![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/08/4-4.jpg?itok=zUTNHEUj)
කිසිදු යහපත් ප්‍රතිඵලයකින් තොරව විනාශයකින්ම පමණක් අවසන් වන යම්කිසි සිදුවීමක් දෙස බලා සිටි අපේ ගැමියා ඒ් දෙස ශෝකයෙන් මෙන්ම හාස්‍යයයෙන් ද ‘අන්තිමට නැටූ නැටුමකුත් නෑ - බෙරේ පළුවකුත් නෑ’ යැයි කියාය. කතාව ඇත්තම ඇත්තය. ‘නැටුව නැටුමකුත් නැති, බෙරේ පළුවකුත් නැති’ වැඩ අප පෞද්ගලික ජීවිතයේදී මෙන්ම දේශපාලන ලෝකයේ ද බොහෝ විට සිදු වේ. මෙවැනි එම නැටුම්කාරයාද බෙරකාරයා ද අගතියට පත්වේ. නැතහොත් ඔවුන් දෙදෙනාටම යන එන මං නැති වේ. ප්‍රේක්ෂකයා ඉදිරියේ හාස්‍යයට හා නින්දාවට ලක්වේ. අපේ ගැමියන් කිසිදු යහපත් ප්‍රතිඵලයකින් තොරව විනාශයකින්ම අවසන් වන වැඩවලට ‘අන්තිමට නැටූ නැටුමකුත් නෑ - බෙරේ පළුවකුත් නෑ’ යැයි කීවේ ‘කට කහනවට’ නොවන බව ඒ් අනුව වැටහේ.
පසුගිය සති කිහිපය පුරා ලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලන උද්ඝෝෂණ රැල්ල සියුම්ව නිරීක්ෂණය කරන විට පැහැදිලිව පෙනී යන්නේ එය මුලින් සඳහන් කළ ආකාරයට නැටුව නැටුමකුත් නැති - බෙරේ පළුවකුත් නැති වැඩක් ලෙස අවසන් වනු ඇති බවය. එම නිගමනය සනාථ කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කරුණු කාරණා මේ වන විට දැකගත හැකි වේ.
මේ සදහා දැක්විය හැකි පැහැදිලි නිදසුන වන්නේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ‘අධිභාර පනත’ ඡන්දයකින් තොරව සම්මත වීමය. පසුගිය කාලය පුරා මහත් ආන්දෝලනක් ඇති කළ අධිභාර පනත පසුගිය 07 වැනිදා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වුණේය.
අධිභාර පනත සම්මත වීම සමඟ මාසයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ රුපියල් බිලියන 300ක් වැනි අති දැවැන්ත බදු ආදායමක් උපයා ගැනීමට රජයට අවස්ථාව උදාවන අතර ඒ සමඟ ආර්ථික කළමනාකරණය හා රජය මේ වන විට මුහුණ දී සිටින කෙටිකාලීන මූල්‍ය අර්බුදය පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට රජයට පහසු අවස්ථාවක් උදා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මූල්‍ය විශේෂඥයන් බොහෝ දෙනකු පැවසුවේ පසුගිය කොවිඩ් සමයේ අති දැවැන්ත ලාභයක් වාර්තා කළ සමාගම්වලින් බහුතරයක් අයත් වන්නේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන් / සමාගම් කිහිපකට පමණක් වන නිසා එය සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට බලපෑමක් හෝ අගතියක් ඇති නොකරන බවයි.
‘එහෙත් මේ හරහා ආර්ථිකයට කෙටිකාලීනව ලැබෙන උත්තේජනය ඉතාම වැදගත්. ඉතාම කෙටි කාලයක් තුළ මේ ප්‍රබල සමාගම් කිහිපයකින් රුපියල් බිලියන 300ක් වැනි අති දැවැන්ත බදු ආදායමක් මහා භාණ්ඩාගාරයට ලැබෙනවා. එය වත්මන් මූල්‍ය අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගනිමින් ජනතාවට සහන ලබාදීමට ද අවස්ථාවක් උදා කරනවා. ඒ නිසා අධිභාර පනත සම්මත කර ගැනීම මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රජය ලැබූ ආර්ථික හා දේශපාලන ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකියි. මොකද මේ පනත සම්මත කර ගන්නා අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ සංයුතිය තිබුණේ ආණ්ඩුවට හිතකර තත්ත්වයක නොවෙයි’
අධිභාර පනත සම්මත කර ගැනීමට අවස්ථාව උදාවීම ගැන චානක්‍ය සමඟ අදහස් දැක්වූ මූල්‍ය විශ්ලේෂකයන් කිහිපදෙනකුගේම අදහස්වන සාරාංශය එය විය. එහිදි ඔවුන් යළි යළි පෙන්වා දුන්නේ අධිභාර පනත් කෙටුම්පත ඉදිරිපත් වූ අවස්ථාවේ විපක්ෂය විසින් ඉදිරිපත් කළ දැඩි විරෝධය සමහන් වී ඊට සහාය ලබාදීම ගැන සියලු පාර්ශ්වයන් සතුටට පත්විය යුතු බවත් මෙය ඉතාම පැහැදිලිව ආණ්ඩුව විසින් ලබාගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවය.
