හොකී තොටිල්ල මාතලේ ය. පසුගිය දා ඔවුනට හොකී සතුටු කඳුළු දෝරේ ගැළුවේ ය. ඒ කැමිලස් අභියෝග කුසලාන හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමත් සමඟය. මේ ඒ සම්බන්ධයෙනි.‘
ජාතික මට්ටමේ පදක්කම් නියඟයකට හසුව තිබුණු මාතලේ පුරවරයට ජයග්‍රහණයේ සතුට දෝරේ ගලා ගිය හොකී ශූරතා කුසලානයක සිහින් හිරි පොද වැස්සක් පතිත වන ආකාරය පසුගිය සති අන්තයේ දී දැක ගන්නට හැකි විය.
දශක එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ජාතික මට්ටමේ ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමට නොහැකි ව කඳුළු සැළූ මාතලේ ක්‍රීඩකයින්ට එය මහත් ආශිර්වාදයක් ගෙන දුන් බවද පෙනෙන්නට තිබුණි. එහි කූටප්‍රාප්තිය දැක ගන්නට හැකි වන්නේ කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි අලංකාර කෘත්‍රිම තණ නිල්ල මත දී ය.
ශ්‍රී ලාංකේය හොකී ක්‍රීඩාවේ පාරාදීසය ලෙස හැඳින්වෙන මාතලේ පුරවරයේ ක්‍රීඩකයින්ගේ එකතුවකින් සන්නද්ධ වෙමින් අදාළ ශූරතා කුසලානයට හිමිකම් කීම කැපී පෙනුණි. ඒ පසු ගිය සති අග නිමාව දුටු "කැමිලස් අභියෝග කුසලාන" අන්තර් ක්‍රීඩා සමාජයීය පිරිමි හොකී තරග මාලාවේ ශූරතාව අපරාජිතව සටහන් කර ගනිමිනි. දෙනෙතින් ගලා ගිය සතුටු කඳුළු අගනුවර කෘතිම තණ පළස මත පතිත වන ආකාරය මහතලා පුරවරයේ ක්‍රීඩක පෙළ අතරේ දිගු කලකට පසුව දක්නට ලැබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් ලීග් ක්‍රමයට දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු මූලික වටයේ දී මෙන්ම කොළඹ රීඩ් මාවත කෘතිම ක්‍රීඩාංගණයේ දී පැවැති පිළිමළුන් පිටුදැකීමේ වටයේ දී ද තම අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් මෙවර "කැමිලස් අභියෝග කුසලාන" ශූරතාව ට හිමිකම් කියන්නට "නදුන් ලක්ෂිත වීරක්කොඩි" ගේ සහ "කසුන් දුලාජ් ජයන්පතී දුණුවීර" ගේ සම නායකත්වයෙන් සැදුම්ලත් මාතලේ හොකී සංගමය සමත් වීම ඉහළ අගයක් ගත්තේය. වසර ගණනාවකට පසුව ලත් ජයග්‍රහණයේ දිස්නය ඒ අනුව මෙවර වැඩි වී තිබුණි.
මාතලේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්, නිලධාරීන් මෙන්ම මාතලේ වෙසෙන සුවහසක් වූ හොකී ක්‍රීඩා ලෝලීන් ද මෙවර "කැමිලස් කුසලානය" ආදරයෙන් වැළඳ ගත් ආකාරයක් ඒ තුළ දිස් විය.
දිගු කලකට පසුව ලත් ජයග්රහණයෙන් ප්‍රබෝධමත්ව තම හොකී නිජබිම ට ගිය ක්‍රීඩකයින් රථ පෙරහැරකින් මාතලේ වීදි සරන්නට වූ අතර එය මෙරට හොකී තොටිල්ලේ අනාගත අංකුර ක්‍රීඩකයින්ට දිරි ගැන්වීමක් මෙන් දිස් විණි.
අගනුවර සී.එච්.ඇන්ඩ් එෆ්.සී. සමාජය ට එරෙහිව ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මූලික වටයේ දී ස්වභාවික තණ නිල්ලක් සහිත සුප්‍රසිද්ධ මාතලේ එඩ්වඩ් උද්‍යාන ක්‍රීඩාංගණයේදී ලත් ගෝල් 02 - 00 ක ජයග්‍රහණය ඒ ආකාරයෙන්ම රඳවා ගනිමින් ඉකුත් ඉරිදා කොළඹ පිහිටි කෘතිම ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු තීරණාත්මක අවසාන මහා තරගයේ දී ද ගෝල් 02 - 00 ක ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් "කැමිලස් කුසලාන" ට හිමිකම් කියන්නට මාතලේ හොකී සංගමය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූයේ දිගු කලක් මුළුල්ලේ ලත් පරාජයේ අමිහිරි වේදනාව ද පළවා හරිමිනි.
පසුගිය වසර කිහිපය තුළ ලත් පරාජයේ අපකීර්තිය හොඳාකාරව හඳුනාගෙන සිටි මාතලේ ක්‍රීඩකයෝ මෙවර තරගාවලිය ආරම්භයේ සිටම මැනවින් සංවිධානය වෙමින් පුහුණු අභ්‍යාස වල නිරත වීම ජයග්‍රහණයට මුල්විය. එහි ගෞරවයේ කොටසක් මාතලේ හොකී සංගමයීය නිලධාරීන්හට ද හිමි විය යුතුය.
මෙවර අවසාන මහා තරඟයේ ප්‍රථම කාර්තුව නිමා වන විට ගෝල් 01 - 00 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ මාතලේ පිල සිව් වැනි කාර්තුවේ දී තවත් ගෝලයක් සටහන් කර ගනිමින් ගෝල් 02 - 00 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත්කම් පෑවේ කොළඹත්... මාතලේත්... මොන පිටියත් එකසේ අපට හුරු යැයි මනාව ඔප්පු කර පෙන්වමිනි.
