![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/18/11.jpg?itok=Z-Di6Wz4)
‘ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය දා චීනයේ බීජිං නුවර දී නිමාව දුටුවේ ය. ඒ සමස්ත පදක්කම් සටහනේ චීනයට ශූරතාව හිමි කර දෙමිනි. එහි දෙවැනි තැන යුද ගැටුමින් පීඩා විඳිමින් සිටි යුක්රේනයට හිමි විණි. එම ජයග්‍රහණය සැලකිය හැක්කේ යුක්රේනය සිය ස්වෛරීත්වය හා අභිමානය ලෝකයා ඉදිරියේ කියාපෑමක් ලෙස ය.’
යුද්ධය දැන් යුක්රේනය තුළ වේගයෙන් ඇවිළෙමින් තිබේ. එරට බොහෝ පළාත්වලට රුසියානු හමුදා දැන් දැන් පහර දෙමින් සිටිනුයේ ගුවන් යානා මඟින් පමණක් නොවේ. ඊට අධිවේගයෙන් ගුවනේ පියඹා ගොස් මහා විනාශ සිදුකරන කෘස් මිසයිල ද උපයෝගී කර ගනිමින් ඇත. ඒවා වේගයෙන් ගොස් යුක්රේන භූමියේ විවිධ ඉලක්ක මත ගැටෙයි. එම ප්‍රහාර දැන් එරට ස්ථාපිත කර ඇති හමුදා කඳවුරු මතු නොව සාමාන්‍ය ජනතාවගේ වාස භූමි ද විනාශ වෙමින් ඇත. දහස් ගණනින් මරු කැඳවමින්, සිය දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කරවමින් හා තුවාල සිදු කරමින් මෙම ප්‍රහාර වඩාත් ශීඝ්‍ර කර ඇත්තේ යුක්රේනය තවත් චෙච්නියාවක් බවට පත්කරවමිනි. යුක්රේන අහසේ තැන තැන නඟින දුම් රොටු කියනුයේ මෙම යුද්ධය කොතරම් භයංකර ද යන්න මෙන්ම විනාශකාරී ද යන්න ය.
තම රට තුළට කඩා වැදී ආක්‍රමණයක නිරතව සිටින රුසියානු හමුදා හේතුවෙන් අවතැන්ව සිටින යුක්රේන ජනතාව නියෝජනය කරන එරට පැරාලිම්පික් ක්‍රීඩකයන්ට තම රටට එල්ල වන මෙම ප්‍රහාරය තදින්ම දැනී තිබුණේ ය. ඒ ඔවුන් පසුගිය කාලයේ චීනයේ බීජිං නුවර රැඳී සිටිමින් ශීත පැරාලිම්පික් උලෙළ වෙනුවෙන් සහභාගි වූ හෙයිනි.
ක්‍රීඩාවක නියැළීමට තරම් නිස්කා-න්සු මානසිකත්වයක් නොමැතිව වුවද ඔවුහු එම ක්‍රීඩා උළෙලේ දෙවැනි තැන දිනා ගැනීමට සමත් විණි. ඒ පසුගිය ඉරිදා අවසන් වුණු තරගාවලිය තුළ දී චීනයට පමණක් දෙවැනි වෙමිනි.
සටන් කිරීම
‘අපි මෙහි පැමිණියේත් අපේ රට වෙනුවෙන් සටන් කරන්නයි. යුක්රේනය කියන අපේ මාතෘ භූමිය සමඟින් ජාත්‍යන්තරය හමුවේ අපේ ස්වෛරීත්වය උදෙසා සටන් කරන්න.‘ යැයි කීවේ ඉර්යානා බූයි ය. ඈ පසුගිය දා ශීත පැරාලිම්පික් පදක්කමක් දිනා ගත්තා ය. ඒ ලෝක කාන්තා දිනයේ ඈ දිනු රන් පදක්කමක් වශයෙනි. ශීත ක්‍රීඩා තුන් ප්‍රයාම ඉසව්වකට සහභාගි වූ ඈ එලෙස පදක්කම් දිනද්දී ඇගේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් වූයේ ඔලෙක්සැන්ඩර් කොනොන්වා සහ ලියුද්මිලා ලියාස්හෙන්කෝ ය.
ජයග්රහණයෙන් අනතුරුව පරිවර්තකයකුගේ සහාය සහිතව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොනොන්වා කියා තිබුණේ, ‘සිරුරින් තමන් චීනයේ සිටියද මනසින් ජීවත් වන්නේ යුක්රේනයේ බවයි. ‘මගේ හැම සිතිවිල්ලක්ම, ඒ කියන්නේ මගේ හදවත වගේම මගේ ආත්මය තියෙන්නේ යුක්රේනයේ. මගේ පවුල හා දරුවන් සමඟ එය ඇත්තේ.’ යැයි තිස් එක් හැවිරිදි ඈ තව දුරටත් පවසා තිබිණි.
