ශ්‍රමිකයන්ගේ මූලික අයිතිය රත් කළ FIFA සමුළුව | Page 2 | සිළුමිණ

ශ්‍රමිකයන්ගේ මූලික අයිතිය රත් කළ FIFA සමුළුව

මානව හිමිකම්, සංක්‍රමණික කම්කරු නීති රීතින් හි සුවිශාල ප්‍රතිසංස්කරණ ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතික ශ්‍රමිකයන් විශාල පිරිසක් මිය ගිය බවට චෝදනා ‘මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ ය. ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩාංගණ, ක්‍රීඩකයන්ගේ නවාතැන් හා ප්‍රවාහනය ඇතුළු බොහෝ යටිතල පහසුකම් ඉදිකිරීම හා ගොඩනැංවීම වසර කීපයක් තිස්සේ කටාර් රාජ්‍ය තුළ දිගින් දිගටම සිදුවුණේ ය. එකී කටයුතු සාර්ථක කරගැනීම හේතුවෙන් කටාරය මේ වනවිට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැක්වීමට බොහෝ සෙයින් ශක්ති සම්පන්න ස්ථානයක පසුවෙයි. කෙසේ නමුත් ඔවුන්ගේ මානව හිමිකම්, කම්කරු අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය වැනි බොහෝ දේ පිළිබඳ මේ වනවිටත් ලෝකය තුළ ගොඩනැංවී ඇති සංවාදය අවසන්ව නැත. ඒ බව වඩාත් පැහැදිලි වූයේ පසුගිය දා එරට පැවැති ජාත්‍යන්තර පාපන්දු කොංග්‍රස් රැස්වීමේ දී ද ගොඩනැංවුණු අවධානය සැලකිල්ලට ගනිද්දීය. මේ ඒ සම්බන්ධයෙන් ඇති වූ කතාබහකි.‘

පසුගිය දා කටාර් හි පැවැත් වුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හැත්තෑ දෙවැනි කොංග්‍රස් සභාව ය. එහි දී කටාර් රාජ්‍ය විසින් තමන්ගේ සංක්‍රමණික සේවකයන්ට දක්වන අවධානය පිළිබඳ විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වුණේ ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරග කාලසටහන ප්‍රකාශට පත්කිරීමට පෙර මෙම සංවාදය මතු වූ අතර ලෝකයේ විවිධ රාජ්‍යයන් හි පාපන්දු බලධාරීන් ඒ සම්බන්ධයෙන් සිය මත ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.

මෙම සමුළුව තවත් අතකින් සුවිශේෂී සමුළුවක් වනුයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර පවත්වන ලද කොංග්‍රස් රැස්වීම හේතුවෙන් පමණක් නොවේ. එය සැලකෙනුයේ කොරොනා අර්බුදය හේතුවෙන් 2019 වසරට පසුව පුද්ගලයන්ගේ සහභාගිත්වය සහිතව පැවැත් වූ පළමු කොංග්‍රස් සමුළුව වශයෙන් ද සැලකෙන හෙයිනි.

සංක්‍රමණික කම්කරු අයිතිවාසිකම් ප්‍රශ්නය මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්වුණේ එරට යටිතල පහසුකම් වර්ධනය කිරීම පිණිස සේවයට බඳවා ගත් සංක්‍රමණික ශ්‍රමිකයන්ට දක්වන සැලකිල්ල ප්‍රමාණවත් ද යන්න සම්බන්ධවය. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ලොව පුරා සංවාදයක් ගොඩනැගී තිබූ අතර කටාර් රාජ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කරන නීති රීති මතින් කම්කරු ප්‍රඥප්තීන් පවා පුළුල් බිඳ වැටීමකට ලක්වී ඇති බව මීට පෙර එල්ල වූ චෝදනාව විය.

‘කටාර් රාජ්‍යයට ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වය අහිමි කළ යුතුයි. ඔවුන් සංක්‍රමණික ශ්‍රමිකයන්ට සලකන්නේ නෑ. ඔවුන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝණය කරනවා. දියුණු මානව අයිතිවාසිකම් ගැන කතාකරන ලෝකය, ඒ සම්බන්ධයෙන් ප්‍රාර්ථනා පොදි බඳින ලෝකයට මෙමගින් සිදුවන්නේ දරා ගන්න බැරි ගැටලු ඇති කිරීමයි. වහාම කටාර් හි ලෝක කුසලාන සත්කාරකත්වය අහෝසි කළ යුතුයි.‘ යැයි එකල දිගින් දිගටම ලෝකයේ මතු වූ සටන් පාඨයක් විය.

‘අපේ රට කෙරේ ලෝක අවධානය යොමුවන්න, අපේ කම්කරු නීතින් සම්බන්ධයෙන්, අපේ සමාජ තත්ත්වය ගැන ඔවුන් සිතන්න, අදහස් දක්වන්න ඉවහල් වුණේ මේ ලෝක කුසලාන සත්කාරකත්වයයි. ඒත් අපි කම්කරු අයිතීන් උල්ලංඝණය කරන රාජ්‍යයක් නොවෙයි.‘ මේ පිළිබඳ අදහස් දක්වා තිබූ කටාර් බලධාරීන් පසුගිය කාලයේ දිගින් දිගටම පවසා තිබුණේ ය.

