ආණ්ඩු කඩන-හදන බල තුලනයේ ඉතිහාසය | Page 2 | සිළුමිණ

ආණ්ඩු කඩන-හදන බල තුලනයේ ඉතිහාසය

හිටපු අගමැති ඩඩ්ලි, ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

ලාංකේය දේශපාලන ඉතිහාසයේ අමරණීය, නොමැකෙන අතීත මතකයන් බොහෝය. ඒ සියල්ල ඉතිහාසයට එක්වෙද්දී පසුගිය 5 වැනිදා වත්මන් දේශපාලන සන්දර්භයේ තවත් පෙරළියක් සනිටුහන් වූයේ මේ ආකාරයෙනි. මෙතෙක් ආණ්ඩු බලයේ සිටින පොදු ජන පෙරමුණ ඇතුළු හවුල්කාර පක්ෂ සමඟ තුනෙන් දෙකක බහුතරයක් ගොඩ නඟා ගෙන සිටි වත්මන් ආණ්ඩුවේ ඒ තුනෙන් දෙකේ බහුතරය අහිමි වී ගියේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීහූ 42 ස්වාධීන වීමෙන්ය. ස්වාධීන වීමට පෙර ආණ්ඩුව සතුව 159 ක තුනෙන් දෙකක බලයක් හිමිව තිබුණ ද, පවත්නා ගැටලුකාරී තත්ත්වය මත ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීන් 11 ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් 14 ක් ද, රජයට සහයෝගය දුන් හවුල්කාර පක්ෂවල මන්ත්‍රීන් 15 ක් ද, කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද ඇතුළුව 42 දෙනෙක් පසුගිය 6 වැනිදා වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූහ. ආණ්ඩු, විපක්ෂ බල තුලනය වෙනස් වූ තවත් සුවිශේෂි එක් අවස්ථාවක් ලෙස මෙය ද ඉතිහාසයට එක්වන අතර මේ වන විට 159 ක්ව තිබූ ආණ්ඩුවේ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 117 ක් දක්වා පහත වැටුණි.

නිදහසින් පසු ලාංකේය දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු පෙරළු බල පෙරළියේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් වන්නේ 1952 වසරේ ඩඩ්ලි සේනානායක රජයේ හාල් සේරුවක මිල වැඩි කිරීමය. ඊට එවකට පැවැති රජයට විරුද්ධව හර්තාලය දියත් වූ අතර, එහි අවසන් ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂ රජයේ සර් ජෝන් කොතලාවල අගමැති ධූරයට පත්වීමය. 1953 හර්තාලයට ආසන්නතම හේතුව වූයේ හාල්පොතේ සහනාධාරය මූලික කරගත් සහනාධාර ඉවත් කිරීම ඇතුළු ආර්ථික අරගලයකි. ඊට පසුබිම් වූ කතා පුවත මෙසේය. 1952 දක්වා හාල්පොතට සහනාධාර වශයෙන් එක් අයකුට හාල් සේරුවක් නිකුත් වූයේ ශත විසිපහ ගණනේය. එහෙත් 1953 දී ජූලි මාසයේදී සහනාධාරය ඉවත්කොට, ශත විසිපහේ හාල් සේරුව ශත හැත්තෑව දක්වා වැඩි කරන ලදී. 1952 සිට 1956 දක්වා හාල් ගෙන්වීමට කළේ චීනයෙනි. වැඩි කළ මුදලට එක් අයකුට සේරු එකහාමාර බැගින් හාල් පොතට නිකුත් කළ අතර, ඒ වන විට මුදල් අමාත්‍ය ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන ඉදිරිපත් කළ අයවැයෙන්ද තැපැල් ගාස්තුද වැඩි විය. සහල් මිල වැඩි කිරීමට විරෝධය පා එවකට පැවති එ.ජා.ප. රජයේ ස්වදේශ කටයුතු බාර ඇමතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සේනානායක 1952 සැප්තැම්බර් 03 වැනිදා ඉල්ලා අස්වූයේය. 1953 අගෝස්තු 12 වැනිදා මහා හර්තාලයේදී පොලිස් හා හමුදා වෙඩි පහරින් දොළොස් දෙනෙකු මිය යෑමෙන් අනතුරුව, 1953 ඔක්තෝබර් 12 වැනිදා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වී සර් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත්විය. 

