අන්තර් සමාජ රග්බි දෙවැනි වටය ඇරඹෙයි | සිළුමිණ

අන්තර් සමාජ රග්බි දෙවැනි වටය ඇරඹෙයි

 

‘රග්බි උන්මාදය ඉහළ නංවමින් ඇරැඹි රග්බි තරගාවලියේ පළමු වටයේ ජය හිමිකරගත්තේ මහනුවර ය. දැන් එහි දෙවැනි වටය ඇරැඹී ඇත්තේ කුසලාන, පළඟ ශූරතා වෙනුවෙනි. කුසලාන වටය වෙනුවෙන් තියුණු සටනක් නිර්මාණයවී ඇත්තේ මහනුවර හා හැව්ලොක්ස් කණ්ඩායම් අතරය. ඔවුහු මේ වනවිට කුසලාන වටයේ සහභාගි වූ තරග වලදී ද අපරාජිතව ක්‍රීඩා කරමින් සිටී. මේ ලීග් තරගාවලිය තුළ මතු වූ දක්ෂතා සම්බන්ධවය.’

ශ්‍රී ලාංකේය ක්‍රීඩා තරග මාලා අතීතය තුළ ඉතාමත් ම සංවිධානාත්මක හා ක්‍රමවත්ව පවත්වන ලද ඉසව්වන් අතරේ දේශීය ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

මෙරට රග්බි පාපන්දු ක්‍රීඩාවේ දක්ෂයන් හඳුනා ගැනීමටත්, ක්‍රීඩාව‍ ව්‍යප්ත කිරීමටත්, ප්‍රචලිත කිරීමටත් වගකීම් දරන ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනය මෙම අසීරු කාර්යය ට උර දෙන්නේ දසක කිහිපයක සිට ය.

එදා මෙන් ම අදත් දේශීය ක්‍රීඩා සමාජාන්තර රග්බි පාපන්දු තරගාවලිය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්-තනය වී තිබීම හේතුවෙන් දේශීය ‍ක්‍රීඩා ලෝලීන් ඉමහත් භක්තියෙන් වැලඳ ගන්නා තරගාවලියක් ලෙස සැලකේ.

ඒ අනුව ඉකුත් ජනවාරි මස 21 දින කිසිදු අනුග්‍රාහකයකුගේ හව්හරණක් නොමැතිව ඇරඹි මෙවර ලීග් ශූරතා තරගාවලියට මේ වන විට නිපෝන් පේන්ට් සමාගම එක්ව සිටීම මඟින් ලැබී ඇත්තේ ඉහළ ප්‍රතිශක්තිය කි.

දිවයිනේ ප්‍රමුඛත ම රග්බි පාපන්දු සමාජ 08 ක සහභාගිත්වයෙන් යුතුව ක්‍රියාත්මක කෙරෙන මෙවර අන්තර් ක්‍රීඩා සමාජයීය ප්‍රමුඛ පෙළ ලීග් රග්බි පාපන්දු ශූරතාවලියේ පළමු වටය ඉකුත් ඉරිදා (20) සවස අවසන් වන විට එහි පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය. ඒ තරග 07 ක් තුළ ප්‍රසාද ලකුණු 40 ක් රැස් කර ගනිමිනි.

මෙවර පළමු වටය අවසන් වන තුරු ම තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වීම කඳුරට ක්‍රීඩා ලෝලීන්ගේ ‘රග්බී’ උන්මාදය ඉහළ නංවන්නට හේතුවක් වී ඇති බව නොකිවමනාය.

මෙතෙක් පැවැති තරග ආශ්‍රිතව වැඩි ම ක්‍රීඩා ලෝලීන් පිරිසක් එක්රොක් වූයේ පසුගිය ඉරිදා පැවැති මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තරගයට ය. ඒ අනුව මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයට එක් රැස් වූ ක්‍රීඩා ලෝලීන් ප්‍රමාණය දස දහසකට ආසන්න අගයක් ගත්තේ ය. තම හුරු පුරුදු නිත්තවෙල ක්‍රීඩාංගනයේ දී මහනුවර ක්‍රීඩකයන්ට රිසිසේ ලකුණු රැස් කරන්නට කිසි සේත් ම ඉඩ ලබා නොදුන් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ප්‍රදර්ශනය කළ දක්ෂතාව ද එහිදී ප්‍රශස්ත මට්ටමක විය. එහි අතුරු ඵලයක් ලෙස රග්බි ක්‍රීඩාවේ ජීව ගුණය ද ඉහළ නැංගේ ය.

මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පමණක් පරාජය වැලඳ ගත් කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 34 ක් සමඟින් දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී සිටින්නේ දෙවැනි වටය පිළිබඳ ව මහත් බලා-පොරොත්තු ඇතිව ය.

