ආයෝජකයන් වට වන පැඩල් ටෙනිස් | සිළුමිණ

ආයෝජකයන් වට වන පැඩල් ටෙනිස්

 

ලෝකයේ මිලියන විසිපහක් ක්‍රීඩා කරන අලුත් ම ක්‍රීඩාව හඳුන්වන්නේ පැඩ්ල් (Padel) කියායි. පැඩල් කියන්නේ දෙමුහුන් ක්‍රීඩාවක්. දෙමුහුන් කියන්නේ ක්‍රීඩා දෙකක් මිශ්‍ර ෙවලා හැදුණු ක්‍රීඩාවකට. ඒ ක්‍රීඩාව නිර්මාණය වෙලා තිබෙන්නේ ස්කොෂ් හා ටෙනිස් කියන ක්‍රීඩා දෙක උපයෝගී කර ගනිමිනුයි.

මෙම ක්‍රීඩාව කරන්නේ මීටර් 10 ක් හා 20 ක් දිග පළල ක්‍රීඩාංගණයක් තුළයි. දැනට මෙම ක්‍රීඩාංගණය පැවැත්වෙන්නේ වීදුරුවලින් ආවරණය කරන ලද පිටියක් තුළයි. ඒ වැඩි වශයෙන් යුගල තරග ලෙස යි.

ස්කොෂ් ක්‍රීඩාවේ දී මෙන් වීදුරුවලින් වට කරපු ක්‍රීඩාංගණයක් තුළ පැවැත්වෙන නිසා පන්දුව වීදුරුවේ ගැටී එන විටත් පහර එල්ල කරන්න හැකියාව තිබෙනවා. පන්දුව පිරිනැමීම ටෙනිස් ක්‍රීඩාවේ දී මෙන් සිදුකරන අතර ලකුණු ලබා දීමේ ක්‍රමවේදයත් ඊට සමානයි. මෙහි දී භාවිත කරන පන්දුවත් ටෙනිස් පන්දුවමයි.

පැඩල් ක්‍රීඩාංගණයේ විශාලත්වය සාමාන්‍ය ටෙනිස් පිටියකට වඩා සියයට විසිපහකින් කුඩායි. මේ වන විට ලොව පුරා මිලියන 25 කට අධික පිරිසක් මෙම ක්‍රීඩාවේ නියැලෙන බවයි විශ්වාස කෙරෙන්නේ. ඒ පිරිස අතරින් වැඩිම ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින්නේ අර්ජන්ටිනාව හා ස්පාඤ්ඤය වගේ රටවලයි. ඒවායේ විශාල ජනගහනයක් මෙම පැඩ්ල් ක්‍රීඩාවට සම්බන්ධයි. මේ නිසා මෙම රටවල් ඇතුළේ විශාල පැඩ්ල් ක්‍රීඩාංගණ ප්‍රමාණයක් තිබෙනවා.

දැන් පැඩල් ක්‍රීඩාංගණය ලොව පුරා කොතරම් වේගයෙන් පැතිර යන ක්‍රීඩාවක් බවට පත්වෙලා ද කියනවා නම් ලෝකයේ ප්‍රකට පාපන්දු තරුවක් වන ෂැල්ඩාන් ඊබ්‍රාහිමොවික් වැනි ධනවත් ක්‍රීඩකයන් ඒ වෙනුවෙන් පහසුකම් සහිත ක්‍රීඩාංගණ ඉදිකරන්න මුදල් ආයෝජනය කරන්නත් පටන් අරගෙන. ඒ යුරෝපය තුළ පැඩ්ල් ක්‍රීඩා මධ්‍යස්ථාන ඉදි කරමිනුයි.

මේ ක්‍රීඩාවට ආදරය කරන පිරිස් අතර නම කියැවෙන්නේ එසේ මෙසේ ක්‍රීඩකයන් නොවෙයි. ඔවුන් අතර ඉන්නවා ඇන්ඩි මරේ, ඩේවිඩ් බෙකම්, ලියොනොල් මෙසී හා ජුර්ගෙන් ක්ලොප් වැනි ක්‍රීඩකයන්. මේ අයගේ යශෝ කීර්තිය ගැන සලකපුවහම පැඩ්ල් ක්‍රීඩාව යන්නේ කොහේටද කියන එක තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ.

ඒ වගේම මෙම ක්‍රීඩාව වෙනුවෙන් ආයෝජනය කරන කණ්ඩායම් අතරට අලුතින් එක්වෙලා තිබෙන්නේ පැරිස් සෙන්ට් ජර්මෙන් පාපන්දු බලධාරිත්වය යි. එම පාපන්දු සමාජයේ හිමි-කාරිත්වය විසින් පැඩ්ල් ලෝක තරගාවලියක් ආරම්භ කරන්න පවා සැලසුම් කර තිබෙනවා. ඒ අදියර කීපයක් යටතේ විශාල තෑගි මුදල් දෙන තරගාවලියක් වශයෙනුයි.