මේ අතර පසුගියදා පැවැති ලෝක කුසලාන පාපන්දු කොංග්‍රස් සභාවේ පිළිගැනීමේ දේශනය පැවැත් වූ එරට අග්‍රාමාත්‍ය ෂෙයික් කාලිඩ් බින් කලීෆා බින් අබ්දුලාෂිෂ් අල් තානි කියා සිටියේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කිරීමට අවස්ථාව හිමිවීමත් සමඟින් මින් ඉදිරියට සියලු මුල් පෙළේ ක්‍රීඩා තරගාවලි සංවිධානය කිරීමට තම රාජ්‍යය සූදානමින් සිටින බවය.

‘අපි නියෝජනය කරන්නේ කටාර් රාජ්‍ය පමණක් නොවෙයි. මෙතැනදී අපි නියෝජනය කරන්නේ සමස්ත අරාබි ලෝකයමයි. මෙම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කිරීමෙන් අපි අපේ සංස්කෘතිය හා ගෝලීය සංස්කෘතිය අතර පාලමක් ඉදිකරනවා. එය බොහෝම සුන්දර, සුගම, ශක්තිමත් පාලමක්. ඒ සඳහා වන කවුළුවක් තමයි අපි මේ විවෘත කරන්නෙ.‘ අල් තානි එහිදී පවසා තිබිණි.

මෙම අවස්ථාවට එක් වූ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති (ෆිෆා) ගියානි ඉන්ෆැන්ටිනෝ ප්‍රකාශ කර තිබුණේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කිරීමට ලැබුණු අවස්ථාව මගින් දෝහ කටාර් රාජ්‍ය තුළ සුවිශාල වෙනස්කම් සිදු වූ බවත් ඒවා ධනාත්මක බව තම සංවිධානය විශ්වාස කරන බවය.

‘මීට පෙර කටාරය තුළ මානව හිමිකම්, වැඩකරන සේවක අයිතීන් ගැන මේ තරම් කතා වුණේ නෑ. නමුත් ලෝක කුසලානය පවත්වන්න කටයුතු සැලසුම් වෙද්දී තමයි ඒ ගැන ලෝකය පුරා පුළුල් අවධානයක් යොමු වුණා. එය මානව අයිතිය, ශ්‍රමික හිමිකම පැත්තෙන් ගනිද්දී යහපත් තත්ත්වයක්.‘ ඉන්ෆැන්ටිනෝ තම දේශනයේ දී සඳහන් කිරීමට අමතක කර නොතිබුණේ ය.

කටාර් වාර්තා ගැන ප්‍රශ්නයක් මේ අතර නෝර්විජියානු පාපන්දු සම්මේලනයේ සභාපතිනි ලිසේ ක්ලාවෙනිස් ද මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ 2010 වසරේ දී කටාරයට ලෝක කුසලාන සත්කාරකත්වය ලබාදීමට ගත් තීරණය පිළිගත නොහැකි එකක් වූ බවයි.

‘2010 වසරේ දී ෆිෆා සංවිධානය ඔවුනට ලෝක කුසලාන සත්කාරකත්වය ලබාදුන් ක්‍රමවේදය පවා පිළිගත නොහැකියි. එහි අනුමත කළ නොහැකි කරුණු තිබුණා. මානව හිමිකම්, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය වැනි මූලිකාර්ථ කටාරය තුළ සීමා සහිත බව ඉන් ඒත්තු ගැන්වුණා. වැඩි වශයෙන් බාහිර හඬවල් තමයි මේ ගැන දිගින් දිගටම කතා කළේ. ‘ යැයි ඈ සිය විරෝධය පළ කරමින් පැවසීය.

ඊට පිළිතුරු ලබාදුන් සංවිධායක කමිටු ලේකම් හසන් අල් තවාදි කියා සිටියේ, මෙවැනි චෝදනාවක් මීට පෙර තමන් සමඟ සිදුකිරීමට නෝර්විජියානු පාපන්දු සභාපතිවරිය කටයුතු කර නොමැති බවය. ‘ඔබ අප සමඟ මෙවැනි සංවාදයක් පවත්වා නෑ. අද මෙවැනි ප්‍රකාශයක් සිදුකරන්න යනවා කියා කියලත් නෑ. කොහොම නමුත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මේ සම්බන්ධයෙන් අප සමඟ දිගින් දිගටම කතා කළා. ඔවුන් ඒ ගැන අවධානය යොමුකළා. ඒ නිසා ඔබේ චෝදනාව පිළිගත නොහැකියි. අපි කියන්නේ කම්කරු නීතීන් සුපිරි තලයට ගේන්න අපිට තව කාලයක් අවශ්‍ය වෙයි. නමුත් දැන් ඒවා හොඳ මට්ටමක තිබෙනවා. විවිධ ඉදිකිරීම් හි දී තුවාල ලැබ විවිධ ආබාධයන්ට ලක් වූ විගමණික සේවකයන්, ලෝක කුසලාන වෙනුවෙන් වන ඉදිකිරීම් කටයුතු සඳහා සේවය ලබාදෙමින් සිටියදී මියගිය සේවකයන්ගේ පවුල් හි සාමාජිකයන් සම්බන්ධයෙන් අපි රාජ්‍යයක් වශයෙන් යුතුකම් ඉටු කරලා තිබෙනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට වගේම අපි සැමට සැබෑ වෙනස්කම් කිරීමට අවශ්‍යයි. ඒ වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.‘

