ගෙවතු ලක්ෂ 22 ක් අස්වද්දන ‘හරිත දැයක්’ දැන් සූදානම් | Page 2 | සිළුමිණ

ගෙවතු ලක්ෂ 22 ක් අස්වද්දන ‘හරිත දැයක්’ දැන් සූදානම්

- ඇමැති බැසිල්ගේ මෙහෙයවීමෙන් අමාත්‍යාංශ අටක් එක්වී කරන වැඩක්
- රටේම පවුල් ලක්ෂ 14 කට පැළ, බීජ සමඟ ප්‍රතිලාභ රැසක්
- සෑම පවුලකටම රුපියල් 5000 ක ප්‍රතිපාදන
- රට පුරා එළවළු පැළ ලක්ෂ 560 ක් බෙදයි
- බීජ පැකට් කෝටියක් ප්‍රතිලාභීන්ට ලැබෙයි

පේ රටේ ඇත්තේ මෝල් ගසක් සිටවුවත් පැළවන තරමේ සරු පසක් බව පැරැන්නන් පවසා තිබේ. අද අපේ රටේ පවතින ආර්ථික ගැටලුව සමනයට ප්‍රධාන විකල්පයක් වන්නේ මේ සරු පොළොවෙන් හරියට කෘෂි විද්‍යානුකූලව ප්‍රයෝජන ගැනීමයි.

සිංගප්පූරුව හා මැද පෙරදිග සමහර රටවල් ආහාර බෝග වවන්නේ පිටරටවලින් පස් ගෙන්වීමෙනි. නමුත් අපේ පසට කිසිම පොහොරක් නැතිව වල් අලයක් මඤ්ඤොක්කා දඬු කෑල්ලක් අපේ රටේ පස් යට කළොත් පැළ වී අල එයි. මෙවන් සරු පසක් ඇති අපේ රටට ආර්ථික ලෙස නැඟී සිටීමට මේ පස උපයෝගී කරගැනීමට දීප ව්‍යාප්ත වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කළ යුතුවී ඇතැයි කෘෂි විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

විශේෂයෙන් අප රටේ ගෙවතු ලක්ෂ 44 ක් ඇත. ඉන් ගෙවතු සියයට 10 ක්වත් හරියට වගා කර ඉන් උපරිම අස්වැන්නක් ලබා ගන්නේ නැත. ඊට අමතරව හරි ප්‍රයෝජනයක් ලබා නොගන්නා රජය සතු මේ මුඩු බිම් රාජ්‍ය ආයතන සතු ඉඩම් ද තිබේ. මේවා හරි කෘෂි උපදෙස් අනුව අස්වැද්දුවොත් අපට මේ ආර්ථික අර්බුදයෙන් තරමක් හෝ මිදීමට පුළුවන.

මේ අනුව අපේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමටත් අපේ ජනතාවට වස විස තොර ආහාර ලබාදීමටවත් අපේ රටේ ගෙවතු ලක්ෂ 22 අස්වැද්දීම පිණිස රජය ‘හරිත දැයක්‘ ජාතික ගෙවතු වගා වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

ජනපතිඳුන්ගේ හා අගමැතිතුමන්ගේ උපදෙස් පරිදි ‘ආර්ථික පුනර්ජීවනය ඉහළ නැංවීම හා දරිද්‍රතාව තුරන් කිරීම‘ පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ මේ ‘හරිත දැයක්‘ ජාතික ගෙවතු වගා වැඩපිළිවෙළ මාර්තු මස අවසන් සතියේ රට පුරා ක්‍රියාවට නැංවෙයි.

අපේ රටේ වැවිය හැකි නමුත් පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය මෙහිම වැවීමත් මෙරට ජනතාවගේ ජීවන වියදම් අඩු කිරීමත් එමඟින් රටේ ආර්ථික ගැටලු සමනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණු අතර වේ. මීට වසර 10 කට පමණ පෙර එවකට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ ගෙවතු වගා වැඩසටහනක් වන ‘දිවි නැඟුම‘ වැඩසටහන ද ඉතා සාර්ථක විය. එමඟින් රටේ එළවළු මිල පහළ යාමට අනුබලයක් ලැබුණි.‘හරිත දැයක්‘ ජාතික ගෙවතු වගා වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර පවසන්නේ ‘හරිත දැයක්‘ යටතේ ලක්ෂ 44 ක් පමණ වන මෙරට සියලුම ගෙවතු අස්වැද්දීමට අපේක්ෂා කරන බවයි.

