යුගල විවෘත හා කනිෂ්ඨ ස්කොෂ් 04 දා දක්වා | සිළුමිණ

යුගල විවෘත හා කනිෂ්ඨ ස්කොෂ් 04 දා දක්වා

 

ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කරන කරනු ලබන ‘එඩින්බරෝ විවෘත යුගල ස්කොෂ් තරගාවලිය හා කනිෂ්ඨ ස්කෝෂ් තරගාවලිය‘ මේ දිනවල මත්තේගොඩ යුද හමුදා ස්කෝෂ් ක්‍රීඩා සංකීර්ණයේ හා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ස්කොෂ් සංකීර්ණයේ දී පැවැත්වෙයි. වයස අවුරුදු 9,11,13, 15, 17 සහ 19 යන වයස් කාණ්ඩ නියෝජනය කරමින් සංවිධානය වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරිම් අනුව වැඩි ම ප්‍රසාද ලකුණු ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ද්විත්ව, පිරිමි ද්විත්ව හා මිශ්‍ර ද්විත්ව යන කාණ්ඩ නියෝජනය කරමින් සහභාගි වෙති.

මෙම තරගාවලිය වෙනුවෙන් එඩිම්බරෝ පුද්-ගලික සමාගම ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර, මෙම තරගාවලියේ අවසන් තරග අප්‍රේල් 3 වැනි දා පස්වරු 4.00ට මත්තේගොඩ ඉංජිනේරු උද්‍යාන යුද හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙයි.

ගීෂා මුණසිංහ

-----------------------

අඩ ශතක වස් සමරන පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය

‘පාසල් ක්‍රිකට් වසන්තය යළි ඇරැඹී ඇත. මෙරට විශිෂ්ට හා වඩාත් ජනප්‍රිය පාසල් ක්‍රිකට් සම්මාන උළෙල වන ඔබ්සවර් එස්.එල්.ටී. මොබිටෙල් මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 44 වැනි වතාවට ය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය දෙස හැරී බලන්නට එයම කදිම පසුබිමක් සපයන හෙයින් අන්තර් පාසල් එක්දින තරගාවලිය සම්බන්ධයෙනි මේ.’

ශ්‍රී ලංකාවේ පාසල් අතර එක්දින තරග ආරම්භ වන්නේ ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් සඳහා නිල නොවන මට්ටමින් එක්දින තරග පැවැත් වූ සමයේ දී ම ය. මෙරට පාසල් අතර එක් දින තරග පැවැත්වීම ආරම්භ කොට අද වන විට අවුරුදු 50 ක් සම්පූර්ණ වී හමාරය. මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා අන්තර් පාසල් දෙදින තරග සේම එක්දින තරග ද බෙහෙවින් උපකාරි විය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ප්‍රථම වතාවට පාසල් අතර එක් දින තරගාලියක් පවත්වන ලද්දේ 1971 දී ය. එදා පාසල් ක්‍රිකට් වාරයේ පෙන් වූ දස්කම් අනුව පාසල් ක්‍රිකට් සංගමය විසින් තෝරා ගත් කණ්ඩායම් අටක් තරගාවලියට සහභාගි වූ හ. මුළු රටම ආවරණය වන පරිදි මෙම කණ්ඩායම් අට තෝරා ගැනුණු අතර කොළඹින් රාජකීය, නාලන්ද, සාන්ත තෝමස් සහ තර්ස්ටන් කණ්ඩායම් ද මහනුවරින් සාන්ත අන්තෝනි, ගාල්ලෙන් මහින්ද, කුරුණෑගලින් මලියදේව සහ යාපනයෙන් යාපන මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම් ද ඊට තරග වැදුණි.

1971 ප්‍රථම එක් දින තරගාවලිය පැවැත්විණි. එහි අවසාන තරගයට සුදුසුකම් ලැබුවේ කොළඹ නාලන්දා සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම් ය. කොළඹ නාලන්ද විදුහල් කණ්ඩායම ලකුණු ලබා ගැනීමේ වේගය මත එහි ශුරතාව දිනා ගත්තේ ය. ප්‍රථම පාසල් එක්දින අවසාන තරගයේ ලකුණු මෙලෙසිනි.

