සමන් කුමාර ගුණවර්ධන
- ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දත්ත විශ්ලේෂක
‘කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්යක්ෂ සමන් කුමාර ගුණවර්ධන මහතා සැලකිය හැක්කේ ඇවිදින ලේඛනාගාරය ලෙසය. ඔහු සතුව බොහෝ ඉපැරණි මතකයන් සංරක්ෂණයව තිබේ. එම මතකයන් හා සංරක්ෂිත ලේඛන යොදා ගනිමින් ඔහු පසුගිය දා දැවැන්ත කාර්යයක නිරත විය. ඒ මෙරට මලල ක්‍රීඩාවේ වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කෘතියක් සම්පාදනය කරමිනි. මේ එම දැවැන්ත කාර්ය සම්බන්ධයෙන් තැබෙන සටහනකි.‘
‘මේ පොත දේශීය මලල ක්‍රීඩාවේ වංශ කතාවේ වසර සියක් තුළ සිදුවූ සුවිශේෂී සිදුවීම් ඇතුළත් කරමින් A – 4 ප්‍රමාණයේ පිටු 400 කින් හා වර්ණ පිටු 100 කින් සමන්විතව මුද්‍රණය කළා. ඇත්තෙන්ම මේ කෘතිය වටිනාකමෙන් ඉතා අනර්ග එකක්.‘ සමන් කුමාර ගුණවර්ධන මහතා ‘ක්‍රීඩා‘ වෙත පැවසීය.
‘පසුගිය සියවස ඇතුළත සියලුම ක්‍රීඩා ඉසව් වලින් මෙරට සිටි ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් කර තිබෙනවා. ඉංග්‍රීසි බසෙන් ලියා ඇති මේ පොතේ අදාළ තොරතුරු 90% ක් සංඛ්‍යා ලේඛන වලින් දක්වා ඇති නිසා පාඨකයාට කියවීමට පහසුයි.‘ යැයි ඒ මහතා පැවසීය.
‘මම මේ කෘතිය ලියන්න ගනිද්දී බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ළඟ ඔවුන්ගේ දක්ෂතා දැක්වෙන කිසිදු සටහනක් තිබුණේ නැ. ඇතැම් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විවිධ ස්වාභාවික අනතුරුවලට මුහුණ දී සිටි නිසා ඔවුන්ගේ සංඛ්‍යා දත්ත අහිමි කරගෙන තිබුණා. ඒ නිසා තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ තොරතුරු හා ඡායාරූප අස්ථාන ගත වුණා කියලයි එවැනි ක්‍රීඩකයෝ කිව්වේ. ඒ වගේම 1960 -1970 කලින් සිටි බොහෝ ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් දැන් ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාව,එංගලන්තය, අමෙරිකාව, කැනඩාව වැනි රටවල. ඒ වගේම 1972 – 1982 කාල වකවානුව තුළ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු ඇතුළත් කරමින් මලල ක්‍රීඩා සංගමය පවත්වාගෙන ගිය පොතත් මේ වන විට අතුරුදන් වෙලා.
ඒත් මම අධෛර්යය වුණේ නෑ. කොහොම හරි පුස්තකාල ප්රලේඛණ සේවා මණ්ඩලය හා මහජන පුස්තකාලය වැනි ආයතන වලින් සුවිශාල සහයෝගයක් අරගෙන අවශ්‍ය දත්ත වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට මට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව හිමිවුණේ කෝවිඩ් තත්ත්වය හමුවේ අපි බොහෝ වෙලාවට රාජකාරියෙන් නිදහස්වී සිටි නිසයි.‘ යැයි ඔහු කීවේ මෙම කෘතිය සම්පාදනය කොතරම් අසීරුද යන්න පැහැදිලි කරමිනි.
මෙරට පළමු ජාතික ශුරතාව වූ 1922 පැවැත් වූ දා සිට සෑම වසරකම ජාතික ශුරතාව විකාශනය වූ අයුරු ද මේ පොතේ සටහන්ය. එසේම මෙරට ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ ආසියානු හා ඔලිම්පික් ඇතුළු ක්‍රීඩා තරග වල දී ලබාගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් ද මෙහි අන්තර්ගතව තිබේ. එසේම එම තරගාවලී පැවැත් වූ ස්ථානය, දින වකවානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම, උපන්දිනය, දක්ෂතාවය ඇතුළු විස්තරද මෙහි ඇතුළත් කර ඇත.
සෑම තරගාවලියකම දක්ෂතම 50 දෙනා සම්බන්ධයෙන් වාර්තා ද මෙම කෘතියට ඇතුළත් කිරීම විශේෂත්වයකි. ඊට ජ්‍යෙෂ්ඨ,කනිෂ්ඨ හා යොවුන් යන අදියර තුනෙන්ම තොරතුරු ඇතුළත්ව ඇත. ‘මම මේ කෘතියට 1930 පාසල් තරග (වර්තමානයේ ජෝන් ටාබට්) වාර්තා වගේම එම තරගාවලි වලදී ජයග්‍රාහී පාසල් වල නම් හා ඔවුන් ලැබූ ලකුණු ද ඇතුළත් කර තිබෙනවා. ලංකාවේ බිහිවූ විශිෂ්ටම විනිසුරුවරුන් හා විනිසුරුවරියන් මෙන්ම 1922 සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරු හා ලේකම්වරුන්ගේ ඡායාරූප සහිත විස්තර ද මෙම කෘතියට එක් කිරීමට අමතක කළේ නෑ. ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ ප්‍රගතිය ගැන කතාකරද්දී ඒ තොරතුරු ඇතුළත් කිරීම අතිශය වැදගත්.‘ සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසීය.
මෙම දැවැන්ත කාර්ය සාක්ෂාත් කරගැනීමේ දී දැවැන්ත මුද්‍රණ වියදමක් දැරීමට සිදුව තිබේ. ලේඛකයා පවසන ආකාරයට එක් කෘතියක් වෙනුවෙන් රුපියල් 4000/-කට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇත. එහෙයින් මෙම කෘතිය වැඩි දෙනෙක් පරිශීලනය කළ හැකි කෝෂ ග්රන්ථයක් ලෙස පවත්වාගෙන යාම අරභයා මෙරට සියලු පාසල් හා විශ්ව විද්‍යාලවල පුස්තකාල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, මාධ්‍ය ආයතන සඳහා ලබාදීමට සුදුසු බව ඔහු ගේ මතයයි. ‘මලල ක්‍රීඩා සංගමය තමන්ගේ සියවස් සමරුව පවත්වන දිනයේ දී මේ කෘතිය එහි පැමිණෙන ආරාධිතයන්ට පිරිනමනවා. ඇත්තටම මෙවැනි කෘතියක් ලිවීම ගැන මට විශාල සතුටක් වගේම මානසික සැහැල්ලුවක් දැනෙනවා. මම මගේ යුතුකම ඉටුකළා වගේ හැඟීමක් මා තුළ පවතිනවා.‘ සමන් කුමාර ගුණවර්ධන මහතා ක්‍රීඩා හා පිළිසඳර අවසන් කරමින් පැවසීය.