තිස් අටකට මරු කැඳවූ ලංකාවේ ලොකුම දුම්රිය අනතුරට වසර 33යි | Page 2 | සිළුමිණ

තිස් අටකට මරු කැඳවූ ලංකාවේ ලොකුම දුම්රිය අනතුරට වසර 33යි

අනතුර සිදු වූ ස්ථානය සහ බස් රථය අනතුරට ලක් වී තිබූ අයුරු

මීට වසර තිස් තුනකට පෙර දුම්රිය ආරක්ෂිත ගේට්ටු සවිකර තිබුණේ තෝරා ගන්නා ලද ප්‍රධාන මංසන්ධිවල පමණි. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1989 ජනවාරි 18 වැනිදා සිට සියලු අනාරක්ෂිත දුම්රිය මංසන්ධිවලට උණ බම්බු ගේට්ටු සවි කිරීමට නියම කළේය. එක ගේට්ටුවකට ජනසවිලාභී පවුල්වල තිදෙනෙකු බැගින් යෙදවූයේ රැකියා ප්‍රශ්නයට ද විසඳුමක් ලෙසිනි. ජනාධිපතිවරයාට එවැනි සිතුවිල්ලක් පහළ වූයේ ඊට පෙර දින සිදුවූ මහා ඛේදවාචකයක් නිසාවෙනි.

ඒ, මීට තිස් තුන් වසරකට පෙර එනම්, 1989 ජනවාරි මස දාහත් වැනි දින පස්වරු 2. 30ට පමණ අහුන්ගල්ල දුම්රිය මංසන්ධියේ දී සිදුවූ දුම්රිය-බස් මහා අනතුරයි. පාසල් සිසුන් විසි හය දෙනෙක් ඇතුළු තිස් අට දෙනෙකු මරු මුවට පත් කරමින් හා තවත් හැත්තෑ දෙනෙකු සදහටම ආබාධිතයන් බවට කළ ඒ ඛේදවාචකයෙන් රටම කම්පාවට පත්විය. එකී අනතුර හේතුවෙන් අදටත් දුක් විඳින ජීවිත ගණනාවකි.‘සිළුමිණ’ වෙනුවෙන් මම ඔවුන් සොයා ගියෙමි.

අහුන්ගල්ල පතිරාජගම පදිංචි හෙට්ටියාහන්දි අනිල් වසන්ත ද සිල්වා (45) හමුදා ක්‍රියාන්විතයේදී සිදු වූ අනතුරකින් දෙපා අප්‍රාණික ආබාධිතයෙකි.

“මේ සිද්ධිය වන විට මම බළපිටිය රේවත ජාතික පාසලේ හත් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබුවේ. මමයි ලොකු අයියා හෙට්ටියාහන්දි සිසිල් ප්‍රියන්ත ද සිල්වා සහ දෙවැනි අයියා හෙට්ටියාහන්දි චමිල් ලසන්ත ද සිල්වා යන අපි තුන් දෙනාම මෙම අනතුරට ලක් වුණා. ලොකු අයියා එදාම මිය ගියා. දෙවැනි අයියාට සාමාන්‍ය තුවාල සිදු වුණා. ඔහු 2007 දී සිදුවූ අනතුරකින් මිය ගියා.

මගේ තාත්තා හෙට්ටියාහන්දි ජිනදාස ද සිල්වා.(ලොකු ජයන්ත) අම්බලන්ගොඩ ලංගම ඩිපෝවේ බස් කොන්දොස්තර වරයකු ලෙස සේවය කළා. මාර්ග අංක 554 අහුන්ගල්ල හරහා අම්බලන්ගොඩ ඌරගස්මංහන්දිය මාර්ගයේ ධාවනය වූ අංක 23 ශ්‍රී 8293 තනි දොර බස් රථයේ කොන්දොස්තර මගේ තාත්තා. 1989 ජනවාරි මස දාහත් වැනි දින උදේ වරුවේ මේ බස් එකේ තාත්තා වැඩ කළා. ඩ්‍රයිවර් විදිහට හිටියේ පියසේන මාමා.

එදා හරිම මූසල දවසක්. එදා අපි ඉස්කෝලෙ යද්දී බාධාවන් කිහිපක්ම සිදු වුණා. එක පාරක් කාර් එකක හැප්පෙන්න ගියා. ඊට පස්සේ ගල්වෙහෙර නාගහ හන්දියේ වීරසේන මාමාගේ තාප්පයේ බස් එක හැප්පුණා. පුට්බෝඩ් එකේ හිටපු ළමයි දෙන්නෙකුගේ ෂර්ට්වල මඩ ගෑවුණා. අපේ තාත්තා ඒ දෙන්නට කිව්වා අද ඉස්කෝලෙ යන්න එපා. ගෙදර යන්න කියල. නමුත් ඒ දෙන්නා ඒක අහන්නෙ නැතුව ගෙදර ගිහින් ෂර්ට් එක මාරු කරගෙන ඉස්කෝලෙ ගිහින් තිබුණා. ඒ දෙන්නගෙන් උපුල් සංජය මේ අනතුරෙන් මිය ගියා. අනෙක් කෙනා සමන් මෙන්ඩිස් බරපතළ තුවාල ලැබුවා.