අගනුවර මෙට්ලන්ඩ් පෙදෙසේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සුපුරුදු පරිදි තෙවැනි ස්ථානයේ පසු වන්නේ තරග 04 ක ජයග්‍රහණ වාර්තා කර ගනිමිනි. එමඟින් සටහන් කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 26 කි.

ඔවුන් මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් ආරම්භක තරග ත්‍රිත්වයම පරාජය වුවද ඉන් අනතුරුව සංවිධානාත්මකව තරග වදිමින් ජය-ග්‍රහණය වාර්තා කර ගත් අතර එය කුසලාන වටයට වරම් ලබා ගැනීමට ප්‍රමාණාත්මක විය.

ඉකුත් සෙනසුරාදා (19) තිඹිරිගස්-යාය පොලිස් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද යුද හමුදාව අතර තරගයෙන් පොලීසිය ලත් ජයග්‍රහණයන් සමඟින් සිව් වැනි ස්ථානය ආරක්ෂා කර ගැනීමට පොලි-සියට හැකිවිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස පසු ගිය සති අන්තයේ සිව් වැනි ස්ථානය ආරක්ෂා කර ගෙන සිටි ගුවන් හමුදාව 05 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස්සේය. ඒ අනුව කුසලාන තරග වටයෙන් ඉවත් වීමට ප්‍රසාද ලකුණු 17 ක් රැස් කර ගෙන සිටි ගුවන් හමුදාවට සිදු විය.

තරග 03 ක ජයග්‍රහණ සමගින් පොලිසිය හිමි කර ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18 කි.

ඒ අනුව මහනුවර, හැව්ලොක්ස්, සී.එච් සහ පොලීසිය මෙවර කුසලාන ශූරතාව දිනා ගැනීම උදෙසා පසු ගිය දා (26) සිට ලබන අප්‍රේල් 10 දක්වා තරග වැදීමට නියමිත ය.

මෙවර කුසලාන ශූරතාව තහවුරු කර ගැනීම සඳහා මහනුවර ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, පොලිසිය සහ සී එච් ඇන්ඩ් එෆ්.සී යන කණ්ඩායම් 04 අතරේ හට ගෙන ඇත්තේ අතිශය තියුණු සටනක් ය.

තරග සියල්ල ම අගනුවර දී පැවැත්වීමට පියවර ගෙන තිබේ. රීඩ් මාවතේ පිහිටි පැරැණි තුරඟ තරග පිටිය, තිඹිරිගස්යායේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණය සහ හැව්ලොක් පෙදෙසේ පිහිටි හැව්ලොක්ස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් දෙවැනි වටයේ තරග පැවැත් වීමට ශ්‍රී ලංකා රග්බී පියවර ගෙන ඇත.

පළඟ ශූරතා තරග

මෙවර මූලික වටයේ දී අවම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් 04 අතරේ ක්‍රියාත්මක කෙරෙන “නිපෝන් පේන්ට් - පළඟ ශූරතා” තරග ද මෙම කාල සීමාව තුළ දී ම පැවැත් වීමට තීරණය කර තිබේ.

මූලික වටයේ 5 ස්ථානය ගුවන් හමුදාව හිමි කර ගන්නා අතරවාරයේ හයවන ස්ථානයෙන් සෑහීමට පත්වන්-නට නාවික හමුදාවට සිදු විය. ඒ ප්‍රසාද ලකුණු 14 ක් සමඟිනි.

ප්‍රසාද ලකුණු 10 ක් සටහන් කර ගත් යුද හමුදාවට 07 වැනි ස්ථානය හිමි වූ අතර, අවසන් ස්ථානය සී.ආර්. ඇන්ඩ් එෆ්.සී පිල සතු විය. ඔවුන්ට හිමිවූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද 10 කි. එම දෙපිල අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, දෙපිලම මෙවර තරග මාලාවේ දී ලත් ජයග්‍රහණ සංඛ්‍යාව එක බැගින්වේ.

ඒ අනුව ගුවන් හමුදාව, නාවික හමුදාව යුද හමුදාව සහ කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී.යන කණ්ඩායම් මෙවර පළඟ ශූරතාව තහවුරු කර ගැනීම සඳහා රත්මලානේ පිහිටි ගුවන් හමුදා කදවුර ක්‍රීඩාංගණය, වැලිසර පිහිටි නාවික හමුදා කඳවුර ක්‍රීඩාංගණය, හැව්ලොක් ක්‍රීඩාංගණය සහ ලොන්ඩන් පෙදෙසේ සී.ආර්. ක්‍රීඩාංගණය තුළ දී සටන් වැදීමට නියමිත ය.

 

 

Comments