මහීපාල හේරත් කුසලාන සෙනුර සිල්වා රැගෙන යයි | සිළුමිණ

මහීපාල හේරත් කුසලාන සෙනුර සිල්වා රැගෙන යයි

දිවයිනේ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම සඳහා උපයෝගී කර ගන්නා තරගාවලියක් ලෙස ඉකුත් දා කෑගල්ල නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වන ලද "මහීපාල හේරත් කුසලාන" තරග මාලාවේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නට කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළ සෙනුර සිල්වා සමත් විය.

අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ මෙන්ම විවෘත කේවල ශූරතා දිනා ගනිමින් ප්‍රදර්ශනය කළ දක්ෂතාව පදනම්ව "මහීපාල හේරත් කුසලාන" දෝතට ගන්නට සෙනුර සිල්වා ට හැකි විය. පැහැබර අනාගතයකට හිමිකම් කියන සෙනුර සිල්වා මෙවර ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශූරයා ද වෙයි.

දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ලාබාල ක්‍රීඩිකවක ලෙස

මේස පන්දු පිටියේ පෙළහර පාන මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබමින් "මහීපාල හේරත් කුසලාන" ට හිමි කම් කීවා ය.

අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ මෙන්ම විවෘත කේවල ශූරතා දිනා ගනිමින් ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගෙන බිමන්දී බණ්ඩාර මෙවර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට නම් යෝජනා විය.

එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය සබරගමුව පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලන සභාපති හා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ ඒ වයස් සීමාවන් හී දක්ෂතම ක්‍රීඩීකාවන් ලෙස ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ නිසාන්දි නිම්තාරා, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ තමාදි කාවින්ද්‍යා , කෑගල්ල කෑගලු බාලිකා විද්‍යාලයේ චමීෂා තුෂාදි ,මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර සම්මාන ලැබූ අතර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ අගස්තිය ආනන්දිත , කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් බටුගෙදර , කොළඹ ආනන්ද විද්‍යාලයේ රෙහාන් සේනානායක සහ සෙනුර සිල්වා දක්ෂතම ක්‍රීඩකයින් ලෙස තිළිණ ලැබූ හ.

ඒ ඒ වයස් සීමාවන් හී ප්‍රථම සහ දෙවන ස්ථානය තීරණය කෙරුණු අවසාන මහා තරග ප්‍රතිඵල පිළිවෙලින් පහත දැක්වේ.

11න් පහළ බාලිකා කේවල අවසාන තරගය

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ නිසාන්දි නිම්තාරා විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සසෙමි දිසෙන්යා ලකුණු 11/05, 11/08, 07/11, 11/06 ක් ලෙස වට 03 - 01 කින් පරාජය කරන ලදී.

11න් පහළ බාලක කේවල අවසාන තරගය

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ අගස්තිය ආනන්දිත විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නවිරු නෙත්සිත ලකුණු 11/02, 10/12, 13/15, 11/06, 11/04 ක් ලෙස වට 03 - 02 කින් පරාජය කරන ලදි

අවුරුදු 13න් පහළ බාලිකා කේවල අවසාන තරගය

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ තමාදි කාවින්ද්‍යා විසින් කොළඹ මියුසියස් විද්‍යාලයේ සන්දිනිති ජයසිංහ ලකුණු 11/08, 11/08, 11/06 ක් ලෙස වට 03 - 00 කින් පරාජය කරන ලදී.

අවුරුදු 13න් පහළ බාලක කේවල අවසාන තරගය

කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් බටුගෙදර විසින් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේන ලකුණු 11/09, 10/12, 07/11, 11/07, 11/7 ලෙස වට 03 - 02 කින් පරාජය කරන ලදී.

අවුරුදු 15න් පහළ බාලිකා කේවල අවසාන තරගය

කෑගල්ල කෑගලු බාලිකා විද්‍යාලයේ චමීෂා තුෂාදි විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිව්‍යා ධරණි ලකුණු 11/07,11/05,11/08 ක් ලෙස වට 03 - 00 කින් පරාජය කරන ලදී.

