ඉල්ලා අස් වූ මහේල ජයවර්ධන සභාපතිත්වය දැරූ ජාතික ක්‍රීඩා සභාවට දෝෂාභියෝගයක් | සිළුමිණ

ඉල්ලා අස් වූ මහේල ජයවර්ධන සභාපතිත්වය දැරූ ජාතික ක්‍රීඩා සභාවට දෝෂාභියෝගයක්

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමේ වගකීම ව්‍යවස්ථාපිතව පැවරී ඇත්තේ ජාතික ක්‍රීඩා සභාවටය. 1973 ඔක්තෝබර් මාසයේ දී ක්‍රීඩා පනත මගින් ස්ථාපනය කරන ලද ජාතික ක්‍රීඩා සභාව මෙරට ක්‍රීඩා විෂයේ නීති කෙටුම්පත් සකසා, විසර්ජන පනත මගින් වාර්ෂිකව මුදල් වෙන් කරගැනීම ඇතුළු වගකීම් පැවරුණු ක්‍රීඩා අමාත්‍ය ධූරයට අවශ්‍ය උපදෙස් ලබාදීමේ කාර්යය ඉටු කිරීමට දසක හතරකට ආසන්න කාලයක් තිස්සේ ජාතික ක්‍රීඩා සභාව පත්කරනු ලැබුණේය.

අප දන්නා පරිදි එසේ පත් වූ ක්‍රීඩා සභා අතරින් ‍බොහොමයක් ක්‍රීඩා සභා සම්ප්‍රදායිකව නම් කළ ඒවා පමණකි. ඒ අමාත්‍යවරයා සිය පරිභාර බලතල ප්‍රකාරව ස්වකීය හිතවතුන් කීප දෙනෙකුට සැනසිල්ල හිමිකර දෙමින් අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු උදෙසා ඔවුන් පත්කරගන්නා තවත් එක් අවස්ථාවක් වශයෙන් බොහෝවිට එය සැලකිණි.

ඒ අනුව බොහෝ විට ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් බවට පත් වුණේ අමාත්‍යවරයාට හිතෛශී විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ය. එහෙයින් එවැනි හමු සල්ලාප බවට පත්ව අවසන් වූවා මිස ක්‍රීඩාව කෙරේ වැඩිමනක් ප්‍රයෝ‍ජනවත් වූයේ නැත. මේ නිසා එවැනි හමු බොහොමයක් මාසයකට වරක් අගනුවර වායුසමීකරණය කළ සම්මන්ත්‍රණශාලාවක කේක් කැබැල්ලට,පැටිස්, රෝල් දීසියට, කිරි තේ එකට සීමා වුණු මුණගැසීමක් පමණක් විණි.

එහෙත් පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ නාමල් රාජපක්ෂ මහතා එම තනතුරු පත්වීමත් සමඟ ජාතික ක්‍රීඩා සභාවට පත්කළේ සක්‍රිය චරිත කීපයකි. එහි සභාපතිත්වය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකුව සිට විශ්‍රාමගත් මහේල ජයවර්ධනට පිරිනැමූ අතර සෙසු සාමාජිකයන් වූයේ කුමාර් සංගක්කාර, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , රොවේනා සමරසිංහ, සංජීව වික්‍රමනායක, ජුලියන් බෝලිං, යශ්වන්ත් මුත්තෙට්ටුවගම , සුපුන් වීරසිංහ, කස්තුරි විල්සන්, රුවන් කෑරගල, රාජිත අම්පෙමොහොට්ටි , රොහාන් ප්‍රනාන්දු, ඩිලන්ත මාලගමුව හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය (නිල බලයෙන්) යන මහත්ම මහත්මීන් ය.

ක්‍රීඩා පනත ප්‍රකාරව ජාතික ක්‍රීඩා සභාව වෙත මෙරට ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීමට නෛතික බලය පවරනු ලැබුවේ ය. සුපිරි බලතල මෙන්ම, සුපිරි කාර්යාල පරිශ්‍රයක් ජාතික ක්‍රීඩා සභාවට හිමිවුණු අතර පසුගිය කාලයේ එය ක්‍රියාත්මක වුණේ මීට පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පැවැති ටොරින්ටන් කාර්යාල පරිශ්‍රයේ සිටය. මීට පෙර පත් වූ ක්‍රීඩා සභා සාමාජිකයන්ට වඩා ඉහළ පහසුකම් සහිතව මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා සභාව වැඩකටයුතුවල නියැලුණේ එසේ ය.

