
ලෝකයේ දියුණුම රටවල් අතර ජපානයට ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. ජපානයේ රැකියාවක් සඳහා යෑමට පමණක් නොව විනෝද සවාරියක් පිණිස යෑමට පවා වීසා ගැනීම අසීරු කටයුත්තකි. එවැනි පසුබිමක් තුළ එවැනි රටකට ගොස් එරට ඉහළ පෙළේ රැකියාවක් කරා යෑම පහසු කරුණක් නොවේ. එහෙත් ඒ අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වී ඇත්තේ මෙරටට ජගත් කීර්තියක් ද අත් කර දෙමිනි.
ඇය නමින් කාංචනී දමින්තා පතිරණ ය. කුඩා කල පදිංචිව හිටියේ කන්ද උඩරට පිළිමතලාවේය. ඇයගේ අධ්‍යාපනයට ද මෙරට ඇතැම් පාසල්වල සිදුවන්නාක් මෙන් අසාධාරණකම් සිදු විය. ඒ අල්ලපු වැටේ තිබුණු මහා විද්‍යාලයට යන්නට ඇයට වරම් නොලැබීමය. ඒ නිසා ඇය අකුරු කරන්නට ගියේ පිළිමතලාව ගිරාගම කනිෂ්ඨ විද්‍යාලයටය. කිසිදු පහසුකමක් නොතිබූ ගිරාගම කනිටු විදුහලෙන් අධ්‍යාපනය ලැබූවද ඇය එයින් පසුබට වූයේ නැත. කුඩා කල සිටම අධ්‍යාපනයටත් අනෙක් බාහිර කටයුතුවලටත් ඇය දැක්වූයේ පුදුමාකාර දක්ෂතාවකි. ඒ නිසාම දමින්තා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වූවාය. දමින්තාගේ මේ ජයග්‍රහණය ඇයගේ පියා හා මව වන සිරිසේන පතිරණත්, ආරියලතා කහවෙවිතානටත් ගෙන දුන්නේ අපරිමිත සතුටකි. දූ දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලේ දඟකාරම චරිතය වූයේ දමින්තාය. එහෙයින් මේ දඟකාරියගේ ජයග්‍රහණය අක්කලා දෙදෙනාට මෙන්ම නංගිටත් මල්ලිටත් විශාල ආදර්ශයක් වනු ඇතැයි ඔවුහු කල්පනා කළහ.
ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලයටත් පසුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයටත් අකුරු කරන්නට ගිය දමින්තාගේ ගෙදර තිබුණු දඟකාරකම් පාසලේදී තිබුණේ නැත.
මවත් පියාත් පාසලට ගිය සැම විටම ගුරුවරියන් ඔවුන්ට පැවසුවේ පංතියේ නිහඬම චරිතය දමින්තා බවයි. “කමක් නෑ ගෙදරම පෙරළුවත් ඉස්කෝලෙදී හොඳින් ඉන්නව නම් ඒ ඇති” දමින්තාගේ මවුපියන් සැනසුණේ එසේ සිතමිනි. එය ද දමින්තාගේ ඉදිරි ගමනට දිරියක් විය.
එනිසාම පාසල් අධ්‍යාපනය කෙරෙහි දමින්තා දැක්වූයේ දැඩි උනන්දුවකි. ඒ උනන්දුව කෙතරම්ද කියන්නේ නම් දමින්තා සිංහල මාධ්‍යයෙන් මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් විය.
ඒ ඡවය අත් නොහැරි දමින්තා 2002 වසරේ උසස්පෙළ විභාගයෙන් කලා අංශයෙන් A සාමාර්ථ 3 ක්ද සහිතව ඉහළින්ම සමත් විය. ඒ, වසර ගණනාවකට පසුව උසස් බාලිකාවෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් වාර්තා කරමිනි. ඇය මහනුවර දිස්ත්‍රික්කයෙන් 3 වැනි ස්ථානය ලබා ගත් අතර, දිවයිනේම 27 වැනි ස්ථානය ලබා ගත්තාය. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වන්නට දමින්තාට අවස්ථාව ලැබිණි.
නීති පීඨයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය 2008 වසරේ දෙසැම්බර් 17 වෙනිදා නීතිඥවරියක ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නාය.
2010 වසරේ ඇය නාවික හමුදාවට එක්වන්නේ ලුතිනන්වරියක ලෙසය. නාවික හමුදා මූලස්ථානයේ නීති අංශයේ සේවය කරමින් සිටි ඇය 2013 වසරේ නාවික හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වන්නේ ඇගේ තවත් අනාගත බලාපොරොත්තු කිහිපයක් ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව දමින්තා 2014 වසරේ ජනවාරි 2 දා විවාහ දිවියට පත්වන්නීය. ඒ අතර ඇය සකුරා මල් පිපෙන ජපන් රටට යෑමට අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටියාය. ඒ සිහිනය ද මල් ඵල ගන්වමින් ඇය විවාහයෙන් සති දෙකකට පමණ පසු එනම් 2014 ජනවාරි 12 වැනිදා ජපානය බලා ගියාය.
