වෝන්ට පෙර සුප්‍රකට වූ ඉන්දියාවේ ප්‍රේමණීය අමුතු ඉලන්දාරියා රවී ශාස්ත්‍රි | සිළුමිණ

වෝන්ට පෙර සුප්‍රකට වූ ඉන්දියාවේ ප්‍රේමණීය අමුතු ඉලන්දාරියා රවී ශාස්ත්‍රි

 

‘මේ දිනවල ෂේන් වෝන් සම්බන්ධයෙන් ලොව පුරා කතිකාවක් ගොඩනැඟී ඇත. ඒ ඔහුගේ මරණය පමණක් නොව මරණයට පෙර ඔහු ගත කළ ප්‍රේමවන්ත මෙන් ම සල්ලාල ජීවිතය සම්බන්ධයෙනි. බටහිර සංස්කෘතිය තුළ ජීවත් වූ මිනිසකු වූ වෝන්ගේ පෞද්ගලික ජීවිතය එවැනි සිදුවීම්වලින් ගහන වීම අරුමයක් නොවේ. එහෙත් අපේ අසල්වැසි ඉන්දියාවේ ද මෙවැනි ජීවිතයක් ගත කළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස රවී ශාස්ත්‍රි දැක්විය හැකි ය. මේ ඔහු සම්බන්ධයෙන් කතාවකි.‘

80 දශකයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හැඩකාරයා නැත්නම් කඩවසම් ම ක්‍රීඩකයා රවී ශංකර් ශාස්ත්‍රි, එකල ක්‍රිකට් නැරඹූ ක්‍රිකට් ලෝලීන්ගේ සිත් තුළ ජීවමාන චරිතයක් බව නොඅනුමානයි. රාහුල් ඩ්‍රාවිඩ්ට පෙර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රවී ශාස්ත්‍රි එකල ක්‍රිකට් ලෝකය තුළ ජනප්‍රියත්වයට මෙන් ම විශිෂ්ටත්වයට ද පාත්‍ර වූ සුවිශේෂී තාරකාවක්.

1962 මැයි මස 27 වැනි දින ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි උපන් රවී ශාස්ත්‍රි පාසල් සමයේ සිට ම ක්‍රිකට් ක්‍රීඩාවට පෙම් බැන්දෙක් විය. 1977 වසරේ දී පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඉසිලූ රවී, එහිදී ජයග්‍රහණ රාශියක් සඳහා සිය කණ්ඩායම මෙහෙයවන ලදි. එයින් ලැබූ පන්නරයෙන් දේශීය පළමු පෙළ ක්‍රිකට් වෙත අවතීර්ණ වූ හෙතෙම මුම්බායි කණ්ඩායම නියෝජනය කර-මින් ඉන්දීය රංජි කුසලාන තරගාවලියට සහභාගී වූ ළාබාලත ම ක්‍රීඩකයා ලෙස ද එකල අබිසෙස් ලැබීය. ඒ ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහු ලැබූ වර්ණයන් නිසාම 1981 වසරේ ඉන්දීය ජාතික කණ්ඩායමට ප්‍රවේශය ලබන්නට ඔහුට අවස්ථාව උදා විණි.

1981 වසරේ නවසීලන්තයට එරෙ-හිව වෙලන්ටන් හි දී පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයට සහභාගී වූ රවී ශාස්ත්‍රි එම වසරේ අග භාගයේ දී එංගලන්තය හමුවේ සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළේ ය. ශාස්ත්‍රි, පළමුවරට ඉන්දියාවට ලෝක කුසලානයක පහස අත්කර දුන් 1983 ඉන්දීය ලෝක කුසලාන කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය. 1985 වසරේ ලෝක ක්‍රිකට් ශූරතාවයේ දී ලකුණු 185 ක් සහ කඩුලු 8 ක් දවා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයට පාත්‍ර වීම ශාස්ත්‍රිගේ තුන් ඉරියව් හැකියා මැනවින් ඉස්මතු කරවූ අවස්ථාවකි.

