විපක්ෂ‍යේ රස රහස් | Page 2 | සිළුමිණ

විපක්ෂ‍යේ රස රහස්

ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ තවත් උණුසුම් පුවත් මැවූ සතියක් ගෙවී ගිය අතර එකී දිනවල සිදුවූ බොහෝ සිදුවීම් හා ගත් තීන්දු දේශපාලන කරළියේ පමණක් නොව සමස්ත ආර්ථික - දේශපාලන ව්‍යුහයන් තුළ ද කඩඉමක් වීමට හැකිය.

විමල් - පිල

විමල් - ගම්මන්පිල දෙකට්ටුව විසින් ඇවිළුෑ දේශපාලන ගින්න බලාපොරොත්තු වූ ආකාරයෙන්ම නිවී යනු අපට පසුගිය දිනවල පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි විය. මේ පිලේ ප්‍රබලයකු වූ වාසුදේව නානායක්කාර ද තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කළ ද වාසු පසු පාදයේ ක්‍රීඩා කරනු මේ වන විට දැකගත හැකිය. ඒ ඇතැම් විට වාසු සහ අගැමැති මහින්ද අතර තිබෙන දේශපාලන සබැඳියාව නිසා වීමට පුළුවන. එසේම විමල් - පිල ආරම්භක ඕවරයේදීම දැවී යාම නිසා තමන් ද පසුපාදයේ ක්‍රීඩා කර කඩුල්ල ආරක්ෂා කර ගැනීම වටින්නේ යැයි අත්දැකීම් බහුල, මෙවැනි දේශපාලන තෙම්පරාදු වූ වාසු සිතනවා විය හැකිය. ඒ කෙසේ වෙතත් වාසු ද උණු උණුවේම විමල් - පිල සමඟ සම අසුන් නොගැනීම නම් රට හරි මඟ යවන්නට විමල් - පිල ගත් ඊනියා උත්සායට ලත් තැනම ලොප්කර දැමීමකට වඩා එහා ගිය ‘දේශපාලනිකව අනාථවීමක්’ නැතහොත් ‘නත්නත්තාර වීමක්’ලෙස සැලකිය හැකිය. 

විමල් - පිලගේ මේ දේශපාලන නන්නත්තාර වීම ගැන අදහස් පළ කළ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහ දේශපාලන විචාරකයන්ගේ අදහස වූයේ ‘රට ගලවා ගැනීමේ මුවාවෙන් විමල් වීරවංශ, ගම්මන්පිල පසුගිය කාලයේ ලබා ගත් දැවැන්ත සමාජ සහ මාධ්‍ය අවධානය මෙවර ඔවුන්ට නොලැබුණා පමණක් නොව ඔවුන් අපහාසයට සහ උපහාසයට ලක් කිරීම නොඅඩුව සිදු වූ බවය.

මේ අතර මේ විමල් - පිල තව තවත් අර්බුදයට ලක්වන ආකාරය නිරීක්ෂණය කළ හැකි වන්නේ දේශපාලන පක්ෂ 11ක සන්ධානය මේ වන විට විමල් ගේ ජාතික නිදහස් පෙරමුණ සහ ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයට පමණක් පටු වෙමින් තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකි නිසාය. ආරම්භක සමුළුවෙන් පසු මේ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ විමල් - ගම්මන්පිල සමඟ එදා වේදිකාවට ගොඩවූ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් අවම භූමිකාවක් හෝ නිරූපණය කරන බවක් දැකගත නොහැකිය. ඒ වෙනුවට අද සිදුවෙමින් පවතින්ගේ වාසුදේව ඇතුළු පිරිස ආණ්ඩුව තුළ සංහිදියාවක් ඇතිකර ගැනීමට තැත් කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ යෝජනාව අනුව සර්ව පාක්ෂික සමුළුව ඉදිරියට යාමය. මේ තත්ත්වය තුළ ඉතාම පැහැදිලිව සහ තීරණාත්මක ලෙස විමල් - පිල දේශපාලනිකව අනාථ වනු ඇති බව කැට තබා ප්‍රකාශ කළ හැකිය.