1959 වසර එවැනිම දේශපාලන බල පෙරළියක් සිදු වෙයි. 1959 සැප්තැම්බර් 26 වැනිදා අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ අභාවයෙන් පසු අගමැති තනතුරට පත්වන්නේ එවකට ‘සූටිකේස් අගමැති‘ යැයි විරුදාවලිය ලත් ඩබ්ලිව් දහනායකය. ඒ අගමැති තනතුර පිළි ගන්නට අරලිය ගහ මැදුරට එන විට ඔහු සූට්කේසයක් පමණක් රැගෙන ආ නිසාවෙනි. අගමැති තනතුරෙහි වැඩ බාරගත් දහනායක රට පුරා හදිසි නීතිය පනවා නීතිය ක්‍රියාත්ම කර රට තුළ සාමය ඇති කිරීමට වෙහෙස ගත්තද, විවිධ ගැටුම් ඇතිවිය. අගමැති විජයානන්ද දහනායක රජයේ උප ඇමැති තනතුරකට කරන ලද ඇරයුම අනුව එවකට රජයේ ප්‍රබලයකු හා හිටපු ඇමැතිවරයෙකු වූ දිවංගත මංගල සමරවීරගේ පියා වූ මහානාම සමරවීර ප්‍රතික්ෂේප කළේය. අගමැති දහනායක කළේ තමන්ට හිතවත් නැති ඇමතිවරුන් හිටි හැටියේ අස්කිරීම යි. ටී බි ඉලංගරත්න, ඒ. පි. ජයසූරිය, මෛත්‍රිපාල සේනානායක, එම්. පි. ද සොයිසා, පී. බි. ජී. කළුගල්ල, හියු ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ඉවත් කරද්දී එවකට පැවැති රජය අස්ථාවර වන්නට විය. අගමැති දහනායකගේ ආණ්ඩුවට විරුද්ධව බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය ඉදිරිපත් කළ විශ්වාස විශ්වාසභංග යෝජනාවේදී මහානාම සමරවීර ආණ්ඩුවට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළේය. මේ විශ්වාසභංග යෝජනාවෙන් දහනායක ආණ්ඩුව එක් වැඩි ඡන්දයකින් ජයගත්තද ඉන් සතියකට පසු එනම් 1959 දෙසැම්බර් 07 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට වූයේ ඒ අස්ථාවරත්වයට විසඳුම් වශයෙන් මහා මැතිවරණයකට රට යොමු කරවමිනි.

රාජාසන කතා පරාජයට පත්ව ගෙදර ගිය ආණ්ඩු ද නැතුවාම නොවේ. එසේ රාජාසන කතාවක් පැරදී ගෙදර ගියේ 1960 මාර්තු මාසයේදී බලයට පැමිණි ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවය. 1960 මාර්තු 19 වන දා පැවති ඡන්දයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුව 1960 අප්‍රේල් 22 වන දා විසුරුවා හැරෙන අතර, රාජාසන කතාවක් පරාජය කර ගෙදර යැවූ එකම අගමැතිවරයා හා ඔහුගේ පක්ෂය ලෙස ඩඩ්ලි ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ලංකා ඉතිහාසය තුළ ලියවෙයි. මේ නිසා එදා ආණ්ඩුව හැඳින්වූයේ “ඩඩ්ලි පාර්ලිමේන්තුව”නමිනි.

අනතුරුව පැවැති මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන් ලෝක වාර්තාවක් ද පිහිටුවමින් බලයට පත්විය.

එසේ වුවද 1964 දෙසැම්බර් 6 වන දා පාර්ලිමේන්තුවේ පැවැති රාජාසන කතාව පිළිබඳ විවාදයේ දී සී. පී. ද සිල්වා ඇතුළු මන්ත්‍රිවරුන් දහතුන් දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් එයට විරුද්ධව එ.ජා.ප.යට ඡන්දය දුන්නේය. මේ සිදුවීම එවකට පැවැති ආණ්ඩුවේ බල තුලනය වෙනස්ව ආණ්ඩු අස්ථාවරත්වයක් උදාවන අතර ඒ හේතුවෙන් පැවැති රජය පරාජයට පත් වන්නේය.

1970 වසරේද මෙවන් සිදුවීමක් වාර්තා වන්නේය. 1970 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ආචාර්ය එන්. එම්. පෙරේරා මෙන්ම එස්. ඒ. වික්‍රමසිංහ ඇතුළු පිරිස තුනෙන් දෙකක බලයක් ඇතිව ආණ්ඩුව පිහිටුවන අතර බිහිවූ සමගි පෙරමුණු රජය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවලට අයත් මන්ත්‍රීවරුද විය. නමුත් 1975 වසරේ අගෝස්තු සම සමාජ පක්ෂයේ 17ක් ආණ්ඩුවෙන් ඉවත් විය. 1977 මුල කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රීවරු 6 ක්ද විපක්ෂයට එකතු වන්නේය. එමඟින් විපක්ෂය වඩාත් ශක්තිමත් වන අතර, මේ පසුබිම රට තුළ ආණ්ඩු විරෝධි පසුබිමක් නිර්මාණය කිරීමට හැකි වන්නේ ය. මේ වන විට රට තුළ තිබුණු භාණ්ඩ හිඟය උත්සන්න වීම හේතුවෙන් පැවැති රජය පිළිබඳ ආණ්ඩු විරෝධි අදහස් ජනතාව අතරින්ම මතු වන්නට විය. රජය පිළිබඳ ජනතා ප්‍රසාදය හීනවන්නට වූයෙන් 1977 වසරේ මැද භාගය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන්නටද මේ අස්ථාවර දේශපාලන පසුබිම හේතුවක් කර ගන්නේය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ හයෙන් පහක බලයක් සමඟින් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමය.