“අපි මේ වසරේ පමණක් ගෙවතු ලක්ෂ 22 ක් අස්වැද්දීමට අපේක්ෂා කරනවා. දැන් ඒ ගෙවතු පිළිබඳව අධීක්ෂණය කර අවසන්. සෑම ග්‍රාම නිලධාරි වසමකම සමෘද්ධි ලාභින් ඇතුළු පැහැදිලි ආදායමක් නොමැති හා තම ගෙවත්ත අස්වැද්දීමට කැමැති අය මේ වැඩපිළිවෙළට බඳවා ගෙන තිබෙනවා.

මේ සඳහා ග්‍රාම නිලධාරිවරු, සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි, සංවර්ධන නිලධාරි හා වින්නඹු සේවිකා යන අය උදව් කළා. ඔවුන්ගේ අධීක්ෂණය මත ඒ ප්‍රතිලාභීන් අපි තෝරාගෙන ඔවුන්ට පහසුකම් ලබා දෙනවා. මුලින් ම අපි ඒ අයට නවීන කෘෂි පුහුණුව, අඩු ඉඩකඩක් වැඩි අස්වැන්නක් ලැබීම හා වෙළෙඳ පොළ පිළිබඳව දැනුමක් ලබාදෙනවා. ඊට පසු මාර්තු 22 සිට ඒ අයට එළවළු, පලතුරු, පොල් පැළ හා බීජ ලබා දෙනවා.

මෙරට දරිද්‍රතාව තුරන් කිරීම අරමුණු කරගෙන හා මෙරට ජනතාවට වස විස නොමැති ආහාර ලබාගැනීම පිණිස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

ඒ අනුව මේ වනවිට මෙරට සමෘද්ධිලාභීන් 12700 ක් පමණ මේ වැඩසටහන සඳහා විවිධ වර්ගවල ආහාර බෝග පැළ සහිත තවාන් 12700 ක් සකස් කර තිබෙනවා. ඒවා අපි මාර්තු 21 - 22 වනවිට ප්‍රතිලාභීන්ට ලබා දෙනවා. මේ පැළ තවාන් සකස් කරන සමෘද්ධිලාභීන්ටත් අපි අමතර ආදායමක් ලැබෙනවා. ඒකත් මේ වැඩපිළිවෙළේ තවත් ප්‍රතිලාභයක්“ අජිත් පුෂ්පකුමාර පවසයි. මේ වැඩපිළිවෙළ සඳහා එළවළු බෝග පැළ ලබාදීමට සියලු කටයුතු කරන්නේ සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි. එහි අධ්‍යක්ෂ ජී. ඩී. ඩී. කුමාර පවසන පරිදි ඒ අනුව මෙරට ග්‍රාම නිලධාරි වසම් 14022 ක ප්‍රතිලාභීන් 100 ක් බැගින් මෙම ජාතික වැඩසටහනට සම්බන්ධ කරගෙන ඇත.

ඒ සෑම ප්‍රතිලාභියකුටම වම්බටු, මාළු මිරිස්, තක්කාලි, අමු මිරිස් පැළ 10 බැගින් දෙනවා. ඒ අනුව සෑම ප්‍රතිලාභී පවුලකටම පැළ 40 ක් දෙනවා. මුළු රටටම අපි මේ ව්‍යාපෘතිය යටතේ එළවළු පැළ ලක්ෂ 560 පමණ ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

මේ සේරම පැළ අපේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ තවාන් වලින් තමයි ලබාදෙන්නේ. ඒ පැළ සියල්ල දැනටම සූදානම්. ඒ අනුව මාර්තු 22 - 23 වන විට මේ පැළ අපි ප්‍රතිලාභීන්ට දෙනවා. මේ පැළ පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරීන් නිසි ලෙස අධීක්ෂණය කිරීමෙන් පසුවයි මේ පැළ ප්‍රතිලාභීන්ට ලබාදෙන්නේ“ අධ්‍යක්ෂ ජී. ඩී. ඩී. කුමාර පවසයි.

මෙම පූර්ණ ව්‍යාපෘතිය දරිද්‍රතාව තුරන් කිරීම හා ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධීක්ෂණය මත කෘෂිකර්ම, වැවිලි, සෞඛ්‍ය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ මඟින් හා කෘෂිකර්ම, සමෘද්ධි, ස්වදේශ කටයුතු හා මහවැලි රාජ්‍ය අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලැබේ. සෑම ගමකම සිටින රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා එක්වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ප්‍රතිලාභීන් 10 දෙනකු සිදු කරන කටයුතු, පැළ සිටුවීම් ආදිය අධීක්ෂණයට ගමේ ප්‍රජා නායකයන්ට ද බාර දෙනු ලැබේ.

