මොකක්ද මේ සර්ව පාක්ෂික සමුළුව | Page 2 | සිළුමිණ

මොකක්ද මේ සර්ව පාක්ෂික සමුළුව

වසර 1989 සර්ව පාක්ෂික සමුළුවෙන් පසු පැවැත්වූ තේපැන් සංග්‍රහයේදී ජනපති ප්‍රේමදාස විසින් විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකට සහ ශ්‍රීලනිප මන්ත්‍රී මෛත්‍රීපාල සේනානායකට කැවිලි දීසි පිළිගන්වන අයුරු.

ලංකාවේ පවත්නා වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස කළ ඉල්ලීම අනුව මේ මස 23 දා උදෑසන 10.30 ට ජනාධිපති මන්දිරයේදී සර්ව පාක්ෂික සමූළුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. මේ පිළිබඳ අදහස් දක්වන බොහෝ විද්වත්හු ප්‍රකාශ කරන්නේ ආර්ථිකය සම්බන්ධ අර්බුදයකදී විසඳුම් සෙවීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ප්‍රථම අවස්ථාව මෙය වන බවත්, එය කාලෝචිත පියවරක් වශයෙනි. මීට පෙර හිටපු ජනාධිපතිවරුන් වන ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂයන්ගේ පාලන සමයන්හි අවස්ථා ගණනාවක මෙවැනි ආකාරයේ සර්ව පාක්ෂික සමුළු විවිධ හේතු මත කැඳවා ඇති අතර, ඒ බොහෝමයකට පසුබිම් වූයේ උතුරේ පැවැති සිවිල් යුද්ධයට විසඳුම් සෙවීමේ අරමුණුය. එහෙත් මෙවර ඊට හාත්පසින්ම වෙනස් අරමුණක් වෙනුවෙන් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත මේ සමුළුවේදී රට පත්ව ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම අරමුණ වෙයි.

වට මේස සාකච්ඡාවේම වර්ධනීය අවදියක් වන මෙවර සර්ව පාක්ෂික සමුළුව පිළිබඳ යෝජනාව වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. ඒ සඳහා විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෝ සහභාගීවීමට සුදානම් වන අතර ආණ්ඩු විපක්ෂ භේදයකින් තොරව, රට වෙනුවෙන් පොදු තීරණ රැසක් ගැනීමේ ගමන් මඟට ප්‍රවේශ වීම මෙහි අරමුණ වෙයි. සාකච්ඡාවට බඳුන් වන අරමුණ පිළිබඳ පරිණත දැනුමත් ඇති, පොදු අරමුණු වෙනුවෙන් විසඳුම් ගෙන ආ හැකි පරිණත දේශපාලඥ දැනුම මෙහිදී එක්වීම අතිශයින්ම වැදගත් වන්නේ සාර්ථකත්වයට එය හේතුවක් වන බැවිනි. වර්තමානයේ පවත්නා ඉන්ධන අර්බුදය, විදුලි, ගෑස් අර්බුද ,කිරිපිටි සිමෙන්ති, බෙහෙත්, ආහාර, ප්‍රවාහන ප්‍රශ්න රුපියලේ අවප්‍රමාණය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම වැනි අතිශයින්ම කාලෝචිත මාතෘකා හරහා මේ සාකච්ඡා මේසය ඵලදායිව ඉදිරියට ගලා යායුතු බව මේ පිළිබඳ ප්‍රවීණයන්ගේ අදහස වෙයි.

“ ජාතික අර්බුදයක් ඇති විටක පක්ෂ භේදයකින් තොරව සියල්ල එකතු වී ආණ්ඩුවට මඟ පෙන්වීමක් කිරීම, අර්බුදයෙන් ගොඩ ඒමේ සැලසුම් ඉදිරිපත් කිරීම මේ හරහා සිදුවිය යුතුයි. සාමාන්‍යයෙන් මෙවැනි සමුළුවකට ඉදිරිපත් වන පක්ෂ නායකයන් ජාත්‍යන්තරය තුළ විශ්වාසයක් දිනාගත් අය වීම ඉතා වැදගත්. මෙතැනදී ක්‍රියාත්මක විය යුත්තේ පක්ෂ දේශපාලනයක් නොවන බවද අවධාරණය කළ යුතුයි.

සමුළුවට ඉදිරිපත් වන විට අදාළ ප්‍රශ්නයට විසඳුම්, පිළිතුරු ඔවුන් ළඟ තිබිය යුතුයි.

