![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/08/04_1.jpg?itok=A1_1ifob)
- ජස්වර් දෝලාවෙන් බැහැලා ඒ දණ්ඩේ යන්න එන්න
- දැන් පාපන්දු ගිනුම හිස් වෙමින් තිබෙනවා
- ව්‍යවස්ථාපිතව ඡන්දය තියන්න
- සබන් බෝල පුම්බලා පාපන්දු සංවර්ධනය කරන්න බෑ
ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය මෙරට පාපන්දුව විශාල අගාධයකට ඇද දමින් ඇතැයි පසුගිය නිලවරණයේ වත්මන් පරිපාලනයට එරෙහිව තරග වැදුණු පාර්ශ්වයේ සභාපති ධුර අපේක්ෂක වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියා මාර්ගයක් නොගතහොත් මෙරට පාපන්දු ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක්වීමේ අවධානමක් නිර්මාණය වී ඇති බවයි. මේ ඔහු සමඟ ‘ක්‍රීඩා‘ පුවත්පත පැවැත් වූ සාකච්ඡාවකි.‘
වත්මන් පාපන්දු පරිපාලනය සම්බන්ධයෙන් ඔබ චෝදනා රැසක් ඉදිරිපත් කරමින් සිටිනවා. මොකද ඔබ ඔවුන්ගේ කකුලෙන් අඳින්න උත්සාහ කරනවා ද?
මම කාගෙවත් කකුලෙන් අඳින්නෙ නෑ. ඔවුන් තමයි වැරදි පාරේ ගිහින් තියෙන්නේ. කිසිම පරිපාලකයකුට නොලැබෙන ආකාරයට ඔහුට පරිපාලනය කරගෙන යන්න මම සහයෝගය දැක්වූවා. මම බලාගෙන සිටියා. මා සමඟ පසුගිය නිලවරණයට වැඩකළ සියලු පාපන්දු පරිපාලකයන් ඔවුන්ට වැඩ කරන්න ඉඩ දුන්නා. ඒත් දැන් මාස නවයක් ගත වෙලා. පාපන්දු ක්‍රීඩාවට වුණු දෙයක් නෑ. දිනෙන් දින ක්‍රීඩාව වල පල්ලට යමින් තිබෙනවා. දැන් ඔවුන් යන පාර බොහෝම පැහැදිලියි. මේ විධිහට ගියොත් ක්‍රීඩාවට සිදුවන්නේ මහා විනාශයක්. ඒ නිසයි අපි මේ විධිහට කතා කරන්නෙ. නැතිව මේ කරන්නේ කකුලෙන් ඇදීමක් නෙවෙයි.
ඔවුන් බොහෝම සාර්ථකව අගමැති කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කළා. නිදහස් කුසලාන වෙනුවෙන් පළාත් පාපන්දු තරගාවලියක් පැවැත් වූවා. එහෙම තිබිය දී ඇයි ඔබ ඔවුන් යන්නේ වැරදි පාරක කියලා චෝදනා කරන්නේ?
මතුපිටින් බලාගෙන ඉන්න අයට එහෙම පේන්න පුලුවන්. ඒත් පාපන්දු පරිපාලන වියදම්, පාපන්දු ගිනුමේ ඇති මුදල් දිහා බලපුවහම තේරෙනවා ක්‍රීඩාවට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මේවා වත්මන් පරිපාලනය ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයි. මේ මුදල් මෙරට පාපන්දු ක්‍රීඩාව සංවර්ධනයට ආසියානු හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලැබුණු මුදල්. හිටපු පරිපාලකයෝ ක්‍රමවත්ව ගිනුම් ගත කර ඇති මුදල්. දැන් ඒ ගිනුම් හිතුණු හිතුණු විධිහට හිස් කරමින් ඉන්නවා. මීට ඉස්සරත් තරගාවලි සංවිධානය කළා. රටවල් ගණනාවක් මෙරටට ඇවිත් තරගවලට ක්‍රීඩා කළා. ඒත් මේ තරම් මුදල් කාබාසිනියා කළා ද? අනවශ්‍ය වියදම් කළා ද? නෑ. කිසිකෙනෙක්, කිසි සභාපති කෙනෙක් එහෙම කළේ නෑ. ඒත් වත්මන් සභාපතිවරයා සිදුකරමින් තිබෙන්නේ හිස අතගාමින් පාපන්දු ක්‍රීඩාවේ ගිනුම් හිස් කරන වැඩපිළිවෙලක්. ඒකයි අපි පෙන්වලා දෙන්නේ.