බැසිල් ගැන තවත් චරිත සහතිකයක්

තමන්ට හිතවත් සහ තමන් විසින් නඩත්තු කරනු ලබන සමාජ මාධ්‍ය හරහා විමල් - ගම්මන්පිල තමන් විසින්ම තම එදිරිවාදියා, නැතහොත් තරගකරු ලෙස නම්කර ගෙන සිටින මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ට දැවැන්ත ප්‍රහාර එල්ල කරද්දී බැසිල් රාජපක්ෂයන්ගේ දේශපාලන පෞරුෂත්වයට ඉන් සිදුවන බලපෑම අවම බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි. ඔවුන් එහිදී පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂයන් විසින් 2005-2015 යුගයේදී මෙන්ම 2015 යහපාලන ආණ්ඩුව බිහිවීම සමඟ නිර්මාණය වූ දේශපාලන ප්‍රවණතා තුළ සිදුකළ කාර්යභාරය ජනතාව තුළ මුල් බැසගෙන ඇති බවයි. විශේෂයෙන් යුද්ධයෙන් විනාශයට පත් උතුරු නැ‌ෙඟනහිර ඇතුළු ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට සහ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජයීය තත්ත්වය ඉහළට ඔසවා තැබීමට ඉටුකළ මෙහෙවර මෑත යුගයේ දියත් වූ වඩාත්ම නිර්මාණාත්මක හා ඵලදායී සැලසුම් බවයි.

බැසිල් සමාජ - ආර්ථික හා දේශපාලන තලයේ සිදුකළ ප්‍රමුඛ භූමිකාව විමල් - ගම්මන්පිල විසින් අවතක්සේරුවට ලක් කරද්දී පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පසුගිය 16 වැනිදා සිදුකළ ප්‍රකාශයට සුවිශේෂ වැදගත්කමක් ගත්තේය. ‘යුද්ධ කාලේ හමුදාවට ආයුධ සිට බූට් සපත්තුව දක්වා සොයා දුන්නෙ බැසිල්’ යැයි මහින්ද පතිරණ අවධාරණාත්මක කළ ප්‍රකාශය බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් අතර ඒය සමාජ මාධ්‍යවල ද දැඩි අවධානයට ලක් වුණේය.

රටවල් සමබර කිරීම

‘යුද සමයේ හමුදාවට අවශ්‍ය වූ අවි ආයුධවල සිට බූට් සපත්තුව දක්වා සපයන ලද්දේ බැසිල් රාජපක්ෂයන් විසිනුයි. එම සමයේ මෙරටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කරන ලද්දේ බැසිල් රාජපක්ෂයන් විසින් බව අපි අමකන නොකළ යුතුයි. එමෙන්ම යුද්ධයට අත්‍යවශ්‍යම වන ජාත්‍යන්තරයේ සියලු රටවල් සමබර ලෙස කළමනාකරණය කරන ලද්දේ බැසිල් රාජපක්ෂයන් විසින් බව දන්නේ අපි කිහිප දෙනෙක් පමණයි' ’පුවත්පත් මණ්ඩල සභාපතිවරයා කීවේය.

පුවත්පත් මණ්ඩල සභාපතිවරයාගේ මේ ප්‍රකාශය හරහා ගම්‍ය වන්නේ බැසිල් රාජපක්ෂ භූමිකාව 2005-2010 සමයේ ද අතිශයින් තීරණාත්මක හා සුවිශේෂ එකක් වූ බවයි.

‘ඇත්තටම බැසිල් රාජපක්ෂයන්ගේ දේශපාලන හා ආර්ථික භූමිකාව තවමත් නිවැරදි ව තක්සේරුවට ලක්වෙලා නැහැ. විශේෂයෙන් සිවුවැනි ඊළාම් යුද සමයේ රට ආර්ථික හා දේශපාලන අර්බුදයට ලක් නොවී බේරුණේ බැසිල්ගේ ආර්ථික සැලසුම් සහ ඔහුගේ තීක්ෂණ දේශපාලන සැලසුම් නිසා. විශේෂයෙන් විපක්ෂය සහ සුළුජන පක්ෂ නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ඔහු දක්වන ලද දායකත්වය අසමසමයි. බැසිල්ගේ මේ දේශපාලන මූලෝපායික සැලසුම් හරහා විපක්ෂයට සහ සුළු දේශපාලන පක්ෂවලට බරපතළ හානියක් වුණත් ඒය යුද සමයේ රටේ දේශපාලන හා සමාජ සංහිදියාව ආරක්ෂා කර ගැනීමට හේතු වුණා’ මේ වන විට දේශපාලන කරළියෙන් ඈත්ව සිටින කෘතහස්ත දේශපාලනඥයකු මේ ලියුම්කරු සමඟ පැවසුවේය. ඔහු ද එහිදී අවධාරණය කළේ බැසිල් ආර්ථික, දේශපාලන හා ජාත්‍යන්තර සංහිදියාව සම්බන්ධයෙන් ප්‍රමුඛ භූමිකාවක් ඉටුකළ බවයි.