මේ අවස්ථාව දැඩි අර්බුදකාරි අවස්ථාවක් නිසා ජාතික වැදගත්කමක් සේ සලකා ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය ඉදිරිපත් වීම අත්‍යාවශ්‍ය වන අතර පවත්නා ආණ්ඩුවද මේ සඳහා නම්‍යශීලි වීම වැදගත්. මේ නිසා සර්ව පාක්ෂික සමුළුවකට ජනතාවගේ විශ්වාසයක් පවතින නායකයන් ඉදිරිපත් කිරීම කළ යුතු වෙයි“ ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශාධිපතිනි, නිතීඥ විශාකා සූරියබණ්ඩාරය.

ඉදිරි 23 වැනිදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගාමීව විද්වතුන්ගේ සමුළුවක් සහ ආගමික නායකයන්ගේ සමුළුවක් කැඳවීමට ද ජනාධිපතිවරයා එකඟ වී ඇති බව වාර්තා වෙයි. 23 වැනිදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව සඳහා දේශපාලන පක්ෂ 35 කට පමණ ආරාධනා කර ඇතිබව වාර්තා වෙයි. රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාරණා 15 කින් යුත් යෝජනාවලියක් ද ඉදිරිපත් කිරීමට සූදානම් බවද වාර්තා වෙයි.

“ සර්ව පාක්ෂික සමුළුවක් දේශපාලන පක්ෂවලට ලඝු නොවිය යුතුයි. පිළිගත් දේශපාලන නොවන පක්ෂ සහභාගිත්වයද තිබිය යුතුයි. මෙයට සහභාගී විය යුත්තේ ගුණාත්මක මැදිහත්වීමක් ලබා දිය හැකි අයයි. ජාත්‍යන්තරය පිළිගත්, තනි ස්වාධීන විද්වතුන් පවා සිය බුද්ධිමය මැදිහත්වීමක් මෙයට සිදු කිරීම අතිශයින්ම වැදගත්. මෙය සර්ව පාක්ෂික සමුළුවකට වඩා සර්ව පාර්ශ්වීය සමුළුවක් බවට පත් කර ගත යුතුයි. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගෙනා මේ යෝජනාවට ජනාධිපතිවරයා සාධනීය පිළිතුරක් ලබා දී තියෙනවා. මෙය මෑත කාලයේ පැවති හරයාත්මක යෝජනාවක්. ඉතාමත් මූලෝපායික විය යුතුයි. මේ නිසා වැදගත් දේ මේ අවස්ථාවේ මේ සමුළුව සාර්ථක කර ගැනීමයි...“ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකය.

මේ වන විට රට පත්ව ඇති ආර්ථික අවදානම හමුවේ සර්ව පාක්ෂික සමුළුව වඩාත් සාර්ථක කර ගැනීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවය. “සර්ව පාක්ෂික සමුළුවක් කියන්නේ යම්කිසි අර්බුදකාරි අවස්ථාවක මෙන්ම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක එකඟතාවයකට විසඳුමකට පැමිණීමට කරන උත්සාහයක්. මෙය ආණ්ඩුමය ස්වරුපයෙන් එහා ගිය තත්ත්වයක්. මෙම සමුළුවේදී පක්ෂ භේදයක් පැවැතිය යුතු නැහැ. බලය ඇති නැති භේද කිසිවක් පැවැතිය යුතු නැහැ. මෙතැනදී මහජනතාවගේ මතය නියෝජනය විය යුතු වෙනවා. සියලුම පක්ෂ සහභාගී විය යුතු අතර රාජ්‍යමය තලයේ විසඳුමක් සෙවීම අරමුණු වෙනවා. වඩා වැදගත් වන්නේ අවංකව මේ හරහා ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කටයුතු කිරීමයි. මේ වන විට රට පත්ව ඇත්තේ දැඩි ආර්ථික අර්බුදකාරි අවස්ථාවකට. ඒ ප්‍රශ්නයට විසඳුම් කා ගාව හෝ තිබිය හැකියි. මේ නිසා සමුළුව තුළදී නම්‍යශීලිව ප්‍රතිපත්තිය ඉතා වැදගත්.....“ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ දේශපාලන හා අන්තර් ජාතික අධ්‍යයනයන් පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් ය.