අවුරුදු 15න් පහළ බාලක කේවල අවසාන තරගය

කොළඹ ආනන්ද විද්‍යාලයේ රෙහාන් සේනානායක විසින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සෙනුල් රත්නායක ලකුණු 11/08, 11/07, 11/06 ක් ලෙස වට 03 - 00 කින් පරාජය කරන ලදී

අවුරුදු 17න් පහළ බාලිකා කේවල අවසාන තරගය

මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර විසින් කොළඹ මියුසියස් විද්‍යාලයේ ඔනෙලි ලෙහන්සා ලකුණු 11/08, 11/05, 11/08 ක් ලෙස වට 03 - 00 කින් පරාජය කරන ලදී

අවුරුදු 17න් පහළ බාලක කේවල අවසාන තරගය

කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා විසින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ධනුෂ්ක විජේසිංහ ලකුණු 14/12, 11/05, 08/11, 11/05 ක් ලෙස වට 03 - 01 කින් පරාජය කරන ලදී

අවුරුදු19න් පහළ බාලිකා කේවල අවසාන තරගය

මහනුවර බිමන්දී බණ්ඩාර හිල්වුඩ් විද්‍යාලය විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සඳුනි ප්‍රබුද්ධිකා ලකුණු 11/08, 12/10, 11/08 ක් ලෙස වට 03 - 00 කින් පරාජය කරන ලදී

අවුරුදු 19 න් පහළ බාලක කේවල අවසාන තරගය

කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ චන්දුප අලහකෝන් ලකුණු 11/03, 11/05, 03/11, 11/03 ක් ලෙස වට 03- 01 කින් පරාජය කරන ලදී

විවෘත කාන්තා කේවල අවසාන තරගය

මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හංසනී පියුමිලා ලකුණු 11/08, 11/08,11/03 ක් ලෙස වට 03 - 00 කින් පරාජය කරන ලදී.

විවෘත පිරිමි කේවල අවසාන තරගය

කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා විසින් මහනුවර විද්‍යාර්ථ ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රිෂාන් වික්‍රමරත්න ලකුණු 07/11, 11/09, 11/04, 04/11, 11/06 ක් ලෙස වට 03 - 02 කින් පරාජය කරන ලදී.

 

සපුමල් වීදිය බණ්ඩාර

------------------

කටුකුරුන්දේ බැඩ්මින්ටන් ආයෝජකයාගේ මව ‘ක්‍රීඩා‘ වෙත කතාකරයි

පසුගියදා ‘ක්‍රීඩා‘ පුවත්පත විසින් අනාවරණය කළ කළුතර ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය පිළිබඳ විශේෂාංගය සම්බන්ධයෙන් ලිපියක් යොමුව තිබේ. එම ලිපිය යොමුකර ඇත්තේ එකී ක්‍රීඩාංගණය ඉදිකිරීමට ප්‍රාග් ධනය යොදවමින් සිටින ලවිඳු ලක්ෂිත කරුණාරත් ගේ මව වන කමලා හේමලතා මහත්මියයි.

තමන්ගේ පුතු විසින් ප්‍රාග් ධනය යොදවා විශාල වශයෙන් ඉදිකිරීම් අවසන් කර ඇති කළුතර ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය පිහිටා ඇත්තේ බ්ලූමවුන්ටන් ලෑන්ඩ්, ගුවන් හමුදා මාවත, කටුකුරුන්ද, කළුතර දකුණ යන ලිපිනයේ බව ඈ සඳහන් කරයි. අඩි හැත්තෑ හයක් දිග අඩි පනස් හයක් පළල විශාලත්වයෙන් යුතු මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ උස අඩි 32 කි. එය කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරට මායිම්ව පිහිටා ඇත.

