පුද්ගලයකු සතු සමාජ වගකීම් කුමන හේතුවක් නිසාවත් අතහැරිය නොහැකිය. සැබෑ සමාජ ක්‍රියාකාරිකයකු වන්නේ එවැනි වගකීම් සහගත හැසිරීමක් පෙන්වන පුද්ගලයාය.
අපට මෙම කරුණ සිහිපත් කිරීමට සිදුව ඇත්තේ මේ දිනවල රට පුරා දියත්ව ඇති යොවුන් විරෝධතා මාලාව හා සම්බන්ධවන ක්‍රීඩකයන්ගේ එකමුතුව දෙස බලද්දී ය. ඉන් ඇතමෙක් මේ දිනවල දියත්ව ඇති ආණ්ඩු විරෝධී යොවුන් විරෝධතා අසළට පැමිණ ඒවාට සහාය දක්වා තිබුණේ ය.
කෙසේ නමුත් අප කියන්නේ ක්‍රීඩකයෝ මේ අයුරින් සමාජය තුළ සක්‍රියව කටයුතු කිරීම වරදක් ලෙස නොවේ. එහෙත් එය සිදුකළ යුත්තේ නිශ්චිත ක්‍රමවේදය ඔවුන් විසින් පටලවා ගනිමින් ඇති බවය.
පූර්වගාමී ජන කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩකයන් සතුව අත්හළ නොහැකි සමාජ වගකීමක් තිබේ. එය එසේ නම් ඔවුන් යම් ක්‍රියාවක නිමග්න වද්දී එය සිදුකළ යුත්තේ වඩා බුද්ධිමත්ව ය.
එහෙයින් ඔවුන් මෙම යොවුන් විරෝධතාවනට සහාය දක්වන්නේ නම් එය සිදුකළ යුත්තේ එකී විරෝධතාකරුවනට නිශ්චිත දර්ශනයක් හා නායකත්වයක් සපයමිනි. ඒ අන්කිසිවක් නොව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයෙන් එපිට කිසිදු සමාජ විමුක්තියක් සොයාගත නොහැකි බව ඒත්තු ගන්වමිනි.
අප එසේ කියන්නේ මේ ආකාරයෙන් බලයට පත්වන ආණ්ඩුවලට හෝ පුද්ගලයන්ට එරෙහිව විරෝධතා පවත්වන්නට වුව රටකට නීතියක් අවශ්‍ය වන හෙයිනි. එම නීති සම්පාදනය කිරීමට මෙන්ම මුදල් රෙගුලාසි සකස් කිරීමට පාර්ලිමේන්තුවක් අවශ්‍යය. එකී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය නොසලකා කැලෑ නීතිය රජ කරවා රටක් පවත්වාගෙන යන්නට නොහැකිය. ඒ බව මේ යොවුන් විරෝධතාකරුවන්ට ඒත්තු ගැන්විය යුතුය. අද වනවිට එය සිදුකළ හැකි හොඳම සමාජ ස්ථරය නියෝජනය කරන්නේ ක්‍රීඩකයෝ ය.
ඔවුනට ඒ වෙනුවෙන් තම සමාජ මාධ්‍ය උපයෝගී කරගන්නට හැකිය. අවශ්‍ය නම් උද්ඝෝෂකයන් හා එක්ව කටයුතු කරන්නට ද හැකියාව ඇත. එහෙත් කනගාටුවට කරුණවී ඇත්තේ මෙරට බොහොමයක් ක්‍රීඩකයන් තුළ තවමත් එවැනි වගකීම් සහගත භාවයක් ගොඩනැගී නොමැති වීමය. ඔවුන් ද බොහෝ දෙනෙක් මෙන් තවමත් ගමන් කරන්නට උත්සාහ ගන්නේ රැල්ලේ ය. ඊට හේතුව ක්‍රීඩකයන්ගේ සමාජ විඥානයේ ලුහුඬුතාය. එයට වගකිව යුත්තේ ක්‍රීඩකයන් නොවන දේශපාලකයන්ය. ඒ පදක්කම් දිනන ක්‍රීඩකයන් බිහිකරන්නට උත්සාහ කරන තරමට සමාජ ඥානයෙන් පුළුල් ක්‍රීඩකයන් නිර්මාණය කරන්නට ඔවුන් කිසිවිටකත් උත්සාහ කර නොමැති හෙයිනි. ඒ සඳහා මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් විය යුතුය.
දැන් අප කියන්නේ ක්‍රීඩකයනට මෙවැනි උද්ඝෝෂණ සමඟ එක් නොවන්නට කියා නොවේ. එය පුද්ගලයකු සතු අනුල්ලංඝනීය හිමිකමකි. එහෙත් ඔබ සමාජයේ පෙරටුගාමියකු වශයෙන් වහා සිදුකළ යුත්තක් ඇත. ඒ මේ සියලු විරෝධතා අතර නීතියේ ආධිපත්‍ය තහවුරු කරලීමට, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට ගරු කිරීමට යොවුන් උද්ඝෝෂකයන් පොළඹවමිනි. උද්ඝෝෂණ සාර්ථක වන්නේ එවිටය. එය වහා ඉටු කළ යුතුව ඇති ක්‍රීඩක යුතුකමකි.