ඔබ කරන මේ චෝදනාව බොහොම බරපතලයි. එය ඔප්පු කරලා පෙන්විය හැකි ද?
අපි නෙමෙයි මේ දේවල් කියන්නේ. වත්මන් පරිපාලනය ඉදිරිපත් කළ ගිනුම් වාර්තාවම තමයි ඒ දේ කියන්නෙ. එයත් නිවැරදි යැයි අපි සිතන්නේ නෑ. තත්ත්වය ඊටත් වඩා බරපතල ඇති. ඒ වුණත් එම වාර්තාවට අනුව සුවිශාල ණය බරකින් තමයි දැන් පාපන්දු ගිනුම අරගෙන යන්නේ. මෙහෙම ගියොත් පාපන්දු ක්‍රීඩාව හතර ගාතෙන් වැටෙනවා. ඒක නවත්වාගන්න අවශ්‍යයි.
මොනව කරල ද නවත්වන්න පුලුවන් වෙන්නේ?
අනවශ්‍ය වියදම් කපා හරින්න. අවශ්‍ය දේවල්වලට පමණක් වියදම් කරන්න. පාපන්දු ක්‍රීඩාව නගා සිටුවනවා කියන්නේ තරගාවලියක් සංවිධානය කිරීම පමණක් නොවෙයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න තරග ලබාදෙන එක හොඳ දෙයක්. ඒත් ඒ තරග ලබාදෙනවා වගේම ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය විය යුතුයි. ක්‍රීඩකයන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු විය යුතුයි. නව ක්‍රීඩකයන්ට මේ ක්‍රීඩාව තුළට පැමිණීමට හැකි ක්‍රමවේදයක් සකස්විය යුතුයි. අපි කියන්නේ විනිවිද භාවයෙන් යුතුව වියදම් කරන්න. අනවශ්‍ය, සැඟවුණු, නාස්තිකාර වියදම් කරන්න එපා. තමුන්ගේ පෞද්ගලික වියදමින් කළ යුතු වියදම්වලට පාපන්දු ගිනුමෙන් සල්ලි වියදම් කරන්න එපා කියලයි.
ඇයි දැන් ඒ වගේ වැඩ වෙනවා කියල ද ඔබ චෝදනා කරන්නෙ?
ඒකට මම එක උදාහරණයක් කියන්නම්. පසුගිය නිලවරණයේ දී තමන්ට පක්ෂව ඡන්දය දීපු ලීගවලට ගිහින් කතා බස් කරන්න, ඒ වෙනුවෙන් කොළඹින් අරගෙන යන නිලධාරීන්ට ඉන්න හිටින්න තැන් දෙන්න හෝටල් ගාස්තු, සාද පවත්වන්න පාපන්දු සම්මේලනයේ ගිනුමේ මුදල් යොදා ගැනීම හරි ද? ඒ මුදල් තියෙන්නේ මේ රටේ පාපන්දු නගාලන්න. ක්‍රීඩකයන්ට වියපැහැදම් කරන්න. එහෙම නැතිව පරිපාලකයන්ට ඡන්දය දීපු කණ්ඩායම් වලට කන්න බොන්න දීලා බාල් නටන්න නෙවෙයි.
ඔබ කියන්නේ අර ඉස්සර කළ විධිහට ආසියානු හා ලෝක පාපන්දු සංගම් වලින් ලැබෙන මුදල් බැංකු ගිනුමක එකතු කරලා ඒ ලැබෙන පොලියෙන් මෙරට පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කළ යුතුයි කියල ද?
මම කියන්නේ අපිට ලැබෙන හැම ශතයක්ම විනිවිද භාවයෙන් යුතුව වියදම් කළ යුතුයි. නිස්කාරණයේ තමුන්ගේ රුචි අරුචිකම් අනුව මුදල් වියදම් කරන්න කාටවත් බෑ. මේකට විධායක සභාවක් ඉන්නවා. ඔවුන් දැනුවත් කරලා, ඒ අනුව තමයි වියපැහැදම් කළ යුත්තේ. ඒ වගේම අපි ආසියානු, ලෝක පාපන්දු සම්මේලන වලින් ලැබෙන වාර්ෂික මුදල් ප්‍රතිපාදන පමණක් ඉලක්ක කරලා වැඩ කරන්න බෑ. අපි අනුග්‍රාහකයන් සොයා ගත යුතුයි. ඒ අනුව තමයි පාපන්දු ක්‍රීඩාව ශක්තිමත් කරන්න පුලුවන් වෙන්නේ.