එහි මූලික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අවසන්ව ඇතත් වායු සමීකරණ පද්ධතිය, වාහන නැවතුම ඉදිකිරීම හා බැඩ්මින්ටන් ක්‍රීඩා පථ ඉදිකිරීම, විදුලිය ලබාගැනීම වැනි කාරණා වෙනුවෙන් තවත් රුපියල් මිලියන 12.5 ක් පමණ වැයවනු ඇතැයි දැන් තක්සේරුකර ඇත. මේ සඳහා කිසියම් බදු පදනමක් යටතේ හෝ පහසුකම් සලසා දී කළුතර දිස්ත්‍රික්කයට ඉදිකර ඇති ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයෙන් ප්‍ර යෝජන ගන්නා ලෙස ලවිඳු ලක්ෂිතගේ මව වන කමලා හේමලතා මහත්මිය වැඩිදුරටත් පවසයි. සෙසු වැඩකටයුතු අවසන් කිරීම සඳහා අදාළ මුදල් ආධාර පදනමෙන් හෝ ලබාදෙන්නට ක්‍රීඩා අමාත්‍යාංශය හෝ වෙනයම් අනුග්‍රාහකයෙක් ඉදිරිපත් වන්නේ නම් එය සිදුකළ හැකි ක්‍රමවේදයකට ගිවිසුම් ගතවීමට සූදානම් බවයි.

‘අපේ පුතා තවමත් කොරියාවේ දුක් විඳලා හම්බ කරනවා. හම්බකරපු සේසතම වියදම් කළේ මේ ක්‍රීඩාංගණය හදන්න. මම කියන්නේ මේකෙන් රටට, පළාතට සේවයක් ගන්න කියලයි. තවමත් විවාහයකට පවා නොඑළඹුණු මගේ පුතා ගේ ඉලක්කය සම්පූර්ණ වෙලා රටට සෙතක් සැලසෙනවානම් මම සතුටුයි. ‘ යැයි වැඩිදුරටත් පැවසීය. ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දුරකථන අංක 0774496020 යන අංකය ඔස්සේ හෝ කමලා හේමලතා, නො. 379, ගාලුපාර, කළුතර උතුර යන ලිපිනයට ලිවීමෙන් ලබාගත හැකිය.

----------------------

ජන කෙළි මඬල අප්‍රේල් 07

ඉපැරණි ජන ක්‍රීඩා අනාගත පරපුරට ආරක්ෂා කිරීමේ අපේක්ෂාව සහිතව ශ්‍රී ලංකා ජාතික ජන ක්‍රීඩා සංසදය විසින් පවත්වනු ලබන ජාතික ජන කෙළි මඬල ජාතික ප්‍රදර්ශනය අප්‍රේල් 7 වැනි දා නයිවල සති පොළ පරිශ්‍ර යේ දී ආරම්භ වෙයි.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම ජන ක්‍රීඩා වැඩසටනේදී හෙළ ක්‍රීඩා ප්‍රදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ජාතික ජන ක්‍රීඩා සංසදයේ හා ජය කෙළි මඬලේ නිර්මාතෘ ඩබ්ලිව්.ඇම්. අතුල විජයනායක මහතා පැවසීය. මෙම ජාතික ප්‍රදර්ශනය මගින් හෙළ පෞඩ ඉතිහාසයේ ක්‍රියාත්මකව පැවැති දැනට අභාවයට ගොස් ඇති ඉපැරණි සිහළ ජන කෙළි අනාගත පරපුර උදෙසා තිර කිරීම අපේක්ෂිතය.

--------------------

කෙරත්න-අනිත්‍යා දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව

37 වැනි කණිෂ්ඨ සහ අතරමැදි ජාතික ඹරු පැදිමේ ශූරතා තරගාවලිය අවසානයේ අතරමැදි අංශයෙන් සම ශූරයන් විමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් වු අතර කාන්තා ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හිමිවිය. කනිෂ්ඨ අංශයේ බාලක ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලට හිමි වු අතර බාලිකා ශූරතාව කොළඹ කාන්තා විද්‍යාලට හිමිවිය. දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස බොල්ගොඩ ඹරු පැදීමේ සංගමය නියෝජනය කළ කෙරත්න ඈපාසිංහ කුසලාන දිනාගත් අතර දක්ෂතම පාසල් ක්‍රීඩිකාව ලෙස කොළඹ ඹරු පැදිමේ සංගමයේ අනිත්‍යා ප්‍රනාන්දු කුසලාන දිනා ගත්තේ ය.

