පොදු රාජ්‍ය මණ්ඩලයීය හා සත් සමාජික ආසියානු තරගාවලිය අපේ ඉලක්කයයි | Page 2 | සිළුමිණ

පොදු රාජ්‍ය මණ්ඩලයීය හා සත් සමාජික ආසියානු තරගාවලිය අපේ ඉලක්කයයි

 

රිස්ලි ඉල්ලියාස්

 - සභාපති

(ශ්‍රී ලංකා රග්බි සම්මේලනය)

‘ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මේ දිනවල අර්බුද කීපයක වෙළී සිටී. ඉන් එකක් කොවිඩ් ව්‍යසනය ඉදිරියේ ඔවුන් ක්‍රීඩාව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධව ය. අනාගතයේ මෙරට රග්බි ක්‍රීඩාව රැගෙන යන්නේ කුමන ඉලක්කවලට ද යන්න තවත් ප්‍රශ්නයකි. රග්බි පාලනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ ඇති නොකැමැත්ත හේතුවෙන් අතුරු කමිටුවක් පත්කිරීමේ අවදානමක් ඇතැයි යන්න තවත් කාරණයකි. මේ සියලු කරුණු සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ කතිකාවක් ඇතිව තිබියැදී ‘ක්‍රීඩා‘ රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මුණගැසුණේ ය.‘

ලීග් රග්බි තරගාවලිය අවසන් වුණා ඊළඟ පියවර මොකක් ද?

කල් දැම්ම තරග දෙක ඉවර කළාට පස්සේ ලීග් තරගාවලිය අවසන් වුණා. ඉන් පසුව සංවිධානය කරලා තියෙන්නේ සුපිරි වටය. එම වටයේ දී ඉහළ කණ්ඩායම් හතර හා පහළ කණ්ඩායම් හතර සමඟ පැවැත්වෙන තරගාවලියට දින නියම කරලයි තියෙන්නේ. මේ වසරේ මුල දී සත්සාමාජික තරගාවලියක් සංවිධානය කරන්න අපට අවස්ථාවක් තිබුණේ නෑ. නමුත් ඉදිරි සති දෙක තුන තුළ සත් සමාජික තරගාවලියක් සංවිධානය කළ යුතුයි. ඒ පොදු රාජ්‍ය මාණ්ඩලයීය තරගාවලියට හා ආසියානු සත් සාමාජික තරගාවලිය ඉලක්ක ගත කරගෙන. අපි මේ පිළිබඳ රග්බී සංගම් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තියෙනවා. මොකද අපිට ක්‍රීඩකයන් 20 දෙනෙතුගෙන් සමන්විත සංචිතයක් පිහිටුවන්න අත්‍යවශ්‍යයි. නමුත් අනුබද්ධ රග්බි සංගම් පිළිමළුන් පිටුදකින ක්ලිෆර්ඩ් තරගාවලිය අවසානයේ රග්බි සෙවන්ස් තරගාවලිය පවත්වනවාට කැමති නෑ. නමුත් කෙසේ හෝ එය පැවැත්විය යුතුයි.

එතකොට ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රධාන රග්බි තරගාවලි මොනවා ද?

අන්තර් ක්‍රීඩා සමාජ රග්බි සෙවන්ස් තරගාවලිය හා පිළිමලුන් පිටුදකින ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය තමයි ප්‍රධානත දේශීය තරගාවලි දෙක. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයීය සත් සාමාජික රග්බි තරගාවලිය හා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ඉලක්ක ගත වැඩසටහනකට යෑම අරමුණු කොට ගෙන තමයි දේශිය තරගාවලි දෙක පවත්වන්නේ. මහනුවර කණ්ඩායම, සී.එච්. කණ්ඩායම, හැව්ලොක් කණ්ඩායම, සී.ආර්. අන්ඩ් එෆ්.සී. කණ්ඩායම වගේම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කරන තරුණ දක්ෂ ක්‍රිඩකයන් හා උපක්‍රමශීලිව ක්‍රීඩා කරන ක්‍රිඩකයන් හදඳුනාගෙන 20 දෙනාගේ සංචිතය ගොඩනැඟිය යුතුව පවතිනවා.

ඊට පස්සේ මොකක් ද සැලසුම?

පස්සේ 20 දෙනාගේ සංචිතයට ඉහළ තාක්ෂණික පුහුණු වැඩසටහනක් ක්‍රීයාත්මක කිරීමට අපි සූදානම්. ඊට අවශ්‍ය යටිතල පහසුකම් ද අපි සකස් කරලා තියෙනවා. ඒ පොදු රාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු රග්බි තරගාවලියේ වැඩි දක්ෂතා දැක්වීමට කණ්ඩායම පුහුණු කිරීමටයි. ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ඒ වෙනුවෙන් කැපවී සිටිනවා.

දැන් ජාතික රග්බි කණ්ඩායම තෝරා ගන්න සංචිතයක් තේරුවත් ඔවුන් සංචිතයක් වශයෙන් කැඳවා නෑ නේ ද?

