මාලිංගගේ අයි.පී.එල්. කඩුලු වාර්තාව කුඩු කරන්න බ්‍රේව් වුණු බ්‍රාවෝ | සිළුමිණ

මාලිංගගේ අයි.පී.එල්. කඩුලු වාර්තාව කුඩු කරන්න බ්‍රේව් වුණු බ්‍රාවෝ

 

‘ක්‍රිකට් ලෝකයේ උන්මාදනීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තමයි අයි.පී.එල්. නැතහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කියා කියන්නේ. පසුගිය දා එහි ලසිත් මාලිංග ගැන මතකය අලුත් කරවන සිදුවීමක් සිද්ධ වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝගේ මූලිකත්වයෙන්. මේ ඒ සිද්ධිය ගැන තැබෙන සටහනක්.’

2022 අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කරමින් පසුගිය ඉරිදා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවති තරගය ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට විශේෂ තරගයක් විය. ඒ එම තරගයට චෙන්නායි සුපර් කින්ග්ස් පිල වෙනුවෙන් මහීෂ් තීක්ෂ්ණ හෝ කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් චාමික කරුණාරත්න තරග කරනු දැක බලා ගැනීමට ය. නමුත් එම තරගයට ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ ඇතුළත්ව සිටියේ නැත.

කෙසේ හෝ එම තරගය අවසන් වෙද්දී යළිත් ශ්‍රී ලංකාව ගැන කතිකාවක් ඇති විණි. ඒ මෙතෙක් අයි.පී.එල්. තරගාවලිය තුළ ඉහළ ම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග පිහිටුවා තිබූ අයි.පී.එල්. වාර්-තාව සම කරන්නට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වෝන් බ්‍රාවෝ සමත් වීමත් සමඟ ය.

බ්‍රාවෝ එහි දී ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර මීට පෙර මාලිංග විසින් සමස්ත අයි.පී.එල්. තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් වශයෙන් කඩුලු 170 ක් බිඳ දමා ගොඩනඟා තිබූ වාර්තාව හා සම වන්නට ඔහුට හැකි විය.

කෙසේ නමුත් මාලිංග සහ බ්‍රාවෝ එකිනෙකා සන්සන්දනය කරද් දී පන්දු යවන්නකු ලෙස ලසිත් මාලිංග වඩා ඉදිරියෙන් සිටින බව කිව යුතු ය. එයට හේතු සාධක කිහිපයක් ම වෙයි. ඩ්වෝන් බ්‍රාවෝ 2008 වසරේ සිට 2022 වසර දක්වා අයි.පී.එල්. තරග 152 ක දී ඉනිම් 149 ක් ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාවය දක්වා ඇති නමුත් මාලිංග එම දක්ෂතාව ප්‍රකට කර ඇත්තේ 2009 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ අයි.පී.එල්. තරග 122 කට ක්‍රීඩා කරමිනි.

ඒ අනුව ඔහු බ්‍රාවෝට වඩා තරග 30 ක් අඩුවෙන් ක්‍රීඩා කර මෙම කඩුලු සංඛ්‍යාව දවාගෙන ඇත. එසේම ඔහු මෙම කඩුලු ප්‍රමාණය දවා ගැනීමට පන්දුවාර 471.1 ක් වැය කර තිබේ. නමුත් බ්‍රාවෝට මෙම වාර්තාවට හිමිකම් කියන්නට පන්දුවාර 489.3 ක් වැය වී ඇත. එසේම නිලකුණු පන්දුවාර යැවීමේ දී මාලිංග පන්දුවාර 8 ක් යොමු කරද්දී බ්‍රාවෝගේ

නම ඉදිරියේ සනිටුහන්ව ඇත්තේ පන්දුවාර දෙකක් පමණි.

ප්‍රතිවාදී කණ්ඩායම් ලකුණු ලබා ගැනීමේ දී මාලිංගගේ පන්දුවලට එරෙහිව ලකුණු 3365 ක් රැස්කර ඇති නමුත් බ්‍රාවෝ ඊට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබා දී ඇත. එය ලකුණු 4081 කි.

මාංලිගගේ හොඳ ම පන්දු යැවීම ලකුණු 13/5 කි. එය බ්‍රාවෝගේ නම ඉදිරියේ සනිටුහන්ව ඇත්තේ 22/4 ක් ලෙස ය. එසේම බ්‍රාවෝ 2008 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී නැත්තේ 2017 වසරේ පමණි. නමුත් 2014 වසරේ උරහිසේ ඇති වූ ආබාධයක් නිසා ඔහුට සහභාගී වන්නට හැකි වූයේ එක් තරගයකට පමණි. ලසිත් මාලිංග 2009 වසරේ සිට 2019 කාලය තුළ 2016 තරග වාරය හැර සියලු ම තරගාවලි නියෝජනය කර තිබේ.

බ්‍රාවෝ තරගාවලි 14 ක් නියෝජනය කරමින් වැඩි ම කඩුලු වාර්තාවට හිමිකම් කියූ අතර මාලිංග ඒ සඳහා සහභාගි ව තිබුණේ තරගාවලි 9 කට පමණි. කෙසේ වෙතත් තවදුරටත් අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කරන බ්‍රාවෝ ඉදිරියේ දී කඩුලු සංඛ්‍යාව අතින් මාලිංගව පසු කර බොහෝ දුර ගමන් කරනු ඇත. එහෙත් මාලිංග සතු අභිමානනීය හැකියාව තවදුරටත් එලෙසම මතකයේ සුරක්ෂිතව පවතිනු ඇත.

 

 

Comments