ඒ වුණාට වත්මන් පරිපාලනය පාපන්දු ක්‍රීඩකයන්ගේ ගෙවීම් වැඩි කළා නේ ද? ඒවා වැරදියි කියලද ඔබ කියන්නේ?
ක්‍රීඩකයන්ට මුදල් ගෙවිය යුතුයි. ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාලිය යුතුයි. ඒක කිසිම වරදක් නොවෙයි. ඒත් මේ අය ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩිකළා කියලා ඔබ කියන්නේ කොහොම ද? ක්‍රීඩකයෝ හතර දෙනෙක්ගෙද කොහෙද පඩිය වැඩි කළා. ඒකත් මාස දෙක තුනකට පස්සේ නතර කරලා දැම්මා. ජාතික සංචිතය විසිරෙව්වා. මෙහෙම ද ක්‍රීඩකයන්ව බලාගන්නෙ. ඒක ද ක්‍රීඩකයන්ට හොඳින් ගෙවනවා කියලා කියන්නෙ?
එතකොට වත්මන් පරිපාලනය කරපු දෙයක් ඇත්තෙම නැද්ද?
ඒ අය බලයට ආවේ මොකට ද? පළමුවැනි කාරණය තමයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ගැලපෙන ආකාරයට අපේ පාපන්දු ව්‍යවස්ථාව කෙටුම්පත් කරලා රටේ ක්‍රීඩා නීතිය සමඟ නොගැටෙන ආකාරයට එය සකස් කිරීම. නිලවරණය පවත්වන එක මාස දෙකකින් කල් දමලා පාපන්දු ව්‍යවස්ථාවේ ඉතිරි කටයුතු කරමුය කියද්දී ක්‍රීඩා ඇමැතිවරයා කිව්වේ නිලවරණය තබලා මේ ව්‍යවස්ථා සංශෝධනය කරගන්න. ඒ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට දන්වන්න කියලයි. එහෙම බලයට ආපු වත්මන් පරිපාලනය පාපන්දු ව්‍යවස්ථාව සැකසීම ගැන මොනවද කරලා තියෙන්නෙ? දෙවැනි කාරණය තරගාවලි කීපයක් සංවිධානය කළා. ඒවා සංවිධානය කරද්දී වැය කළ මුදල් ප්‍රමාණය කොයිතරම් ද? ඒවා විනිවිද භාවයෙන් යුතු වියදම් ද? එතකොට සබන් බෝල පුම්බනවා වගේ තරගාවලියක් සංවිධානය කරද්දී පාපන්දු පරිපාලනයේ සෙසු සියලු කටයුතු අමතක කරලා තරගාවලියට පමණක් වැඩකරන්න ද පාපන්දු සංගමයක බලය ලබාගන්න ඕනෑ. මෙහෙම වැඩ කරද්දී අපිට කියන්න පුලුවන්ද ඔවුන් සාධනීය, ක්‍රීඩාව නගාලන්න වැඩ කළා කියලා?
වත්මන් සභාපතිවරයා කියනවා වරාය නගරයේ පාපන්දු ක්‍රීඩාංගණයක් හදන්නත්, කොළඹ නගරයේ අලුතින් ක්‍රීඩාංගණයක් ඉදිකරන්නත් සූදානමක් තිබෙනවා කියලා. මේවා ක්‍රීඩාවේ යටිතල පහසුකම් නගාලීමේ වැඩසටහන් නේද?
කියන්න පුලුවන්. කරන්න කියන්න. මම දන්න විධිහට නම් වරයා නගරයේ පාපන්දු ක්‍රීඩාංගණයක් හදන්න කිසිදු සැලසුමක් නෑ. වත්මන් පාපන්දු සභාපති ජස්වර් මහත්තයා කටට එනවට දේවල් කියනවා. කොළඹ නගරයේ පාපන්දු ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කතාවත් බොරුවක්. මුසාවාද කියන්න එපා. තමුන්ට අවාසියක් වුණත් ඇත්ත කියන්න. මම කියන්නේ මගේ තාත්තාගේ කාලයේ හදපු බැද්දගාන, කැලණිය වගේ රට පුරා ඉදිකළ පාපන්දු ක්‍රීඩාංගණවල යටිතල පහසුකම් වර්ධනය කරන්න කියලයි. දැන් බලන්න බැද්දගාන ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයන්ට නවතින්න තියෙන ගොඩනැගිල්ල වෘත්තීය මට්ටමට ගොඩනංවන්න මුදල් වැය කරන්න පුලුවන්නේ ද? ක්‍රීඩකයන්ට ජල තටාකයක් ඉදිකරලා දෙන්න හැකියි. බැද්දගාන ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය වැඩිදියුණු කරන්න තියෙනවා. මේවගේ දේවල් නොකර අලුත් ක්‍රීඩාංගණ හදන්න බොරු කතාන්තර කියන්න එපා. ඒවා ගැලරියට කරන කතා. ඕවාට විසිල් ගහපු කාලේ ගියා. දැන් මිනිස්සු සත්‍ය දන්නවා. බොරුවට හැමදාම ආයුෂ නෑ.