‘ඒ වගේම අපි මේ සඳහා සංවිධාන කටයුතු කරද්දී ඓතිහාසික වශයෙන් මෙන්ම මානව, සමාජ, ආර්ථික හා පාරිසරික වශයෙන් විවිධ ජයග්‍රහණයන් අත්පත් කරගත්තා. අපිට මෙම වැඩකටයුතු කරගෙන යද්දී බොහෝ ගැටලු ඇතිවුණා. චෝදනා ඉදිරිපත් වුණා. නමුත් ඒ ගැටලුකාරී තත්ත්ව නිසි පරිදි අවබෝධයෙන් කටයුතු කිරීම මගින් කාලයක් අපේ ප්‍රතිපක්ෂයේ හිටපු උදවිය අද වනවිට අපේ හවුල්කරුවෝ බවට පත්වෙලා තිබෙනවා.‘ අල් තවාඩි ප්‍රකාශ කර ඇත.

‘අපි ලෝකයට පෙන්වනවා සත්කාරකත්වය දැරීම මගින් මොනවගේ තරගාවලියක් ද අපි පවත්වන්නේ කියලා. අපි එය කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් ඔප්පු කරනවා. ඒ වගේම බොහොම සුරක්ෂිත ලෝක කුසලාන තරගාවලියක් අපි සෑම දෙනෙකුටම ලබාදෙනවා.

සියලු දෙනාට එකට අසුන්ගෙන සම්බන්ධතා ගොඩනාගන්න අවස්ථාවක් මෙමගින් ලබාදෙනවා කියන එක.‘ ඔහු තම පිළිතුරු කතාවේ දී ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. කටාර් හි මානව හිමිකම් හා ශ්‍රමික අයිතීන් සම්බන්ධයෙන් සොයා බැලීමේ දී එම රජය විසින් 2020 වසරේ අගෝස්තු මාසය වනවිට තම රටේ කම්කරු නීතින් හි තීරණාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට ද කටයුතු කර තිබුණු බව පැවසෙයි. එහිදී සේවකයන්ගේ කැමැත්ත මත රැකියාවේ වෙනස් කිරීම් සිදුකිරීම අවශ්‍ය හා පිළිගත යුතු කරුණක් බව කටාර් බලධාරීන් අවබෝධ කර ඊට නීති සම්පාදනය කර තිබුණේ ය. එමගින් සේවා යෝජකයන් විසින් සේවක ශ්‍රමය සූරා කෑම හා සේවක අයිතීන් අවභාවිත කිරීම සීමා කිරීමට හැකි වන බව පැහැදිලි කරුණකි.

කෙසේ නමුත් පසුගිය කාල සීමාව තුළ ලෝක කුසලාන පාපන්දු තරග සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සිදුකළ ඉදිකිරීම් හි දී විදෙස් ශ්‍රමිකයින් විශාල වශයෙන් සුරා කෑමට ලක්කළ බවට කටාර් රාජ්‍යයට එල්ලවන චෝදනාවන් හි අඩුවක් නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික ශ්‍රමිකයින් මෙම කාර්යයේ දී ශ්‍රම සුරා කෑමකට ලක්ව ඇති බව බටහිර මාධ්‍ය දිගින් දිගටම චෝදනා කරනු ලැබිණි. එලෙස සිදුවූ අනතුරු වලින් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් පන්සියයකට අධික පිරිසක්, ඉන්දියානුවන් දෙදහසකට වැඩි ගණනක් මිය යන්නට ඇති බවත් ජාත්‍යන්තර වාර්තා සඳහන් කළේ ය. ඊට අමතරව නේපාල,පාකිස්තාන,බංග්ලාදේශ ශ්‍රමිකයින් ද මිය ගිය පිරිස් අතර සිටි බව ප්‍රකාශ විණි.

මේ අතර කටාර් රජයේ සන්නිවේදන කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගැනීමට හැකියා උදා වූ බවයි. එය තවදුරටත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව වැඩකරමින් වැඩිදියුණු කිරීමට තම රජය කටයුතු කරන බවට සහතික වන්නේ යැයි ද ඔවුහු පවසා තිබුණේ ය. කෙසේ නමුත් ශ්‍රමිකයන් මෙතරම් ප්‍රමාණයක් මරණයට පත් වූ බවක් ඔහු පිළිගෙන නොතිබුණු අතර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේදී ආබාධිත හෝ යම් අගතියකට පත් වූ සේවකයන් සිටීනම් ඔවුනට වන්දි පිරිනමා එම සේවකයන්ගේ යැපෙන්නන්ට සහනය සැලසීමට කටාර් රාජ්‍ය කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ය.

 

කාන්ති ජයසිංහ

 

Comments