‘හරිත දැයක්‘ ජාතික වැඩසටහන යටතේ සෑම ප්‍රතිලාභියකුටම රුපියල් 5000 ක් වටිනා ප්‍රතිපාදන ලබා දෙයි. ඒ අනුව යම් ප්‍රතිලාභියෙක් කොම්පෝස්ට් වළක් සහිතව පැළ හා ඇට සිටුවීම පිණිස තම ගෙවත්ත නිසි ලෙස සකස්කර තිබුණහොත් රුපියල් 1500 ක ප්‍රතිපාදන හිමිවේ.

ඊට පසු ඔවුනට රුපියල් 2000 වටිනා පැළ හා බීජ ලබාදීමට කටයුතු කර තිබේ. ඒ අනුව වම්බටු, මාළු මිරිස්, තක්කාලි, අමු මිරිස් යන වර්ගවල බීජ පැළ 40 ක් සෑම පවුලකටම ලබාදෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තු කොමසාරිස් (සේවා) එල්. ඒ. සුමිත් චන්දන පවසයි. ඊට අමතරව මේ හැම ප්‍රතිලාභීන්ට බීජ වර්ග 7 ක් ද ඇතුළත් බීජ පැකට් 7 ක් ලබාදීමට කටයුතු කෙරේ. ඒ සමඟම මේ සියලු පවුල්වලට බද්ධ පලතුරු පැළ දෙකක් කතුරුමුරුංගා පැළයක් බද්ධ පොල් පැළ දෙකක් ලබාදීමට යෝජිත බව ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් සුමිත් චන්දන පවසයි.

ඒ සමඟම මෙම වැඩපිළිවෙළ යටතේ සුළු අපනයන බෝග පැළ, වැල් අල ආදිය ද දේශගුණික කලාප අනුව ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මෙම සියලු වැඩපිළිවෙළ ගමේ සිටින රාජ්‍ය නිලධාරීන් විසින් අධීක්ෂණය කරන අතර ග්‍රාම නිලධාරි වසම් 10 ක හරිත දැයක් වැඩ කටයුතු අධීක්ෂණය හා සම්බන්ධීකරණය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරින් විසින් සිදු කිරීමට යෝජිතය. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරු අධීක්ෂණය කරති.

මේ පිළිබඳව අදහස් දක්වන ගොවි නායක කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස පවසන්නේ මේ වැඩපිළිවෙළ මේ අවස්ථාවේ ඉතා උචිත වැඩපිළිවෙළක් බවයි. කෙසේවුවත් මේ කටයුතු අධීක්ෂණයට ගොවි සංවිධාන නියෝජිතයන් සම්බන්ධ කරගත්තා නම් ප්‍රතිඵල වැඩි වන බවත් ගොවිනායක ජයතිස්ස පවසයි.

යල කන්නයේ වී වගාව නොකරන කුඹුරුවල එළවළු වගා කිරීමට මේ හරිත දැයක් ජාතික වැඩසටහන පිටුබලයක් බවත් ගොවි සංවිධාන පෙන්වා දෙයි.මේ පිළිබඳ කරුණු දක්වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජී.ජී.වී. ශ්‍යාමලී පවසන්නේ හරිත දැයක් වැඩසටහනේ සෑම ප්‍රතිලාභියකුම එළවළු බෝග 7 ක බීජ පැකට් 7 ක් ලැබෙන බවයි.

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් මේ වැඩපිළිවෙළට අවශ්‍ය තරම් එළවළු බීජ ඇට ලබාදෙනවා. ලබාදෙන ඇට පැකට් ගණන කෝටියකට ආසන්නයි.

ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පලතුරු පැළ ලබාදෙනවා. පොල් සංවර්ධන අධිකාරිය මඟින් පොල් පැළ දෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අපනයන බෝග පැළ දේශගුණික කලාප අනුව ලබාදෙනවා“ යැයි ඇය පැවසුවා ය.

අපේ රටේ රන් සේ අගය කළ හැකි අපේ සරු පසින් නිසි ප්‍රයෝජන ගනිමින් රටේ ආර්ථික කෘෂිකාර්මික ගැටලු විසඳීමට අත හිත දෙන මේ ‘හරිත දැයක්‘ ජාතික ගෙවතු වගා වැඩසටහන සාර්ථක කර ගැනීමට මෙරට රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගමේ ප්‍රතිලාභී පවුල් ද කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතුය. එයට දීමට හරිත දැයක් මෙන්ම වස විස නැති රටක් සමඟ සුබ අනාගතයක් උදාවනු ඇත.

Comments