පසුගිය දා තම ඉවත්වීමේ තීරණය දැනුම් දෙමින් ඔවුන් කීවේ අභිනවයෙන් පත්වන ක්‍රීඩා ඇමැතිවරයාට නව ක්‍රීඩා සභාවක් පත්කරගැනීමට අවස්ථාව සලසාදෙමින් තමන් මෙලෙස සිය වගකීම් වලින් ඉවත්වීමට තීරණය කළ බවය.

මහේල ප්‍රමුඛ ක්‍රීඩා සභාවට පැවරුණු කාරණා ඉටුවූයේ ද?

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවරී තිබූ වගකීම් ප්‍රකාරව නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නංවාලීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යවරයාට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම ද පසුගිය දා ඉල්ලා අස්වූ ජාතික ක්‍රීඩා සභාව සතු කාර්යයන් කීපයකි. ඊට අමතරව පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් ක්‍රීඩා සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පිවිතුරු බව සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ ස්පෝර්ට්ස් වැනි නව අංශ ඔස්සේ ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම ද මහේල ජයවර්ධන සභාපතිවරයාගේ ක්‍රීඩා සභාවට පැවරුණු තවත් රාජකාරීන්ය.

කොටින්ම පවසන්නේ නාමිකව උපදෙස් ලබාදීම වෙනුවට වඩාත් ශක්තිමත් හා කාර්යශීලි තාරුණ්‍යයක් නිර්මාණය කිරීමට සක්‍රියව දායක වීමට ඔවුනට අවස්ථාවක් උදාවිණි. එහෙත් කනගාටුවට කාරණය වනුයේ එකී අරමුණු සියයට පනහක් වත් ඉටු කරගැනීමට ඔවුනට හැකියාව නොලැබුණු බවට එල්ලවූ චෝදනාය.

මේ බව ප්‍රකාශ කරන්න බොහොමයක් ක්‍රීඩා සමාජ බලධාරීන් තවමත් එය එළි පිට කීමට දක්වන්නේ මැලිකමකි. ඒ මෙරට දේශපාලන තත්ත්වය වඩාත් සංකීර්ණ ස්වරූපයක් උසුලන හෙයින් සුළං අත තේරුම් ගැනීමට අසීරුවන හෙයිනි. එහෙයින් බොහෝ ක්‍රීඩා සංගම් නිලධාරීහූ කියා සිටිනුයේ මහේල ජයර්ධනගේ ක්‍රීඩා සභාව නම් කළ හැක්කේ එක් පන්තියකට, ක්‍රීඩා කීපයකට පමණක් සේවය කළ ක්‍රීඩා සභාවක් ලෙසය.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ උපදේශක කපිල කුමාර මහතා ‘ක්‍රීඩා‘ හා සංවාදයකට එළඹෙමින් කියා සිටියේ පෞද්ගලිකව තමන් නියෝජනය කරන කායවර්ධන සම්මේලනයට ජාතික ක්‍රීඩා සභාවෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බවය. එහෙත් බොහෝ ක්‍රීඩා සංගම් නිලධාරීහු එසේ අදහස් ප්‍රකාශ කිරීමේදී නම සඳහන් නොකරන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් කළ හ. එහෙයින් බොහෝ ක්‍රීඩා සංගම් දැරූ මතය කායවර්ධන සම්මේලනය දරන මතයට සමරූපී විණි.

ක්‍රීඩාව හා පදක්කම්

ඔවුන් පවසන පරිදි පැවැති ක්‍රීඩා සභාව සැමවිටම ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි, දිනා ගැනීම දක්වා වර්ධනය කළ හැකි හා දිනාගත නොහැකි වශයෙන් ක්‍රීඩාව වර්ගී කරණය කිරීමේම පවතින ලුහුඬුතා ගැන දක්වන්නේ දැඩි අප්‍රසාදයකි. එසේ පදක්කම් දිනාගැනීමේ හැකියාව අනුව එක් එක් ක්‍රීඩා වර්ගීකරණය කිරීමෙන් පසු ඒවාට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදෙන ප්‍රතිපාදන තීරණය කිරීමට ක්‍රීඩා සභාව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබුණේ ය.

අසවල් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත හැකි බවත් මේ මේ ක්‍රීඩාවන් වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ නැංවිම, අධි තාක්ෂණික පුහුණුවක් සපයා දීම, විදේශීය පුහුණුකරුවන් ගේ පහසුකම් සැලසීම, ක්‍රීඩක සංචිත පවත්වාගෙන යාමට මුදල් ලබාදීම අරභයා නිර්දේශ ඉදිරිපත් කෙරුණු අතර මේ හේතුවෙන් අති බහුතර ක්‍රීඩකයන් හා ක්‍රීඩා ප්‍රමාණයක් අසාධාරණයට ලක් වූ බවට චෝදනා එල්ල වෙමින් තිබේ. මෙවැනි චෝදනා ජාතික ක්‍රීඩා සභාවේ විභවතාවන් යටපත් කර මතු වූ අසාර්ථක තීන්දු තීරණ හේතුවෙන් නෙළාගන්නා ලද ඒවාය.