මේ අතර මහා භාණ්ඩාගාරාධිපතිවරයකු සහ මුදල් අමාත්‍යාංශයට නව ලේකම්වරයකු පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම සමඟ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය යළි තහවුරු වනු ඇති බවට විශ්වාසය පළ වී තිබේ.
නන්දලාල්ගේ අගේ
මෙහිදී මහා භාණ්ඩාගාරයේ අධිපතිවරයා වශයෙන් පත් කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ සම්බන්ධයෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබේ. ඒ ඔහු දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් ආර්ථික විශේෂඥයකු වීම නිසාය. මූල්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීමක් ඇති ආචාර්ය වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ, සහකාර අධිපති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන ධුර හොබවා තිබේ.
ආචාර්ය නන්දලාල් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථ ශාස්ත්‍රඥයකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් හි මහජන ප්‍රතිපත්ති හා ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ද වේ.
මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ඔහු කටයුතු කර තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම් සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, මූල්‍ය වැඩසටහන්කරණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලබා ඇති බව ද සඳහන් වේ.
සැලසුමකින් තොර අරගලය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ පෞද්ගලික නිල නිවස අසල සිදු වූ උද්ඝෝෂණයෙන් පසු රට තුළ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කරමින් ජනපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීමට විපක්ෂ සහ අන්තවාදී කණ්ඩායම් ගත් ප්‍රයත්නය අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වනු වෙනුවට මංමුලා සහගත තත්ත්වයට පත්වනු ඇතැයි මේ වන විට කරුණු පෙළ ගැසෙන ආකාරය අනුව විශ්වාස කළ හැකිය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ජනපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරන කිසිම පාර්ශ්වයකට විකල්ප වැඩපිළිවෙළක් සහ සැලසුමක් නොමැති බව තහවුරු වීමය. විශේෂයෙන් පසුගිය දා පාර්ලිමේන්තු රැස් වූ අවස්ථාවේ දී එම කණ්ඩායම් අපේක්ෂා කළ පරිදි පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පෙන්වීමට අවස්ථාවක් නොලැබුණා පමණක් නොව පාර්ලිමේන්තු විවාදය තුළ පවා ජනතාව, විශේෂයෙන් උද්ඝෝෂකයන් ආකර්ෂණය කරගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි විය. මෙය කිසිසේත් උද්ඝෝෂකයන් පමණක් නොව මෙම ඊනියා උද්ඝෝෂකයන්ට නිහඬව ආශිර්වාද කරන සහ බලය සපයන පාර්ශ්ව දුර්මුඛ කිරීමට ද හේතු වී ඇත. එනිසා විදේශ විනිමය අර්බුදය හමුවේ නිර්මාණය වී ඇති භාණ්ඩ හිඟය හේතුවෙන් උද්ගතව ඇති උද්ඝෝෂණ රැල්ල තව දුරටත් නඩත්තු කිරීමේ අභියෝගයක් ඊට නායකත්වය දෙන කල්ලි හමුවේ නිර්මාණය වී ඇති අතර තම අරමුණ පහසු පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මඟින් ඉටුකර ගත නොහැකි වනු ඇති බව ඔවුන්ට ඒත්තු යමින් තිබේ. මේ තත්ත්වය තුළ මෙම උද්ඝෝෂකයන් සහ ඔවුන්ට මුවා වී තම පටු දේශපාලන න්‍යාය පත්‍ර ඉටුකර ගැනීමට තැත් කරන කල්ලි වඩාත් හානිකර සහ ව්‍යසනකාරී අන්තයන් වෙත ගමන් කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
අප විසින් මෙවැනි උපකල්පනයක් ගොඩනැඟීමට පැහැදිලි හේතුවක් වන්නේ 1988-89 පසු පළමු වරට පාසල් සිසුන් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගී වීමය. පසුගිය දා මහනුවර දී ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පාසල් සිසුන් පිරිසක් සිදු කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජය තුළ බලවත් විරෝධයක් නිර්මාණය වී ඇති අතර එවැනි බිහිසුණු අත්හදා බැලීම් වෙත යොමු නොවීමට හෝ අත්හදා බැලීම් යළි නොකිරීමට අදාළ කණ්ඩායම් දෙවරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතුය. මන්ද 1988-89 භීෂණයේ විනාශය දුටු මෙරට ජනතාව යළිත් එවැනි යුගයක් සිහිනෙන් පවා අපේක්ෂා නොකරන නිසාය.