නාලන්දා විදුහල ලකුණු 114 (පන්දුවාර 42.5 ක දී) සාන්ත තෝමස් විදුහල ලකුණු 75/8 (පන්දුවාර 38 ක දී)

අවසාන තරගයට වර්ෂාවෙන් බාධා සිදු විය. නාලන්දා විදුහල එදා මෙලෙස ශුරයින් වුණේ පසුගිය දා අප අතරින් වෙන් වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුරගේ නායකත්වය යටතේ ය. මෙරට ප්‍රථම පාසල් එක්දින තරගාවලියේ ශුර නාලන්දා විදුහල් කණ්ඩායමට වර්ණපුරයන් දුන් නායකත්වය අමරණීය සිහිවටනයකි.

1975 සිට පාසල් එක්දින ශුරයින්ට ‘වැස්ලින්’ ශුරතාව පිරිනැමුණේ ය. 1975 දී මුලින්ම ශුරතාව දිනා ගත්තේ කොළඹ සාන්ත ජෝසප් විදුහලයි. ඒ අනුව මුල් යුගයේ එක්දින ශුරතාව ජයග්‍රහණය කළ පාසල් කණ්ඩායම් වූයේ 1971 සහ 1972 නාලන්ද විදුහල, 1973 සාන්ත තෝමස් විදුහල, 1974 -75 සහ 76 සාන්ත ජෝසොප් විදුහල (3 වතාවක්) 1977 රාජකීය විදුහල විසිනි.

1984 සිට පාසල් එක්දින ශුරයින්ට පිරි නැමුණේ ‘කොකා කෝලා’ කුසලාන යි. එකල මෙම ශුරතාව වෙනුවෙන් පැවති තරගාවලිය අතිශයින් ජනප්‍රිය වුණේ විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් පාසල් කණ්ඩායම්වලට ඇතුළු වූ නිසාය. කොකා කෝලා ශුරතාව හය වතාවයක් දිනා ගනිමින් කොළඹ ආනන්ද විදුහල තැබූ වාර්තාව විශිෂ්ට එකකි. කොළඹ ප්‍රබල පාසල් කණ්ඩායම්වලට අභියෝගයක් වෙමින් 1986 දී පන්නිපිටිය ධර්මපාල විදුහල ‘කොකා කෝලා කුසලාන’ දිනා ගැනීමත් 50 වසරක සිහිවටනයකි. 2000 වසරේ සිට ටික කාලයක් පිරි නැමුණ ‘ලෙමනේඩ්’ ශුරතාව ප්‍රථම වතාවට දිනා ශුරයින් වුණේ කොළඹ ආනන්ද විදුහලයි.

2002 සාන්ත තෝමස් 2003 ධර්මරාජ 2007 වේල්ස් කුමර 2011 සාන්ත ජෝසොප් 2013 සාන්ත පීතර 2014 තර්ස්ටන් විදුහල් කණ්ඩායම් එක්දින ශුරතා දිනූ අමතක නොවන කණ්ඩායම් ය.

පාසල් කණ්ඩායම්වලින් බිහිව අන්තර් එක්දින මට්ටම දක්වා ගොස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබූ විශිෂ්ට එක්දින ක්‍රිඩකයින් අපට අමතක කරන්නර බැරි ය. බන්දුල වර්ණපුර, අනුර රණසිංහ (නාලන්දා) දුලිප් මෙන්ඩිස් (සාන්ත තෝමස්) රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආනල්ඩ් (සාන්ත පීතර) සිදත් වෙත්තමුණි (ආනන්ද) මහේෂ් ගුණතිලක (සාන්ත අන්තෝනි) රවින්ද්‍ර විමලසිරි (ධර්මපාල) ජීවන් මෙන්ඩිස් (සාන්ත තෝමස්) ගැරි මෙල්ඩර්, දුෂාන් සෝයා (සාන්ත ජෝසප්) චාමර කපුගෙදර (ධර්මරාජ) ඉන් කීපදෙනෙකි.

අවුරුදු 50 කට පෙර තෝරා ගත් පාසල් කණ්ඩායම් පමණක් තරග වැදුණ එක් දින තරගාවලියට අද රටපුරා පාසල් ක්‍රිකට් කණ්ඩායම් රැසක් තරග වදියි. ඒ ශ්‍රේණිගත කාණ්ඩයන් තුනක් යටතේ ය. 2022 මෙවර එක්දින පාසල් තරගාවලිය ඊට හොඳ උදාහරණයකි.

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

 

 

Comments