ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරව 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 ( ආ) සහ 33 වගන්ති යටතේ රග්බි පාපන්දු ක්‍රීඩාව සඳහා වන ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය සහ ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවා එම සම්මේලනය ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා යටතට පත් කරමින් එයට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පසුගිය දා ක්‍රියා කළේ ය. මේ පිළිබඳ තහනමට ලක්වන විට ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපතිත්වය දැරු රිස්ලි ඉල්ලියාස් ගෙන් විමසු විට පැවැසූයේ මෙවන් අදහසකි.
‘මෙම අර්බුදය ඇති කරලා තියෙන්නේ අපි නොවෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයමයි. අපි මේ කිසිදේකට වගකියන්න ඕනේ නෑ. මමත්, මගේ විධායක සභාවත් පත් වුණේ නිලවරණයෙන්. එදා නිලවරණය පවත්වන්න පෙර තිබූ විධායක සභාවේ දේවල් වලට අපිට වගකියන්න බෑ. 2021 වසරේ ශ්‍රී ලංකා රග්බි සම්මේලන නිලවරණය පැවැති අවස්ථාවේදී සම්මේලනයේ සාමාජිකත්වය දැරූ ක්‍රීඩා සමාජ 3 ක් අත්හිටුවිමට පියවර ගනු ලැබුවා. එම සංගම් වාර්ෂික වාරික ගාස්තු නොගෙවා තිබිමත් එසේ තිබිය දී නිලවරණය සඳහා ඉදිරිපත් විමට කටයුතු කිරීමත් නිලවරණය සඳහා ඉදිරිපත් විමත් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාවරයාගේ නියෝගයකින් අදාළ සංගම් 3 තහනම් කිරිමට පියවර ගත්තා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය නිලධාරීන් අදාළ තහනමට ලක් කළ ක්‍රීඩා සමාජ 3 සඳහා නැවතත් සාමාජිකත්වය පිරිනමින් කටයුතු කිරීම හා සභා රැස්වීම් වලට එක් කර ගනිමින් කටයුතු කළා කියලයි මෙම තහනම අපිට පනවා තිබෙන්නේ.
2019 දී තහනම් කරන ලද රග්බි සංගම් තුන නැවතත් ශ්‍රී ලංකා රග්බි ආයතනයට එකතු කරගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ලිඛිත තොරතුරු ඉල්ලා සිටියා. එම තොරතුරු නියමිත පරිදි අමාත්‍යංශ ලේකම්වරයාට අපි බාර දුන්නා. මෙම ප්රශ්නය පසුගිය වසර වන විටත් විසඳී තිබුණා. මෙම අර්බුදය කෙසේ නිර්මාණ වුවක් දැයි මට නිශ්චිත වශයෙන් පවසන්න බෑ. අපිව තහනමට ලක් කළත් එය කෙසේ සිදු කරන්නේ ද කියා ගැසට් නිවේදනයේ ප්‍රකාශ කර නෑ. තාවකාලික අත්හිටුවිම ක්‍රියාත්මක වන්නේ කොහොම ද නැතහොත් කුමන පදනමක් මත ද යන්න ගැසට් නිවේදනය මඟින් පැහැදිලි කර නෑ.
පසුගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අවපාතය හමුවේ ශ්‍රී ලංකා රග්බි ආයතනය වසර දෙකක කාලයක් ගත කළේ මහත් අපහසුතා මධ්‍යයේ. එම කාලයේ දී රග්බි ක්‍රීඩාවේ නිරන්තර අනුග්රාහකයන් වූ ‘ඩයලොග්‘ ආසියාට සමාගම ද රග්බි සම්මේලනයෙන් ඉවත්ව ගියා. එවන් තත්ත්වයක් තිබිය දී ශ්‍රී ලංකා රග්බි ආයතනය විදියට අපි ඉතාමත් අමාරුවෙන් නව අනුග්රහකයන් සොයාගෙන අසීරුවෙන් නෑගී සිටිමින් සිටින අවස්ථාවක ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්, ජාතික කණ්ඩායමේ නායකත්වය දැරු ක්‍රීඩකයෙක් හා ජාතික තරගාවලි බොහොමයක් නියෝජනය කළ රග්බි ක්‍රීඩකයෙක් ලෙස මෙවැනි අමනොඥන ක්‍රියාවක කිසි ලෙසක නිරත වෙයි කියා අපිට විශ්වාස කළ නොහැකියි.
අපි ඉදිරියේ විශාල වගකීම් සමුහයක් තිබෙන මොහොතක තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස එතුමා මෙවැනි තීරණයකට එළඹුණේ ඇයි දැයි අපි දන්නේ නෑ.