‘අද විමල් වීරවංශලා, ගම්මන්පිලලා බැසිල්ව ඉතිහාසයේ කුණු බක්කියට දැමීමට ගන්නා වෙහෙස දකින කොට ඇත්තම පුදුම හිතෙනවා. ඔවුන් එදා බැබළුණේ, වැඩ කළේ බැසිල් විසින් ලබා දුන් දේශපාලන හා ආර්ථික ජවය මතයි. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සහ සුළු ජාතීන්ගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමට එදා බැසිල් පියවර ගත්තේ නැතිනම් ලංකාවේ දේශපාලන සිතියම අද අපි දකින ඒකට වඩා හාත්පසින්ම වෙනස් අවුල් වියවුල්වලින් පිරුණ එකක් වේවි. ඒ් කියන්නේ රටවල් දෙකක් තුළ’ ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

බැසිල්ගේ ආර්ථික සංවර්ධනය

පුවත්පත් මණ්ඩල සභාපතිවරයා බැසිල්ගේ අදෘශ්‍යමාන භූමිකාවක් ගැන සමාජයට නිරාවරණය කරද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, සාගර කාරියවසම් ද පසුගිය දා (16) මාධ්‍ය හමුවේ විමල් - ගම්මන්පිල විසින් සමාජගත කිරීමට තැත් කරමින් සිටින ප්‍රවාදයට නිසි පිළිතුරක් දුන්නේය. එහිදී පොහොට්ටුවේ මහ ලේකම්වරයා අවධාරණයෙන් කියා සිටියේ ‘මෙරට ආර්ථිකය ගොඩදැමිය හැකි එකම පුද්ගලයා බැසිල්ම පමණක් බවයි.

තවලමක් ඉදිරියට යන විට ඊට සුනඛයන් බාධා කරන බවත් එම බාධාවලට තවලමේ ගමන නැවැත්විය නොහැකි බවත් අවධාරණය කළ කාරියවසම් ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් කරන ලද දෙදෙනා හැර ආණ්ඩුවේ අනෙක් පක්ෂ වල සාමාජිකයන් පොදුජන පෙරමුණ හා සම්බන්ධව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවද පැවසුවේය.

මෙහිදී විමල් - ගම්මන්පිල හවුල විසින් සමාජගත කිරීමට තැත් කරන කතාවට ද කාරියවසම් පැහැදිලිව පිළිතුරක් දුන්නේය.

‘බැසිල් රාජපක්ෂයන්ට ඇතැම් අය විවේචන එල්ල කරන්නේ මෙරට ආර්ථිකය ගොඩනැඟිය හැකි එකම පුද්ගලයා ඔහු බව දන්නා නිසයි’

ජනපති අර්බුදයේ අක්මුල් හෙළි කරයි

‘ජයග්‍රාහකයාට පියවරු සීයයි - පරාජිතයා අවජාතකයි’ යනු ප්‍රකට දේශපාලන කියමනකි. දේශපාලන යථාර්ථය මනාව හෙළි කරන මේ කියමන මේ අවස්ථාවේ තරම් ලංකා දේශපාලනයට අදාළ වන අවස්ථාවක් නොමැති තරම්ය. ඒ යුද ජයග්‍රණයේ පමණක් නොව ඊනියා යහපාලන ආණ්ඩුව පලවා හැරි 2019 දේශපාලන පෙරළියට ද අද බොහෝ දෙනකු හිමිකම් - උරුමකම් කියද්දී කොවිඩ් වසංගතය සහ අනපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ගැටලු හා බාධා හේතුවෙන් නිර්මාණය වූ ආර්ථික අර්බුදය 100%ක්ම ජනපතිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ කරපිටට පැටවීමට විපක්ෂය මෙන්ම කැබිනට් මණ්ඩලයෙන් පලවා හරින ලද විමල් - ගම්මන්පිල පියවර ගන්නා නිසාය. විපක්ෂයේ සහ මේ කල්ලියේ අවලාදවලට සහ අතිශය සැලසුම් සහගත ලෙස මෙහෙයවනු ලබන ඇතැම් මාධ්‍යවලට ජනපතිවරයා පසුගිය දා විනාඩි 12කට ආසන්න තම කෙටිකතාව මඟින් නිසි පැහැදිලි කිරීමක් හා පිළිතුරක් ලබා දුන්නේය. රටේ මේ වන විට උද්ගතවී ඇති අර්බුදය කිසිසේත්ම තමා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පසුගිය මාර්තු 16 රාත්‍රියේ ජාතිය අමතමින් අවධාරණය කරමින් පැවසුවේ වසරකට ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තමා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යයනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කළ බවයි.

"මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා." ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී ජනපතිවරයා පැවසූවේ එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, තමා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දීමට බවයි. අද තමා ජනතාව අමතනු ලබන්නේ අභියෝගාත්මක අවස්ථාවක බවද ජනාධිපතිවරයා පවසා සිටියේය. ජනතාවගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම් ගැන තමාට හොඳින් වැටහෙන බවත් ගෑස් හිඟකම, ඉන්ධන හිඟකම, විදුලිය ඇණහිටීමේ තත්ත්වය වැනි ගැට‍ලු ගැනත් තමා හොඳින් දන්නා බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.

පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොලු ගැන තමා ඉතා සංවේදී බවත් ඒ ගැන කළ හැකි උපරිම දේ කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එ් තත්ත්වය තවදුරටත් පවතින බව තමා දන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගත් ක්‍රියාමාර්ගවල වගවීම

මෙහිදී ජනපතිවරයා වගකීම මෙන්ම මෙවැනි අර්බුදකාරී අවස්ථාවල වැදගත් වන වගවීම ගැන ද සිය අවධානය යොමු කිරීම අතිශයින් වැදගත්ය. මන්ද පසුගිය සමයේ රාජ්‍ය නායකයන් විසින් සිදුකළ බොහෝ වැරදි හෝ අතපසු වීම් සම්බන්ධයෙන් අවම වශයෙන් සිය කනස්සල්ල පළ කිරීමක් පවා අපට දැකගත නොහැකි වුණේය. එහෙත් තම පූර්වගාමීන්ට වඩා හාත්පසින්ම වෙනස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වෙත ගමන් කළ ජනපතිවරයා අවධාරණයෙන් කියා සිටියේ ‘තමා විසින් ගත් ක්‍රියාමාර්ගවල වගවීම තමන් විසින් බාර ගන්නා බවයි.

"මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරීවීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා." යැයි ද ජනාධිපතිවරයා පවසා සිටියේය.

"මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දී ඉදිරි පෙළ සිටි හමුදා සෙබළාත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවන් හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා." ජනපති පැවසීය.

ජනපතිවරයා වැඩි පෙන්වා දුන්නේ අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ ‍දීමට සිදු වූවක් නොවන බවයි. "අපි ඉතිහාසයේ ඕනෑතරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා."

ජනපති ගැන විශ්වාසය

විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව සියලු දෙනාම වටහා ගත යුතු බවත් එබැවින් අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

"ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්‍ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. මගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයෙන් වසර දෙකක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්‍ෂා කර ගන්නයි. නිරෝගී වූ මවුබිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාලසීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා. ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක් ලබාදීමේ අපෙන් අපේක්‍ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැප වන්නටයි.

මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා." ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය.

අනපේක්ෂිත ආර්ථික ගැටලු දඩමීමා කර ගනිමින් සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් කුළු ගන්වමින් සිටින නිමක් නැති ජනතා විරෝධතා සහ සමාජමාධ්‍ය මෙහෙයුම් හමුවේ කුල්මත් වී සිටින ඇතැම් පිරිස් සහ විපක්ෂය දැඩිව අවධාරණය කළේ වත්මන් අර්බුදය ගැන ජනපතිවරයා සිය ස්ථාවරය රට හමුවේ පැහැදිලි කළ යුතු බවයි. ඒ් අනුව පසුගිය 15 වැනිදා ජනපතිවරයා ජාතිය අමතා කළ කතාව විපක්ෂයේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වූ අතර ආණ්ඩුවට හිතවත් පාර්ශ්වලට යම් සහනයක් ද ලබා දුන්නේය.