කලක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දැරූ රවී ශාස්ත්‍රි 1992 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නත් රූපවාහිනි ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස මෙන් ම පුහුණුකරුවෙක් ලෙස ද ක්‍රිකට් ක්‍රීඩාව තුළ තවමත් රැඳී සිටී. 2007 වසරේ දී ඉන්දීය ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකාර ධුරයට පත් වූ හෙතෙම 2017 වසරේ දී නිත්‍ය පුහුණුකරු ලෙස උසස් වීම් ලැබුවේ ය.

ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ සිට ම රවී ශාස්ත්‍රි විවිධ මතභේදයන්ට තුඩු දුන් චරිතයක් ලෙස ප්‍රසිද්ධ ය. ක්‍රිකට් ලෝකයෙහි කඩවසම් චරිතයක් වූ හෙතෙම පෙම් සබඳතා නිසා ඉන්දීය සමාජය තුළ මෙන් ම මුළු මහත් ලෝකය තුළ ම කතාබහට ලක් වූයේ ය. ඉන්දීය බොලිවුඩ් තිරයේ ජනප්‍රිය නිළියක් ලෙස ප්‍රකට අම්රිතා සිං සහ ඔහු පෙම් සබඳතාවක් පැවැත්වූ බවට බොහෝ කට කතා පැතිරී ගියේ ය. ශාස්ත්‍රි සහ අම්රිතා සිං ඉන්දීය ජනප්‍රිය සඟරාවක කවරයක ප්‍රධාන සේයාරුවට පෙනී සිටීම එම කතාවට යෝධ පියාපත් සැපයීමක් විය.

ඉගිළී යන කටකතා ප්‍රත්‍යක්ෂ කර-මින් 1986 වසරේ දී අම්රිතා සහ ශාස්ත්‍රි විවාහ ගිවිසගත් පුවත නිල වශයෙන් ප්‍රකාශයට පත් විය. නමුත් අම්රිතා සිය බිරිඳ කර ගන්නට නම් ඇය සිය රංගන දිවියට සමු දිය යුතු යැයි රවී ශාස්ත්‍රි දැඩි තීරණයක සිටියේ ය. එය ඔවුන්ගේ සබඳතාවය ටිකෙන් ටික දුරස් කරන්නට හේතු විය. එම දුරස් වීම නිසා 1990 වසරේ දී රවී ශාස්ත්‍රි ඉන්දීය නර්තන ශිල්පිනියක් වන රිතූ සිං හා විවාහ විය. එයින් වසරකට පසු අම්රිතා සිංද ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් වන සයිෆ් අලී ඛාන් හා විවාහ පත් වූවා ය. සයිෆ් අලී ඛාන් ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙක් වන මන්සූර් අලී ඛාන්ගේ පුත්‍රයා විය. රීතු සිං හා විවාහයෙන් පසුව රවී ශාස්ත්‍රි එක් දරු පියෙක් ලෙස 2008 වසරේ දී පෞද්ගලික දිවියේ කඩඉමක් සම්පූර්ණ කළේ ය.

2012 වසරේ දී රිතූ සිංගේ විවාහයෙන් වෙන් වූ ශාස්ත්‍රි ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන නිම්රාත් කෞර් සමඟ පෙම් පළහිලව්වක පැටලී ඇතැයි කටකතාවක් පැතිර ගියත් ඒ ගැන නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ වුණේ නැත.

විවිධ ආරවුල් නිසා ද රවී ශාස්ත්‍රි, ක්‍රිකට් ලෝකය තුළ විටින් විට ආන්දෝලනයට ලක් විය. 2007 වසරේ දී ඔහු හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසාරුදීන් සමඟ මෙන්ම 2016 වසරේ දී සව්රව් ගංගුලි සමඟ ද මතභේදාත්මක අරගලයන්හි පැටලිණි. විවාහයෙන් වෙන්ව ගත කරන රවී ශාස්ත්‍රි අද වන විට 60 වන විය ආසන්නයේ පසුවූවත් ඔහුගේ කඩවසම් බවේ හෝ ජව සම්පන්න භාවයේ වෙනසක් තවමත් දකින්නට නොමැත.

 

Comments