ඒ සිද්ධිය වෙලා ඉදිරියට එනකොට රේල් ගේට්ටුව ළඟඳී බස් එක කෝච්චියේ හැප්පෙන්න ගිහින් කට්ටිය කෑ ගහල තමයි නතර කරගත්තේ. අපි ඉස්කෝලෙ ගියා. හැබැයි තාත්තා ඩිපෝවට ගිහින් බස් එක බ්‍රේක් ඩවුන් කියල ජොබ් එකකුත් දාලා මේ බස් එක අද කාටවත් දෙන්න එපා කියල තාත්තයි පියසේන මාමයි නිවාඩු දාලා වේලාසනින් ගෙදර ඇවිත් තිබුණා.ඊළඟ ටර්න් එකේ ඩ්‍රයිවර් වුණේ ඉඳුරුවේ ආනන්ද මාමා. ඔහු බස් එක ගන්න ඩිපෝවට ගියාම බ්‍රේක් ඩවුන් කියල ජොබ් එකක් දමල තිබෙන බව කියලා තිබෙනවා. නමුත් ආනන්ද මාමා බස් එක ස්ටාර්ට් කළාම ස්ටාර්ට් වුණු නිසා බස් එකේ ලෙඩක් නැහැ බොරුවට ජොබ් දමල කියල අරගෙන ඇවිත් තිබෙනවා.

ඉස්කෝලෙ ඇරිල අපි එද්දී මම ෂීට් එකක වාඩි වෙලා ආවේ. ශෂිකා ඉෂාරි මිතුරියට ෂීට් එක දීල මම බැටරි පෙට්ටිය ළඟ හිටගෙන ආවා. අහුන්ගල්ල හන්දියෙන් බස් එක හරවල රේල් ගේට්ටුව ළඟ ජිනපාල මාමගේ කඩේ ළඟ බස් එක නතර කළේ සෝමසිරි මාමගෙ බුලත් පුවක් තොගයක් පටවන්නයි. එතැනින් බස් එක අද්දල අඩි දහයක් පහළොවක් ඉස්සරහට එනවිට ගැහැනු කෙනෙක් අත් දෙක උස්සගෙන එන්න එපා, කෝච්චිය එනවා කියල කෑගැසුවා. ඒ සමඟම චමිල් ලසන්ත අයියා ඩ්‍රයිවර් මාමාගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇද්දා “දාන්න එපා...දාන්න එපා..” කියලා. ”

එකහුස්මට කියාගෙන ආ කතාව නතර කළ ඔහු දිගු සුසුමක් හෙළුවේය.

“සිහිය එනකොට මම හිටියේ ගාල්ල මහමෝදර ඉස්පිරිතාලෙ පහේ වාට්ටුවේ. මගේ අතයි කකුලයි කැඩිල බැන්ඩේජ් කරල තිබුණා. ඇඟේ හැම තැනම තුවාල තිබුණා. මාස ගණනකට පස්සේ ආපහු මම ඉස්කෝලෙ ගියේ කිහිලිකරු දෙකෙන්. උදේ වෙච්ච බාධා නිසා අපේ තාත්තා බස් එකේ වැඩ කළේ නැහැ. එහෙම වුණා නම් තාත්තත් එදා මැරෙන්න ඉඩ තිබුණා. අපේ පන්තියේ නිලූපා යන නම තිබෙන ගැහැනු ළමයින් තුන්දෙනාම මේ අනතුරෙන් මැරුණා.”

අනිල් වසන්ත කීවේ කම්පාවෙනි. 1996දී ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය පාබල හමුදාවට එක්වී ඇති ඔහු, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී 2008 පෙබරවාරි මස 21 වැනි දින මෝටාර් ප්‍රහාරයක් එල්ල වීම ආබාධිත තත්ත්වයට පත්වී ඇත.

එදා මාරක අනතුර සිදුවන විට අතේ සිටි මාස නවයක් වයසැති සිඟිති දියණිය බසයෙන් එළියට වීසි කළ මවක් පිළිබඳ ඔබට මතක ඇතැයි සිතමි. ඒ මව, අහුන්ගල්ල කටුවිල පදිංචි දොඩංගොඩගේ සිරියාවතී ය.