ජනපති ගෙදර යා යුතුද?
අනපේක්ෂිත ආර්ථික අර්බුදයේ ඍජු ප්‍රකාශනය වන වත්මන් භාණ්ඩ හිඟය හමුවේ මහ පාරට බැස සිටින උද්ඝෝෂකයන්ගේ එකම ඉල්ලීම වන්නේ ජනපතිවරයා ඉල්ලා අස්විය යුතු බවය. එහෙත් අති බහුතරයක් වන පැහැදිලි ජනවරමකින් තේරී පත් වූ ජනපතිවරයෙක් මෙවැනි තැන තැන සිදුවන අසංවිධානාත්මක උද්ඝෝෂණ හමුවේ ඉල්ලා අස්වී ගෙදර යා යුතු ද යන්න ගැන අවස්ථාවාදයේ සහ අන්තවාදයේ ගොදුරු බවට පත් නොවී මධ්‍යස්ථව සිතන ජනතාව තුළ ඇත්තේ විමතියකි. ඔවුන් මෙහිදී පෙන්වා දෙන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ අගමැතිවරුන්ට, ජනාධිපතිවරුන්ට අවස්ථා ගණනාවකදී මෙවැනි තාවකාලික මහජන උද්ඝෝෂණ රැලිවලට මුහුණ දීමට සිදු වුව ද එවැනි පූර්වාදර්ශයක් දේශීය වශයෙන් නොමැති බවය. එසේම ජාත්‍යන්තර වශයෙන් ගත් විට ද අවස්ථා කිහිපයකදී හැරෙන්න, (මෙවැනි අවස්ථාවලද ඉල්ලා අස්වූයේ දීර්ඝ කාලයක් පාලන බලයේ සිටි අයයි) ‘ගෙදර යාම’ පිළිබඳ පූර්වාදර්ශ අතිශය සීමිත බව ඔවුන්ගේ අදහසය.
ජේ. ආර්. ට එල්ල වූ විරෝධය
චානක්‍ය සමඟ සිය අත්දැකීම් බෙදාහදා ගත් මෙරට ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් සහ දේශපාලන විචාරකයෙක් සඳහන් කර සිටියේ තමන් මේ සිදුවීම් දෙස බලා විමතියට පමණක් නොව හාස්‍යයට ද පත්වූ බවය.
‘වැඩි දුර යා යුතු නැහැ, ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට ඉල්ලා අස්වී ගෙදර යන ලෙස එවකට විපක්ෂය සහ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩිව බලපෑම් කළා. අපට මතකයි 1988-89 භීෂණ සමයේ අතිශය ප්‍රබල ලෙස මේ ඉල්ලීම ඉදිරිපත් වුණා. ඊට පසුව බලයට පත් රණසිංහ ප්‍රේමදාසටත් මේ ආකාරයෙන් ම දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වුණා. මේ අවස්ථාවලදී ජනමතයට කන්දී හෝ ඔවුන්ට අවස්ථාව දී ජේ.ආර්. හෝ ප්‍රේමදාස ඉල්ලා අස්වී ගෙදර ගියේ නැහැ. ඉතින් වත්මන් ජනාධිපතිවරයා මුහුණ දී සිටින්නේ මේ වගේ අති සංකීර්ණ හෝ ව්‍යසනකාරී ජනමතයකට නොවෙයි. අපිට පේනවා වත්මන් උද්ඝෝෂකයන් ඉදිරිපත් කර චෝදනා කිසිවකට වත්මන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙක් ලෙස සැලකිය නොහැකියි. කොවිඩ් වසංගතය හා වත්මන් රුසියා - යුක්‍රේන් යුද්ධය නොවුවා නම් මේ ආකාරයේ ආර්ථික අර්බුදයක්, විශේෂයෙන් ඩොලර් අර්බුදයක් කිසිසේත් නිර්මාණය වන්නේ නැහැ. අපි මුල සිටම පැහැදිලි කළ ආකාරයට මේ විදේශ සංචිත අර්බුදය නිර්මාණය නොවුණා නම් මේ ආකාරයෙන් විදේශ සංචිත අර්බුදයක් හා ඒ ඇසුරින් භාණ්ඩ හිඟයක් නිර්මාණය වන්නේ නැහැ. එසේ නම් අද ජනපතිවරයාට ඍජුව ඉදිරිපත් කරන කිසිම ආකාරයක චෝදනාවක් හෝ විවේචනයක් ඔහුට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා අප වටහා ගත යුතු වන්නේ කොවිඩ් වසංගතය විසින් නිර්මාණය කළ මේ අනපේක්ෂිත විදේශ සංචිත අර්බුදය නොවූවා නම් ජනතාව මේ ආකාරයෙන් නොහැසිරෙන බවයි. ඒ නිසා මේ තාවකාලික සහ අවස්ථාවාදී අර්බුදය හමුවේ අන්තවාදීන්ගේ සහ අවස්ථාවාදීන්ගේ බලකිරීම්වලට ජනපතිවරයා හෝ ආණ්ඩුව යටත් නොවිය යුතුයි’