රටක් වශයෙන් අපට ක්‍රීඩාව අරභයා වැය කළ හැකි මුදල් සම්භාරය සීමාසහිත බව සැබෑය. එහෙයින් වෙන්කරනු ලබන මුදල් වඩාත් ඵලදායී ලෙස ක්‍රීඩා සංවර්ධනයට යොමුකරලීම වැදගත් බවද ඇත්තකි. එහෙත් ඒ සියල්ලේ එකම තීරකයා ජාත්‍යන්තර පදක්කම් බවට පත්වීම කිසිසේත්ම පිළිගත නොහැකිය.

ක්‍රීඩාව තරගාවලි ජයගැනීම පමණක් අරමුණු කර ගත්තක් නොවන බවත් ඊට එළඹීමම සමාජයක් වශයෙන් ලබන මහා විජයග්‍රහණයක් බවත් ජාතික ක්‍රීඩා සභාවට අමතකව ගොස් තිබුණා වැනිය. දකුණු ආසියානු පදක්කම් සැලකිය යුතු ජාත්‍යන්තර ජයග්‍රහණ නොවේ යැයි නම් කිරීමත්, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලයීය, ලෝක ශූරතා හෝ ඔලිම්පික් ජයග්‍රහණ පමණක් සැබෑ ක්‍රීඩා ජයග්‍රහණ ලෙස සැලකිය හැකි බවක් වක්‍රාකාරයෙන් ප්‍රකාශ කිරීම ද බොහෝ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අධෛර්යයට පත් කරලූයේ ය.

එසේ තීරණය කරමින් අදාළ ක්‍රීඩාවට හෝ ක්‍රීඩකයාට විදෙස් තරග, විදේශීය පුහුණුව වැනි අවස්ථාවන් හැකිතාක් අවම කිරීම සිදු වූ අතර ඉන් වූයේ රට තුළ බොහෝ ක්‍රීඩා අකර්මන්‍ය වීම පමණි. ඒවායේ නිරත ක්‍රීඩකයන් අධෛර්යයට පත්වීමය.

අද භාෂණයේ හා උද්ඝෝෂණයේ නිදහස පමණක් සලකන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම කාරණය වන පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිනොගන්නා බවක් පෙන්වමින් ඉවක් බවක් නොමැතිව මහ මඟ උද්ඝෝෂණයන් හි නියැලෙන තරුණයන් අතර එවැනි අපේක්ෂා භංගත්වයට පත් තාරුණ්‍යය ද සිටින්නට පුළුවන.

එහෙයින් අප විශ්වාස කරන්නේ ක්‍රීඩා සභාව විසින් සිදුකළ යුතුව තිබුණේ ජාත්‍යන්තර පදක්කම් පමණක් අපේක්ෂා කිරීමේ දැඩි පිළිවෙත යම් නම්‍යශීලි ප්‍රතිපත්තියක් බවට පෙරළා රටක් හා සමාජයක් වශයෙන් ක්‍රීඩාත්මක ජයග්‍රහණ හඹායාමය. එහෙත් පසුගිය දා ඉල්ලා අස්වීමට සිදුවූ ජාතික ක්‍රීඩා සභා නිලධාරී මණ්ඩලය අතින් සිදුනොවූයේ ද එයය.

සමුගෙන යන මිනිසුන්ට පන්න පන්නා පහර ගැසීම අවශ්‍ය නැත. ඔවුන් සියලු දෙනා කලකට පෙර මෙම උත්තරීතර සභාවට පත්ව ආවේ දැනෙන යමක් කිරීමේ අභිලාෂයෙන් යුතුවය. එහෙත් එය කෙසේ දැනී ඇත්දැයි සිතා බැලිය යුතුය. ඔවුන් ක්‍රීඩාවේ උත්තරීතර මණ්ඩලය ලෙස ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණවලින් පීඩාවට හා අධෛර්යයට පත් ක්‍රීඩකයන්ගේ පාර්ශ්වයේ සිට බලන කල, කල්තබා මෙලෙස ඉල්ලා අස්වී යාමට ගත් තීරණය එක අතකින් අගය කළ යුතුය.

කසුන් ඉරුගල්බණ්ඩාර

 

Comments