1987 ජූලි 27 වැනිදා වන විට ජනතා විමුක්ති පෙරමුණු අරගල දියත් වීමද ඒ වන විට පැවැති රජය අස්ථාවර කරන්නට යම් පමණකට හේතු වූ අතර ඒ වන විට රටේ සිවිල් අරගල හේතුවෙන් 60,000 කට ආසන්න ජිවිත හානිද සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ඇති කළ අතර අනිකුත් දේශපාලන පක්ෂවල සහයෝගය මේ හරහා ගැනීමට ඔවුන් උත්සහ කළද එය අසාර්ථක විය.

1991 වසරේදී ජනාධිපති ආර්. ප්‍රේමදාසට විරුද්ධව ආ දෝෂාභියෝගයේදී ආණ්ඩුවෙන් පිරිසක් ඉවත් කිරීමද විශේෂත්වයකි. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා කළේ පාර්ලිමේන්තුව කල් තැබීමය. ප්‍රේමදාස ජනාධිපතිවරයා තම බලතල උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව කල් තබා එම කාලය තුළදී තමාට විරුද්ධව සිටි මන්ත්‍රී කණ්ඩායමෙන් 08 දෙනකු හැර සෙසු පිරිසගේ සහාය ලබාගත්තේ දෝෂාභියෝග කඩුල්ලෙන් පැනීමටය. මේ දෝෂාභියෝගය ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබුණේ ඔහුගේ ඇමැති මණ්ඩලයේ සිටි ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන පිරිසකි.

1994 වසරේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මුල්වරට බලයට පැමිණි අතර, 2000 වසරේදි ඇය දෙවැනි වතාවේදි ජනාධිපති ධූරයට පත්විය. රවුෆ් හකීම් හිටපු ඇමැතිවරයා ඇමැති ධූයෙන් නෙරපීමට එවකට ජනාධිපතිනිය ගත් තීන්දුව හේතුවෙන් ආණ්ඩුවේ පිරිසක් විපක්ෂයට ගියේය. 2001 ජූලි 10 වැනිදා චන්ද්‍රිකා රජයට විරුද්ධව විස්වාසභංගයක් ඉදිරිපත් වූ අතර, හිටපු ජනාධිපතිනිය විසින් සැප්තැම්බර් 7 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීය. මේ වන විට හිටපු ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණ සමඟින් එහි කොන්දේසියකට අනුව පරිවාස ආණ්ඩුවක් සෑදීම සඳහා කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 20 කට සීමා කළේය. ඒ නිසා ඇමැති තනතුරු දැරූ බොහෝ දෙනෙකුට ඇමැතිකම් අහිමි වී හිත් අමනාපකම් ඇති විය. නව කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 14 දිවුරුම් දුන් අතර, ඔක්තෝබර් 9 වැනිදා එම රජයේ කලින් හිටපු ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධනද, 10 වැනිදා එස්. බී. දිසානායක, ජී. එල්. පීරිස්, මහින්ද විජේසේකර, විජයපාල මෙන්ඩිස්, බන්දුල පරාක්‍රම ගුණවර්ධන, එදිරිවීර ප්‍රේමරත්න, ජයසුන්දර විජයකෝන්, ආනන්ද මුණසිංහ ආදීහු විපක්ෂයට ගිය අතර, අාරුමුගම් තොණ්ඩමන් රජයෙන් පමණක් ඉවත් විය. ඔක්තෝබර් 12 වැනිදා ලක්ෂ්මන් කිරිඇල්ල, සරත් මුණසිංහද ඉවත් විය. මේ බල තුලනය වෙනස්වීමෙන් පැවැති ආණ්ඩුවේ අස්ථාවරත්ව ඇති වූ අතර, ජනාධිපතිනි චන්ද්‍රිකා ඔක්තෝබර් 16 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවන්නට කටයුතු කර දෙසැම්බරයේ මහ මැතිවරණයක්ද පැවැත්වීමටද කටයුතු යෙදිණ.