‘මේ තරගාවලියේ මම සහභාගි වූ තරගයට අවධානය යොමු කරන එක ගොඩාක් අමාරු දෙයක් වුණා. මොකද දැන් අපේ සිතිවිලි කැළඹිලා තිබෙන්නේ. තරගයක් වෙනුවෙන් සිත හදාගන්නවා කියන්නේ ලෙහෙසි වැඩක් නොවෙයි. ඒ නිසා මම මුහුණ දුන්නු අසීරුම පැරාලිම්පික් තරගාවලිය මේක කියලා කියන්න පුළුවන්. ‘යැයි කියා තිබුණේ එම තරගාවලියට ඉදිරිපත්ව සිටින තවත් යුක්රේන පැරාලිම්පික් ක්‍රීඩිකාවක වන ලියාස්හෙන්කෝ ය. ඇගේ ගම පිහිටා ඇත්තේ යුක්රේනයේ කාර්කිව් හි ය.
මේ වන විට රුසියානුවෝ එම ප්‍රදේශය බිමට සමතලා වන්නට බෝම්බ හෙළා අවසන් ය. එම තත්ත්වය ඇයට කොතෙක් බලපෑම් කර තිබුණේ ද යත් තමන් සහභාගි වීමට නියමිතව තිබූ රට හරහා දිවීමේ තරගයෙන් ඉවත් වන්නට අවසන් මොහොතේ ඕ කට-යුතු කර තිබිණි.
එවැනි තවත් සිදුවීමක් වාර්තා වූයේ ඇනස්ටේසියා ලාලෙටිනා සම්බන්ධයෙනි. තම පියා රුසියානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිරකරුවකු ලෙස රැගෙන ගොස් ඇතැයි කන වැකුණු සැණින් ඈ තමන් සහභාගිවීමට සිටි තරගයෙන් ඉවත් වී තිබුණාය.
‘ඔවුන් මගේ තාත්තා අරන් ගිහින්. මට තරග වදින්න තරම් නිදහස් මානසිකත්වයක් නෑ.’ යැයි ප්‍රකාශ කර තිබුණාය.
‘ඒ කතාව ඇත්ත. අපට ලැබුණු ආරංචිවලට අනුව හමුදා සොල්දාදුවක වන ඇගේ පියාව රුසියානු හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු යුක්රේනය වෙනුවෙන් රටේ හමුදාවේ සටන් වදින්නෙක්. ඔවුන් ඔහුට පහරදීලා.’ යුක්රේන පැරාලිම්පික් කණ්ඩායම් ප්‍රකාශකයකු පැවසූයේ අවසන් මොහොතේ ඇනස්ටේසියා තරගයෙන් ඉවත්වීමට හේතු සඳහන් කරමිනි. මේ හේතුවෙන් ඇනස්ටේසියා විවේක ගන්වා තිබූ අතර, සිය මනස සන්සුන් කර ගැනීම වෙනුවෙන් ඈ කණ්ඩායම් වෛදවරයාගේ සහාය ද ලබාගෙන තිබුණා ය.
එලෙසින්ම යුක්රේන කණ්ඩායමේ පුහුණුකරු දැඩි අර්බුදයකට ලක්ව තිබුණේ ඔහුගේ නිෙවස සහිත ‘කාර්කිව්’ ප්‍රදේශය රුසියානුවන් විසින් බිමට සමතලා කර ඇති බව දැනගත් විට ය. එම ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ නිවසට ද හානි සිදුව ඇතැයි ද පවුලේ සාමාජිකයන් අනතුරට ලක්ව ඇත්ද යන්න ගැන කිසිදු නිශ්චිත තෝරතුරක් ලැබී තිබුණේ නැත.
ක්‍රීඩකයන් බියෙන්
මෙම තත්ත්වය යටතේ ශීත ඔලිම්පික් උළෙලට සහභාගිවී සිටින මෙම යුක්රේන ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් දැන් යළි සිය රට වෙත යෑමට දක්වන්නේ දැඩි බියකි. ඒ තමන්ගේ රටට ඇති අනාදරය නිසා නොව රුසියාවේ යුදමය ක්‍රියා කලාපය හේතුවෙන් මතුවී ඇති අවාසනාවන්ත තත්ත්වය තම ජීවිත අනාරක්ෂිත කර ඇති හෙයිනි.
මේ අතර යුක්රේනය වෙනුවෙන් පදක්කම් දිනාගත් කණ්ඩායම් අතර විටැලි ලුකියානෙන්කෝ, ග්‍රිගොරි වොචින්ස්යි වැන්නවුන් ද වෙති. අසුන්-ගනිමින් පැවැත්වෙන තරග ඉසව්වක පිරිමි අංශයෙන් තරග වැදුණු ට්‍රාස් රැඩ් ද පදක්කම් හිමිකර ගත්තේ ය. එසේ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ,
‘මම හැමවෙලාවෙම සිතන්නේ මගේ පවුල සහ යහළුවන් ගැනයි. මම දැන් හෝටලයක් ඇතුළේ ආරක්ෂිතව සිටින බව ඇත්ත. නමුත් මගේ රට ඇතුළේ ජීවත් වන මගේ පවුල හා හිත මිත්‍රාදීන් ගැන කතා කරද්දීත් මාව ගැහෙනවා. මට ඔවුන් ගැන ගොඩාක් කනගාටුයි, ඒ වගේම බයයි.’ කියා ය.
මේ අතර මෙවර ශීත පැරාලිම්පික් උළෙලට සහභාගි වීම රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට තහනම් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබිණි. කෙසේ නමුත් ඒ සියලු අර්බුද මැද රුසියාව විසින් යුක්රේනයට එරෙහි යුදමය මෙහෙයුම් අවසන් කර නැත.