ජගත් පාපන්දු කුසලාන ගැටුම නොවැම්බරයේ | Page 2 | සිළුමිණ

ජගත් පාපන්දු කුසලාන ගැටුම නොවැම්බරයේ

පසුගිය වසරේ අරාබිකරයට ක්‍රිකට් වසන්තය උදාකර දෙමින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැද පෙරදිග පැවැත් වූයේ එම කලාපයට ජගත් මහා කෙළි උළෙලක ආශ්වාදය ගෙන දෙමිනි. මෙම වසරේ තවත් එවන් වසන්තයක් තවත් මාස කිහිපයකින් මැද පෙරදිගට උදා වීමට දැන් සියල්ල සුදානම්ය. ඒ මෙම වසර අවසන් කටාර් හි පැවැත්වීමට නියමිත ජගත් පාපන්දු පිටියේ මහා මංගල්‍යය ලෙස සැලකෙන ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ය.

තරගාවලිය නොවැම්බර් මස 21 වැනි දා ආරම්භ වීමට නියමිත අතර එය අවසන් වන්නේ දෙසැම්බර් මස 18 දින ය. මෙවර තරගාවලිය නගර පහක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රීඩාංගණ අටක් තුළ පැවැත්වීමට සියල්ල සූදානම් කොට අවසන්ය. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ලුසාලි නගරයේ අයිකොනික් පිටියේ දී ය. එම ක්‍රීඩාංගණය සැලකෙනුයේ තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩා පිටි අතරින් වැඩිම ක්‍රීඩා ලෝලීන් පිරිසකට තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණය ලෙස ය. එහි ප්‍රේක්ෂකයන් අසුදහසකට තරග නැරඹීමේ පහසුකමෙන් යුක්තය.

මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 32 ක් පමණක් තරග වැදුණ ද 2026 එක්සත් ජනපදය,මෙක්සිකෝ හා කැනඩාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් වටයට කණ්ඩායම් 48 ක් තෝරා ගැනීමට නියමිතය.

ජගත් පාපන්දු පිටියේ බලවතෙකු නොවුණ ද මෙවර තරගාවලිය සඳහා කටාර් රාජ්‍යයට අවස්ථාව උදාවී තිබේ. ඒ තරගාවලියේ සත්කාරකත්වය දරන රාජ්‍ය වශයෙනි. 2018 වසරේ පැවැති තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 අතරට පැමිණීමට අපොහොසත් වූ නෙදර්ලන්තය,ඉක්වදෝරය,ඝානාව,කැමරුන් සහ එක්සත් ජනපදය මෙවර අවසන් කණ්ඩායම් 32 අතරට පැමිණ තිබීම කැපී පෙනෙන සිදුවීමකි. එමෙන්ම ලෝක කුසලාන පාපන්දු අවසන් වටයට මෙවර කැනඩාව සුදුසුකම් ලබා ඇත්තේ 1986 වසරෙන් පසුවය. කෙසේ නමුත් අවාසනාවකට හතර වරක් ශුරතාව ජයගෙන ඇති ඉතාලියට පසුගිය 2018 තරගාවලියේ මෙන් මෙවර ද සුදුසුකම් අත්කර ගැනීමට නොහැකි වී තිබේ.

දේශපාලන වශයෙන් කලක සිට විරසක තත්ත්වයෙන් පසුවන එක්සත් ජනපදය හා ඉරානය මෙවර ‘බී‘ කොටසට අයත්ව සිටින අතර එංගලන්තය ද අයත් වන්නේ මෙම කොටසට ය. මෙවර එක්සත් ජනපදය හා ඉරානය අතර තරගය කෙරෙහි දේශපාලන අංශයේ ද අවධානය යොමුවීම නොවැළක්විය හැකි වනු ඇත.මීට පෙර 1998 ප්‍රංශයේ පැවති ජගත් කුසලාන තරගාවලියේ දී එක්සත් ජනපද හා ඉරාන කණ්ඩායම් මුණගැසිණි.එවර ජය අත් වූයේ ඉරානයටය. කෙසේ නමුත් කණ්ඩායම් දෙකේ පුහුණුකරුවන් මෙය දකින්නේ තරගයක් ලෙස පමණි.

”මම අවධානය යොමු කරන්නේ පාපන්දු ක්‍රීඩාවට පමණයි බාහිර දේවල් සම්බන්ධයෙන් නොවෙයි.” ඉරාන පුහුණුකරු ඩ්‍රැගන් ස්කොසික් තරගය ගැන පවසා තිබුණේ එසේය.එක්සත් ජනපද පුහුණුකරු ග්‍රෙග් බර්හෝල්ටර් දක්වන්නේ ද මෙවන් අදහසකි. ”මට හොඳට මතකයි ඒ තරගය ( 1998 තරගාවලියේ තරගය) මම එදා නෙදර්ලන්ත රුපවාහිනී නාලිකාවක් වෙනුවෙන් විස්තර කථනයේ යෙදී සිටියා. කොහොම නමුත් මම හිතන විදිහට දිනය අවසන සම්පුර්ණ කතාබහට ලක්වන්නේ පාපන්දු ක්‍රීඩාව ගැන පමණයි.මිත්‍රශීලිත්වයේ සංකේතය ඔබට නිර්මාණය කරන්න නම් හැකිතාක් සාධාරණව හා පිටියේ තරගකාරී අයුරෙන් ක්‍රීඩා කළ යුතුයි. එයයි පාපන්දු ක්‍රීඩාවේ පරමාර්ථය.” කියාය.

කෙසේ නමුත් මෙවර තරගාවලිය කටාර් හි පැවැත්වීමට එරෙහිව ද අදහස් මතුව ඇත.නෙදර්ලන්ත පාපන්දු ප්‍රධානියා,ලුවිස් වෑන් ගාල් “මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ කටාර් හි තරගාවලිය පැවැත්වීම විසිළුවක් බවය. ”මෙය වාණිජ පරමාර්ථයන් වෙනුවෙන් වූ තෝරා ගැනීමක්” ඔහු එසේ පවසන විට 2022 ලෝක කුසලාන සංවිධායක කමිටු මහා ලේකම් හසන් අල් තවාඩි පවසන්නේ අරාබි ලෝකය මෙයට සුදුසු බවයි. “අප මෙම අවස්ථාව උදාකර ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරුවා.” ඔහු පවසයි.

අනිල් වීරසිංහ

Comments