2001 වසරේ එක්සත් ජාතික පක්ෂය මහා මැතිවරණයෙන් බලයට පැමිණි අතර අගමැති රනිල් වික්‍රමසිංහ විය. ජනාධිපති චන්ද්‍රිකා හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව තුළ විටින් විට ගැටුම් මතුවිය. 2003 වසරේ ජනාධිපතිනි චන්ද්‍රිකා ආරක්ෂක, ජනමාධ්‍ය ඇතුළු අමාත්‍යාංශ තුනක් පවරා ගත් අතර 2003 පාර්ලිමේන්තුව විසුරුවා හරින්නටද කටයුතු කළාය.

යහපාලන ආණ්ඩු සමයේදී දින 52 රජය 2018 ඔක්තෝම්බර් පත්වීම තවත් දේශාපාලන බල පෙරළියක් සිදුවූ අවස්ථාවක් වුවද මෙය සිදුවූයේ බල තුලනයේ වෙනස් වීමක් නිසා නොවේ. එවකට ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේනයන්ට පැවැති ව්‍යවස්ථාමය බලතලයන් යටතේ මහින්ද රාජපක්ෂයන් ඇගමැති තනතුරට පත්කර කැබිනට් මණ්ඩලයක් පත් කළ අතර, ඒ සිදුවීමෙන් රට පුරා දැඩි අස්ථාවර තත්ත්වයක් ඇති වන්නට විය. කෙසේ වෙතත් අවසානයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පැවැසුවේ ව්‍යවස්ථාමය විරෝධි ආකාරයෙන් මෙම පත් කිරීම් සිදුකර ඇති බවත්ය. අවසානයේ යළි අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහයන් පත්විය.

කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ බලය අඩු වැඩි වීම් සිදුවෙමින් පවතියි. මේ පිළිබඳ සිළුමිණ කළ විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරයකු වූ නිහාල් සෙනෙවිරත්න පවසන්නේ තම පාර්ලිමේන්තු ජිවිත කාලයේ මේ ආකාරයේ බල පෙරළියක් අත් නොදුටු බවත්, මේ අවස්ථාව සුවිශේෂි බවත්ය. මෙය දේශපාලන ප්‍රශ්නයක් පමණක් නොව ආර්ථික ප්‍රශ්නයක්ද වන බවත් විසදුමක් වහා ලබා දිය යුතු බවත්ය.

ඉතිහාසයේ සිදුවු මෙම බල තුලනයන් සම්බන්ධයෙන් විද්වත්හු දකින්නේ මේ ආකාරයටය.

“1956 වසර බලය විතැන් වීම දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සන්ධිසථානයක්. සිංහල බෞද්ධ අනන්‍යතාව සුරකින ප්‍රභූ පන්තියකට බලය හිමිවීම මේ සන්ධිසථානයේ ප්‍රතිඵලයක් වුණා. එතැන් සිට තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු මාරු වුණා. 1977 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂයත්, 1994 සිට 2015 දක්වා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් දීර්ඝ කාල පරිච්ඡේද දෙකක් යටතේ රට පාලනය කළා. 2015 සිවිල් සමාජයේ පෙරළියක් ඇතිවුණා. 2015 සිට 2019 දක්වා අගමැති ජනාධිපති අතර බල අරගලයකින් තමයි ඉදිරියට ගියේ. දින 52 ක් මහින්ද රාජපක්ෂ බලයට පත් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් එය වෙනස් වෙනවා. පසුව පැවැති අස්ථාවරත්වය නිසා පාස්කු ප්‍රහාරය ඇති වෙනවා. ලංකාව ප්‍රථම වතාවට ශක්තිමත් නායකත්වයක් අපේක්ෂා කරනවා. 2019 වියත් මඟ හරහා ඉදිරියට ආවේ ඒ සටන් පාඨයයි....“ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්ය.

“ආණ්ඩු පෙරළි , බල පෙරළි එදත් සිදුවුණා. ඒ අවස්ථාවල මුහුණ දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව, මැතිවරණ හරහායි. මේ වන විට ආර්ථික හා දේශාපාලන අර්බුධ දෙකක් මතු වෙලා. නමුත් ඊට මුහුණ දිය යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලවයි. ජනාධිපතිවරයකු ඉවත් කිරීමේ ක්‍රමවේදයක් පවතිනවා. ඊට පිටින් යා නොහැකියි. ඒ වගේම පිරිසක් අන්තර්වාර ආණ්ඩුවක් ගැන කතා කරනවා. නමුත් ප්‍රධාන පක්ෂ දෙක ඊට එකඟ නැහැ. මේ නිසා අර්බුධයේ අවසානයක් දකින්න නැහැ. දේශපාලන විශේෂඥයින් පවසන්නේ අන්තර්වාර ආණ්ඩුවක් ඇති කර පාට පක්ෂ භේදයකින් තොරව මේ ප්‍රශ්නය විසදිය යුතු බවයි. ......“ඒ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි හා පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ වාර්තාකරු දයා ලංකාපුරය.


Comments