“එදා මගේ නයනා චතුරංගනී දුවට මාස නවයේ බෙහෙත විදින්න අහුන්ගල්ල එම්. ඕ. එච්. එකට ගියා. අපි අහුන්ගල්ල හන්දියෙන් බස් එකට නැග්ගෙ. ජිනපාල අයියගෙ කඩේ ළඟ නතර කරල බස් එක අද්දල අඩි කිහිපයක් එනකොට කෝච්චිය එනවා කියලා කට්ටිය කෑ ගැසුවා. මට කරකියා ගන්න දෙයක් තිබුණේ නැහැ. මට සිහිවුණේ දරුවා විතරයි. ඉබේටම වගේ මම ජනේලෙන් දරුවා එතැන තිබුණු කානුවට වීසි කළා. කොහේ වැටුණද කියල දන්නෙත් නැහැ. ඒ එක්කම දඩෝං ගාන ශබ්දයක් ඇසුණා. එච්චරයි මතක. සිහිය එද්දි මම හිටියේ ගාල්ල මහමෝදර ඉස්පිරිතාලේ.”

එදා එසේ කානුවට වැටී දිවි ගැලවුණු මාස නවයේ බිළිඳිය වන මුතුමුණි නයනා චතුරංගනී ද සිල්වා (33) අද තිදරු මවකි.

එකී අනතුරට මුහුණ දුන් එවකට බළපිටිය රේවත ජාතික පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි අහුන්ගල්ල ගල්වෙහෙර කුරුඳුවත්ත පාරේ පදිංචි උෂාණි මල්කා ද සිල්වා(49)ට අදටත් හරිහැටි කල්පනාවක් නැත. ඇය රැකබලා ගන්නේ නැඟණිය, දිවානි ගීතිකා ද සිල්වා (45) ය.

අහුන්ගල්ල නෙල්ලිගොඩ පදිංචි පෙරුමාවසම් නලින් ජීවන්ත (46) ද පාසල් සිසුවකු ලෙස එදා ඒ අනතුරට මුහුණ දුන් තවත් අයෙකි. ඒ වන විට රේවත ජාතික පාසලේ අට වැනි ශ්‍රේණියේ සිසුවකු වූ අහුන්ගල්ල මරදාන පදිංචි ලියනගේ ජානක පුෂ්ප කුමාර(46) පැවසුවේ ඒ අනතුරින් බරපතළ තුවාල ලබා ශල්‍යකර්ම දෙකකට මුහුණ දුන් ඔහුගේ වම් අත අදටත් දිගහැරිය නොහැකි බවයි. මෙම දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළ බළපිටිය ආඳාදොළ පදිංචි ඒ. ආර්. ද සිල්වා (64) සිය දෑසින් දුටු ඒ බිහිසුනු අවස්ථාව ගැන මෙසේ කීවේය.

“දුම්රිය දවල් දෙක හමාරට පමණ අහුන්ගල්ලට ළඟාවෙනවත් එක්කම බස් එකක් රේල් පාර මැද්දට දැම්මා. කරකියා ගන්න දෙයක් නැතිව බ්‍රේක් එක නිකම්ම පෑගුණා. බස් එක රේල් පාර මැද එකපාරටම හිටියා. මම දැක්කා ඩ්‍රයිවර් වයර් දෙකක් අමුණල බස් එක ස්ටාර්ට් කරන්න හදනවා. ළමයි කෑ ගැසුවා. ඒ සමඟම බස් එක කෝච්චියේ මැද වැදිලා වීසි වුණා. ළමයින් මර ළතෝනි දීගෙන උඩින් ගිහින් වීසි වුණා. සමහර ළමයි රේල් පාර මැදටත් වැටිලා ඒ අය කෝච්චියට යට වුණා. මට ලොකු කම්පාවක් ඇතිවුණා. ඒ වගේ දෙයක් දකින්න මාත් පවු කරලා තියෙනවා. ඒ අනතුරෙන් මගේ නෝනගෙ තාත්තගෙ කකුලත් කැඩුණා. දැන් වුණත් කෝච්චියේ යන විට පාසල් ළමයෙක් දැක්කම බ්‍රේක් එක පෑගෙනවා. ළමයි වැඩි දෙනෙක් දැක්කම මේ සිද්ධිය මතක් වෙලා කම්පනයක් ඇති වෙනවා. මේ අනතුර වෙලා මාසයක් විතර මම වැඩට ගියේ නැහැ. නැවත රස්සාව කරන්නෙ නැහැ කියල හිතාගෙන ඉන්නකොට යාළුවෝ ඇවිත් මගේ හිත හදල වැඩට එක්කගෙන ගියා. මේ සිද්ධිය මැරෙන තුරා අමතක වෙන්නේ නැහැ.”

අනතුරට පත් බස්රිය පැදවූ රියැදුරු ඉඳුරුවේ යාලෙගම අරුමන්ද හේවගේ ආනන්ද නැමැත්තෙකි. ඔහු මීට වසර හතරකට පහකට පමණ මියගොස් ඇති බව ද දැනගන්නට ලැබිණ.

අනුර යසමිත්, බළපිටිය

Comments