පිටත දී ද බහුජන අරගල දියත් කළහ.

එම කාලයේදී යාපනයේ තරුණ සංගමය සර්වජන ඡන්ද බලය යටත් පැවැත්වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව උදෙසා උතුරු පළාතෙහි පැවති මැතිවරණය වර්ජනය කළ අතර ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ප්‍රතික්ෂේප කරන ලදී.

1971 දී ජනතා විමුක්ති පෙරමුණ මඟින් සන්නද්ධ අරගලයක් දියත් කිරීම ඔස්සේ රාජ්‍ය බලයට අභියෝග කරන ලදී. එම ප්‍රචණ්ඩ දේශපාලන සිදුවීම සිංහල බෞද්ධ උගත් ගම්බද තරුණයන් විසින් තත්කාලීන ශ්‍රී ලංකාවේ පැවති සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රමයට එරෙහිව දැක්වූ විරෝධතාවයකි. ජ.වි.පෙ. විසින් තම දෙවැන ආයුධ සන්නද්ධ අරගලය 1987-89 කාලය තුළදී වඩාත් ප්‍රචණ්ඩ හා වඩාත් පුළුල්ව දියත් කළේය.

1970 දශකයේ මුල් භාගයේ සිට ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිරට අයත් ද්‍රවිඩ තරුණයන් ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් පවතින දේශපාලන ක්‍රමය සම්බන්ධව පැවති තම විරෝධතාවය පළ කරන ලදී. එලෙස පාර්ලිමේන්තුවට පරිබාහිර ආරම්භ වූ ද්‍රවිඩ තරුණ විරෝධතාව අවසානයේදී දිගුකාලීන ගරිල්ලා යුද්ධ හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දක්වා වර්ධනය වුයේය.

වර්තමානයේදී මතුපිටින් සාමකාමී තත්ත්වයක් පැවතියද වරින් වර තරුණයන් හා උසස් අධ්‍යාපනය හා සම්බන්ධ වූ ශිෂ්‍යයන් මත පදනම් වූ දේශපාලන විරෝධතා නිරන්තරව දක්නට ලැබේ. එම තත්ත්වය හුදෙකලා වූ තරුණ හා ශිෂ්‍ය අසහනයකට වඩා ඔබ්බට විහිදී ඇති ගැඹුරු සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලුවල එකතුවක ප්‍රකාශනයකි.

බලපා ඇති සාධක

මූලික වශයෙන් බටහිර රටවල් සම්ප්‍රදායික සමාජයක සිට නවීකරණය වූ සමාජයකට පරිවර්තනය වීම ශත වර්ෂ ගණනාවක් ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. එය ක්‍ෂණිකව සිදුවූවක් නොවේ. ඊට හාත්පසින්ම වෙනස්ව සංවර්ධනය වෙමින් පවතින රටවල් විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් ශත වර්ෂ ගණනාවක්ම විවිධ බටහිර රාජ්‍යයන්ට යටත්ව තිබී පසුව නිදහස ලැබීමට ආසන්න කාලයේදී ශීඝ්‍ර සමාජ හා ආර්ථික වෙනස්කම් ඇතිවන ආකාරයේ විවිධ ව්‍යාපෘති ආරම්භ කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව හුදු සංවර්ධනය වෙමින් පවතින රටක් පමණක් නොව නවීකරණය වෙමින් ද පවතින රටකි. මෙම නවීකරණය පිළිබඳ ක්‍රියාවලිය තුළ සමාජ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයෙහි බොහෝ වෙනස්කම් සිදු වෙමින් පවති.

ශ්‍රී ලාංකික තරුණයන් සමාජ හා දේශපාලන ප්‍රවාහයක් ලෙස වර්ධනය වීම 1940 ගණන්වල සිට ක්‍රියාත්මක වූ නවීකරණය පිළිබඳ ක්‍රියාවලියෙහි ඍජු ප්‍රතිඵලයකි. ඊට ශ්‍රී ලංකාවේ ජනගහනයේ වර්ධනය හා ස්වරූපය ඉතා තීරණාත්මකව බලපා තිබේ.

1940 ගණන්වලදී ඉදිරිපත් කරන ලද නිදහස් සෞඛ්‍ය සේවාවල හා සුභසාධක සේවාවවල ව්‍යාප්තිය ජනගහනයේ ස්වභාවය තීරණය වීමට බලපා තිබෙන්නකි. ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යාප්තියේ වැදගත් ලක්ෂණයක් වශයෙන් තරුණ ජනගහනයේ ව්‍යාප්තිය සඳහන් කළ හැකිය. යම් රටක තරුණ ජනගහන ප්‍රතිශතයෙහි වර්ධනය පාරිතෝෂිකයක් ලෙසට හඳුන්වයි. වෙනත් වචනයකින් ප්‍රකාශ කරන්නේ නම් එය රටකට ආශිර්වාදයකි. එහෙත් එම වාසිදායක තත්ත්වය නිසි ලෙස ආර්ථික හා දේශපාලන වර්ධනයට අදාළව කළමනාකරණය නොවීම නිසා තරුණයන් විසින් ඇති කරන ලද ප්‍රචණ්ඩ, කැරලි ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය කෙරෙහි බලපාන බව ශ්‍රී ලංකාවේ දේශපාලන විද්‍යාඥයන්ගේ අදහසයි.