ලොව අර්බුද මතු වී ඇති අවස්ථාවලදි ඒ අර්බුදයන්ට මුහුණ දීමට සියලු පක්ෂ එකතු වී මෙවන් සමුළු පත් කර ගත් අවස්ථා ඕනෑ තරම්ය. ලංකාවේ දේශපාලන අතීතයේ මෙවන් සමුළු පැවැත්වූ අවස්ථා විරල නොවේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ධූරකාලයේ ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් බලය විමධ්‍යගත කිරීම සඳහා 1984 ජනවාරි සර්වපාක්ෂික සමුළුවක් කැඳවූ අතර එය මාස කිහිපයක්ම පැවැත්විණ.

ජනතා විමුක්ති පෙරමුණු 2 වැනි කැරුල්ලෙන් රටේ උදා වූ ආරාජික බව හේතුවෙන් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේ 1989 සැප්තැම්බර් මස 13 වැනිදාය.

එම සම්මන්ත්‍රණය පැවැත්වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි වන අතර මුලසුන හෙබවූයේ එවකට ජනාධිපති ආර් ප්‍රේමදාසය. එම සමුළුවේ ලේකම් වූයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේෂක බ්‍රැඩ්මන් වීරකෝන්ය. මෙය ජනාධිපති ප්‍රේමදාසගේ මෙහෙයවීමෙන් පැවැති ප්‍රථම සර්ව පාක්ෂික සමුළුවයි.

මේ සඳහා ජේවිපි හිතවාදී ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණද සහභාගී වූ අතර රටේ සාමය නැවත යථා තත්ත්වයට පත් කිරීම, ජන ජීවිතය සුඛිත මුදිත කරවීම ඇතුළු යෝජනා 18 ක් අඩංගු කෙටුම්පතක් සර්ව පාක්ෂික සමුළුවේ සාකච්ඡාවන්ට බඳුන් කිරීමට ඉදිරිපත් කෙරීය. මෙහි දෙවැනි සැසිවාරය ඒ වසරේම ඔක්තෝම්බර් 12 වැනි දින ඇරඹුණ අතර කණ්ඩායම් 22 ක නියෝජිත සහභාගීත්වයක් පෙන්වූ අතර ශ්‍රිලනිප, එක්සත් සමාජ වාදි පෙරමුණ, කොමිනියුස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය ආදිය මුලදි මෙයට සහභාගී නොවූවද, පසුව සහභාගී වූහ.

“යම් කිසි ප්‍රශ්නකාරී අවදියක එම ප්‍රශ්නවලට විවිධ අදහස් ලබා ගැනීම හරහා විසඳුම් සෙවීමට එදත් අදත් සර්ව පාක්ෂික සමුළු පැවැත්වුණා. නමුත් මීට පෙර පැවැත්වූ බොහෝ සමුළුවල අරමුණ වූයේ කාලීන දේශපාලනික ප්‍රශ්න.

ඒවාහීදී විවිධාකාරයේ විසඳුම්වලට පැමිණුනා. මෙම සමුළුවලදි සියල්ල එකඟතාවකට ඒම ඉතා වැදගත්. එසේම රාජ්‍ය පරිපාලනය නම්‍යශීලි වීමද ඉතා වැදගත්. වර්තමානයේ ඇතිවු ඇති ආර්ථික අර්බුදයට මෙවැනි දෙයක් හරහා හෝ විසඳුමකට යාම හොඳයි. එය සාර්ථක කර ගැනිම සියලු දෙනාගේ වගකීමක් වනවා“ ඒ හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙකු වන නිහාල් සෙනෙවිරත්නය.

2015 ඔක්තෝම්බර් යහපාලන සමයේදි ජිනිවා යෝජනා පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා පක්ෂ 23 ක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රය, ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයන් 80 දෙනෙක් පමණ සහභාගී වූහ.

එහි අරමුණ වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සඳහා පනවා ඇති නිර්දේශයන් පිළිබඳව සියලු පක්ෂවල අදහස් වීමසීමයි. මෙම සමුළුවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද සහභාගී වී සිටියහ. නැවතත් 2019 අප්‍රේල් මස 25 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල විසින් සමුළුවක් කැඳවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

පසුගිය වසරේ එනම් 2020 අප්‍රේල් කොවිඩ් තත්ත්වය වෙනුවෙන් ජන ජීවිතයේ ඇති වූ ව්‍යාකුලමය තත්ත්වය සමතයකට පත් කර ගැනීමට අරලිය ගහ මැදුරේදී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීය.

Comments