ජපානයේදී ඇයට ලැබුණේ සාමාන්‍ය විදේශිකයකුට ලැබෙන පිළිගැනීම පමණකි. ජපානයේ ලියාපදිංචි වී යළිත් අධ්‍යයන කටයුතු කරගන්නට ඇයට සිදු විය. ඇයගේ සිහිනය වූයේ ජපානයේ නීතිඥවරියක ලෙස කටයුතු කිරීමටය. ජපන් භාෂාව හොඳින් හදාරා තිබීම ද විශාල වාසියක් විය. ඒ හීනය සැබෑ කරගන්නට දමින්තාට පළමුවෙන් යොකොහාමා විශ්වවිද්‍යාලයේත් පසුව හිටොට්සුබාෂි විශ්වවිද්‍යාලයේත් අධ්‍යයන කටයුතු කරන්න සිදු විය. දැඩි වෙහෙස මහන්සි වී ඉගැන්මේ ප්‍රතිඵලයක් ලෙස 2018 අවුරුද්දේ ජපානයේ අධිකරණ අමාත්‍යාංශයේ අවධානය ඇය කෙරෙහි යොමුවිය.
ඒ ඇය ඊට වසර කිහිපයකට පෙර සිට කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුවය. එසේවුවද ඇයට ශ්‍රී ලංකාවේ නීතිය පිළිබදව පුළුල් අධ්‍යයනයක නියැළෙන්නට සිදුවිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අණ පනත්හි පරිවර්තන ලබාදීමට ඇයට සිදු විය. එය ඇයට භාරදූර කාර්යයක් විය. ඒ සියලු කටයුතු කරන අතරේ ඇය විසින් ජපන් නීතිඥවරියක ලෙස කළ ඉල්ලීම් දිගින් දිගටම දම්වැලක් සේ ඇදී යන්නට විය. එහිදී Japan Federation Bar Association සහ Dai Ni Bar Association හි විමර්ශනයට එය බඳුන් වන්නට විය. වසර ගණනාවකින් පසුව පසුගිය වසරේ දෙසැම්බර් 10 වෙනිදා දමින්තාගේ සිහිනයට අනුමැතිය හිමි විය.
කාලයක් පුරා ඇය දුටු සිහිනය මල්ඵල ගන්වමින් පසුගිය මාර්තු මස පළමු වැනිදා ඇය ජපානයේ ලියාපදිංචි පළමු ශ්‍රී ලාංකික නීතීඥවරිය ලෙස පත්වීම් ලැබුවාය. එය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ද අත් කර දුන්නේ මහත් ආඩම්බරයකි. කාන්තාවක් ලෙසින් ඇය ආ මේ ගමන අපට ආදර්ශයකි.
තමන්ට මේ ගමන එන්නට අතහිත දුන් සැමට දමින්තා සුබ පතන්නීය.
‘‘මගේ මේ ජයග්‍රහණයට අත දුන් සැමට මම සුබ පතනවා. විශේෂයෙන්ම කොමදෝරු සම්පත් පත්බේරිය, මගේ මිතුරු චාමර වන්නිසේකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ රජීව් අමරසූරිය හා සමන්ත විතාන යන මහත්වරුන්ටත් නාවික හමුදාපති ඇතුළු නාවික හමුදාවේ සහාය දුන් සියලු අංශවලටත් විශේෂයෙන්ම නාවික හමුදාවේ නීති අංශයටත් උපකාර කළ සියලු දෙනාටත් මම ස්තූතිය පළ කරනවා.
ඒ සියලු දෙනාටම වගේ මගේ මේ ජයග්‍රහණය ලබා ගන්න පුංචි කාලෙ ඉඳලා මගේ පස්සෙන් හිටපු අම්මා, තාත්තා අක්කලා දෙන්න නංගියි මල්ලියි මේ අවස්ථාවේ සිහි ගන්වනවා වගේම මේ අවස්ථාවේ සතුටු වෙන්න මගේ තාත්තා අපි අතර නොසිටීම ගැන මම හුඟක් දුක් වෙනවා.”
දමින්තාගේ මේ ජයග්‍රහණය ගැන ආරම්භයේ සිට විමසා බැලූ විට පෙනී යන්නේ අපට එයින් ඉගැන්මට බොහෝ දේ ඇති බවයි. නොපසුබට උත්සාහය එයින් මුල් තැනක් ගනු ඇත. එය අපට සැමට ලොකු පාඩමකි.
දමින්තා මේ වන විට සේවය කරන්නේ ජපානයේ කොජිමා නීති ආයතනයේය. (Kojima law officers (KLO)) එය ප්‍රධාන වශයෙන්ම විදෙස් ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරන අතර, ජාත්‍යන්තර වශයෙන් නීති සේවා සපයන ආයතනයකි. දමින්තාගේ වත්මන් බලාපොරොත්තුව වන්නේ මෙරටටත් විදේශ ආයෝජන ළඟා කර දීමයි. එමෙන්ම ශ්‍රී ලාංකික ව්‍යාපාරකයන්ට තම ව්‍යාපාර ජපානය තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති උපදෙස් ද ලබා දීමට ඇය සූදානමින් සිටින්නීය.