අධ්‍යාපනය පිළිබඳ සාධකය ද තරුණ දේශපාලනය කෙරෙහි බලපා ඇති වැදගත් සාධකයකි. 1945 දී ඇති කරන ලද නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ ජනසංනිවේදනය යන ක්‍ෂේත්‍රවල ව්‍යාප්තිය මෙන්ම නාගරිකරණය හේතුකොට ගෙන තරුණයන් තුළ පැරණි සාරධර්ම වෙනුවට නව සාරධර්ම හා ඉහළ අපේක්ෂාවන් වර්ධනය වී ඇත. මෙබඳු පරිසරයකදී දේශපාලන හා ආර්ථික සංවර්ධනය සිදුවිය යුතුය. දේශපාලන ස්ථාවරත්වය නොමැතිව ආර්ථික සංවර්ධනය ඇති කළ නොහැකිය. එසේ නොවූවහොත් උද්ගත වන ප්‍රතිඵලය නම් තරුණයන් තුළ අපේක්ෂාභංගත්වය ඇති වී දේශපාලන වීරෝධතාවන්ට මැදිහත් වීමය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ හැසිරීමේ ස්වභාවය තීන්දුවීමට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීම ද බලපා තිබේ. 1921 දී විශ්වවිද්‍යාල කොලීජිය හා පසුව 1942 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ආරම්භය ලෙසට සඳහන් කළ හැකිය. ආරම්භයේ දී බ්‍රිතාන්‍යයෙහි ඔක්ස්ෆෝඩ් හා කේම්බ්‍රිජ් වැනි ප්‍රභූ ස්වරූපයක් ගනු ලැබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අද වනවිට බහුජන (Mass) ස්වරූපයකට පරිවර්තනය වී ඇත. වර්තමානයේදී වාර්ෂිකව විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 40,000 ඉක්මවුවද සමහර පිඨයන්හි සමහර උපාධි පාඨමාලා උපාධිධාරීන් රැකියාවන්වලට නියුතු විය හැකි ආකාරයට යාවත්කාලීනද යන ගැටලුව පවතී. වර්ථමානයේදී රජය මඟින් උපාධිධාරීන් රාජ්‍ය සේවයට වරින්වර බඳවා ගත්තද ඔවුන්ගේ සේවාවන්හි ස්වභාවය, මාසික වේතනය හා නිසි උසස්වීම් පරිපාටියක් නොවීම ද උගත් තරුණයන්ගේ අපේක්ෂාභංගත්වයට බලපා ඇත.

1987/89 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලට පසුව පත් කරන ලද තරුණ අසහනය පිළිබඳ ජනාධිපති කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ තරුණ අසහනය විෂයෙහි දේශපාලන අනුග්‍රහය, ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලිය සම්බන්ධව අනවශ්‍ය ඇඟිලි ගැසීම්, වංචා හා දූෂණ හේතුකොට ගෙන පවතින රාජ්‍ය ආයතනයන්හි ගුණාත්මක භාවය ඛාදනය වීම වැනි පුළුල් සාධක සමූහයක් පෙන්වා දී තිබේ.

ආණ්ඩුවෙහි ප්‍රතිචාර

ශ්‍රි ලාංකික තරුණයන් දේශපාලන ක්‍රියාවලියට සහභාගී වන ස්වභාවය සහ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව තරුණයන්ගේ ප්‍රතිචාර ගැන ආණ්ඩුව ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයන් දක්වන ප්‍රතිචාර දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික සංවර්ධනයට හිතකරය. 1969 දී පිහිටුවනු ලැබූ තරුණ සේවා සභාව එහිලා ගනු ලැබු එක් උත්සාහයකි. එමඟින් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම, සුබසාධනය, විනෝදාත්මක හා නිපුණතා වර්ධනය කිරීම වැනි අංශ පුළුල් කිරීමට උත්සාහ කර තිබේ. වැඩිදුරටත් එමඟින් ග්‍රාමීය මට්ටමින් තරුණ තරුණියන්ට තීන්දු තීරණ ගැනීමේ කටයුතු සඳහා තරුණ සමාජ පිහිටුවා ඇත.