ඔබ ගේ තාත්තා කලක් මෙරට පාපන්දු ක්‍රීඩා පරිපාලනයේ බලවන්තයා. ඔහුගේ හිසට ඉහළින් කපුටෙක්වත් පියාඹන්නෙ නැති කාලයක් තිබුණා. නමුත් ඔහුගේ පාපන්දු පරිපාලනයේ ධනාත්මක මෙන්ම නිශේධනාත්මක දේවල්ද තිබුණා කියලා සැලකෙනවා. කොහොම හරි ඔහු සමඟ හිටියා පාපන්දු පවුලක්. හැබැයි එතැන හිටපු අයත්, පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙක් ඔබ ගැන කියන දෙයක් තියෙනවා. ඒ තමයි මනිල් ප්‍රනාන්දු කියන්නේ පණ්ඩිතයෙක් කියලා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?
වෙන්න ඇති. ඇතැමකුට මාව පණ්ඩිතයෙක් වගේ පෙනේවි. ඒත් මම ඒ දණ්ඩේ යන්න බැරි පණ්ඩිතයෙක් නොවෙයි. මේ රටේ පාපන්දු ක්‍රීඩාව ඇතුළේ හොඳට තැලිලා පොඩිවෙලා, මිනිස්සු, ක්‍රීඩාව, ජාත්‍යන්තරයේ ඇවිදලා, නිලධාරීන් සමඟ කතාකරලා ලෝක පාපන්දු ක්‍රීඩාවේ රිද්මය හොඳට තේරුම් ගත්ත කෙනෙක්. මගේ තාත්තා පාපන්දුවට කරපු හොඳ දේවල් ගොඩාක් තිබුණා. ඔහු නොදැනී සිදුවූ සෘනාත්මක බලපෑම් තිබුණා. නමුත් මගේ තාත්තාට එරෙහිව විධායක කමිටුවේ කතාකළ එකම කෙනා මම. ජීවිතයේ යම් තීරණයක් ගන්න යනවා නම් එතැනදී මම මගේ තාත්තාගෙනුත් උපදෙස් ගන්න බව ඇත්ත. ඒත් ඔහු කියන හැමදේම මම පිළි අරගන්නෙ නෑ. ඔහුගේ අත්දැකීම් මගේ ගමනට ආලෝකයක් කර ගන්නවා. සමහරවිට මේවගේ වැඩ නිසා කෙනෙකුට හිතෙන්න පුලුවන් මම පණ්ඩිතයෙක් කියලා. ඒකේ වරදක් තියෙනවා. මොකද මම ශල්‍යකර්මයක් කරද්දී පවා මගේ තීරණයට අතිරේකව එතැන ඉන්න සහාය වෛද්‍ය කණ්ඩායමේ අදහස් ගැනත් සැලකිලිමත් වෙන කෙනෙක්. පාපන්දු පරිපාලනය කළා කියලා ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. ඒක ඉතින් මගෙත් එක්ක වැඩකරලාම දැකගත යුතු දෙයක්.
ඔබ පාපන්දුවේ බලයට ගේන්න දඟලන්නේ ඔබේ පියා මනිලාල් ප්‍රනාන්දු කියලා ඇතැමුන් චෝදනා කරනවා. එහෙම ඔබ බලයට ගෙනැවිත් ඔහු පිටුපස්සේ ඉඳගෙන පාලනය කරන්න සූදානමක් තියෙනවා කියන එක කූ ප්‍රකට මතයක්. ඔබ ඒ ගැන මොකද කියන්නෙ?