ඔව්. ජාතික රග්බි කණ්ඩායම ගොඩනැඟිමට අවශ්‍ය කරන ක්‍රීඩකයන් 15 දෙනා තෝරන්න ක්‍රීඩකයන් 54 ක සංචිතයක් කැඳවලා තිබෙනවා. එහි වැඩකටයුතු මඳක් මදක් ප්‍රමාද වෙලා තිබෙන්නේ ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයන් හා ක්‍රීඩා සමාජ අතර ඇති ගිවිසුම් නිසයි. ඒ වගේම ඔවුන් ඉදිරි කාලයේ දී ත් තමන් නියෝජනය කරන ක්‍රීඩා සමාජ වෙනුවෙන් තරග වදින්න ගිවිසුම් අත්සන් කර තිබෙන නිසා ඔවුන් නිදහස් කර ගැනීමේ අර්බුදයක් තිබෙන බව කිවයුතුයි. ඒ නිසා තමයි මේ ක්‍රීඩකයන් සංචිතය කඩිනමින් නොකැඳවන්නේ.

දැන් මේ සංචිතයෙන් තෝරාගන්නා ක්‍රීඩකයන්ට ඉහළ තාක්ෂණික පුහුණුවක් දෙනවා කියන්නේ මොකක් ද?

ඉහළ තාක්ෂණික පුහුණුවකට යොමු කිරිමේ දී ජපාන, කොරියාව, චීනය වැනි රටවල් කරන ආකාරයේ වැඩ සටහනකට ක්‍රීඩකයන් යොමු කළ යුතුයි. එම ක්‍රීඩකයන් උදෙසා මාසික වැටුපක් ප්‍රදානය කළ යුතුයි. නමුත් පසුගිය කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ සියලු දේවල් පසුපසට ගියා. නැවතත් ක්‍රම ක්‍රමයෙන් අපි මේ සියලු දේවල් පෙළ ගස්වමින් සිටිනවා. දැන් ක්‍රියාත්මක තරගාවලි දෙක විශේෂ තාක්ෂණික පුහුණුවක් නොවුණත් ක්‍රීඩා කෞශ්‍යලය වර්ධනයට රුකුලක් වනවා. රග්බි රිද්මය ගෙනයෑමට එම තරගාවලි ඉවහල් වනවා. මෙම තරගාවලි දෙක අවසානයේ ජාතික සංචිය කැඳවා පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

නව යොවුන් ක්‍රීඩකයන් ක්‍රීඩාවට රැගෙන එන්න තියෙන නව සැලසුමක් ගැන ඔබලා පවසා තිබුණා. අපි ඒ ගැන කතා කරමු?

වයස අවුරුදු 21 – 24 වයස්වල ක්‍රීඩකයන් ඉලක්ක ගත කර ගනිමින් ඉදිරියේදී තරගාවලියක් සංවිධානය කරන්න සැලැසුම් සකස් කරමින් සිටිනවා. සත් සාමාජික තරගාවලියක් ලෙසයි එම තරගාවලිය පවත්වන්නේ. එය පාසල්වලින් පිටවී සිටින තරුණයන් ඉලක්ක ගත කර ගෙනයි සැලැසුම් කර ඇත්තේ. ඒ වගේම පාසල් රග්බි සංගමය සමග එක්ව තරගාවලියක් පැවැත් විමටත් අපි සූදානමින් සිටිනවා. හැබැයි තවම අපට යොවුන් තරගාවලියක් පවත්වන්නට පසුබිමක් නෑ ඒ අධ්‍යාපන පොදු සහතිකපත් උසස් පෙළ විභාගය තවම නිමාවක් දැක නැති නිසා. විභාගයෙන් සමත් වන හා අසමත් වන යොවුන් ක්‍රීඩකයන් එකතු කොට මේ වසර අවසානයේ තරගාවලියක් නිර්මාණය කිරීමටද රග්බි සම්මේලනය බලාපොරොත්තු වෙනවා. මේ වසර අවසානෙට පෙර නොවැම්බර් මස මුල ලීග් තරගාවලිය ආරම්භ කිරිමට අවශ්‍ය කරන වැඩ කටයුතු ද මේ වන විට පෙළගස්වමින් සිටිනවා.

දැන් මේ සඳහා මුදල් ප්‍රධාන සාධකයක් නෙ. ඔබ හිතන්නේ මේ ව්‍යාපෘති දියත් කරන්න කොපමණ මුදලක් උවමනායි කියල ද?

මේ සියලු දේ කිරීම උදෙසා වසරකට රුපියල් මිලියන 225 ක් පමණ වැය වෙනවා. එම මුදල අපි සොයාගන්නේ අනුග්‍රාහකයන් මඟින්. අනුග්‍රාහකයන් නොමැතිව මේ ගමන යා නොහැකියි. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපාදන බලාපොරොත්තුවෙන් අපි වැඩ කරලා නෑ. තරගාවලි සංවිධානය කරලා නෑ. ඉදිරියටත් එහි වෙනසක් නෑ.

ක්‍රීඩා ඇමැතිත් රග්බි ක්‍රීඩකයෙක්නෙ. ඔහුගේ උපකාර කොහොම ද රත්බි නඟාලීමට?

ඔහු අපට නිදහසේ වැඩ කරන්න පහසුකම දීලා තිබෙනවා. අමාත්‍යාංශ රෙගුලාසි අනුගමනය කරන්න, ඔවුන් යෝජනා කරන තරගාවලි සංවිධානය කරන්න අප බැඳී සිටිනවා.

 

ඡායාරූප - රංජිත් අසංක

Comments