මෙහිදී ඔහු විසින් අවධාරණාත්මකව පෙන්වා දුන්නේ උද්ඝෝෂකයින්ට සහ මේ උද්ඝෝෂණ රැල්ල දඩමීමා කරගෙන පාලනය බලය අල්ලා ගැනීමට පුලපුලා සිටින කිසිම කල්ලියකට වත්මන් විදේශ විනිමය අර්බුදය ජය ගැනීමට අවම සැලසුමක් හෝ නොමැති බවයි.
‘ඔවුන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී කළ කතාවලින් සහ සිදුකරන මාධ්‍ය ප්‍රකාශවලින් මේ බව මනාව තහවුරු වෙනවා. ඔවුන් කිසිම ආකාරයක සැලසුමක් නැහැ මේ අර්බුදය ජයගැනීමට. ඔවුන් දැන් සිදුකරමින් ඉන්නේ ජනතාව අතරින් භාණ්ඩ හිඟය හේතුවෙන් නිර්මාණය වූ ක්ෂණික විරෝධය තම දේශපාලන බල ව්‍යහුය තුළට ගැනීම පමණයි. ඒත් එතැනින් එහාට කළ යුත්තේ කුමක්ද යන්න ගැන ඔවුන්ට කිසිම ආකාරයක අවබෝධයක් හෝ සැලසුමක් නෑ.' ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
කථානායක කළ චෝදනාව
මේ අතර වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති විවාදයේදී මන්ත්‍රීවරුන් සාධනීය අදහස් දැක්වීම හා විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම කනගාටුවට කාරණයක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී පසුගිය 7 වැනිදා පැවසුවේය.
පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා කියා සිටියේ විවාදය අවසානයේ අප සියලු දෙනාටම එකඟ විය හැකි සුදුසු වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට හැකි වන ආකාරයට කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටින බවය. විවාදය ආරම්භ කිරීමට න්‍යාය පත්‍රානුකූලව කටයුතු කිරීමේදී ඊට බාධා කිරීමත්, සභාව දෙවරක් අත්හිටුවීමට සිදු වීමත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක සිදු නොවිය යුතු දේවල් ලෙස තමන් දකින බව කථානායකවරයා කීවේය.
මෙහිදී මාධ්‍ය තුළින් වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණ ද දයාසිරි ජයසේකර, හරින් ප්‍රනාන්දු සහ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් ඉතාමත් වැදගත් බවත් සභාවේ අවධානය යොමු කළ යුතු කාරණා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
එහිදී කතානායකවරයා අවධාරණය කළේ අප සියලු දෙනාම පක්ෂ පාට භේදයකින් තොරව දේශපාලන අරමුණු පසෙකලා මේ අර්බුදය ජය ගැනීමට පොදු වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් සකස් කළ යුතු බවය. එසේම සියලු මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේදී සභාව තුළ වෙනදා පුරුදු පරිදි දේශපාලන අර්බුද මතු කර ගෙන කටයුතු කිරීම කනගාටුවට කාරණයක් බව නැවත වරක් මතක් කරමින් විවාදයේදී සියලුදෙනා මේ කරුණු මතක තබා ගන්නා ලෙස කතානායකවරයා පෙන්වා දුන්නේය.