තරුණ අසහනය සම්බන්ධව පත්කරන ලද ජනාධිපති කොමිසම මඟින් තරුණයන්ගේ දුක් ගැනවිලි පිළිබඳව ඔම්බුඩ්ස්මාන්වරයකු පත්කළ යුතු බව නිර්දේශ කරන ලදී. එම කොමිසම පළාත් පාලන ආයතන සම්බන්ධ තරුණ නියෝජනය පුළුල් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත. එයට අමතරව තරුණ දේශපාලන නියෝජනය පුළුල් කිරීමට අමතරව තරුණ කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයේ සහභාගිත්වයට ද පහසුකම් සැලසිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජනගහන විද්‍යාඥයන්ට අනුව ජනගහනයෙන් අවුරුදු 15 හා 59 අතර ශ්‍රම බළකාය 2006දී සියයට 65ක්ව තිබූ අතර, 2031 දී එම ප්‍රමාණය සියයට 63.2ක් බවට පත් වේයැයි පුරෝකථනය කර ඇත. ශ්‍රී ලංකාවේ ජනගහන සංයුතිය මඟින් පෙන්නුම් කරන ජනගහන පාරිතෝෂිතය 2070 දක්වා බලපෑම් කරන බව ඔවුන් විසින් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අත්‍යාවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා වන ආකාරයට සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම කළ යුතුය. මේ කරුණ සම්බන්ධව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආයතන එනම් විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල නොවන උසස් අධ්‍යාපන ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම තීරණාත්මක වශයෙන් වැදගත්ය. ශ්‍රී ලංකාව බොහෝ ප්‍රතිපත්ති සම්පාදනය කළද ඒවා පරිවර්තනීය වෙනස්කම් ඇතිවන ආකාරයට ක්‍රියාත්මක කර නැත. දිවංගත පිලිප් ගුණවර්ධනයන් කුඹුරු පනතට එරෙහි වූ සියලු විරෝධතා නොසලකා අඳ ගොවි ක්‍රමයෙහි පරිවර්තනීය වෙනසක් ඇති කිරීම මෙහිදී ඔබගේ මතකයට ලක් කළ යුතු එක් වැදගත් උදාහරණයකි.


ශ්‍රී ලාංකේය වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ඇරඹෙන්නේ 1930 දශකයේ ආරම්භයත් සමඟය. මාක්ස්වාදී අදහස් දැරූ විදේශ අධ්‍යාපනයක් ලබා සිටි මැද පන්ති තරුණ කොටස් සමාජවාදය වැලඳගෙන ලංකාවට පැමිණි පසු තරුණ සංගම් තුළත්, සූරියමල් ව්‍යාපාරය තුළත්, නාගරික කම්කරු පන්ති ව්‍යාපාරය තුළත් ක්‍රියාත්මක වෙමින් පවතින ස්වකීය දේශපාලනය ආරම්භ කළ ස්ථානයන් දක්වා වමේ ව්‍යාපාරයේ ඉතිහාසය දිව යයි. ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන 1931දී ලංකාවට පැමිණ මාක්ස්වාදය ගැන උනන්දුව දක්වන පිරිස් ඒකරාශී කොට ඔවුන් සමඟ එක්වී 1935 දෙසැම්බර් 18 ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට පුරෝගාමී විය.

ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය අහසින් කඩා වැටුණක් නොවේ. එය මෙරට සමාජ, ආර්ථික තත්ත්වය විසින් සහේතුකව නිර්මාණය කරන ලැබූවකි. එසේ කරළියට ආ සමසමාජ පක්ෂයේ අරමුණ වූයේ අධිරාජ්‍ය විරෝධී, රදළ සහ ධනේෂ්වර විරෝධී මෙන්ම සමාජවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය ගොඩනැඟීමයි. වැඩකරන ජනතාව වර්තමානයේ භුක්ති විඳින බොහෝ අයිතීන් සහ වරප්‍රසාද ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වමේ ව්‍යාපාරය ලබාදුන් ජයග්‍රහණයන්ය.

වසර 1901 ජනවාරි 11 වැනිදා උපන් පිලිප් ගුණවර්ධනයන් දැයෙන් සමුගත්තේ 1972 මාර්තු 26 වැනිදාය. ඔහුගේ 50 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් ඉකුත් මාසයේදී වැඩසටහනක් පැවති අතර, කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉකුත් මාර්තු මස 29 වැනිදා පැවති ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ දේශපාලන විචාරක මහාචාර්ය ගාමිණි සමරනායක විසිනි.

පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකු වශයෙන් 1971 අප්‍රේල් කැරැල්ලට ක්‍රියාකාරී දායකත්වය දැක්වූ ගාමිණි සමරනායකයන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ මහාචාර්යවරයකු විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේද සභාපතිත්වය දැරූ මහාචාර්ය සමරනායකයන්, ලාංකේය සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මෙන්ම විශේෂයෙන් තරුණ ප්‍රශ්න පිළිබඳ දක්වා ඇති අදහස් බොහෝදෙනාගේ සම්භාවනාවට ලක්විය. පිලිපීනයේ හිටපු තානාපති ලෙස ද කටයුතු කළ මහාචාර්ය ගාමිණි සමරනායකයන් විසින් පිලිප් ගුණවර්ධනයන් පිළිබඳ පවත්වන ලැබූ ප්‍රධාන දේශනය ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණ.

(අවධාරණය කර්තෘ විසිනි)

Comments