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මාධ්‍යයට පවසා තිබුණේ කුමන තත්ත්වයක් පැවැතියත් මෙම වසරේ මැයි මස 31 වැනි දාට පෙර ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතුව තිබෙනවා. ඒ අනුව ඉදිරි කෙටි කාලය තුළ මැයි 31 වැනි දා ට පෙර කෙසේ හෝ නිලවරණය පැවැත්වීමට උත්සාහ කරන බවයි.
ශ්‍රී ලංකා රග්බි සම්මේලන කටයුතු තාවකාලිකව අත්හිටුවිමට හේතුපාදක වු කරුණ ලෙස අධ්යක්ෂ ජෙනරාල් වරයා ගෙන හැර දක්වන්නේ වත්මන් නිලධාරීන් 2021 වසරේ තහනමට ලක් කළ ක්‍රීඩා සමාජ 3 සඳහා නැවත සාමාජිකත්වය පිරිනමමින් ඔවුන් කවුන්සිල රැස්වීම් සදහා සහභාගි කරවාගෙන, එහි දී විශේෂ තීරණ පවා ගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කිරීමක් සිදු කර නොතිබීම හේතුවෙන් අදාළ කරුණ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කර තිබුණා. නීතිපතිවරයාගේ අදහස වී තිබුණේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය පැහැර හැරීමක් සිදු කර ඇති බවයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා මෙම තීරණයකට එළඹීමට එම හේතුව ඉවහල් වුණා.
නමුත් මෙම ක්‍රියාවලිය පිටුපස මොකක් හෝ අමුතු දෙයක් සිද්ධ වෙන බවට සැක කළ හැකියි. ඒ මොකක්ද කියලා නිශ්චිතවම කියන්න බෑ, එත් අමුතු දෙයක් සිදුවෙමින් තිබෙන බව දැනෙනවා.
රටේ පවතින නොසන්සුන් වාතාවරණය හේතුවෙන් මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. අන්ඩ් එෆ්. සී. පිල අතර පසුගිය ඉරිදා පැවිත්වීමට නියමිතව තිබූ රග්බි තරගය වෙනත් ස්ථානයකට ගෙන යෑමට රග්බි ආයතනය අකමැත්ත පළ කිරීමත්, රග්බි සංගමය තහනම් කිරීමට හේතුවක් විය හැකි බව ද රග්බි ලෝලීන් අතර කසු කුසුවක් පවතිනවා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ බාල සොහොයුරා වන රෝහිත රාජපක්ෂ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර සි.එච් ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ පුහුණුකරු ද වෙයි.
සී.එච් ඇන්ඩ් එෆ්.සී. සහ මහනුවර අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයට මාරු කළ නමුත් සෙනසුරාදා ඇඳිරි නීතිය පැනවීමට පෙරම මෙම තරගය ලබන සතියට කල් දැමූ බව මහනුවර ක්‍රීඩා සමාජය සිය නිල මුහුණු පොතේ සටහන් කර තිබුණි.
නාවික හමුදා ක්‍රීඩා සමාජය හා සී. ආර්. පිල අතර පසුගිය 2 වැනි සෙනසුරා දා සී.ආර්. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ පළඟ ශූරතා තරගයෙන් නාවික හමුදා කණ්ඩායම අවසන් මෙහොතේදී ඉවත් වීමට තීරණය කළේ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක සේවා සමාජිකයන් සුදානමින් සිටිය යුතු යැයි ලිඛිතව දන්වා සිටිම නිසයි. එම ලිපිය ඉදිරිපත් කිරීමෙන් පැයකට පමණ පසුව දිවයින පුරා ඇදිරි නීතිය ප්‍රකාශට පත්කරනු ලැබුණි.
අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානියා මෙන්ම ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ගේ දෙටු සොහොයුරා ද වන යෝෂිත රාජපක්ෂ නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කරයි. සෙනසුරාදා අවසන් විමට නියමිතව තිබූ තරගය තමන් ක්‍රීඩා කරන අවසන් රග්බි තරග බවත්, තමන් ඉදිරියේදී රග්බි පරිපාලනයට සම්බන්ධ වන බවත් යෝෂිත රාජපක්ෂ පසුගිය සතිය අවසානයේදී ප්‍රකාශ කර තිබීමත් මෙහිදී සැලකිල්ලට ලක්ව ඇති බව පැවසිය යුතුය.
මෙම අන්තෝ ජටා - බහි ජටා රග්බි ක්‍රීඩාව කොයිබට රැගෙන යාදෝ යි පැවැසීම මේ මොහොතේ උභතෝකෝටිකය.
තත්ත්වය එසේ තිබියදි ඉදිරියේදී පැවැත්විමට නියමිත ජාත්‍යන්තර තරග, දැනට පැවැත්වෙන දේශිය තරග සහ එවා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු තවත් බොහෝ දේ පිළිබද වෙහෙසීමට රග්බි නිසි බලධාරීයා වශයෙන් පත්කරන ලද අමල් එදිරිසූරියට සිදුවී තිබේ.
ගීෂා මුණසිංහ