-------------------

මිස්ටර් ශ්‍රී ලංකා චමින්ද පීරිස්

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ 73 වැනි මිස්ටර් ශ්‍රී ලංකා 2021 ජාතික ශූරතාවයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ චමින්ද පීරීස් මිස්ටර් ශ්‍රී ලංකා 2021 කිරුළ දිනාගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ පී.ඩී. රාජපක්ෂ එහි දෙවැනි ස්ථානයත්, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ එම්.එම්. නවරත්න තෙවැනි ස්ථානයත් දිනාගැනීමට සමත් විය.

මිස්ටර් ශ්‍රී ලංකා තරගාවලියට සමගාමීව පැවැති කාන්තා කායවර්ධන ශූරිය තේරීමේ තරගයෙන් බොඩිටෝන් ක්‍රීඩා සමාජය නියෝජනය කළ චලනි රයිගම් බණ්ඩාර පළමු ස්ථානය දිනාගත් අතර රෙවලූෂන් ක්‍රීඩා සමාජය නියෝජනය කළ දිනිෂිකා විතානගේ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වුවා ය. දිල්මිනි මැණිකේ ඒකනායක කාන්තා අංශයේ තෙවන ස්ථානය හිමි විය.

ගෙට්ෆිට් ක්‍රීඩා සමාජය නියෝජනය කළ සවින්ද මධුෂාන් කනිෂ්ට අයෝමය පුරෂයා ලෙස සම්මා දිනා ගත්තේ ය. කනිෂ්ඨ අංශයේ දෙවැනි ස්ථාන කොම්බැට් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ ඒ. ආර්. සමරසිංහටත් තෙවන ස්ථානය මිරීගම බාර්බෙල් ක්‍රීඩා සමාජයේ විරාජ් මිතුන්ටත් හිමි විය.

2021 මිස්ටර් ශ්‍රී ලංකා තරගයට සමගාමීව පැවැති ක්ලැසික් බොඩිබිල්ඩිං තරගයේ ජය ගේට් ෆිට් ක්‍රීඩා සමාජයේ එම්.එච්. නමන්දට මිහිවෙද්දී මාස්ටර්ස් තරග කාණ්ඩයේ ජය මාර්ටර්ස් කායවර්ධන සංගමයේ නිමල් වන්නියආරච්චි දිනාගැනීමට සමත් විය.

වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී තරගාවලිය අවසන් වු අතර ජයග්‍රහකයන් වෙනුවෙන් මුදලින් 200,000 ක්ද දෙවැන්නා වෙනුවෙන් මුදලින් 150,000ක්ද තෙවැන්නා වෙනුවෙන් මුදලින් 100,000ක් හා කුසලාන පිරිනැමිමට සංවිධායකයන් කටයුතු සංවිධානය කර තිබුණී.

---------------------

කල්පගේට කාර්ය සාධක තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක රුවන් කල්පගේ උසස් කාර්ය සාධන පුහුණුකරුවන්ගේ ඒකකයේ ප්‍රධානියා බවට පත් කිරිමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. උසස් කාර්ය සාධක පුහුණුකරුවන්ට අදාළ සියලු බලතල සහ වගකීම් ඒ අනුව ඔහුට පැවරෙනු ඇත.

-----------------------

සෙනිරුට රීදි පදක්කමක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රන්තයේ පැවැති විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාවේ යොවුන් උස පැනීමේ ශූර සෙනිරු අමරසිංහ රීදී පදක්කමක් දිනා ගැන්නට සමත්ව ඇත. ටෙක්සාස් ‘ස්ප්‍රීන් බ්‍රේක් සමර් මීට් ‘ක්‍රීඩා උළෙල්දී මීටර් 2.00ක දක්ෂතාවයක් වාර්තා කරමින් මෙම දස්කම ප්‍රදර්ශනය කිරිමට සෙනුර සමත්විය.

ගීෂා මුණසිංහ

Comments