ඒවා අහපුවාම හිනාවෙනවා හැර වෙන දෙයක් කියන්න බෑ. ඔබ දන්නවා ද මට තාත්තා දෙන උපදෙස මොකක්ද කියලා? ඔහු කියන්නේ පාපන්දු පරිපාලනයට එන්න උත්සාහ කරන්න එපා කියලයි. ඔහු කියනවා තමුන්ගේ තිබුණු කීර්ති නාමය පළුදු වුණා වගේ මගේ නමටත් මඩ ගාගන්න අවශ්‍ය නම් පාපන්දු පරිපාලනයට එන්න කියන එකයි ඔහු කියන්නෙ. ඔහු මගේ පිටිපස්සේ ඉඳලා පාපන්දු ක්‍රීඩාව පරිපාලනය කරන්න හිතාගෙන ඉන්නවා නම් මට මේකට එන්න එපා කියලා කියාවි ද?
එහෙම නම් ඇයි ඔබ පාපන්දු පරිපාලනයට එන්න දඟලන්නෙ?
මම මෙතැනට එන්න දඟලන්නේ නෑ. නමුත් මට පාපන්දුව අමතක කරන්න බෑ. මොකද දසක දෙකකට වැඩි කාලයක් මම පාපන්දුව එක්ක සමීපව බැඳිලා හිටියා. එහෙම හිටපු මට එකපාරටම ක්‍රීඩාව අමතක කරලා අහක බලාගන්න බෑ. මේ රටේ දරුවන්ට ක්‍රීඩාව රැක දිය යුතුයි. ඒ ක්‍රීඩාව නැගිට්ටුවන්න අපිට යමක් කරන්න පුලුවන්කම තිබියදී මම මොකද අහක බලාගන්නෙ? ඒකයි මම පසුගිය කාලයේ නිලවරණයට ඉදිරිපත් වුණේ.
ඒ කියන්නේ ඉදිරි නිලවරණයක් තිබ්බොත් ආයෙත් ඉදිරිපත් වෙනවා ද?
ඒක ගැන මම නිශ්චිත තීරණයක් අරගෙන නෑ. නමුත් මම පාපන්දු පරිපාලනය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න සූදානම්. ඒක මට ජීවත් වෙන්න උවමනා වෙලා කරන දෙයක් නොවෙයි. මේ රටේ සුවහසක් පාපන්දු ලෝලීන්, පාපන්දු ක්‍රීඩකයන් හා ක්‍රීඩාව වෙනුවෙන් කරන දෙයක් වශයෙනුයි එය කරන්නෙ.
අවසන් වශයෙන් නිලවරණයකින් තොරව තවත් වසරක කාලයක් ඉල්ලමින් ජස්වර් උමාර් සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයට ලියා ඇති ලිපිය ගැන ඔබ මොකද කියන්නේ ?
එහෙම දෙයක් කරන්න තියෙන නෛතික පදනම පෙන්වන්න. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනටමත් නිලවරණය වෙනුවෙන් කරුණු විමසීමක් කරලා තිබෙනවා. නීතියට අනුවනම් නිලවරණ දිනයට දින හැත්තෑ පහකට පෙර නිලවරණ කමිටුවක් නම් කළ යුතුයි. තවමත් ඒ කිසි දෙයක් සිදුවී නෑ. අපි කියන්නේ ක්‍රීඩා ඇමැතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීමක් අරගෙන ඉදිරි නිලවරණය නිසි පරිදි පවත්වන්න කියලයි. මෙය වැරදි පූර්වාදර්ශයක් කරගන්න ඉඩදෙන්න එපා කියන එකයි අපි ක්‍රීඩා අැමැතිතුමාගෙනුත් ඉල්ලන්නේ. විරෝධතාවයක් මතුවන සෑම මොහොතකම වත්මන් සභාපතිවරයා ක්‍රීඩා ඇමැතිතුමා සමඟ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමුකරලා, සමාජ මාධ්‍ය තුළ පළ කරලා තමන් සමඟ ක්‍රීඩා ඇමැතිවරයා ඉන්නා බවක් කියන්න උත්සාහ කරනවා. ක්‍රීඩා ඇමැතිවරයාව මම අඳුනන්නේ ජස්වර් මහත්තයාට ඉස්සර ඉඳලා. ඒත් මම එයින් ප්‍රයෝජන අරගෙන ක්‍රීඩා පරිපාලනය කරන්න උත්සාහ කළේ නෑ. කරන්නෙත් නෑ. මම කියන්නේ මේ නිලවරණ අර්බුදය ගැන ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. නිලවරණය නියමිත කාලයේ පැවැත්විය යුතුයි.
කසුන් ඉරුගල්බණ්ඩාර