ජනපතිවරයා ජාතිය අමතා කළ කතාවට ප්‍රතිචාර දක්වමින් විපක්ෂය පවසා සිටියේ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන ඔවුන් ස්තූති වන්ත වන අතර පරක්කු වී හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ගත්ත තීරණය ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වන කාරණයක් බවයි.

ඉන්දියාවෙන් යෝධ ශක්තියක්

වත්මන් ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසඳුම් සෙවීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට වඩා අපට හිතවත් රටවල සහාය ලබා ගැනීම වඩාත් වැදගත් බව බහුතරයකගේ මතය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවනු ලබන කොන්දේසි ගැන නීරස අත්දැකීම් ඔවුන්ට ඇති නිසාය.

මේ තත්ත්වය තුළ බැසිල් රාජපක්ෂයන්ගේ ඉන්දීය සංචාරය අතිශය වැදගත් විය. මෙහිදී සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකින් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට සහාය වෙමින් අමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදලක් ප්‍රදානය කිරීමට ඉන්දියාව එකඟතාව පළ කළ අතර, ඒ ණය මුදල දීමට අදාළ ගිවිසුම නවදිල්ලි නුවරදී පසුගිය 17 වැනිදා පස්වරුවේ අත්සන් තැබුවේය.

කෙටිකාලීන සහනදායි ණය මුදලක් වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව මඟින් මේ ණය ප්‍රදානය කරන අතර, මෙරටට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම මුදල් වැය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ශ්‍රී පුෂ්කාර් ජා මහත්වරුන් ගිවිසුමට අස්සන් කළ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළ අතර ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ඉන්දියාව විසින් මේ අසීරු හා අභියෝගාත්මක අවස්ථාවේ අප රටට ලබා දෙන සහාය අතිශය වැදගත් වන අතර ඒය කිසිසේත් ජාතික අනන්‍යතාවට හෝ අභිලාෂයන්ට හානිකර නොවන බව මැදිහත් දේශපාලන හා ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

මතකය අවදි කිරීමක්

පසුගිය සතියේ පෙළගැසුණු මේ සියලු ආර්ථික - දේශපාලන පෙරළි සහ ප්‍රවණතා සමඟ වැදගත් කරුණක් යළි අවධාරණය කළ යුතුය. ඒ් වෙන කිසිවක් නොවන වත්මන් අර්බුදය තුළ විපක්ෂය, විශේෂයෙන් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන නිරුවත් ස්වභාවයයි. අද ඉන්ධන පෝලිම්, ගෑස් පොලිම් සහ විදුලි කපා දැමීම් ගැන කඳුළු හෙළමින් ජනතාව හමුවට එන ජනතා විමුක්ති පෙරමුණ මීටත් වඩාත් බිහිසුණු හා ව්‍යසනකාරී වාතාවරණයක් 1988- 89 යුගයේ සමස්ත ජාතියටම උරුම කරුම කළ බව කිසිසේත් අමතක නොකළ යුතුය.

රට පුරා ලංගම බස් ඩිපෝ ගිනි තබමින්, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවා දමමින්, විදුලි කණු කඩා දමමින් ජවිපෙ නිර්මාණය කළ ඒ් බිහිසුණු යුගය තුළ පැය කිහිපයක් නොව මාස ගණන් කළුවරේ සිටීමට ජනතාවට සිදුවිය. මාස ගණන් බස් නැතිව පයින් යාමට ජනතාවට සිදුවිය.

සමස්ත ජාතියක් ව්‍යසනය කරා ගෙන ගිය මේ අඳුරු යුගයට ජවිපෙ සේම වත්මන් විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් ද, සම සමව වගකිව යුතුය. මේ ජරාපත් බිහිසුණු යුගය ගැන හෘදය සාක්ෂියට එකඟව කතා කිරීමක් පවා නොකරන වත්මන් විපක්ෂය අනපේක්ෂිත ජාත්‍යන්තර අර්බුදය හමුවේ සහ කොවිඩ් වසංගතය හමුවේ නිර්මාණය වූ වත්මන් අර්බුදය තම දේශපාලන බල ව්‍යාපෘති ජයගැනීම සඳහා භාවිත නොකළ යුතුය.

වගවීමක් සහ හෘදය සාක්ෂියක් ඇති විපක්ෂයකින් ජනතාව මේ මොහොතේ අපේක්ෂා කරන්නේ ‘රැවුල ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කිරීමට කැසකවන අවස්ථාවාදියාගේ භූමිකාව නොවන බව පමණක් අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

Comments