දමිත් මධුශංක බණ්ඩාර, දුෂාන් මිලින්ද සපුගස්ගොඩගේ, උපුල් ධනුෂ්ක ප්‍රනාන්දු ප්රමුඛ ජාතික සහ අන්තර් ජාතික මට්ටමේ තරග අත්දැකීම් ලාභී ක්‍රීඩකයින් රැසකගෙන් සැදුම්ලත් සී.එච්. පිලට එරෙහිව සංවිධානාත්මක ක්‍රීඩා විලාශයක නිරත වෙමින් අදාළ ජයග්‍රහණය සටහන් කර ගැනීම මාතලේ වෙතින් දක්නට ලැබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික මට්ටමේ හොකී ශූරතා කුසලානයක් මාතලේ පුරවරයට හිමි විය. ඒ වසර කිහිපයක නිහඬතාවයකින් පසුව වීම විශේෂත්වයක් ගත්තේය. අවසන් සටනේ දී මාතලේ ජයග්‍රහණය සනාථ කළ ක්‍රිස්තුදේව විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ධනංජය බණ්ඩාර 01 සහ ධනංජය රත්නායක 01 බැගින් ගෝල් වාර්තා කළහ.
මාතලේ විජය විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ධනංජය රත්නායක මෙවර තරගාවලියේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඉන්දික විල්වරආරච්චි දක්ෂතම ගෝල් රකින්නා ලෙස තිළිණ ලැබීය.
මෙවර තරගාවලියේ අනු ශූරතාව අගනුවර මේට්ලන්ඩ් පෙදෙසේ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. සමාජය සතු වූ අතර බදුල්ල ඕල්ඩ් දූතියන්ස් පිල ගෝල් 06 - 02 ක් ලෙස පරාජය කිරීමට සමත් වූ නාවික හමුදාව ට තෙවන ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදු විය. අගනුවර ගෞරවය ආරක්ෂා කර ගනිමින් සී එච් පිල අනු ශූරයින් වන අතර වාරයේ ආරක්ෂක සේවාවන්හි ගෞරවය ආරක්ෂා කර ගැනීමට සමත් වූ නාවික හමුදාව තෙවන ස්ථානයට පත් විය.
ඌවේ අභිමානයට ධනාත්මක ලකුණක් මෙවර එක් කළ ඕල්ඩ් දූතියන්ස් පිල අවසන් පූර්ව වටය දක්වා පැමිණීම ද අගය කළ යුතුය. ඒ අනුව බලන විට ප්‍රථම, දෙවන තෙවැනි සහ සිව් වැනි ස්ථාන හිමි කර ගත් කණ්ඩායම් 04 ට ම මාතලේ පුරවරයේ පාසල් වෙතින් හොකී ක්‍රීඩාවට අත්පොත් තැබූ ක්‍රීඩකයින් ඇතුළත් වී සිටීම ද විශේෂත්වයක් ගත්තේය.
තීරණාත්මක අවසාන පූර්ව තරග කොළඹ දී පැවැති අතර එහිදී මාතලේ පිල හමුවේ බදුල්ල ඕල්ඩ් දූතියන්ස් සමාජය ගෝල් 02 - 01 කින් ද සී.එච්.ඇන්ඩ් එෆ්.සී. පිල හමුවේ නාවික හමුදාව ගෝල් 02 - 00 කින් ද පරාජය ලැබීය.
පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මෙවර අර්ධ අවසන් පූර්ව වටයේදී මාතලේ හොකී සංගමය හමුවේ ගාල්ල සදර්න් ක්‍රීඩා සමාජය ගෝල් 03 - 00 කින් ද බදුල්ල ඕල්ඩ් දූතියන්ස් සමාජය හමුවේ වෙන්නප්පුව හොකී සමාජය ගෝල් 02 - 01 කින් ද නාවික හමුදාව හමුවේ පොලිස් ක්‍රීඩා සමාජය ගෝල් 02 - 01 කින් ද සී.එච්.ඇන්ඩ් එෆ්. සී. පිල හමුවේ කොළඹ බී.ආර්.සී.ක්‍රීඩා සමාජය ගෝල් 02 - 01 කින් ද පරාජය ලැබීමට සිදුවිණි.
කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මෙවර මූලික වටයේ තරග කොළඹ, මාතලේ, මහනුවර, මීගමුව, වෙන්නප්පුව, ගාල්ල, යාපනය යන ප්‍රදේශවල දී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබීම කැපී පෙනුණි.
1980 දශකයේ අග භාගය වන තෙක් මෙරට අංක එකේ ක්‍රීඩා සමාජාන්තර හොකී තරගාවලියක් බවට පරිවර්තනය වී තිබුණු "කැමිලස් කුසලානය" ට දැන් හෝ පණ පොවන්නට කමල් පුෂ්පකුමාර මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් වර්තමාන ශ්‍රී ලංකා හොකී සම්මේලනය සමත් වීම පිළිබඳ ප්‍රශංසාව හිමිවිය යුතුය. එය ඉදිරියටත් නොකඩවා පවත්වාගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා හොකී සම්මේලනයට පත්වන අනාගත නිලධාරීන්ගේ යුතුකම හා වගකීම බව අපි පසක් කර සිටිමු. දේශීය ක්‍රීඩා සමාජ අතරේ හොකී තරගාවලියන් වැඩි වැඩියෙන් හා මැනවින් සංවිධානය නොවන තාක් කල් ජාත්‍යන්තරයට අභියෝග කළ හැකි ක්‍රීඩකයින් බිහි වීම උගහට බව ද ඒ සමඟම අපි සිහි කරමු.
සපුමල් වීදිය බණ්ඩාර