දැනට මෙම ක්‍රීඩාවේ පැහදබිම ලෙස සැල-කෙන්නේ ස්පාඤ්ඤය හා ආර්ජන්ටිනාව කේන්ද්‍ර කර ගනිමින් ලෝක තරගාවලිය සංවිධානය කරන්නයි දැනට තීරණයවී ඇත්තේ. ‘ආරම්භක තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් අපි සැලකිය යුතු ත්‍යාග මුදලක් ප්‍රදානය කරන්න අපේක්ෂා කරනවා. ඊට පසුව 2024 වද්දී එම මුදල් තවදුරටත් විශාල කරන්නයි බලාපොරොත්තුව. ඒ වගේම තමයි මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරන්නත් අපි සූදානම්.’ තරගාවලි සංවිධායයන් පවසා තිබුණා.

මෙම ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් සිතන්නේ 2028 ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් පැඩ්ල් ක්‍රීඩාව එක්කරගන්න හැකි වේයැයි කියායි. ‘ඒක පනහට පනහ සිදුවන්න හැකි අවස්ථාවක්.’ ඒ ගැන බලාපොරොත්තු තබාගෙන සිටින පිරිස් කියන්නේ ඒ විදිහටයි.

ආකර්ෂණය

පසුගිය වසරේ මියාමි හි දී ලෝකයේ සුප්‍රකට හිටපු පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම් මෙම පැඩ්ල් ක්‍රීඩාවේ නියැළෙන වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් හි පළ කර තිබුණා. ඒ වගේම තවත් ලෝක ශූර පාපන්දු තරුවක වන ෂිනෙඩින් ෂීඩෑන් පවා මෙම ක්‍රීඩාවට දැඩිව ආදරය කරන බව සඳහන් කළා. මේ නිසා ඔහු 'Z5' යනුවෙන් පැඩ්ල් ක්‍රීඩා මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඒ ක්‍රීඩා මධ්‍යස්ථානයේ ඇති පැඩ්ල් පිටියක් මිනිත්තු අනූවක කාලයකට වෙන් කර ගන්න ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළ යුත්තේ යුරෝ දහයක් වැනි මුදලකුයි.

පැඩ්ල් ක්‍රීඩාවට ආදරය කරන්නේ එසේ මෙසේ මිනිසුන් නොවෙයි. දෙවරක් විම්බල්ඩන් ශූරතාව දිනූ ඇන්ඩි මරේ ද ඒ අතර වනවා. හිටපු පාපන්දු ක්‍රීඩකයකු වන පීටර් කෞච් මරේ හා එක්ව 2020 වසරේ දී සුහද පැඩ්ල් තරගයකට ක්‍රීඩාකර තිබුණේ විනෝදය පිණිසයි.

රෆායල් නඩාල්, සෙරේනා විලියම්ස් සහ නොවැක් ජොකොවික් මෙම ක්‍රීඩාවේ නියැලීම හෝ ඒ වෙනු-වෙන් ආයෝජනය කිරීමේ වැද-ගත්කම ගැන සොයා බලමින් සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය හෙළි කර තිබුණා.

නිල තත්ත්වය

ගෝලීය ක්‍රීඩා අතර මෙම ක්‍රීඩාව ස්ථාපිත කරමින් ජාත්‍යන්තර පැඩල් සම්මේලනයක් යටතේ මෙම ක්‍රීඩාව පාලනය වනවා. ඒ වෙනුවෙන් මෙම ජාත්‍යන්තර සම්මේලනය දැන් ස්ථාපනය වී ඇති අතර, එමඟින් අපේක්ෂා කරන කාරණා අතර ඉදිරියේදී ටෙනිස් ක්‍රීඩාව මෙන්ම ග්‍රෑන්ඩ් ස්ලෑම්ස් තරගාවලි හතරක් සංවිධානය කරන්නටයි. මේ සඳහා කටාර් ක්‍රීඩා ආයෝජන ආයතනය වෙනුවෙන් එහි සභාපති නසාර් අල් කෙලායිෆි ඉදිරියට පැමිණ සිටිනවා.

වරක් ඔහු මේ ගැන මෙසේ සඳහන් කර තිබුණා. ‘ලෝකය තවම දැකලා තියෙන්නේ මුහුදේ පාවෙන අයිස් පරයේ මුදුන විතරයි. මේ ක්‍රීඩාවට ලෝක තලයේ සිදු කළ හැකි දේ සම්බන්ධයෙන් කිසිකෙනෙක් තවම හරියට දන්නේ නෑ. පැඩ්ල් ක්‍රීඩාවේ නියැළෙන බොහෝ ක්‍රීඩකයෝ කියලා කියන්නේ ලෝක ක්‍රීඩාව තුළ අතිදක්ෂ, බලපෑම් සහගත වගේම ආකර්ෂණීය අයයි. දැන් මේ අපූරු ක්‍රීඩාව වගේම එහි නියැළෙන ක්‍රීඩකයන්ව ලෝකයට කියන්න හොඳම කාලය උදාවෙලා තිබෙනවා.‘ අපි බලමු. ඇතැම් විට බොහෝ ක්‍රීඩාවන්ට වඩා ආකර්ශනීය, වේගවත් ක්‍රීඩාවක් වශයෙන් ලෝකය තුළ මුල් බැසගන්නට පැඩ්ල් ක්‍රීඩාවට හැකියාව උදාවන දිනය වැඩි ඈතක නැති වේවි.

 

 

Comments