කෘතහස්ත දේශපාලනඥයකු වන කතානායකවරයා කළ ඉල්ලීම ගැන ජනතාව මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිය අවධානය යොමු කළ යුතුය. මන්ද උද්ඝෝෂකයින් එකඟ වුවද නොවුණ ද වත්මන් අර්බුදයට විසදුමක් සොයා ගත හැකි පැහැදිලි සහ වඩාත්ම පහසු මඟ වැටී ඇත්තේ පාර්ලිමේන්තුව හරහා වීම නිසාය.
ව්‍යවස්ථාවට පිටින් නොයෑම
උද්ඝෝෂණ හමුවේ කුල්මත්ව සහ අධි තක්සේරුවක සිටින විපක්ෂය සහ අන්තවාදීන් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව නොතකා හරින හෝ ව්‍යවස්ථාවට පිටින් ගොස් විසඳුම් සොයන ලෙස සිදුකරන බලපෑම් ගැන දේශපාලන නිරීක්ෂකයන් සහ මධ්‍යස්ථ මතධාරීන් අතර ඇත්තේ ද විරෝධයකි.
ඔවුන් ඉතාම පැහැදිලිව පෙන්වා දෙන්නේ 74 වසරක නොබිඳුණු හා නොකැළැල් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව තුළ අරාබි වසන්තය හෝ මූලධර්මවාදී රටවල මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ පාර්ලිමේන්තුව නොතකා හරින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවිය යුතු බවය. මේ බව පසුගිය 07 වැනිදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාන, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද සහතික වශයෙන් අවධාරණය කළේය.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණයෙන් පැවසුවේ වසර පහක් සඳහා හැටනව ලක්ෂයක් වූ ජනතාව ජනාධිපතිවරයාට බලය දී ඇති බවත් ඒ අනුව ජනතාව සහ ව්‍යවස්ථාවෙන් දී ඇති බලයට පටහැනිව කටයුතු නොකරන බවයි. අනුර කුමාර දිසානායක කිව්ව පලියට ජනාධිපතිවරයා ඉවත් වන්න සූදානම් නැති බව පැවසූ ඇමැතිවරයා නැවත වතාවක් මිනී උඩින් දේශපාලනය කිරීමට කිසිවකුට අවස්ථාව නොදෙන බව කීවේය.
ඇමැති ජොන්ස්ටන් කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානය මේ වන විට යොමුව තිබේ. ඔවුන් එහිදී පෙන්වා දෙන්නේ වත්මන් අර්බුද කළමනාකරණයේදී ආණ්ඩුවේ අදහස ඉතාම පැහැදිලිව මේ ප්‍රකාශය හරහා වටහා ගත හැකි බවයි.
රැල්ල ලත් තැනම ලොප් වෙයිද ?
මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට කිසියම් විස්මිත ප්‍රතිඵලයක් ලබා නොදී උද්ඝෝෂණ රැල්ල දිගටම ගෙන යාමට විපක්ෂයට සහ අන්තවාදී කණ්ඩායම්වලට ඇති හැකියාව අතිශය සීමිතය. පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට නොහැකි වීම නිසා පමණක් නොව අධිභාර පනත සම්මත වීම, නව භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා නිර්මාණය වන ජාත්‍යන්තර විශ්වාසය හමුවේ තවත් නොබෝ දිනකින් නැටුව තොවිලයකුත් නැති, බෙරේ පළුවකුත් නැතිව මේ ක්ෂණික අර්බුදය නිමාවීමට නියමිතව ඇත. එය තව දුරටත් කාලය හා සම්බන්ධ ප්‍රශ්නයක් බවට පත්වනු ඇත.
මෙම විශ්ලේෂණය හමාර කිරීමට පෙර වත්මන් අර්බුදයේ ප්‍රකාශකයකු හා නායකයකු වන හිටපු ඇමැති විමල් වීරවංශ පසුගිය 07 වැනි දා පාර්ලිමේන්තුවේදී කළ දීර්ඝ කතාවේ සුවිශේෂම උපුටා ගැනීම වෙත යොමු වීම වැදගත්ය.
‘අරාජිකත්වයෙන් වාසි සැලසෙන්නේ අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට මිස ප්‍රබුද්ධ සමාජ බලවේගවලට නොවේ. රට අරාජික වීමට නොදීමේ වගකීමෙන් අප කාටවත් මිදෙන්නට බැහැ’